ඩෙංගු අධි අවදානම් කලාප 61ක් | සිළුමිණ

ඩෙංගු අධි අවදානම් කලාප 61ක්

ඩෙංගු අධි අවදානම් තත්ත්වය පිළිබද ජනතාව දැඩි අවධානයක් යොමු කළ යුතු බව සෞඛ්‍ය අංශ අවධාරණය කරයි. 
 
පසුගිය දිනවල පැවති වැසි සහිත අයහපත් කාලගුණයත් සමග ඩෙංගු මදුරු ව්‍යාප්තිය ශීඝ්‍රයෙන් ඉහළ ගිය අතර ඒ හේතුවෙන් ඩෙංගු රෝගීන් වාර්තා වීමේ ඉහළ ප්‍රවණතාවක් දක්නට ලැබේ. නගර ආශ්‍රිත ප්‍රදේශවල එම තත්ත්වය බහුල වශයෙන් දක්නට ලැබුණු බව සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි. 
 
මේ වනවිට වැඩිම රෝගීන් සංඛ්‍යාවක් ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී තිබේ. එම සංඛ්‍යාව 8,540කි.  එමෙන්ම කොළඹ දිස්ත්‍රික්කයෙන් රෝගීන් 8,041දෙනෙකු හා කළුතර දිස්ත්‍රික්කයෙන් රෝගීන් 2,365 දෙනෙකු වාර්තා වී තිබේ. පුත්තලම දිස්ත්‍රික්කයෙන් හදුනාගෙන ඇති රෝගීන් සංඛ්‍යාව 2,539කි. මඩකලපු දිස්ත්‍රික්කයෙන් ද රෝගීන් 1,601 දෙනෙකු හදුනාගෙන ඇත.  
 
ත්‍රිකුණාමලයෙන් ඩෙංගු රෝගීන් 1,531 දෙනෙකු වාර්තා වී ඇති බව ඩෙංගු මර්දන ඒකකය සදහන් කළේය.
 
එමෙන්ම අධි අවදානම් සහිත සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී බල ප්‍රදේශ 61ක් හදුනාගෙන තිබේ.
 
මෙම සියලු දත්ත අනුව ඩෙංගු අවදානම් තත්ත්වය තවදුරටත් ඉහළ ගොස් ඇති බවත් ඒ සම්බන්ධයෙන් ජනතාව මෙන්ම සියලු වගකිවයුතු අංශ දැඩි අවධානයක් යොමු කිරිම අත්‍යවශ්‍ය බවත් සෞඛ්‍ය අමාත්‍යාංශය අවධාරණය කරයි.

Comments