විපර්යාසය | සිළුමිණ

විපර්යාසය

රකතනයට පිළිතුරු දෙනු වෙනුවට සියල්ල අසා සිටි නාලිකා දුරකතනය අසල ඇති කවිච්චිය මත වාඩි වුණාය. තවමත් ඇය අත ඇති රිසීවරය කනට ළං කොට යළි ඒ සැණින් එය දුරකතනය මතටම "දඩස්" ගා අත හැරියාය. අකුණු සැරයක් වැදුණාක් මෙන් ගල් ගැසුණු ඈ දෙස බැලීමටවත් කිසිවෙක් නි‍ෙවසේ නැත. දියණිය අතිරේක පන්තියකට සහභාගී වීමට ගොස් ඇත. ඈ රියැදුරු හා පිටත් වෙද්දීම අතවැසි කරුණාහාමි ද පොළට යනු වස් එම රියටම ගොඩවෙනු නාලිකා දුටුවාය.

නාලිකාගේ මුළු සිරුරම දහදියෙන් තෙත්ව ඇත. දැඩි පිපාසයක් දැනේ. කෑම මේසය අසලට යෑමටවත් දෙපා පණ තිබේදැයි යන සැකයෙන් ඈ බිත්තිය අල්ලමින් එදෙසට ඇදුණාය. එක හුස්මට වතුර වීදුරුවක් බී වට පිට බැලුවාය. මේ නිවෙසට ගොඩ වැදෙන්නෙකුට සියලු සිරි සැප මෙහි ඇති වගට බොහෝ සාක්ෂි ඇත. තමාගේ කුඩා නිවෙස ඇයට මැවී පෙනෙන්නට විය.

නියර දිගේ තම නි‍ෙවසට ගොඩවන කමලදාස ගමේ වැඩිමහල් මිනිසෙකි. තරුණ විය පසු කරන්නට මැදිවියට පා තබන්නට සැරසෙන කමලදාස බැලූ බැල්මට ඒ වගක් නොපෙන්වන්නෙකි. ගෙපිලේ වාඩිවන කමලදාස සමඟ දොඩමළුවන්නට කුඩා කල සිටම නාලිකා උනන්දු වූවාය. පියා අහිමි වූ දා සිටම ජීවන බර කරට ගත් කමලදාස කුලියක් මලියක් කර දවස සරි කර ගත්තේය.

මේ අතර වීදුරු කොම්පැණියේ වැඩට ගිය ඔහු වටා විශාල පිරිසක් එක් රොක් වන්නට විය. කතාවට දක්ෂයෙකු වූ කමලදාස නිතර සිනහවෙන් කල් ගත කළේය. ඔහුගේ ජනප්‍රියත්වයට එයම හේතු විය. ගම්මාන හයක පමණ පිරිසක් අතර සබඳතා පැවැත්වීමට කමලදාසට හැකි විය.

ඉගෙනුමට එතරම් සාමාර්ථයක් නොපෙන්වූ නාලිකා සාමාන්‍ය පෙළ විභාගයෙන් පසුව නි‍ෙවසේ නතර වූවාය. ඒ වන විටත් කමලදාසත් නාලිකාත් එකිනෙකා හොඳින් දැන හඳුනාගෙන සිටියහ.

"ඕකා ඉබාගාතෙ යන එකා. වීදුරු ෆැක්ටරිය අකුලගෙන ගිය දාට ඔය චණ්ඩියා වීදුරුවක් බිම වැටුණ ගානයි. ඉන්න හිටින්න තැනක් නැති එකා.... ඇරත් මේකිට මොන වයසක්ද?" ඒ තාත්තාගේ විරෝධයයි.

"මේකි මැරෙන්න හදනවා ඌ මත්තෙම. කැමැත්ත නොදුන්නත් ඌත් එක්කම යනවාය කියන්නෙ." ඒ අම්මාගේ මැදිහත්වීමය.

"පලච්චදෙන්. පලච්චදෙන්. මකබෑවිලාම පලච්චදෙන් මගේ මිනිය උඩින්." ඒ තාත්තාගේ ගෝරනාඩුවයි.

"මේකි අඩු වයස්කාරි වග ඇත්ත. ඒත් කමලදාස මේකිට වඩා අවුරුදු දහයක් දොළහක් විතර වැඩිමලා වෙච්චි, සමාජෙ ගැන, රට තොට ගැන දැනුම් තේරුම් ඇත්තා. ඔය පැක්ටේරියෙ උන් කරේ තියාගෙන ඉන්නෙ." අම්මා පවසන්නේ සියල්ල සාධාරණය කරන්නට මෙනි.

