පොසොන් ධර්ම රශ්මියෙන් පිබිදෙන රූකඩ කලාව | Page 6 | සිළුමිණ

පොසොන් ධර්ම රශ්මියෙන් පිබිදෙන රූකඩ කලාව

රාජ්‍ය පොසොන් උත්සවයට සමගාමීව 'ධර්ම රශ්මි' පොසොන් කලාපය මෙවර හෝමාගම පිටිපනදී උත්සවාකාරයෙන් සැමරීමට මේ වන විට සියලු කටයුතු සූදානමින් පවතී. කොවිඩ් වසංගතය හා ඒ සමඟම පැමිණි ආර්ථික අර්බුදය හේතුවෙන් පසුගිය වසර තුනක කාලය තුළ බෞද්ධයන්ගේ උතුම් මංගල්‍යයවන වෙසක් උත්සවය සහ පොසොන් උත්සවය පැවැත් වීමට හැකි පරිසරයක් උදා වී නොතිබුණි. වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහයන්ගේ මනා රාජ්‍ය කළමනාකාරීත්වය හා දූරදර්ශී ක්‍රියාමාර්ග හේතුවෙන් මේ වසරේ සියලු බෞද්ධයන්ට සිත් සේ මෙම උත්සව සැමරීමට වරම් හිමිව තිබේ. 

ඒ අනුව එළඹෙන පොසොන් පෝය නිමිති කරගනිමින් ප්‍රවාහන මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධනයන්ගේ උපදෙස් යටතේ ‘ධර්ම රශ්මි’ පොසොන් කලාපය කිලෝමීටර දහයක වපසරියක් ආවරණය වන පරිදි හෝමාගම පිටිපන ප්‍රදේශයේදී පැවැත්වේ. ජුනි මස 3, 4 හා 5 යන තෙදින පුරා අදියර තුනක් ඔස්සේ එය පැවැත්වීමට නියමිත අතර, NSBM හරිත විශ්වවිද්‍යාලය පරිශ්‍රයේදී පාරම්පරික කලාවක් වූ රූකඩ සංදර්ශන දිනකට දර්ශන වාර දෙක බැගින් රඟ දැක්වීමට නියමිතය. අභාවයට යමින් තිබෙන රූකඩ කලාව දූ දරුවන්ට දැක බලාගැනීමේ මහඟු අවස්ථාවක් මෙහිදී උදා වේ. මෙම රූකඩ සංදර්ශනය පවත්වන්නේ රූකඩ ශිල්පී එල්.පී බන්දුල ප්‍රමුඛ ජයන්ති රූකඩ සංගමය මඟිනි.

පාරම්පරික රූකඩ ශිල්පියකු වූ එල්.පී ගෝමස්ට හා ජී. සොමලින්ට දාව 1957 ඔක්තෝබර් මස 07 වැනිදා එල්.පී. බන්දුල උපන්නේ අම්බලන්ගොඩ නුදුරු කන්දෙගොඩ ග්‍රාමයේදීය. අට දෙනකුගෙන් යුතු පවුලේ පිරිමි දරුවන් පස්දෙනාගෙන් වැඩිමලා වූයේ බන්දුලය. ඔහුගේ පවුලේ සිවු දෙනකුම රූකඩ කලාවට යොමු විය. බන්දුල අම්බලන්ගොඩ කනිෂ්ඨ විද්‍යාලයෙන් මුලකුරු කියවුවද කිසිදු අකුරක් කියවීමට හෝ ලිවීමට නොහැකි විය. ඔහුගේ සිහින තුළ තිබුණේ වෙනස්ම වූ සුන්දර ලෝකයකි. ගුරුවරුන්ගෙන් ගුටි කෑමට ඔහු මහත් සේ බිය විය. පසුව කන්දෙගොඩ පාසලට ඇතුළත් වූ බන්දුලට වසර පහක පමණ කාලයක් පාසල් ගියද අයනු ආයනු කීයා ගැනීමටවත් නොහැකි විය. එහිදී සිය මව මෙන් ඔහුට ලැදියාව දැක් වූ ගුරුවරියක හමු වූයෙන් ඔහුට මුලකුරු කියවා යමක් තේරුම් ගැනීමටත් ලිවීමටත් හැකියාව ලැබිණ. ඊට ගුරුවරියගේ මෙන්ම විදුහල්පතිවරයාගේ දායකත්වය ද නොඅඩුව හිමිව තිබුණි.

