බුදුසිරිත ලොවට ගෙන ගිය මහා කාව්‍යය | සිළුමිණ

බුදුසිරිත ලොවට ගෙන ගිය මහා කාව්‍යය

සුප්‍රකට ඉන්දියානු ගත් කතුවර ජයරාම් රමේෂ් The Light of Asia∙ the poem that defined the Buddha කෘතියෙහි සිංහල පරිවර්තනය ‘බුදුසිරිත ලොවට ගෙනගිය මහා කාව්‍යය ආසියාවේ ආලෝකය’ කෘතිය මෑතකදී නිකුත් විය. ප්‍රවීණ රාජ්‍ය තාන්ත්‍රික නිලධාරියකු හා 2018, 2019 හා 2022 වසරවල පරිවර්තිත නවකතා අංශයේ රාජ්‍ය සාහිත්‍ය සම්මාන තුන් වතාවක් හිමිකරගත් නිලූක කදුරුගමුව පරිවර්තනය කරන ලද මෙම කෘතිය පාත්ෆයින්ඩර් පදනමේ ප්‍රකාශනයකි.

’බුදුසිරිත ලොවට ගෙනගිය මහා කාව්‍යය- ආසියාවේ ආලෝකය’ කෘතිය විස්තෘත පර්යේෂණයක් මත පදනම් වූ මහත් ප්‍රාගල්භ්‍යයකින් යුත් නිර්මාණයක් වන අතර, එය ‘ආසියාවේ ආලෝකය’ මහා කාව්‍යයේ ද එහි කතුවරයා වූ ශ්‍රීමත් එඩ්වින් ආනෝල්ඩ්ගේ ද චරිතාපදානයක් සේ සැලකිය හැකිය.

බුදුරජාණන්වහන්සේගේ චරිතය මත පදනම් වූ මහා කාව්‍යයක් වන මෙහි ස්වාමි විවේකානන්ද, අනගාරික ධර්මපාල, රබීන්ද්‍රනාත් ඨාකූර්, මහාත්මා ගාන්ධි, ජවහර්ලාල් නේරූ සහ ආචාර්ය බී.ආර්. අම්බේඩ්කර් වැනි ශ්‍රේෂ්ඨ චරිත බොහෝමයකගේ සිත් වසඟ කොට ඔවුන්ට අනුප්‍රාණය සැපයූ සැටි මැනැවින් විස්තර කරයි. එමෙන්ම සිංහල බස ද ඇතුළුව භාෂා තිහකට අධික සංඛ්‍යාවකට ‘ආසියාවේ ආලෝකය’ මහා කාව්‍යය පරිවර්තනය වූ සැටිත් සමාජ සමානාත්මතාව උදෙසා වූ ව්‍යාපාරවලට එය අනුප්‍රාණය සැපයූ සැටිත්, සංගීතය, නර්තනය, නාට්‍ය, සිතුවම් හා සිනමාව යන ස්වරූපවලට එය රූපාන්තරණය වූ සැටිත් මෙම කෘතිය අනාවරණය කරයි.

පොසොන් පොහොය නිමිති කරගනිමින් මෙහි පළවන්නේ මෙම කෘතියේ පරිච්ඡේදයකින් උපුටා ගත් කොටස් කිහිපයකි.

1886 සහ ඉන්පසු එඩ්වින් ආනෝල්ඩ් සහ ඔහු විසින් දියත් කරන ලද බුද්ධගයා විහාරය බේරාගැනීමේ ව්‍යාපාරය

1891 මැයි 31 වැනිදා ඔහු කොළඹදී මහාබෝධි සමාගම පිහිටුවීය. 1886 පෙබරවාරියේදී ආනෝල්ඩ් හමු වී බුද්ධගයාවේ බෞද්ධ පාලනය ගැන පළමුවෙන් කථා කළ වැලිගම ශ්‍රී සුමංගල හිමියන් එහි සභාපතිද, ඕල්කට් එහි අධ්‍යක්ෂ හා ප්‍රධාන උපදේශකද, ධර්මපාල එහි මහලේකම් ද වූහ. කළමනාකරණ කමිටුවට ලෝකයේ විවිධ කලාපවලට අයත් සාමාජිකයන් සිටි අතර, ආනෝල්ඩ් එහි ‘ලන්ඩන් නියෝජිතයන්’ගෙන් කෙනෙක් විය. 1891 ජූලි මාසයේදී සමාගම වෙනුවෙන් ලාංකික භික්ෂූන්වහන්සේලා සිවු නමක් එහි යවනු ලැබූ අතර, 1891 ඔක්තෝබරයේදී සමාගම එහි ජාත්‍යන්තර සම්මන්ත්‍රණයක් ද සංවිධානය කළේය.

