පාන් අරික්කාල | සිළුමිණ

පාන් අරික්කාල

පාන් අරික්කාල මේ කතාවේ චරිතයක් බැවින් පළමුව එම චරිතය හඳුන්වා දිය යුතුය. පාන් අරික්කාල යනු පාන් ගෙඩියෙන් අටෙන් කොටසකි. දැන් තියෙන ගෙඩියෙන් අටෙන් කොටස් අටකට කැපිය නොහැකි වුව පරණ පාන් රාත්තලක් කොටස් දහයකට කැපිය හැකිය.

පාන් අරික්කාල සිහියට නැඟුණේ මැයි දිනයත් සමඟය. පාන් අරික්කාල යනු අපේ රටේ වැඩ කරන මිනිසාගේ ප්‍රධාන ආහාරයක් විය. අපේ කම්කරුවන් පාන් අරික්කාල කා දමන ක්‍රම තුනක් තිබිණි. එනම්, අමු මිරිස් කරලක් සමඟ, පොල් කෑල්ලක් සමඟ සහ සීනි ස්වල්පයක් සමඟ ය. කොයි විදිහට පාන් කෑවද තද කහට කෝප්පයක් පානය කිරීම කම්කරුවාගේ පිළිවෙළ විය. එය වැඩ කිරීමට හොඳ උත්තේජනයකි.

ගමේ සිල්ලර කඩවල මුදලාලි පාන් ගෙඩියක් මිලට ගන්නේ ශත 35ටය. එය දහයට කපා අලෙවි කළේ ශත 50ටය. පෝරණු කාරයා ද මුදලාලිට ශත දෙකක හෝ ශත පහක වට්ටමක් ලබා දුන්නේය. ඒ අනුව සිල්ලරට පාන් විකිණීම නරක නැත.

එදා ගැමි ගෙවල්වල පාන් ගෙනාවේ කලාතුරකින්ය. උදේට හීල්බත් සප්පායම් වෙනවා මිස පාන් කෑවේ නැත. දහවල හෝ රාත්‍රියේ හෝ ආහාරයට පාන් කෑම මදිකමක් කොට සැලකිණි. එහෙත් අතු බැඳීමකට, ශ්‍රමදානයකට, නෙළුමකට පාන් කපා සීනි සම්බෝල එකතු කොට සංග්‍රහ කැරිණි. එය රසවත් ආහාරයකි.

අපේ ගෙදර අතු බඳිනදාට පාන් ගෙඩි හතක්වත් ගෙනෙයි. ඒ පාන් සුවඳ අතර තෙල් බේරෙයි. පාන් දුටු සැණින් කටට කෙළ උනයි.

එදාට අපේ මල්ලී ඔහුගේ පාන් කෑල්ල කුඩා කැබලිවලට කපා මට විකුණයි. මම මගේ කැටයට දිග ඉරටුවක් දමා පාන් කෑමට සල්ලි සොයා ගතිමි. මල්ලී කුඩා පාන් කෑල්ලක් විකුණුවේ ශත හයකටය. ඔහු සිය වෙළෙඳාමෙන් ශත පනහකට ආසන්න මුදලක් උපයාගත් අතර කඩයට ගොස් පාන් භාගයක් මිලට ගත්තේය. ඉතිරි මුදල කැටයට දැම්මේය. මල්ලි කොහොමත් කපටියෙකි.

ඔහුට පාඩමක් ඉගැන්විය යුතු යැයි කල්පනා කළ මම උපාය මාර්ගයක් යෙදුවෙමි. ඒ අනුව පාන් ගෙඩි ඔතන ලද තෙල් කඩදාසියට මගේ බත් පිඟානෙන් අහුරු දෙකක් දමා එතුවෙමි. එය අගනා ආහාරයක් ලෙස පෙනිණි.

මම එය ශත විසි පහකට මල්ලීට අලෙවි කළෙමි. මල්ලී එය රැගෙන ගොස් අම්මාට පැමිණිලි කළේය.

"කවුද බොල කන බත් එක විකුණන්නේ?"

අම්මා මට හොඳටම තරවටු කොට කෝටු පහර දුන්නාය. මේ අතර අපේ තාත්තා තවත් දෙදෙනෙක් කැටුව ගෙට ගොඩ වූහ. ඒ මැයි පෙළපාළියක් අවසන් වූ ගමන්ය. අම්මා සියලු විස්තර තාත්තාගේ කනේ තිබ්බාය.

"මුන් දෙන්නටම සුළු ධනේශ්වර චින්තනය තියෙනවා"තාත්තා මිදුලට බුලත් කෙළ පහරක් ගසන අතර කියා සිටියේය.

"විල්මට් අයියට කියන්ඩ අද ඉස්කෝලෙ අධ්‍යාපනේ මුළුමනින්ම ඒ පැත්තට බරයි."

සුළු ධනේශ්වර චින්තනය යැයි කියුවද අදටත් මට එය හරිහැටි වැටහෙන්නේ නැත. ටික වේලාවකින් ඒ තිදෙනාම මිදුලට කෙළ ගසන්නටද විරුද්ධ පක්ෂයට බණින්නටද පටන් ගත්හ. විවේචනය උත්සන්න වෙත්දී තාත්තා තඹ සතයේ කාසි දෙකකින් බෝතලයට තට්ටු කරමින් නැගල යන සින්දුවක් ගායනා කළේය. සෙස්සෝද ඔහු අනුගමනය කළහ.

මට හිතෙන විදිහට සුළු ධනේශ්වර චින්තනය ඇත්තේ එතැනය.

Comments