
- පේරාදෙණි සරසවියෙන් කළ විස්මිත වැඩක්
- සැත්කමේ කාලය පැයකට ආසන්නයි, නාගයාට සිහිය එන්නේ සැත්කමෙන් පැය එකහමාරකට විතර පස්සෙ. නාගයාගේ උදර ප්‍රදේශයට මැහුම් අටක් දාලා
- ගෙඩියක් ඇති බව දැනගෙන තියෙන්නේ එක්ස්රේ එකෙන්
- වියදම රුපියල් 20,000යි
- බඩවැල්වලට පිටින් ගෙඩිය තිබීම නයාගේ ජීවිත අවදානම අවම වීමට හේතුවක්
මෙරට රාජාවලිය පිරික්සීමේදී රජකමට මෙන්ම වෙදකමට ද එකසේ දක්ෂතා දැක්වූ නරපතියකු ලෙස ප්‍රකටව සිටින්නේ බුද්ධදාස රජතුමන් ය. උදරය ආශ්‍රිතව ඇතිවූ විශාල ගෙඩියක් හේතුවෙන් කුස ගින්නේ මරණාසන්නව සිටි නාග රාජයකුට බුද්ධදාස රජු ප්‍රතිකර කර සුවපත් කළ බවත් ඉන් සුවය ලද නාගයා කෘත ගුණ දැක්වමින් රජුට නාග මාණික්‍යය පූජා කළ බවත් චූල වංශයේ සඳහන් ය. සියවස් ගණනාවකට පෙර දේශීය වෛද්‍ය විද්‍යා ප්‍රතිකාර ක්‍රම මඟින් බුද්ධදාස රජු නාගයකු සුවපත් කළ ආකාරයේ පුවතක් අපට අසන්නට ලැබුණේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පශු වෛද්‍ය පීඨයෙනි. එදා සිදුවීම හා මෙදා සිදුවීම අතර වෙනසකට ඇත්තේ බුද්ධදාස රජු දේශීය වෛද්‍ය විද්‍යාවෙන් එදා කළ දේ මෙදා පේරාදෙණිය පශු වෛද්‍ය පීඨයේ වෛද්‍ය කණ්ඩායමක් බටහිර වෛද්‍ය විද්‍යාවෙන් සිදු කිරීමය.
සැත්කමට ලක් කරනු ලැබුවේ අඩි පහක පමණ දිගින් යුත් වයස අවුරුදු හයක් පමණ වන සුදු නාගයෙකුට ය. කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ හැදී වැඩී තිබෙන මෙම නාගයා ඇලි (Albino Cobra) සත්ත්වයෙකි. සර්ප විෂ හා සම්බන්ධ පර්යේෂණ කටයුතු සඳහා යොදාගෙන තිබූ මෙම නාගයා මාස දෙකක පමණ කාලයක් ආහාර ගැනීම ප්‍රතික්ෂේප කර ඇත. ඒ සම්බන්ධයෙන් විමසිලිමත් වීමේ දී දක්නට ලැබී ඇත්තේ නාගයාගේ උදර ප්‍රදේශයේ විශාල ගෙඩියක් තිබෙන බවයි. ඒ අනුව කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨ සර්පාගාර පාලක දුෂ්මන්ත කණ්ඩම්බි හා වන සත්ත්ව පර්යේෂක අනිල් විජේතුංග මෙම සුදු නාගයා පශු වෛද්‍ය ශික්ෂණ රෝහල වෙත යොමුකර කිරීමට පියවර ගෙන තිබිණි.
සාමාන්‍යයෙන් සර්පයකු එක් ආහාර වේලක් ගත් පසු ඊළඟ ආහාර වේල ලබා ගන්නා කාලය අතර සතියක හෝ දෙකක විරාමයක් පවත්වා ගැනීම සාමාන්‍ය තත්ත්වයකි. මෙම නාගයා ද ආහාර නොගෙන සිටීම ඌ රැකබලා ගන්නා අයට මුලින්ම තේරී නොමැත්තේ ඒ නිසාය. එක දිගට මාස දෙකක් ආහාර නොගැනීම යම් අසනීප තත්ත්වයක පෙර නිමිත්තක් බවට අනුමාන කළ කණ්ඩාම්බි ඒ සම්බන්ධයෙන් විමසිලිමත් වී ඇත. එසේ සිටියදී එක් දිනක් සුදු නාගයා වමනය කිරීම හේතුවෙන් සතා වහා ප්‍රතකාරවලට යොමු කළ යුතු බවට ඔහු තීරණය කර තිබේ.
ඒ අනුව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පශු වෛද්‍ය පීඨයට රැගෙන ආ සුදු නාගයාට ප්‍රතිකාර කිරීම ආරම්භ වූයේ පශු වෛද්‍ය පීඨයේ අංශාධිපති මහාචාර්ය අශෝක දංගොල්ලගේ අධීක්ෂණය යටතේ ය. තරින්දි මාදිවෙල,ඩයනි උදාරිකා,ධනුෂ්කා හේවාපතිරණ,චරිත් අබේරත්න යන පශු වෛද්‍ය කණ්ඩායම මුලින්ම තීරණය කළේ නාගයා එක්ස් රේ පරීක්ෂණයකට භාජනය කිරීමටය. එහි වාර්තාව අනුව සතාගේ උදර ප්‍රදේශයේ ගෙඩියක් තිබෙන බව නිරීක්ෂණය වී තිබේ.