ඔය කාලයේ බන්දුල පවුල රූකඩවලට ප්‍රචලිත ගම් පියසක් වූ අම්බලන්ගොඩ කන්දෙගොඩ බෝගහවත්ත ග්‍රාමයේ පදිංචියට පැමිණියෝය. එහිදී අම්බලන්ගොඩ රූකඩ කලාවේ ආරම්භකයා වූ පොඩි සිරිනා ගුරුන්නාන්සේගේ පුත්‍රයා මෙන්ම ප්‍රධාන ගෝලයා වූ ගම්වාරි ඩැනියෙල් යටතේ හැදී වැඩීමට බන්දුලට අවස්ථාව උදාවිය. හෙතෙම දැන සිටි සියලු ශාස්ත්‍රය බන්දුලට ඉගැන්වීය. මේ නිසා රූකඩ ඇඹීමට, ඇඳුම් ආයිත්තම් නිර්මාණය කිරීමට හා රූකඩ නැටවීමට හා දෙබස් හැසිරවීමට ද බන්දුල සමත් විය. පියාගේ රූකඩ හැඩ වූයේ ද බන්දුලගේ ඇඳුම් ආයිත්තම්වලිනි. පියාගේ ගුරුවරයා වූයේ සෝමලින්ගේ ඥාතියකු වූ ජයනේරිස් ගුරුන්නාන්සේය. ඔහු ද බන්දුලට ගුරුහරුකම් ලබා දුන්නේය. "මම කලාවට නැඹුරු වුණේ අපි ජීවත් වුණු ස්වභාවික පරිසරය නිසා. බඩවැටි, ගල්වැටි, වෙල් ඉපනැල්ලේ දුව පැනලා හිටපු මට ස්වභාවික පරිසරය ගෙන ආවේ අමුතුම හැඟීම් සමුදායක්. ඒකෙන් තමයි මම කලාවට නැඹුරු වුණේ." 

බන්දුලගේ ජීවිතයේ බොහෝ වෙනස්කම් සිදු වූයේ 1975 වසරේදීය. ඒ බන්දුලගේ පියා වූ එල්.පී ගෝමස් ප්‍රමුඛ රූකඩ කණ්ඩායමට ජනාධිපති සම්මාන හිමි වීමත් සමඟ ඔවුන් පදිංචිව සිටි අම්බලන්ගොඩ අතහැර ගම්පහට පැමිණිමත් සමඟය. ගම්පහට පැමිණි පවුලේ සියලු දෙනා එක්ව රූකඩ කලාව පවත්වාගෙන ගියේය. බන්දුල සහ ඔහුගේ සොහොයුරන් තිදෙනකුද රූකඩ කලාව සිය ජීවන වෘත්තිය කර ගත්තෝය.

රණසිංහ ප්‍රේමදාස අග්‍රාමාත්‍යවරයාගේ උදාගම් වැඩ සටහන යටතේ ජනකලාවන් ඉදිරිපත් කිරීමට වෙනමම වේදිකාවක් නිර්මාණය වූ අතර, ඒ හේතුවෙන් රූකඩ ශිල්පීන් කාර්යබහුල විය. විවිධ ගම්මානවලට ගොස් රූකඩ පෙන්වීමට ඉන් අවස්ථාව උදා වූ අතර අතමිට ද සරුවිය. පසුකාලීනව ටෙලිවිෂන් මාධ්‍යය වඩාත් ජනතා ආකර්ෂණය දිනා ගැනීමත් සමඟ මෙම සජීවී කලාව රූපවාහිනි මාධ්‍යයෙන් පෙන්වීමට ඔවුන්ට සිදු විය. ඒවා වැඩසටහන් කිහිපයකට පමණක් සීමා වූ අතර ඉතාම දුෂ්කර කාලයක් උදාවිය. ජීවත් වීම සඳහා ඉඳ හිට රූකඩ පෙන්වීමෙන් ලැබෙන සොච්චම ප්‍රමාණවත් නොවීය. මේ නිසා විදෙස්ගතව රැකියාවක් කර කිසියම් මුදලක් හරි හම්බකරගෙන මේ කලාව පවත්වාගෙන ඒමට බන්දුල සිහින මැව්වේය.