අවසන අම්මා මැදිහත්ව සියල්ල සන්සුන් කළ හැටිත් අකමැත්තෙන් වුවත් තම එකම දියණියගේ කැමැත්තට කමලදාස හා අතිනත ගන්නට තාත්තා තමාට අවසර දුන් හැටිත් ඈ සිහිපත් කළාය.

විවාහයෙන් පසුව කුලී ගෙදරක පදිංචියට ගිය නාලිකා නිවෙසට ඇවැසි දේ අරපිරිමැස්මෙන් යුතුව එක් රැස් කර ගත්තාය. කමලදාස දෙන පඩිපත සකසුරුවමට වියදම් කර ඉන් අඩක් කෙසේ හෝ කමලදාසට හොරා ඉතිරි කර ගත් ඈ වසර දෙක තුනක් තුළ ඉඩම් කැබැල්ලක් නගරයෙන්ම මිලදී ගැනීමට අත්තිකාරම් බැන්ඳාය. ඉතිරිය ණය මුදලකින් පියවා ගැනීමට කමලදාස සමත් විය.

"මේ දවස්වල ෆැක්ටරියෙ යුද්දෙ වාගෙ."

"ඇයි?"

"ලබන සතියෙ ෆැක්ටරි ඔක්කොගෙම අයිතිකාර සුද්දා එනවාලු මෙහෙ ෆැක්ටරිය බලන්න."

"ඉඳා."

"මේ පාර අමුතුම වැඩක් කොරවනාය කියන්නෙ."

"ඒ මොකක්ද?"

"ඡන්දයක් තියලා ෆැක්ටරියෙ වැඩ කරන අය අතරින් එක් කෙනෙක් අධ්‍යක්ෂ මණ්ඩලයට ගන්නවාලු, ලොක්කොත් එක්ක හරි හරියට වැඩ කරන්න."

"හැබෑටම"

"හ්ම්, දැන් ලෝකෙ ට්‍රෙන්ඩ් එක එහෙමලු. පහළ ඉන්න අය ගාවලු හොඳ අදහස් තියෙන්නෙ."

"පුදුමයි."

"හ්ම්.... කොල්ලො මට කැමැතියි. උන් මාවම පත් කරන්නයි කල්පනාව."

"හප්පේ, එතකොට."

"එතකොට ඉතින් කුලී ගෙයින් යන්න වෙනවා ක්වාටස් එකට. බාගදා වාහනයකුත් හම්බ වෙයි."

"ඉතින් ඔයාට වාහන පදින්න ඇහැකියැ."

"මේ දවස්වල කෝකටත් ඔය වාහන වැඩේ නම් ඩිංග ඩිංග හොරෙන් පුරුදුවේගෙන යනවා."

නාලිකා සිහින වැලක හිමිකාරියක් වූවාය. ඉස්සර වත්තේ ලොකු මහත්තයා සමඟ වලව්වේ හාමු ජීප් රියේ ඉදිරි ආසනයේ උජාරුවට වට පිට බලමින් යන හැටි ඇයට මැවී පෙනෙන්නට විය.

කමලදාස ටික ටික ඉහළටම ආවේය. වැටුපෙන්, ඇඳුමෙන්, සමාජ තත්ත්වයෙන් කතා බහෙන් ඉහළටම ගියේය. වෙනදාට වඩා කමලදාසගේ ගමන බර විය. පොළොවට දැනෙන්නට බර අඩි තබමින් කඳ ඉදිරියට දමමින් යන කමලදාස ගැන ආඩම්බරයක් ඇයට දැනෙන්නට විය.

"එහෙන් කෑම හම්බ වෙනවා. ඇරත් මේ බත් මුල එතන දිග ඇරගෙන කන්නත් බෑ. ඔයා නිදාගන්න නාලිකා. උයන්න ඕනෙ නෑ."

පාන්දර අවදි වී කමලදාස වෙනුවෙන් විවිධ කෑම උයන්නට ඉන් සතුටක් ලබන්නට හුරු වූ ඇගේ සිත ඔද්දල්ව වැතිරිණි. කමලදාස පසුදාට අඳින ඇඳුම් පෙරදා මැද පිළියෙල කර තිබුණද දැන් දැන් උදේට ඒ පාටට ඔහු අකමැති වෙයි. ගෙදර සියලු කටයුතු පටලැවෙන්නට පටන් ගෙන ඇති බව පමණක් නාලිකාට දැනිණි. එහෙත් කුමන ආකාරයකටවත් කමලදාසගේ හිත නොරිදෙන්නට සියල්ල පිළිවෙළට කිරීමට ඈ උත්සාහ කළාය.

