පොසොන් සිරියෙන් පිබිදෙන ඓතිහාසික සිතුල්පව්ව පුදබිම | සිළුමිණ

පොසොන් සිරියෙන් පිබිදෙන ඓතිහාසික සිතුල්පව්ව පුදබිම

පොහොය දින ආගමික කටයුතු PEO TV සඳ ටී.වී. (121) නාලිකාවෙන් සජීවීව විකාශනය කෙරේ

වාර්ෂික පොසොන් පූජෝත්සවය ජුනි 03, 04, 05 දිනවලදී පැවැත්වෙන අතර, පොසොන් පෝ දා දින දවස පුරා දාන, සීල, භාවනා උත්සව රැසක්

 

lශාස්ත්‍රපති පණ්ඩිත මැටරඹ හේමරතන නායක ස්වාමීන් වහන්සේ

 

සිතුල්පව්ව පුදබිම හමු වන්නේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ තිස්සමහාරාම - කිරින්ද මාර්ගයේ යෝධකණ්ඩිය වැව අසලින් වම් අතට හැරී කි.මී. 25ක් පමණ ගිය විටය. එම ප්‍රදේශය කිරින්ද ග්‍රාමනිලධාරි කොට්ඨාසයට අයත් වේ. ක්‍රි.පූ. යුගයෙහි මේ ප්‍රදේශය දස බෑ රජවරුන් නමින් ප්‍රකට ව සිටි මහාසේනා රජු ප්‍රධාන ක්ෂත්‍රිය පරපුරේ බලප්‍රදේශයට අයත් විය. මාගම රාජධානිය බිහිවීමෙන් පසු කතරගම රාජ්‍යය මාගම රාජ්‍යයෙහි උපරාජධානියක් බවට පත් විය.

 

අනුබුදු මිහිඳු මාහිමියන් වහන්සේගේ සම්ප්‍රාප්තියෙන් පසු සම්බුදු දහමේ ප්‍රඥාලෝකය මෙන්ම සංස්කෘතිකාලෝකය ද ලක්දිව පුරා පැතිර ගියේ සූර්ය ප්‍රභාවෙන් මුළු ලොව ඒකාලෝක වන්නාක් මෙනි. පිහිටි රට අනුරාධපුර මහා විහාරය ද, රුහුණු රට තිස්සමහාරාමය හෙවත් තිස්ස මහා විහාරය ද බුදුසසුනේ ආධ්‍යාත්මික මාර්ගෝපදේශකත්වය සපයන ස්ථානයන් බවට ඉක්මනින්ම පත් විය. අනුරාධපුර මහා විහාරය ග්‍රාමවාසී අංශය ද මිහින්තලේ අට සැට ලෙන් සහිත චේතිය ගිරි විහාරය වනවාසි අංශය ද නියෝජනය කරන්නාක් මෙන් රුහුණේ තිස්ස මහා විහාරය ග්‍රාමවාසී අංශය ද සිතුල්පව්ව වනවාසී අංශය ද නියෝජනය සඳහා මුල් යුගයේදීම ඉදිවුණු බව පැහැදිලිය.

පොදු මහජනතාවට ධාර්මික ජීවිතයක් ගත කිරීම සඳහා ග්‍රාමවාසී විහාරාරාමවලින් උපදෙස් සැපයුණු අතර, මේ ජීවිතයේදීම නිර්වාණ සාක්ෂාත්කරණයට අභිලාෂ ඇතියන් සඳහා වනවාසී ආරාමවලින් මහඟු සේවයක් ඉටු විණ. මේ නිසා රුහුණේ තිස්ස මහා විහාරයත්, සිතුල්පව්ව ආරණ්‍ය සේනාසනයත් සැදැහැවතුන්ගේ නොමඳ ගෞරවාදරයට පාත්‍ර විය. ග්‍රාමවාසී විහාර බොහෝ දෙනා ආකර්ෂණය වන පරිදි විවිධ විචිත්‍ර විහාරාංගණයන්ගෙන් අලංකාර කිරීමට ලක්දිව සැදැහැවත් රජ දරුවන් ක්‍රියා කළ අතර, චේතිගිරි, භත්ථිකුච්ඡි, දක්ඛිණ ගිරි, චිත්තල පබ්බත වැනි වනවාසී සේනාසනයන් චිත්ත සමථයට උචිත ලෙස භාවනානුයෝගීන්ට යෝග්‍ය වන පරිදි සරල, චාම් විහාරාංගයන්ගෙන් පරිපූර්ණ කිරීමට ද රජ දරුවෝ උත්සුක වූහ.

