
මානව ඉතිහාසය පුරාම බල්ලා සහ මිනිසා අතර දැඩි සම්බන්ධයක් පැවැති අතර එය දඩයම් යුගයේ මෙන් ම එඪේර යුගයේ දී පවා දක්නට ලැබිණි. මේ සම්බන්ධය තුළින් උපන් අපූරු සංවේදී කතා බොහොමයක් තිබේ. ඒවා අතරින් ඇතැම් ඒවා චිත්‍රපටවලට පවා නැඟී ඇත. තම හාම්පුතා පැමිණෙන තුරු වසර ගණනාවක් ජපානයේ දුම්රිය ස්ථානයකට වී බලා සිටි හචිකෝ නම් බල්ලාගේ කතා පුවත ඊට එක් උදාහරණයකි. ටෝකියෝ විශ්වවිද්‍යාලයේ සේවය කළ හිඬේ සබාරු යුනෝ මහාචාර්යවරයා සිබූයා දුම්රිය ස්ථානයෙන් රැකියාව සඳහා පිටත්ව යද්දී ඔහු ඇරලවීමට දිනපතා පැමිණෙන හිචිකෝ නම් සුනඛයා යළි මහාචාර්වරයා සේවය නිමකර දුම්රියෙන් පැමිණෙන විට දුම්රිය ස්ථානයට ගොස් මඟ බලා සිටීමට අමතක නොකළේය. විශ්වවිද්‍යාලයේ දී හෘදයාබාධයකින් මහාචාර්යවරයා හදිසියේ මියගිය පසු හිචිකෝ මියයන තෙක්ම තම හාම්පුතා එනතුරු දුම්රිය ස්ථානයට වී බලා සිටියේය. මේ අපූරු සබඳකම සිහි ගන්වමින් ඉදි කළ හිචිකෝගේ පිළිරුවක් අද ද සිබූයා දුම්රිය ස්ථානයේ දක්නට ලැබේ.
මිනිසා සහ සුනඛයා අතර පවතින සියවස් ගණනක් පැරණි මේ නොබිඳෙන අපූරු සබඳතාව පිළිබඳව යළි කතා කරන්නට හේතු වූයේ ත්‍රිකුණාමලයේ සිට දින 09 ක් පුරා කිලෝ මීටර් 187 ක් දුර ගෙවා මහනුවරට පැමිණි අපූරු සුනඛයෙකු නිසාය. පෙර කළ අකුසලයක් නිසා තිරිසනෙකු ලෙස ඉපදුණද මතු භවයේදී හෝ තිරිසන් ආත්මයෙන් මිදී මිනිස් ආත්මයක් ලැබීමට පෙරුම් පුරන්නා සේ හැසිරීමක් කළ මේ සුනඛයා කොහේ කොතැන හැදී වැඩුණා දැයි නොදැන සිටි පාද චාරිකාවට එක්වූ පිරිස ඌට සරණ යැයි නම් තැබීය.
සියම් දේශයෙන් උපසම්පදාව රැගෙන විත් ලක්දිව යළි උපසම්පදාව පිහිටුවා වසර 270 ක් සපිරීම නිමිත්තෙන් තායිලන්තයේ සිට භික්ෂූන් වහන්සේ 48 නමක් සමඟ සැදැහැවතුන් කණ්ඩායමක් මෙරටට පැමිණියේ පසුගිය 12 දිනය. කීර්ති ශ්‍රී රාජසිංහ රජ දවස ප්‍රවර උපාලි තෙරණුන් ඇතුළු උපසම්පදාලාභී භික්ෂූන් කණ්ඩායමක් මුහුදු මාර්ගය ඔස්සේ පැමිණ ශ්‍රී ලංකාවට ගොඩබට ස්ථානයේ සිට මහනුවර මල්වතු අස්ගිරි උභය මහා විහාර දක්වා පාගමනින් වැඩම කිරීම ආරම්භ කළේ පසුගිය 14 වැනි දා ය.
කන්තලේ, හබරණ, දඹුල්ල, මාතලේ ඔස්සේ මහනුවර දක්වා පැමිණි මෙම පිරිස ගමන නිමා කළේ පසුගිය 23 දිනය. ආරම්භයේ සිටම පාද චාරිකාවට එක්වූ සරණ මල්වතු අස්ගිරි උභය මහා විහාර දක්වාම පැමිණ අවසානයේ නතර වූයේ මහවැලි රීච් තරු හෝටල් භූමියේ ය. ඒ තායි භික්ෂූන් වහන්සේ ඇතුළු කණ්ඩායම එහි නවාතැන් ගෙන සිටි නිසාය. පාද චාරිකාවේ පැමිණි සරණ සමඟ දඹුල්ලේ දී තවත් අමුත්තියක් ද එක් වුණාය. බැල්ලක වන ඇය මාතලේ දක්වා පාද චාරිකාවේ පැමිණ ගමනට සමු දී තිබේ.
