
වෙසක් උත්සවයේ සමාජයේ පැවති පිබිදීම තවදුරටත් උද්දීපනය කරමින් මිහින්තලය, තන්තිරිමලේ, සිතුල්පව්ව, හෝමාගම, හම්බන්තොට තිස්සමහාරාම, මහියංගණය, පොසොන් කලාප බවට පරිවර්තනය කරමින් මෙවර පොසොන් උත්සවයට රට ම පෙළ ගැසෙයි.
පොසොන් උත්සවය නිමිත්තෙන් මිහින්තලයට අමතරව රට පුරා පොසොන් දන්සල්, තොරන්, පහන් කූඩු ප්‍රදර්ශනය කිරීමට බෞද්ධ සැදැහැවත්හු සූදානමින් සිටිති.
පොසොන් උත්සව සතිය මැයි 31 වැනිදා සිට ජුනි 06 වැනිදා දක්වා නම් කර ඇත. පොසොන් උත්සවයට සමගාමීව ආමිස හා ප්‍රතිපත්ති පූජා රැසක් සංවිධානය කර තිබේ.
නැඟෙමු පිබිදෙමු යෙදෙමු සුරකිමු මිහිඳු මාහිමි දෙසු දහම්, තේමාව කරගෙන ලක්දිව බුදුදහම ස්ථාපිත වීම සිහි කරමින් බෞද්ධයන්ගේ උතුම් පොසොන් පොහොය ජූනි මස 3 වැනිදාට යෙදී ඇති අතර, පොසොන් පොහොය අරමුණු කරගනිමින් පොසොන් උලෙළට සමගාමීව පොසොන් උත්සවය අනුරාධපුරයේදී පැවැත්වීමට මේ වන විටත් සියලු කටයුතු සූදානම් කෙරෙමින් පවතියි. මෙවර පැවැත්වෙන්නේ 2331වැනි පොසොන් උත්සවයයි.
පොසොන් උත්සවයේ පානීය ජල අවශ්‍යතාව සහ සනීපාරක්ෂක ජල අවශ්‍යතාව වෙනුවෙන් අනුරාධපුර පූජා නගරය, මිහින්තලය හා තන්තිරිමලය පුදබිම් අවට ජල ස්ථාපනය, ආදී කාර්යයන් වෙනුවෙන් වැට් රහිතව රුපියල් ලක්ෂ 157ක මුදලක් ආයතනිකව දැරීමට කටයුතු කරන බව ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලයේ සභාපති නිශාන්ත රණතුංග තහවුරු කළේය. මැයි 31දා සිට ජූනි 06 දක්වා කාලය පොසොන් සතිය ලෙස නම් කර ඇත. පොසොන් ආලෝක පූජාව 02වැනිදා සිට 04වැනිදා දක්වා පැවැත්වෙයි. මේ අතර, පොසොන් සතිය තුළ අනුරාධපුරය දිස්ත්‍රික්කය තුළ සියලුම සුරා සැල් සහ මාංස වෙළෙඳාම මෙන් ම නීති විරෝධි මත්පැන්, මත්ද්‍රව්‍ය අලෙවි කරන ස්ථානයන් වැටලීමට ද කටයුතු යොදා තිබේ.
වන්දනාකරුවන්ගේ පහසුව සඳහා ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලය, උතුරු මැද පළාත් මාර්ගස්ථ මඟී ප්‍රවාහන සේවා අධිකාරිය සහ පොසොන් උත්සවයට අනුරාධපුර වන්දනාවේ යන බැතිමතුන්ගේ ගමන් පහසුව සඳහා විශේෂ දුම්රිය සේවාවන් අනිද්දා 2 දා සිට 5 දා දක්වා ක්‍රියාත්මක කෙරෙන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. ජූනි 2 මෙන් ම 3 වැනිදා පොසොන් විශේෂ දුම්රිය පහ බැගින් කොටුවෙන් ගමන් ආරම්භ කරන අතර බෙලිඅත්ත හා ගාල්ල දුම්රිය ස්ථානයෙන් දුම්රිය දෙක බැගින් පිටත් වේ.
මෙම විශේෂ පොසොන් දුම්රිය නැවත 3,4 හා 5 යන දිනවල අනුරාධපුර දුම්රිය ස්ථානයේ සිට කොළඹ කොටුව, ගාල්ල හා බෙලිඅත්ත දක්වා ධාවනය කෙරේ.
මිට අමතරව බස්නාහිර පළාත තුළ හෝමාගම කේන්ද්‍ර කරගනිමින් පැවැත්වෙන විශේෂ පොසොන් කලාපය සඳහා 3-5වැනිදා දක්වා විශේෂ දුම්රිය ද ධාවනයට එක් වීමට නියමිතය.
මෙවර පොසොන් සතියේදී විනෝද සැණකෙළි කිසිවක් නොපැවැත්වේ. මිහින්තලාවට සමගාමීව, අටමස්ථානය හා තන්තිරිමලය පුදබිම් කේන්ද්‍ර කරගෙන පොසොන් උත්සවය පැවැත්වේ.
ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ අබියස හා අනෙකුත් විහාස්ථානවල ධර්මදේශනා, ධර්ම සාකච්ඡා ඇතුළු ආගමික වැඩසටහන් රැසක් පැවැත්වීමට කටයුතු යොදා තිබේ.