" මම මැදපෙරදිග යන්න ලෑස්තිවෙලා හිටියේ. ඒ සඳහා මට ශිෂ්‍යත්වයකුත් ලැබීමට නියමිතව තිබුණා. නමුත් ඒ ශිෂ්‍යත්වය වෙන කෙනෙකුටයි හිමි වුණේ. මට ඒක දරාගන්න බැරි වුණා. මම හුඟක් ආශාවෙන් හිටියේ දැනුම ලබාගෙන මේ කලාව තවදුරටත් ප්‍රගුණ කරන්න. නමුත් මේ සිදුවීමත් එක්ක මට මගේ ජීවිතේ මඟ ඇරුණා. මම කල්පනා කර කර ඉඳලම රෝගී තත්ත්වයට පත් වුණා. අදත් මා ස්නායු ආබාධයෙන් පෙළෙන රෝගියෙක්.

මං රූකඩ කලාවට ඇවිත් මේ ගෙවෙන්නේ 46 වැනි අවුරුද්ද. මට වේදිකා හදන්න, රූකඩ අඹන්න, ඇඳුම් ආයිත්තම් සකස් කරන්න, රූකඩ නටවන්න, දෙබස් කියන්න, සිංදු කියන්න මේ ඔක්කොම දෙවල් කරන්න පුළුවන්. මම ශිල්පීන් බොහෝ දෙනකු පුහුණු කළා. ඒ අය අතර ගැහැනු පිරිමි දෙගොල්ලොම ඉන්නවා. මගේ ගෝලයෝ අද රටේ වගේම විදේශ රටවලත් හැමතැනම ඉන්නවා. ඒ ගැන මට නිහතමානී ආඩම්බරයක් හා සතුටක් තිබෙනවා. දකුණු ආසියාවේ තවමත් පවතින පැරණි සම්ප්‍රදායික කලාවන් ගැන අධ්‍යයනය කරන විදේශික කාන්තාවන් කිහිප දෙනකුටත් මම රූකඩ කලාව ඉගැන්නුවා. ඒ අය ආවේ මේවා ගැන ඉගෙන ගන්න. නමුත් එහෙම ඉගෙන ගන්න එන අයට මේ සම්ප්‍රදායික කලාවන් රස විඳින්න නිශ්චිත ස්ථානයක් නොමැතිකම ලොකු ගැටලුවක්. සංචාරක කර්මාන්තය ගැන කතා කළාට අපි තාම අපේ සම්ප්‍රදායික කලාවන් අලෙවි කරන තැනට ඇවිත් නැහැ. ඕනෑම කලාවක් පවතින්න නම් ඒ කලා ශිල්පියා රැකෙන්න ඕන. ඒ සඳහා ඔහුට හොඳ ආදායමක් ලැබෙන්න ඕනේ. ලෝකයේ අද මේ කලාව ගොඩක් දියුණු වෙලා තියෙනවා. අපිත් අපිට හැකි අයුරින් මේවා දියුණු කර තිබෙනවා. නමුත් ඒව තවදුරටත් කරන්න නම් අපට රජය හෝ පුද්ගලික අංශයේ සහාය අවශ්‍යයි. අපි අඹන රූකඩවලට හොඳ වෙළෙඳපොළක් තිබුණට මේවා අරන් ගිහින් විකුණ ගන්න නිශ්චිත වෙළෙඳ සැලක් නැහැ. ඒ නිසා අතරමැදියන් මාර්ගයෙන් තමයි අපට මේවා විකුණන්න වෙලා තියෙන්නේ. ඒ ලැබෙන සොච්චමෙන් තව රූකඩයක් හදා ගන්න වුණත් අමාරුයි. දැන් වෙල්කදුරු සොයා ගැනීමත් දුෂ්කරයි. ඒවා ගෙනත් දෙන අයත් ලොකු මුදලක් ගන්නවා. සායම්වලට ඇඳුම් ආයිත්තම්වලට විශාල මුදලක් වැය වෙනවා. ඒ සඳහා කිසියම් සහනයක් සලසා දෙනවා නම් මේ කර්මාන්තය ඉදිරියටත් රැකේවි. නැත්තම් නැත්තට නැතිවෙලා යාවි. රූකඩ කලාවට තියෙන ආශාව නිසාම අපි මේ ශිල්පය පවත්වාගෙන ගියාට අපේ දරුවො මේවට යොමු වෙන්නේ නැහැ. ඔවුන්ට මෙහි පවතින්න තරම් ආදායමක් නැහැ. ඒ අය වෙනත් රැකියාවලට යොමුවෙලා. මගෙන් පස්සේ මේ කලාව ඉදිරියට ගෙනියන්න මගේ පුතාවත් නැහැ. ඔහු ඡායාරූපකරණයේ නියැළෙනවා. 