ඉන් අනතුරුව සිදුවූ ක්‍රියාවලිය විග්‍රහ කළේ මහාචාර්ය දංගොල්ල මහතාය. සති අටකට ආසන්න කාලයක් ආහාර නොගැනීම නිසා තරමක් දුර්වලව සිටි නාගයාට ප්‍රතිකාර ලබා දීමට පෙර සේලයින් ලබා දුන්නා. මොනතරම් විෂඝෝර සර්පයෙක් වුණත් අපිට ඒ සතාව කිහිප වරක් සිහි නැති කරන්න බැහැ.මේ නිසා සිහි නැති නොකර එක්ස්රේ පරීක්ෂණය සිදු කරන්න තීරණය කළා. ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරමින් එකස් රේ පරීක්ෂණයට සතාව භාජනය කළේ සිහිය තිබියදීමයි.
එකස් රේ පරීක්ෂාවේදී සතාගේ ශරීරය අභ්‍යන්තරයේ ගෙඩියක් තිබෙන බව සොයා ගත්තා. ඊට පසුව අපිට තිබුණේ මේ ගෙඩිය සතාගේ බඩවැල් ආශ්‍රිතව තිබෙන එකක්ද නැත්නම් ඉන් පිටත තිබෙන එකක් ද කියන කාරණය තහවුරු කර ගැනීමයි. ඒ පරීක්ෂණය එදාම කළේ නැහැ. සතාට පොඩි විවේකයක් ලබා දීලා පසුදින තමයි එන්ඩස්කොපි පරීක්ෂණයට සතාව සූදානම් කළේ.
මේ වගේ සතෙකුගේ උදරයේ එන්ඩස්කොපි පරීක්ෂණයක් කරනකොට අනිවාර්යයෙන්ම සතා සිහිනැති කරන්න ඕන. ඒ අනුව නිර්වින්දන එන්නතක් මඟින් නාගයාගේ සිහි නැති කළා. එන්ඩස්කොපි (Endoscopy) යන්ත්‍රය ආධාරයෙන් මේ ගෙඩිය තිබෙන්නේ බඩවැල් වලට පිටින් බව සොයා ගත්තා. මෙතන දී කළේ කුඩා කැමරාවක් සතාගේ මුඛය තුළින් ශරීර අභ්‍යන්තරයට යවා නිරීක්ෂණය කිරීමයි. බඩවැල්වලට පිටින් ගෙඩිය තිබීම සතාගේ ජීවිත අවදානම අවම වීමට හේතුවක්.
නාගයා සිහි නැති කරලා ඉන්න නිසා ඒ සමඟම අදාළ ගෙඩිය සැත්කමක් මඟින් ඉවත් කරන්න තීරණය කළා. ශරීරයේ මැද්දට වන්නට උදර ප්‍රදේශයේ ගෙඩිය තිබූ ස්ථානය පැල්මක් මඟින් විවෘත කළා. අඟල් තුනක පමණ විශ්කම්භය ඇති දෙහි ගෙඩියක පමණ ප්‍රමාණයට තිබූ ගෙඩිය ඉවත් කළා. මේ සැත්කමට පැයකට ආසන්න කාලයක් ගත වුණා. සැත්කමෙන් පැය එකහමාරකට විතර පස්සෙ තමයි නාගයාට සිහිය ආවේ. ගෙඩිය ඉවත් කිරීම සඳහා කළ සැත්කමේදී නාගයාගේ උදර ප්‍රදේශයට මැහුම් අටක් පමණ යොදන්න සිදුවුණා. දියවෙන මැහුම් තමයි දාලා තියෙන්නේ. දැන් එයා සුව අතට පත්වෙමින් ඉන්නවා. නිතර පරීක්ෂාවට ලක් කළ යුතු නිසා දැනට පශු වෛද්‍ය පීඨය ආසන්නයේ නිවෙසක තමයි මෙයා ඉන්නේ. ආහාර කිසිවක් තාමත් දෙන්නේ නැහැ. සතා තවත් දින කිහිපයක් නිරීක්ෂණය කිරීමෙන් පසු යළිත් කොළඹ විශ්වවිද්‍යාලයට රැගෙන යාමට පුළුවන්. නාගයාගේ උදර ප්‍රදේශයේ බඩවැල්වලට පිටින් මේ වගේ ගෙඩියක් හටගත්තේ කොහොමද කියන එක ප්‍රශ්නයක්. බාහිරින් යමක් ඇනීම නිසා කාලයක් ගිහින් ගෙඩියක් ඇති වෙන්න පුළුවන්. ඒ වගේම ශරීරය අභ්‍යන්තරයෙන් මේ වගේ ගෙඩියක් හටගන්න පුළුවන්. මේක පිළිකාවක්ද කියන සැකය මත ගෙඩියේ කොටස් රසායනාගාර වැඩිදුර පරීක්ෂණ සඳහා යොමුකර තිබෙනවා.