අනුරාධපු ජය ශ්‍රී මහා බෝධියේ ඵලවලින් හටගත් දෙතිස් ඵලරුහ බෝධීන් වහන්සේලාගෙන් එක් අංකුරයක් මෙහි රෝපණය කර ඇතැයි සිංහල හා පාලි බෝධිවංසවල සඳහන් වේ. රුහුණු රජ පෙළපතේ ආරම්භකයා වූ දේවානම්පියතිස්ස සොහොයුරු මහානාග යුවරජුගේ කාලයේ සිටම මෙම පුදබිම ආරම්භ වන්නට ඇතැයි සැලකේ. ඔහුගේ මී මුනුපුරා වන කාකවණ්නතිස්ස රජු මෙම පුදබිම සංවර්ධනය කිරීම සඳහා පළමුවෙන්ම ඉදිරිපත් වූ රජුය. එතුමා මෙහි ස්තූප, ධර්මශාලා, උපෝසථාගාර, සංඝාවාස, දාන ශාලා ආදිය ඉදිකරවා වැව් පොකුණු විහාරභූමිය අලංකාර කොට සහදේව නම් රහතන් වහන්සේ ප්‍රමුඛ දොළොස් දහසක් රහතන් වහන්සේට සඟ සතු කොට පූජා කළේය. එපමණක් නොව තමාගෙන් පසු මතු ඇතිවන යුවරජ, මාපා, ඈපා ආදීන් විසින් ද තපෝ භූමිය ආරක්ෂා කළ යුතු බවට විධානයක් ද පැනවී යයි මහාවංශයේ 22 සහ 24 පරිච්ඡේදවල සඳහන් වේ.

මුල් අවධියේ සිටම සිතුල්පව්ව, භික්ෂූන් විශාල පිරිසකට වාසස්ථානයක් වශයෙන් පැවතුණා පමණක් නොව ලක්දිව පුරාම ප්‍රසිද්ධියට ද පත්වී තිබිණි. මෙහි විසූ ධර්මධර විනයධර භික්ෂූන්ගේ සුපේශල ශික්ෂාකාමිත්වය පිළිබඳ තොරතුරු ඉන්දියාවේ ද පැතිර ගියේය. එය වෙළෙඳුන් මඟින් හෝ මෙහි සිට එහි ගිය භික්ෂූන්ගෙන් සිදු වූවා විය හැකිය. ඉන්දියාවේ පාටලිපුත්‍ර නගරයෙහි විසූ විසාකා නම් වෙළෙන්දෙකු සිතුල්පව්ව වැසි භික්ෂූන් ගැන අසා පැහැදී සියලු ධනය තම අඹු දරුවන්ට බෙදා දී එක් කහවණුවක් පමණක් රැගෙන එනුවරින් පිටත් වී ලංකාවට පැමිණීම සඳහා නැවක් එන තුරු මාසයක පමණ කාලයක් වරායක් ආශ්‍රිතව විසූ බවත්, ඒ මාසය තුළ ජීවත්වීම සඳහා ඔහු රැගෙන ආ එක් කහවණුවෙන් වෙළෙඳාම් කොට කහවනු දහයක් උපයා ගත් බවත්, පසුව ලක්දිවට පැමිණ මහා විහාරයෙහිදී පැවිදිව සිතුල්පව්වට ගොස් බවුන් වඩා රහත් වී මෛත්‍රී විහරණයෙන් යුක්තව විසූ බවත් විසුද්ධිමග්ගයේ සඳහන් වේ. ක්‍රිස්තු වර්ෂ පළමුවැනි සියවස වන විට සිතුල්පව්වේ භික්ෂූහූ විශාල සංඛ්‍යාවක් වාසය කළහ. වළගම්බා රාජ්‍ය සමයේ මෙහි භික්ෂූන් දොළොස් දහසක් වැඩසිටියහ. විභංග අටුවාවේ දැක්වෙන පරිදි එකල මෙහි වැඩිසිටි ඒ විශාල භික්ෂු පිරිසට වසර තුනකට පමණ සෑහෙන තරමට වී ගබඩා කොට තිබුණි. එහෙත් ඒ වී සියල්ල එක් රැයකින්ම මීයන් විසින් කා දමනු ලැබීම නිසා ආහාර හිඟ විය. මේ කාලයේ තිස්සමහාරාමයේත් එපමණ භික්ෂු පිරිසක් වාසය කළ අතර, වසර තුනකට සෑහෙන වී එහිද එක් රැස් කොට තිබුණි. ඒවා ද එක රැයකින් ම මීයන් විසින් කා දමන ලදහ. ආහාර හිඟයෙන් පීඩාවට පත් වූ විහාර දෙකෙහිම භික්ෂූන් දෙතැනම මීයන් කළ හදිය නොදැන අනෙක් විහාරයට යෑමේ අපේක්ෂාවෙන් මඟ බැස යද්දී අතරමඟදී ඔවුනොවුන් මුණ ගැසුණහ. දොළොස් දහසක් දෙනාට වසර තුනකට පමණ සෑහෙන තරමට තිබුණු වී එක රැයකින් මීයන් විසින් කා දමන ලද බව ඔවුහු දැනගත්තේ එවිටය.