1893 ජූලි මාසයේදී, මහාබෝධි සමාගමේ සඟරාව (ජර්නල් ඔෆ් ද මහාබෝධි සොසයිටි) ඊට සිවු මසකට පෙර ඩේලි ටෙලිග්‍රාෆ් පුවත්පතට ආනෝල්ඩ් ලියා තිබූ ලිපියක් යළි පළ කළේය. එය ‘මහාබෝධි විහාරය’ යන නමින් හැඳින්විණි.

1893 ජූලි මාසයේ මැද හරියේ දිනෙක ‘මහාබෝධි විහාරය’ යන නමින් හැඳින්වුණු ලිපියක් ආනෝල්ඩ් ඩේලි ටෙලිග්‍රාෆ් පුවත්පතට ලිවීය. ක්‍රොස් සාමිවරයා සැබැවින්ම ආනෝල්ඩ්ගේ අභියාචනය ප්‍රතිරාජ ලෑන්ස්ඩවුන් සාමිවරයා සමඟ සාකච්ඡා කළේය. ප්‍රතිරාජයා, එම අදහස නැති වී නොයන තැනට වගබලා ගනු පිණිස ප්‍රායෝගික ආස්ථානයක් අනුගමනය කළේය. එනම්, ආගමික අසමගිය පිළිබඳ හැඟීම් නොඇවිස්සෙන තාක් හා ‘ඉන්දියානු භාණ්ඩාගාරයෙන් මුල්‍ය ප්‍රදානයක් නොඉල්ලන තාක්’ මිත්‍රශීලී සාකච්ඡාවලට කල්කටා ආණ්ඩුව අනුග්‍රහය දක්වන බවය ඒ එතැන් සිට මාස දෙකක කාලයකින් චිකාගෝ නුවර පැවැත්වීමට නියමිත ආගම් පිළිබඳ ලෝක පාර්ලිමේන්තුවට සහභාගී වීමට යන අතරතුර 1893 ජූලි මාසයේදී ධර්මපාල ලන්ඩන් නුවරට පැමිණියේය. වරායේදී ඔහු පිළිගනු ලැබූයේ ආනෝල්ඩ් විසිනි.

ආනෝල්ඩ්, ධර්මපාල සහ කිම්බර්ලි අතර පැවැති රැස්වීමෙන් එක් ප්‍රතිඵලයක් අත් වී තිබිණි. එනම්, ඒ පිළිබඳව කල්කටාවේ සිටි ප්‍රතිරාජයාට දැනුම් දීමයි. කල්කටාවේ සිටි ප්‍රතිරාජයාගෙන් පිළිතුරක් ලැබීමෙන් අනතුරුව, 1893 නොවැම්බර් 13 වැනිදා කිම්බර්ලි ආනෝල්ඩ් වෙත ලිපියක් යැවීය. චිකාගෝ නුවර සිට පෙරළා එන අතර ධර්මපාල පළමුවෙන්ම ජපානයේ නැවතුණේය. 1893 නොවැම්බර් මාසයේදී, එහි යොකොහොමා අසල පිහිටි කනගාවාහි විහාරස්ථානයක තැන්පත් කොට තිබූ වසර 700 ක් පැරැණි බුදු පිළිමයක් ඔහුට ප්‍රදානය කරනු ලැබිණි. ඔහුට ප්‍රදානය කෙරුණු බුද්ධ ප්‍රතිමාව මහාබෝධි විහාරයේ ඇතුළු ගැබෙහි තැන්පත් කරන්නට ධර්මපාල බ්‍රිතාන්‍ය ආණ්ඩුවෙන් අවසර ඉල්ලා සිටියේය. එහෙත් හින්දු ජනමතය විරුද්ධ කරවා ගැනීම ගැන කනස්සල්ලෙනුත්, ධර්මපාලගේ ජපන් සබඳතා ගැන සැකයෙනුත් බ්‍රිතාන්‍යයෝ කරුණු වසන් කළෝය. ආනෝල්ඩ් සහ ධර්මපාල යන දෙදෙනාම බලාපොරොත්තු අත්හැර ගනිමින් සිටියහ.