සුදු නයි දැකීම වාසනාවන්ත යැයි ජනවහරේ කියමනක් තිබේ. සුදු නයි දැකීම කෙසේ වෙතත් මේ සුදු නයා එසේ නැත්නම් ඇලි නාගයා නම් වාසනාවන්තය. අලි, කොටි,වලස්සු, ගෝනුන්, මුවන් වැනි වන සතුනටත් බල්ලන්, පූසන් වැනි සුරතල් සතුන්ටත් ප්‍රතිකාර කිරීමට අමාත්‍යාංශ මට්ටමින් හෝ පෞද්ගලික මට්ටමින් පුද්ගලයන් උනන්දු නමුත් සර්පයන්ට ප්‍රතිකාර කිරිම සඳහා එවැනි උනන්දුවක් සමාජය තුළ දක්නට ලැබෙන්නේ කලාතුරකිනි. මෙම නයා විශ්වවිද්‍යාලයක හැදී වැඩීම ඉක්මනින් ප්‍රතිකාර සඳහා යොමු කිරීමට එක් හේතුවක් විය. සතාගේ ජීවිතය බේරීමට ඊටත් වඩා හේතු වූ කාරණය මහාචාර්ය දංගොල්ල මෙසේ හෙළිදරව් කළේය.
‘පේරාදෙණිය පශු වෛද්‍ය පීඨයේ පශු වෛද්‍ය ශික්ෂණ රෝහල සතුව මෑතක් වන තෙක්ම එන්ඩස්කොපි (Endoscopy) යන්ත්‍රයක් තිබුණේ නැහැ. රුපියල් කෝටි දෙකක පමණ වටිනා මේ යන්ත්‍රයක් අපේ රෝහලට ලැබුණේ මීට සතු තුනකට ඉහතදීයි. ඒක ඇත්ටම අපිට ලැබුණ පරිත්‍යාගයක්. මාත් එක්ක එකට විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය ලැබූ යාපනයේ උපත ලද එස් .ලෝගේෂ්වරන් මහතා තමයි මේක අපිට දුන්නේ. ඔහු මේ වන විට පදිංචිව සිටින්නේ එංගලන්තයේ. මේ යන්ත්‍රය නිසා ඉතා පහසුවෙන් අපිට නාගයාගේ ශරීර අභ්‍යන්තරයේ ඇති ගෙඩිය පිහිටා ඇති ආකාරය හඳුනා ගැනීමට පුළුවන් වුණා. මේක නොතිබුණා නම් අපිට කැපුමක් මඟින් අදාළ ස්ථානය විවෘත කරලාම බලන්න වෙනවා. මේ යන්ත්‍රය තිබෙන නිසා දැන් අපිට රෝගී සතුනට ප්‍රතිකාර කිරීමේදී විශාල පහසුවක් ඇතිව තිබෙනවා. පශු වෛද්‍ය විද්‍යාව හදාරණ සිසුන්ට වුණත් මේ වගේ යන්ත්‍ර පරිශීලනය කරන්න අවස්ථාව ලැබෙන විට අධ්‍යාපනය සඳහා ඔවුන් තුළ පවතින උනන්දුව වැඩි වෙනවා.
නාගයා නිර්වින්දනය කිරීම සඳහා භාවිත කළ ඖෂධවල මිල ගණන් ද සැලකූ විට සැත්කම සඳහා රුපියල් 20000 ක පමණ මුදලක් වැය වී තිබෙන බවට අනුමාන කළ හැකි බව වෛද්‍ය දංගොල්ල පවසයි. ඇලි සතුන් දුර්ලභය. මේ නිසා මෙම සුදු නාගයාගේ ජීවිතය බේරා ගැනීම ඉතා වැදගත් නේ දැයි ඇසූ පැනයට වෛද්‍ය දංගොල්ල පැවසුවේ අපිට කොයි සතාගේ ජීවිතයත් එක වගේ වටිනවා යන පිළිතුර ය. සර්ප දෂ්ටන නිසා සිදුවන මිනිස් ජීවිත බේරා ගැනීම සඳහා විෂ සම්බන්ධ දැනුම මෙන්ම ඒ සඳහා ලබාදෙන ප්‍රතිවිෂ පිළිබඳ දැනුම වෛද්‍ය සිසුන්ට අත්‍යවශ්‍යය ය. කොළඹ විශ්වවිද්‍යාලය කේන්ද්‍ර කර ගනිමින් සිදු කෙරෙන සර්ප විෂ හා සම්බන්ධ පරීක්ෂණ කටයුතු සඳහා යොදාගත් මෙම නාගයාගේ දිවි බේරා ගැනීම මතු දිනෙක සර්ප දෂ්ඨන නිසා මෙලොව හැර යන බොහෝදෙනෙකුට ප්‍රතිකාර තුළින් යළි ජීවිතය දෙන්නට තරම් වූ ප්‍රබල එකකි.