වැඩ ඇරී වේලාසන ගෙදර ඒමට හුරුවී සිටි කමලදාසට රෑ ඉංග්‍රීසි පන්තියකට යෑමට ගත් පසු ඔහුගේ දින චරියාව වෙනස් වන්නට විය.

"සුද්දො හරි හරියට කියන දේ මට යන්තමට තේරෙනවා. ඒත් ඒකට හරි උත්තරේ එවෙලෙම දීගන්න මට බෑ අප්පා. ඒත් මගෙ අදහස්වලට ගහන්න අදහස් සුද්ද ගාව නෑ. ඒත් මට ඒ ටික කියාගන්න බැරිකම හන්දා මං පස්සට ඇදෙනවා." ඉංග්‍රීසි ඉගෙන ගන්නට කමදාසට සිදු වූයේ එලෙසිනි.

ෆැක්ටේරියේ වැඩ වැඩිකමත් සාකච්ඡා නිතර පැවැත්වීමත් ඉංග්‍රීසි පන්තියත් නිසා විඩාපත්ව නිවෙසට පැමිණෙන කමලදාසට දියණිය හා කතා කිරීමටවත් වෙලාවක් නැත. ආ මොහොතේ පටන්ම දුරකතන ඇමතුම්ය. කලිසම් සාක්කු දෙකේ දුරකතන දෙකකි. එකක් නතරවන විට අනෙක නාද වෙයි. දිනක් දහවලෙහි නිවෙසට නව උපකරණ රැසක් එක් විය. නිවෙසේ තිබූ පරණ බඩු වෙනම වාහනයක පටවාගෙන යද්දී නවීන මාදිලියේ උපකරණ ගෙයි තැන තැන අල්ලා ගත්තේය. විවිධ විසිතුරු බඳුන්, විසිතුරු මාළු ටැංකි, බිතු සිතුවම් වැනි පින්තූර ආදිය බඩු ලොරියේ ආ තරුණයන් දෙදෙනා තමන්ට රිසි සේ තැබූහ.

නාලිකාගේ දෑතින් හැඩ ගැන්වූ මල්කම් කුෂන් කවර මල් බඳුන් ආදිය හිටි ගමන් ට්‍රැක්ටරයට පැන්නේය. තමාගේ යැයි කිසිවක් නැති විසිතුරු සාප්පුවක තමා තනි වී ඇතැයි නාලිකාට සිතුණි.

හවස නි‍ෙවසට ආ කමලදාස;

"අද නම් ගෙදර හැඩයි. හොඳ මනුස්ස වාසයක් වාගෙ පේනවා." යැයි කියමින් ඔබ මොබ ඇවිද්දේය.

ඊලඟ සතියේ තවත් ආගන්තුක පිරිසක් නි‍ෙවසට වැදුණි. රබර් අත් මේස් දාගත් කොට කලිසම් කාරයෝ පළමුවෙන්ම කළේ තමා ආදරයෙන් රැක බලාගත් සමන් පිච්ච පඳුර මුලින් ඇද උදුරා විසි කිරීමයි. ඊළඟට බාබන්ඩේසියා පාත්තිය.... ඩේලියා වැට, ඉද්ද පඳුර, රෝස පාත්තිය....

නාලිකා දුව විත් විසිකර දමා තිබූ මල් පැළ හැකි තාක් පිළිකන්නට ඇද දමා අපිළිවෙළට ඒවා ඉන්දෙව්වාය. කිසිවක් තමාගේ නොවේය යන සිතුවිල්ලෙන් මිදී මැදහත් සිතක් ඇති කරගන්නට උත්සාහ කරමින් කාමරයටම වී සිටින්නට ඈ අදිටන් කර ගත්තාය.