අවසානයේදී 1895 පෙබරවාරි 25 වැනිදා හිරු උදාවට පෙර ඒකපාර්ශ්වීය ක්‍රියාමාර්ගයක් ගත් ධර්මපාල, විහාරස්ථානයට ප්‍රවේශ වී, එවකට හිස්ව තිබූ එහි ඇතුළු ගැබෙහි බුදු පිළිමය වඩා හිඳුවීය. ඔහු බුද්ධ වන්දනාවට සැරසෙත්ම, පැහැදිලිවම මහාන්ත්ගේ අනුගාමිකයන් වූ, අවි ආයුධ රැගත් පිරිසක් එහි කඩා වැද, පිළිමය රැගෙන වෙන තැනකට ගෙන ගොස් දැමූහ. අසල තිබූ බුරුම විශ්‍රාම ශාලාවේ එය තැන්පත් කෙරිණි. පූජනීය ස්ථානයකට අනවසරයෙන් ඇතුළු වීම සහ ආගමික දේපළවලට අලාභ හානි කිරීම යටතේ මහාන්ත්ට සහ ඔහුගේ අනුගාමිකයන්ට එරෙහිව සාපරාධී චෝදනා ගොනු කිරීමට ධර්මපාල එවිට තීරණය කළේය.

1895 අප්‍රේල් 8 වැනිදා ප්‍රාදේශීය මහේස්ත්‍රාත් ඩී.ජේ. මැක්ෆර්සන් ඉදිරිපිට නඩුව පළමුවැනි වරට විභාග විය. 1895 ජූලි 19 වැනිදා මැක්ෆර්සන් සිය තීන්දුව දුන්නේය. හෙතෙම විත්තිකරුවන්ගෙන් දෙදෙනකු නිදොස් කොට නිදහස් කළද, ඉන්දියානු දණ්ඩ නීති සංග්‍රහය උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් තිදෙනකු වරදකරුවන් කළේය. ඔවුන් දඩයකට හා මසක සිර දඬුවමකට යටත් කරනු ලැබිණි. එහෙත්, ධර්මපාල තිර වශයෙන් විසැඳුමක් බලාපොරොත්තු වූ විහාරස්ථානයේ හිමිකම පිළිබඳ වඩාත් විශාල කාරණාව සම්බන්ධයෙන් මහේස්ත්‍රාත්වරයා තීන්දු කළේ, විහාරස්ථානය සහ එහි වටාපිටාව පිළිබඳව ‘එක්තරා ආකාරයක හිමිකාර අයිතිවාසිකම් මහාන්ත් භුක්ති විඳි’ නමුදු එම අයිතිවාසිකම් ‘සම්පූර්ණ හිමිකම ඇඟවීමට සමත් හෝ විහාරස්ථානය ඇතුළත තමන්ට කැමැති දෙයක් කරන්නට තමා සතුව ඇතැයි මහාන්ත් පවසන අයිතිවාසිකම ඇතුළත් වන හෝ පරිපූර්ණ ලක්ෂණයක් සහිත ඒවා යැයි ඔවුන් නොසිතිය යුතුව තිබුණු’ බවය. මෙය ධර්මපාල ලැබූ අඩ ජයග්‍රහණයක් විය. එහෙත් ඉතාමත් ඉක්මනින්ම මහාන්ත් දිස්ත්‍රික් අධිකරණයට අභියාචනයක් ඉදිරිපත් කළේය.

බුද්ධගයා විහාරයේ සම්පූර්ණ පාලනය බෞද්ධයන් අතට ලබා ගැනීම පිණිස ධර්මපාල ස්වකීය ව්‍යාපාරය දිගටම කරගෙන ගියේය. 1922 දී ඉන්දියානු ජාතික කොංග්‍රසයේ වාර්ෂික සැසිය ගයාවේදී පැවැත්වුණු අතර මෙම ගැටලුවට ස්ථිරසාර විසැඳුමක් ලබා දෙන ලෙසට ගාන්ධි වෙත අභියාචනයක් ඉදිරිපත් කෙරිණි. බුද්ධගයාවේ මහාබෝධි විහාරයේ පාලනය සියතට ගැනීම සම්බන්ධයෙන් 1922 දී ඔහු ගාන්ධි මත බලාපොරොත්තු තබා සිටි නමුදු ගාන්ධි කර තිබූ එකම දෙය වූයේ එම වගකීම බිහාරයෙන් පැමිණි ඔහුගේ විශ්වාසවන්ත සඟයා වූ රාජේන්ද්‍ර ප්‍රසාද් වෙත පැවැරීමයි. 1933 අප්‍රේල් මාසයේදී ධර්මපාල අභාවප්‍රාප්ත වූයේය. එහෙත් අභාවප්‍රාප්ත වීමට පෙර ඔහු සාර්නාත් විහාරය සම්පූර්ණයෙන්ම පිළිසකර කරවූ අතර ඉන්දියාවේ බ්‍රාහ්මණයකු ලෙස යළි උපදින්නට තමන් කැමැති යැයි ප්‍රාර්ථනාවක්ද කළේය.

Comments