උපසම්පදාව යළි ලක්දිව ස්ථාපිත කිරීම පිණිස සියම් දේශයෙන් ප්‍රවර උපාලි හිමි ඇතුළු කණ්ඩායමේ පැමිණීම සනිටුහන් කරමින් ත්‍රිකුණාමලයේ බෝ පැළ හරතක් එකම ස්ථානයක රෝපණය කර තිබෙනවා. මෙවර ලංකාවට පැමිණි තායිලන්ත භික්ෂූන් වහන්සේලා එම ස්ථානයේ සිට මහනුවර දක්වා පාද චාරිකාවේ නිතර වීමට අපේක්ෂා කළත් නොසිතූ ලෙස එක්තරා කණ්ඩායමක් ආගම් වාදයක් මතු කරමින් ඊට බාධා කළා. මේ නිසා මෙම පාද චාරිකාව බලාපොරොත්තු වූ ස්ථානයෙන් ආරම්භ කරන්න අපිට හැකියාවක් ලැබුණේ නැහැ. ඊට කිලෝ මීටර් කිහිපයක් ඔබ්බෙන් වූ හතරේ කණුව ප්‍රදේශයෙන් තමයි සැදැහැවතුන්ගේ ආශිර්වාද මධ්‍යයේ මේ ගමන ආරම්භ කළේ. එතැන් සිට මේ සුනඛයා අඛණ්ඩව මහනුවරට පැමිණ තිබෙනවා. පැමිණි පිරිස අතරමග විහාරස්ථාන ආදි ස්ථාන වල තමයි නවාතැන් ගත්තේ. ඒ සෑම ස්ථානයකම මෙයත් නතර වෙලා පහුවදා ගමන පිටත් වෙනකොට ඒ අයත් එක්කම ඇවිත් තියෙනවා.
මේ සතාගේ හැසිරීම බලනකොට එක්තරා ආකාරයක සංසාරගත පුරුද්දක්ද කියලා හිතෙනවා. මොකද මෙයා කිසි කෙනකුට අඩුම තරමේ ගොරවන්නේවත් නැහැ. ඕනෑම කෙනෙකුට හිස අතගාලා සුරතල් කරන්න පුළුවන්. තායිලන්ත භික්ෂූන් වහන්සේලා මේ සතා කෙරෙහි ලොකු ළෙන්ගතුකමක් ඇතිකර ගත්තා. ඒකට හේතුව මෙයාගේ හැසිරීම. භික්ෂූන් වහන්සේ කිහිප නමක් ඔවුන් ගේ රටට යෑම සඳහා මහනුවරින් පිටත් වෙත් දී මෙයාව ඉඹලා කඳුළු හැළුවා. අපේ පන්සලේ බල්ලෝ තුන්දෙනෙක් ඉන්නවා. කවුරුත් ගෙනිච්චේ නැත්නම් මම මෙයාව පන්සලේ තියාගන්න හිතුවා. ඒත් සංචාරක ක්ෂේත්‍රයට සම්බන්ධව කටයුතු කරන මේ පාද චාරිකාවට ද සම්බන්ධ වූ මහත්මයෙක් මෙයාව කොළඹ වත්තල ඒ මහත්තයාගේ නවාතැනට අරන් යන්න කැමැති වුණා. වෑන් එකකින් බල්ලෝ දෙන්නව අරන් යන්න රුපියල් 28000 ක් වැය වෙලා තියෙනවා. අස්ගිරි පාර්ශ්වයේ අනුනායක,පොළොන්නරුව සොළොස්මස්ථානාධිපති,අස්ගිරිය ගෙඩිගේ රජමහා විහාරාධිපති පූජ්‍ය වේඬරුවේ උපාලි නාහිමියෝ එසේ පැවසුවේ ත්‍රිකුණාමලයේ සිට මහනුවරට පැමිණි සරණ ට සරණක් වූ කතාව හෙළි කරමිනි.
අමරතුංග වන්නිආරච්චි කටුගස්තොට මහවැලි රීච් හෝටලයේදී අපට හමුවුණේ තායිලන්ත භික්ෂූන් වහන්සේලා සමඟ සිටියදීය. ඒ මහතා දින ගණනාවක් තිස්සේ මෙම පාද චාරිකාවට එක්ව ගමන් කළ අයෙකි. මේ සතා පාගමනට එකතු වෙලා මුල් දවසේ අපිත් එක්කම ආවා. සාමාන්‍යයෙන් මිනිස්සු පාද චාරිකාවක යද්දී බල්ලොත් ඒ අය එක්ක ගමන් කරන එක සාමාන්‍ය දෙයක්. සාමාන්‍යයෙන් බල්ලෝ තමන්ගේ සීමාවෙන් එහාට එනවා හරි අඩුයි. නමුත් මෙයා ත්‍රිකුණාමලයේ ඉඳලා කිලෝ මීටර් 187 ක් විතර දුරක් අපිත් එක්ක ආවා. මේ පාද චාරිකාව රාජ්‍ය අනුග්‍රහය ඇතිව සංවිධානය කළ එකක් නොවෙයි. මේ ගමනට ත්‍රිකුණාමලයේ සිටම සහභාගි වූයේ එකම පිරිසක්. අතරමගදී ගමනට එකතු වුණා නම් ඒ සරණ විතරයි.