සවස මිදුලට ආ නාලිකා දුටුවේ මිදුලේ තිබූ සියලු දෑ උදුරා දමා ඇති බවයි. මුළු මිදුලම එකම පිට්ටනියකි. එහි කොහුබත් හා කොම්පෝස්ට් ගොඩවල් දෙකක් ගොඩගසා තිබුණි. පසුදා මිදුලට ආවේ තණකොළය. ඉතා ඉහළ මිලකට තණකොළ සහිත කාපට් වැනි රෝල් මාගල් සේ කොහුබත් මිශ්‍ර කොම්පෝස්ට් තට්ටුව උඩ ඇතිරිණි. පා තැබීමට කොන්ක්‍රීට් කැට තැනින් තැන යොදා ඇත. උදෑසන අවදිව කවියක් මුමුණමින් සුදු වැලි මිදුල පොල් අත්තක හැඩයට සීරුවට භාවනාවක් සේ අතු ගෑමට හුරු වූ දෑතට අවසන් වරට ඉදල හමුවිය. ඈ එය ගෙන කහල ගොඩටම දැම්මාය.

උදේම අවදිවන්නට, උයන්නට, පිසින්නට, රෙදි සෝදන්නට, වේලන්නට, පිටි ටිකක් කොටන්නට, හැන්දෑවට අළුවා කෑල්ලක් කපන්නට, පාට පාට හෙන්දිරික්කා මල් වට්ටියක්, සමන්පිච්ච මල් වට්ටියක් සකසාලන්නට ආදී මේ කිසිවක් අවශ්‍ය නොවීය. යන්ත්‍ර සූත්‍ර ඒ සියල්ල භාරගෙන ඇත. බුදු මැදුර දෙසට පා තබන විටම දොර ඇරේ. විදුලි බුබුළු දැල්වේ. පර නොවන අලංකාර විදුලි මල් පාට මාරු වෙමින් පිපේ. ඇවිදීමට වැඩ කිරීමට ඉන් තෘප්තිමත් වීමට හුරු වූ සිත සිරගත වී ඇත.

සති අන්තයේ පවුලේ වෛද්‍යවරයා පැමිණියේය. අලුත් නම්වලින් යුතු ලෙඩ රෝග රැසක් තමාට වැලඳී ඇති බව ඔහු නාලිකාට සෙමෙන් සෙමෙන් පැවසීය. නාලිකා ඉන් නම් කිහිපයක් අමාරුවෙන් මතක තබා ගත්තාය. ඩයබටික්, කොලෙස්ටරෝල්, ගැස්ට්‍රයිටිස්, ආතරයිටිස්, ප්‍රෙෂර්.....

තම ජීවිතය බෙහෙත් පෙති ගොන්නකට උකස් කර ඇත. කමලදාසට මේවා ගැන සොයා බැලීමට තබා කතා කරන්නට පවා විවේකයක් නැත.

"රට යන්නයි ඉන්නේ. මාසයක් දෙකක් එහේ ඉන්න වෙයි, මයෙ හිතේ." කමලදාස කීවේ නිෙවසින් පිටත්ව යන ගමන්ය.

නාලිකාට වසර කිහිපයක සිටම දඹදිව යෑමේ ආශාවක් තිබුණි. රට යනවාය කියන්නේ ලොකුම සිහිනයක් සැබෑ වීමකි.

"යනකොට ඔසරියක් අඳිනවා. ක්‍රීම් පාට චාම් ඔසරියක්. දුවට නම් තව ඇඳුම් දෙක තුනක් ගන්න වෙයි." නාලිකාට සිතුණි. ගමන් මලු තුනක්...රෙදි පෙරෙදි අහුරා සකස් කර ගත යුතුය. ඈ නගරයට ගොස් තල්ලු කරගෙන යා හැකි රෝද සහිත උසස් වර්ගයේ ගමන් මලු තුනක්ම මිලදී ගත්තාය. ඒවා ගෙනා ගමන්ම විසිත්ත කාමරයේය. මේ අතර කමලදාස ගෙට ගොඩ විය.

"මේ මොකද බෑග් ගොඩ ගහගෙන?"

"ඇයි කමලදාස? අපි තුන්දෙනාගෙ බඩු."

"කවුද කියන්නේ තුන් දෙනෙක් කියලා. යන්නේ දෙන්නයි."

"දෙන්නයි, එතකොට දුව?"

"දුවටයි ඔයාටයි ගෙදර ඉන්න වෙනවා."

"එතකොට...."

"ඒවයේ ගෙහුන් සිංහලෙන් කතා කොරන්න අය නෑ. මං ඔයාට කියන්නමයි හිටියේ. ඒත් මං ඒක අපේ ලෝයර්ටම කිව්වා."

කමලදාසගේ නීතිඥයා කීමට අරඇන්ද වැදගත් පණිවුඩය යළි යළි නාලිකාට ඇසෙන්නට විය.

"හෙලෝ..."