විදේශිකයන් මේ රටට ආවම රූකඩ කලාව විතරක් නෙමෙයි වෙස් නැටුමක්වත් බලන්න තැනක් අපේ රටේ නැහැ. නමුත් වෙනත් රටවල ඒ ඒ රටවලට ආවේණික කලාවන් විදේශිකයන්ට නරඹන්න පුළුවන් කලාගාර ස්ථාපිත කර තිබෙනවා. ඒ නිසා විදේශිකයකුට ඕනෑම මොහොතක ඒ රටේ සාම්ප්‍රදායික කලාවන් රසවිඳින්න පුළුවන්. අපේ අසල්වැසි ඉන්දියාවේ පවා තත්ත්වය මේකයි. විදේශිකයකු පැමිණෙන විට සංචාරක පත්‍රිකාවක් ගුවන්තොටු පළේදිම ලබා දෙනවා. ඒ තුළ මේ දේවල් රසවිඳිය හැකි ස්ථාන මොනවද කියන දේ සඳහන් කර තිබෙනවා. ඒවායින් තමයි ඒ රටවල් විදේශ විනිමය විශාල ලෙස උපයා ගන්නේ. විදේශ කටයුතු අමාත්‍යාංශය සහ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය එකතු වෙලා මේ ගැන කටයුතු කළ යුතු බව මගේ අදහසයි."

ලීයෙන් කළ මානව හා සත්ත්ව රූප විචිත්‍රවත් ලෙස වර්ණ ගන්වා, ඇඳුම් ආයිත්තම් අන්දවා ශිල්පියකු විසින් නූල් ආධාරයෙන් කිසියම් අදහසක් සන්නිවේදනය වන පරිදි හැසිරවීම රූකඩයක ස්වභාවය වේ. මෙහිදී පිළිගත් නියමයන්ට අනුව සම්මත හැඩතල සිරස්ව සහ තිරස්ව හැසිරවීමට නූල් නවයක් යොදා ගනී. ආරම්භක අවධියේ රූකඩ හැසිරවීම සංකීර්ණ ක්‍රියාවක් වූ නමුත් 19 වැනි සියවසේදී මානව හැසිරීම් රටා අනුකරණය සඳහා නව තාක්ෂණික ක්‍රමවේදයක් බ්‍රිතාන්‍ය රූකඩ නිර්මාණකරුවකු වූ තෝමස් හොල්ඩන් විසින් හඳුන්වා දුන්නේය. මෙනිසා 20 සියවසේ දී බොහෝ මානව සහ සත්ත්ව ක්‍රියාකාරකම් අනුකරණය කිරීමේ හැකියාව නූල් රූකඩ කලාව අත්පත් කරගත්තේය. ‘දිත්තල කාලගෝල’, ‘අජාසත්ත’, ‘විදුර ජාතකය’, ‘වෙස්සන්තර සිරිත’, ‘සිරිසඟබෝ’, ‘අප්පු රජවීම’, ‘මාතලන්’, ‘කවට අන්දරේ’ මෙරට ප්‍රකට රූකඩ කිහිපයකි. රූකඩ ඇසුරින් තත්කාලීන දේශපාලනය හා සමාජ ගැටලු ඉදිරිපත් කිරීමට බන්දුල උපන් හපනෙකි. එල්.පී බන්දුල ප්‍රමුඛ ජයන්ති රූකඩ සංගමය දිනකට දර්ශන වාර දෙකක් පෙන්වීම සඳහා රුපියල් 65,000ක පමණ මුදලක් අය කරති.