වසර එක්දහස් පන්සීයක් තරම් කාලයක් දීප්තිමත්ව බැබළුණු සිතුල්පව්ව 18 සියවස පමණ වන විට ක්‍රමයෙන් වනගත වීම නිසා ජනතාවගේ මතකයන් ඈත්ව ගියේය. බොහෝ බෞද්ධ ආරාම මෙලෙස වනගත විය. වර්ෂ 1909 දී පුරාවිද්‍යාඥ හෙන්රි පාකර් විසින් ද 1922 දී පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් ද සිතුල්පව්වේ නටබුන් පිළිබඳව වාර්තා කරනු ලැබ ඇත. අපේ පැරණි පාලි හා සිංහල සම්භාව්‍ය ග්‍රන්ථවල සඳහන් වන සිතුල්පව්ව කොතැනක පිහිටියේ යැයි කුතුහලයක් ඇති කර ගත් ගාල්ලේ යටකල විහාරයේ අධිපතිත්වය ඉසිලූ කවිකුලතිලක පූජ්‍ය, කලහේ ශ්‍රී ගුණරතන මාහිමියෝ පොතපතෙහි සඳහන් තොරතුරු මැනවින් අධ්‍යයනය කොට හිතවත් දායක මහතකු ද කැටුව අලි කොටි වලසුන් ගහන යාල වන බිමට පිවිස කටු පඳුරු පීරමින් දැඩි දුෂ්කරතා විඳ මේ පින්බිම යළි අනාවරණය කර ගත්හ.

පසුව උන්වහන්සේ 1918 වර්ෂයේදී යටගල ප්‍රදේශයෙන් දායක පිරිසක් රැගෙන එහි ගොස් කැලය කපා එළිපෙහෙළි කොට භික්ෂුවකට වාසය කිරීමට සුදුසු තත්ත්වයට එය පත් කළහ. උන්වහන්සේ එවකට එංගලන්ත මහ රැජිනගේ නියෝජිතයා ලෙස ලක්දිව පාලනය කළ හ්‍යුක්ලිෆඩ් ආණ්ඩුකාරයාගෙන් කළ ඉල්ලීමකට අනුව සිතුල්පව්ව විහාරය යළි නඟා සිටුවීමට අවසරය ලබා ගත හැකි විය. කලහේ ශ්‍රී ගුණරතන මාහිමියෝ තම පැවිදි සහෝදරයකු මෙන්ම ශිෂ්‍යයෙකු ද වූ ඉලුක්පිටියේ ශ්‍රී ජිනරතන හිමියන්ට සිතුල්පව්වෙහි භාරකාරත්වය පැවරූහ.

