උ/පෙළ ප්‍රතිඵල අගෝස්තුවේ | සිළුමිණ

උ/පෙළ ප්‍රතිඵල අගෝස්තුවේ

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල ලබන අගෝස්තු මාසයේදී නිකුත් කරන බව විභාග කොමසාරිස් ජනරාල් එච්.ජේ.එම්.සී. අමිත් ජයසුන්දර මහතා එම දෙපාර්තමේන්තුවේ පැවැති මාධ්‍ය හමුවකදී ඊයේ (30) පැවසීය.
 
මේ වන විට උසස් පෙළ 2022 විභාගයේ පිළිතුරු පත්‍ර ඇගැයීමේ කටයුතු සාර්ථකව සිදු වන බව ද විද්‍යා විෂයන්ගේ පිළිතුරු පත්‍ර ඇගැයීම් ජුනි මස මැදදී ආරම්භ කරන බව ද ජයසුන්දර මහතා කීවේය. උසස් පෙළ උත්තර පත්‍ර ඇගැයීමේ ක්‍රියාවලියට සම්බන්ධ වූවන්ට ලබා දෙන අත්තිකාරම් මුදල්වල කිසිදු කප්පාදුවක් සිදුකොට නැතැයි ද මෙහිදී ඒ මහතා අවධාරණය කළේය.
 
ඇගැයීම් කටයුතුවලට සම්බන්ධ වූ පිරිසට ගෙවනු ලබන අත්තිකාරම් දීමනාව අඩුකොට ඇතැයි නැඟෙන චෝදනාව බැහැර කරන කොමසාරිස් ජනරාල්වරයා ඔවුන්ට රුපියල් 10,000ක මුදලක් අත්තිකාරම් ලෙස ලබා දීමට පියවර ගෙන ඇතැයි ද කීය.
 
මීට ප්‍රථම විභාග උත්තර පත්‍ර ඇගැයීමේදී රුපියල් 5000ක දීමනාවක් ලබා දී තිබෙන බව සිහිපත් කළ අමිත් ජයසුන්දර මහතා එය කාලීන වශයෙන් ප්‍රමාණවත් නොවන නිසා උත්තර පත්‍ර ඇගැයූ දින පහකට දිනකට රුපියල් 2000 බැගින් රුපියල් 10,000ක් දීමට තමා පියවර ගත් බව ද කීය.
 
උත්තර පත්‍ර ඇගැයීමේදී කිලෝමීටර 80ක දුරක සිට පැමිණෙන්නේ නම් රුපියල් 2000ක් ද දුර ප්‍රමාණය කිලෝමීටර 81කට වැඩි නම් රුපියල් 2900ක දීමනාවක් ද ගෙවනු ලැබේ. උත්තර පත්‍ර බලන්නන්ට දිනකට රුපියල් 2000ක සංයුක්ත දීමනාවක් ද ගෙවීමට අධ්‍යාපන ඇමැතිවරයා ලෙස සුසිල් ප්‍රේමජයන්ත මහතා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ යෝජනාවකට අනුමැතිය ලැබී එය මේ වන විට ක්‍රියාත්මක වන බව ද කීය.
 
මෙවැනි මුදල් ගෙවීමේදී විභාග දෙපාර්තමේන්තු පාර්ශ්වයෙන් කිසිදු ප්‍රමාදයක් සිදු නොවන බව ද වසරේ දින 365 තම දෙපාර්තමේන්තුවේ නිලධාරින් ඉතා කැපවීමෙන් උනන්දුවෙන් සේවය කරන බව ද සිහිපත් කළ කොමසාරිස් ජනරාල්වරයා මේ සම්බන්ධයෙන් නැඟෙන චෝදනා ප්‍රතික්ෂේප කරන බව ද සඳහන් කළේය.
 
මේ වසරේ පෙබරවාරි මාසයේ ආරම්භ වූ උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල මේ වනතුරු ලබා දීමට නොහැකි වී තිබෙනුයේ උත්තර පත්‍ර ඇගැයීම් සම්බන්ධයෙන් වූ කරුණු කාරණා නිසා බව කී ජනරාල්වරයා, ඒවා මේ වන විට සමනය කර ගනිමින් එම කටයුතු නැවත ආරම්භ වී තිබෙන නිසා ලබන අගෝස්තු මාසය වන විට එම ප්‍රතිඵල නිකුත් කිරීමට හැකිවනු ඇති බවත් කීවේය.

Comments