සිංහල ගැමි නාටකය ලියන මහැදුරු සරච්චන්ද්‍රයෝ 'ලක්‌දිව රූකඩ නාට්‍ය කණ්‌ඩායම් පහක්‌ පමණ සිටිය බවත් ඔවුන් සියල්ලන්ම අම්බලන්ගොඩ ප්‍රදේශයට අයත් වූ බවත් පෙන්වා දී තිබේ.

අම්බලන්ගොඩින් බිහිවූ මුල්ම රූකඩ ශිල්පියා හෝ ශිල්පී පරපුර කවුදැයි යන්න නිශ්චිතව සඳහන් කළ නොහැකි වුවද රූකඩ කලාව පිළිබඳව පර්යේෂණ කළ ආචාර්ය ජයදේව තිලකසිරි මුල්ම රූකඩ ශිල්පීන් ලෙස හඳුවා දී ඇත්තේ සුරතන්, බාලයා හා පොඩිනේරිස්‌ ගුරුන්නාන්සේ යන තිදෙනාය. (The Puppet theatre of Asia ,1968,P.30) මෙම තිදෙනා සතුව රූකඩ විශාල ප්‍රමාණයක්‌ තිබී ඇත. පසුව එම සියල්ල පොඩිනේරිස්‌ ගුරුන්නාන්සේ අතට පත්වී තිබේ. ඉන්පසු ඔහුගේ ශිෂ්‍ය පරපුරට මෙය අයත් වී තිබේ. පසුව ඔවුනොවුන් තම දක්‍ෂතා හා හැකියාවන් ඊට එක්‌කරමින් රූකඩ කලාව වර්ධනය කර ඇත. පසුව පොඩිසිරිනා ගුරුන්නාන්සේගේ ශිෂ්‍යයන් අතර තරගකාරීත්වයක්‌ ඇතිවී දක්‍ෂ ශිෂ්‍යයෝ වෙන් වෙන් වශයෙන් රූකඩ කණ්‌ඩායම් ආරම්භ කර ඇත. මෙසේ වෙන්වී ගිය අය අතර ලව්නේරිස්‌, ජයනේරිස්‌, ඩැනියෙල්, හා ජේම්ස් යන සිවු දෙනා ප්‍රධානය.

ඒ කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් පවතින තවත් මතයක් වන්නේ කරුණාච්චිගේ දිසංචිනා සහ ගම්වාරි පුල්ලියා යන දෙමහල්ලන්ට දාව උපත ලැබූ ගම්වාරි පොඩිසිරිනා ගුරුන්නාන්සේ අම්බලන්ගොඩ රූකඩ නාට්‍ය කලාවේ ආරම්භකයා බවයි. මොහු ජීවත් වූයේ අම්බලන්ගොඩ කන්දෙගොඩ පාළු කුරුඳු වත්තේය. මෙම මතය ගත්තවුන් පවසන්නේ අම්බලන්ගොඩ කන්දෙගොඩ හා පරගහතොට යන ප්‍රදේශවල රූකඩ කැපීම විනෝදාංශයක්‌ ලෙස කරන්නවුන් සිටි බවත් ඒ අය එක්‌කරමින් රූකඩ නාට්‍ය කණ්‌ඩායමක්‌ ලෙසට සකස්‌ කිරීම කළ පළමු තැනැත්තා ගම්වාරි පොඩිසිරිනා ගුරුන්නාන්සේ බවයි. සාමාන්‍යයෙන් මේ එක්‌ රූකඩ කණ්‌ඩායමක ශිල්පීන් අටත් දහයත් අතර පිරිසක්‌ සිටිති. මෙයින් පස්‌දෙනෙක්‌ නූල් මඟින් රූකඩ ක්‍රියාත්මක කරන ස්‌ථිර සාමාජිකයෝ වූ අතර අනෙක්‌ පිරිස ගායකයන් වාදකයන් හා වේදිකා පරිපාලකයෝ ලෙස කටයුතු කළහ. 