"හලෝ"

"මිසිස් කමලදාසද?"

"ඔව්, කතා කරනවා."

"මිසිස් කමලදාස, මං ඔයාලගේ ළඟම හිතවතා පවුලේ නීතිඥයා. මං මනෝදාස්."

"ඔව්, මනෝදාස් මහත්තයා, කියන්න."

"මිසිස් කමලදාස, මං මේ කියන දේ හෙමින් සැරේ තේරුම් ගන්න. ඔයා නිකන්ම නිකන් කෙනෙක් නෙමේ. හරිම වැදගත් බුද්ධිමත් කාන්තාවක්. මේ වෙලාවෙ ඔයා ඉවසීමෙන් කටයුතු කරන්න ඕනේ."

"ඉතින් මනෝදාස් මහත්තයා මොකක්ද වෙලා තියෙන්නේ?"

"නෑ, නෑ, කලබලවෙන්න දෙයක් නෙමෙයි. ඔයා වාගෙ බුද්ධිමත් කෙනෙක් කලබල වෙන්නෙ නැති වග මං හොඳටම දන්නවා. මිස්ට කමලදාස කියන්නෙ අද මේ රටේ ඉන්න ඉහළම විධායක නිලධාරියෙක්. මේ රටේ සම්පතක්. මේ රට නියෝජනය කිරීමට පවා යන නායකයෙක්. එහෙම කෙනෙකුගේ බිරියකට භාෂා කිහිපයක්ම කතා කරන්න පුළුවන් වෙන්න ඕනෑ. නවීන පන්නයට වැඩ කරන්නත් වෙනවානෙ. ඒ නිසාම මිස්ට කමලදාස තීරණයක් ගත්තා. ඉතින් පවුලේ නීතිඥයා විදියට මට ඒ තීරණය ගැන ඔබතුමියට කරුණු පැහැදිලි කර දෙන්න වෙනවා."

ලෝකය අධිවේගයකින් කැරකෙන්නට පටන්ගෙන තිබෙන බව නාලිකාට දැනෙන්නට විය. මනෝදාස් තම වගකීම ඉටු කරමින් සිටී.

"දැනටමත් මේ ගේත්, වත්තත් සින්නක්කරේටම ඔබතුමියට ලියලයි තියෙන්නේ. ළඟදි ගත්ත තේ ඉඩම අර මතුගම ඉඩම අන්න ඒක දුවගෙ නමටම ලීවා. මිස්ට කමලදාස අලුතෙන් ගෙයක් ගත්තා කොළඹින්. දැන් ඉතින් මිස්ට කමලදාස වෙනුවෙන් උදව්වක් කරන්නම වෙනවා. හෙට උදේ අට වෙනකොට වාහනයක් ගෙදරටම ඒවි. ඒ වාහනයෙන් උසාවියට එන්න, චාම් ඇඳුමකින්. දන්නවනේ උසාවියට එන හැටි."

"උසාවියට?"

"මිසිස් කමලදාස මහන්සි වෙන්න අවශ්‍ය නැහැ. පළවෙනි සැරේටම දික්කසාද වෙන්න කැමැතියි කියන වචනෙ විතරක් කියන්න. වෙන මොකුත්ම කියන්න අවශ්‍ය නැහැ. වැඩිපුර උපදෙස් දෙන්න මං හවසට එනවා. කරුණාකර මධ්‍යස්ථව හිතන්න. අන්තගාමී වෙන්න එපා. කලබල වෙලා මේ රටක් වටින මනුස්සයව අපහසුතාවයට පත් කරන්න එපා. අපි මේ හැමදේම කරන්නේ මිස්ට කමලදාසගෙ අනාගත දියුණුව වෙනුවෙන්නෙ. හිත සන්සුන් කරගන්න. මේ පරිත්‍යාගය ඉතාම වටිනවා. ඔව් ඒ පරිත්‍යාගය මිසිස් කමලදාස කොහොම හරි කරන බව මං දන්නවා. ඔව් කොහොම හරි කරන්නම වෙනවා."

හිත සන්සුන් කරගෙන ඇස් දෙකෙන් එකක් ගලවන්න හිත හදාගන්න තමන්ට පුළුවන්ද? නාලිකා දිග සුසුමක් වා තලයට මුදා හැරියාය.

වචන 1,500කට නොවැඩි

ඔබේ කෙටිකතාව

සිළුමිණ, ලේක්හවුස්, කොළඹ

යන ලිපිනයට යොමු කරන්න.

Comments