ජිනරතන හිමියෝ මං මාවත් ඉදිකරවා ගමනාගමන පහසුකම් සලස්වා මේ පුදබිම නඟා සිටුවීමට පියවර ගත්හ. ජිනරතන හිමියන්ගේ අපවත් වීමෙන් පසු විහාරාධිපති ධුරයට පත් වත්තේහේනේ රතනාසර නාහිමියන්ගේ මෙහෙයවීම මත, රාජකීය පණ්ඩිත වත්තේහේනේ ශ්‍රී පියරතන ස්වාමින්ද්‍රයන් වහන්සේ වෙත සිතුල්පව්වේ භාරකාරත්වය පවරන ලදි. උන්වහන්සේගේ කාලයේදී එහි විශාල දියුණුවක් ඇති විය. සියලු දෙනාගේම සහයෝගය ලබා ගෙන වන්දනාකරුවන්ට අවශ්‍ය පහසුකම් ද සලසා දෙමින් ගරා වැටී තිබුණු බොහෝ ස්ථාන පිළිසකර කිරීමට ද උන්වහන්සේට හැකි විය. ඉන්පසු විහාරාධිකාරි ශාස්ත්‍රපති උණවටුනේ රතනජෝති හිමියන් සිතුල්පව්ව රාජමහා විහාරයේ ශාසනික කටයුතු සිදුකිරීම් මැනවින් සිදුකරනු ලැබූහ.

කුඩා සිතුල්පව්ව චෛත්‍ය ඉදිකිරීමේදී පුරෝගාමී වූහ. ගාල්ලේ යටගල පුරාණ විහාරය සිතුල්පව්ව රාජ මහා විහාරය ඇතුළු අෂ්ට මහා විහාරයන් මේ වන විට මාගේ භාරකාරත්වය යටතේ පවතින අතර, විහාර භූමියේ සංවර්ධනය සඳහා දායක සභාවේ ගරු සභාපති, මහින්ද රාජපක්ෂ ඇතුළු පින්වතුන්ගේ පූර්ණ අනුග්‍රහය ලබාගෙන සුවිසල් මෙහෙයක් සිදු කිරීමට හැකියාව ලැබිණ.

මෙය ඓතිහාසික වටිනාකම් රැසකින් යුත් පුදබිමක් බැවින් ප්‍රතිසංස්කරණ හා නව ගොඩනැඟිලි ඉදිකිරීම ආදි කටයුතුවලදී ගැටලු මතු විය. එහිදී පුරාවිද්‍යාත්මක ගවේෂණ සිදු කරමින් අලුතින් ගොඩනැඟිලි ඉදිකිරීමට සුදුසු ස්ථාන පෙන්වා දීමෙන් පුරාවිද්‍යා කොමසාරිස් ආචාර්ය සෙනරත් දිසානායක දැක්වූ අනුග්‍රහය කෙසේවත් අමතක කළ නොහැකිය. 1966, 2004 වර්ෂවල සිතුල්පව්ව විහාර සංකීර්ණයේ පුරාවිද්‍යාත්මක ගවේෂණ සිදු කළ හෙතෙම, "අසිරිමත් සිතුල්පව්ව" යන මැයෙන් ලියන ලද පර්යේෂණාත්මක කෘතිය සිතුල්පව්වේ ඓතිහාසිකත්වය හා පුරාවිද්‍යාත්මක වටිනාකම ලොවට විවර කළ දොරටුවක් ලෙස හැඳින්විය හැකිය.

lශාස්ත්‍රපති පණ්ඩිත මැටරඹ හේමරතන නායක ස්වාමීන් වහන්සේ

Comments