නමුත් පොඩිසිරිනාගේ පියා සහ සීයා ද රූකඩ කලාකරුවන් වූ බවට තවත් මතයක් පවතී. ජයදේව තිලකසිරි සඳහන් කරන ආකාරයට පොඩිසිරිනාගෙන් පසුව මෙම කලාව පවත්වාගෙන ආ දෙදෙනා ලෙස ගම්වාරි පොඩිසිරිනා ගුරුන්නාන්සේගේ පුතුන් දෙදෙනකු ලෙස සඳහන් වනුයේ ද ගම්වාරි ඩැනියෙල් සහ ගම්වාරි ජේම්ස් යන දෙදෙනාය. බන්දුලගේ මුල් ගුරුවරයා වන්නේ දගම්වාරි ඩැනියෙල්ය. 1870 වර්ෂයෙහි ලංකාවට සැපත් වූ එඩින්බරෝ ආදිපාදවරයා ඉදිරියෙහි බගතලේ වලව්වේදී රූකඩ සංදර්ශනයක්‌ පෙන්වීමට ඉදිරිපත් වූයේ ද පොඩිසිරිනා ගුරුන්නාන්සේ බව පැවසේ. එහිදී ‘ඇහැලේපොල නාඩගම’ රූකඩ මඟින් පෙන්වූ බවත් ඉන් සතුටට පත් රාජ කුමාරයා රන් පදක්‌කමක්‌ හා මුදලින් රුපියල් 500ක මුදල් පරිත්‍යාගයක් ලබා දුන් බවද සඳහන්වේ. ඇසළ උත්සවයට සමගාමීව ‘ඇහැලේපොල නාඩගම’ වසර 19ක්‌ නොකඩවා රඟ දක්වා තිබේ. පොඩිසිරිනා ගුරුන්නාන්සේගේ සමකාලීනයන් ලෙස අම්බලන්ගොඩ කන්දෙගොඩ බබානිස්‌ ගුරුන්නාන්සේ, අම්බලන්ගොඩ බෝගහවත්තේ සුරතන් ගුරුන්නාන්සේ, අම්බලන්ගොඩ රන්දොඹේ බාප්පු ගුරුන්නාන්සේ යන රූකඩ ශිල්පීන්ගේ නම් සඳහන් වේ.

පොඩිසිරිනාගෙන් පසුව ඔහුගේ පුතුන් වන ගම්වාරි ඩැනියෙල් හා ගම්වාරි ජේමිස්‌ යන දෙදෙනා රූකඩ නාට්‍ය කලාවේ පුමුඛයෝ වූහ.

අම්බලන්ගොඩ මූලික කරගෙන ආරම්භ වූ මෙම කලාව වර්තමානය වන විට යට කී පරම්පරාවලින් පැවතගෙන එන ශිල්පීන් මෙන්ම මෙම පවුල්වලට විවාහ සම්බන්ධතා මඟින් සම්බන්ධ වූ පවුල්වල උදවියද ඔවුන්ගෙන් මෙම කලාව උගත් නවක ශිල්පීන්ද රූකඩ කලාවේ නියැළී සිටිති. මෙම කලා මාධ්‍යය සඳහා ශිල්පියාගේ පවුලේ සියලුම දෙනා සම්බන්ධ වී සිටීම විශේෂය.

1972 වසරේ යුනෙස්කෝ මහ සභාව ලෝක සංස්කෘතික සහ ස්වභාවික උරුමයන් සංරක්ෂණය සඳහා නව නීති සම්පාදනය කළේය. ඉන්පසු 2011 එය ක්‍රියාවට නඟමින් ලෝක උරුම 936ක් ප්‍රකාශයට පත් කළේය. රාජ්‍යයන් 153 කට අයත් භූ කලාපවල සංස්කෘතික උරුමයන් 725 ක්, ස්වභාවික උරුමයන් 183 ක් සහ මිශ්‍ර ස්ථාන 28 ක් ලෝක උරුමයන් යැයි නම් කළේය. තවද යුනෙස්කෝ භූගත සංස්කෘතික උරුමයන් රැකගැනීම වෙනුවෙන් ද නව නීති පනවා ඇත. ඒ අනුව ශ්‍රී ලාංකික නූල් රූකඩ නාට්‍ය කලාව ලෝක මානව අස්පර්ෂ සංස්කෘතික උරුමයක් ලෙස 2018 වසරේ දී යුනෙස්කෝ නියෝජිත ලේඛනයෙහි සටහන් වූ අතර 2020 වසරේ දී ලෝක සංස්කෘතික උරුමයක් ලෙස ප්‍රකාශයට පත්විය.

Comments