පාද චාරිකාවේ නිතර කණ්ඩායම ත්‍රිකුණාමලයේ සිට මහනුවර දක්වා කිලෝ මීටර් 187 ක දුරක් ගෙවා පැමිණීමේ දී නගර රැසක් පසු කළේය. ඇතැම් නගර පසුකරත් දී ඒ නගරවල උරුම කරුවන් වූ බල්ලන් වෙතින් සරණගේ ගමනට දැඩි බාධා එල්ල විය. තම රැහේ අයගෙන් එල්ල වන අභියෝග වලින් මිදීමට සරණ කළේ පාද චාරිකාවේ යෙදෙන කණ්ඩායම මැද්දෙන් ගමන් කිරීමය. ඔවුන් පසුකර සරණ වෙත ළඟා වීමට පාද චාරිකාවේ ආරක්ෂාව සඳහා යොදවා සිටි පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් ගෙන් කිසිදු ඉඩක් නොලැබිණි.
පාද චාරිකාවට එක්ව සිටි තායිලන්ත භික්ෂු කණ්ඩායමේ නායක Phrakhru Anukulviriyakij Chuchoed හිමි සරණ පිළිබඳව දැක්වූයේ මෙවන් අදහසකි. මෙයා හරිම බුද්ධිමත් වගේම සංවේදි සතෙක්. අපි කවුද කියලා එයා දන්නවා. අපි මොනවද කරන්නේ කියලා එයා දන්නවා. එයාට පුළුවන් කාගේත් හිත් එකපාරටම දිනා ගන්න. කිසිම වෙලාවක මෙයාව අපිට කරදරයක් වුණේ නැහැ. හරිම කීකරුයි. කෑම බීම වලට වඩා එයාට ඕන අපිත් එක්ක එකතු වෙලා ඉන්නයි. අනිත් බල්ලෝ එක්ක සපා කන්න යන්නේ නැහැ.
මෙයාට බල්ලෙක් ගෙරෙව්වොත් ඇහුනේ නැහැ වගේ ඉන්නවා. මේ වගේ පුදුම ගතිගුණ තියෙන සත්තු හමුවන්නේ ඉතාම කලාතුරකින්. අපි හැමෝම පුදුම විදිහට මෙයාට ආදාරය කළා. එයත් එහෙමයි. කොච්චර මෙයා සමීප වුණාද කියනවා නම් හැම කෙනාම උත්සාහ කරන්නේ එයාට මොනවා හරි කන්න දෙන්නයි. නුවර ඉඳලා අපි නැවතිලා ඉන්න හෝටලයට අපි මෙයාව එක්ක ගෙන ආවා. කොතන වුණත් කාටවත් කරදරයක් නැතුව ඉන්න මෙයා දන්නවා.
ත්‍රිකුණාමලයේ උපන් සරණගේ දැන් නවාතැන වත්තල ය. සුනඛයාගේ භාරකරු තමන්ගේ නම හෙළි කිරීමට අකමැති වූ නිසා ඔහු ගේ මිතුරකු වන නුවන් ජයතුංග අප හා මෙසේ පැවසුවේය. මේ සුනඛයා අපේ ගමනට එකතු වුණේ ත්‍රිකුණාමලයේ ඉඳන් කිලෝ මීටර් 12 ක් විතර දුරින් තියෙන කන්තලේ කිට්ටුවදී. ඒ ප්‍රදේශයේ පන්සලක තමයි මෙයා හැදී වැඩී තියෙන්නේ. අපිත් එක්ක ටික දුරක් එද්දී බල්ලව අරන් යන්න කට්ටියක් උත්සහ කළත් එයා යන්න කැමැති වුණේ නැහැ. පාද චාරිකාවේ යෙදුණු භික්ෂූන් වහන්සේලා නවාතැන් ගත්ත තැන්වල හිටියේ ටෙන්ට් ගහගෙන. බල්ලත් ඒ හාමුදුරුවරු එක්ක ටෙන්ට් අස්සේ නිදා ගත්තා. දඹුල්ලේදී මේ ගමනට බැල්ලියෙකුත් එකතු වුණා.
පාද චාරිකාවේ දී සරණ යැයි නම් ලැබූවද මේ පින්වත් සුනඛයාගේ සැබෑ නම සහරාන් බව පසුව හෙළි විය. කුඩා කල සිටම කන්තලේ ශ්‍රී ශෛලාරාමයේ මහා විහාරයේ හැඳීවැඩී තිබෙන සහරාන් පුන් පොහෝ දින විහාරස්ථානයේ සිල් සමාදන් වන උවැසි උවැසියන් අසලට වී සීල වැඩසටහන් අවසන් වනතුරුම සිටින බව දායක සභාවේ සමාජිකයෝ පවසති. මේ පින්වත් සුනඛයා ගේ අතීත විස්තර අපට පැවසුවේ ශෛලාරාම විහාරස්ථානයේ විහාරාධිපති අත්තිඩියේ පුඤ්ඤරතන නාහිමින් ය. මෙයා ඉපදුණේ සහරාන් බෝම්බ පුපරවපු දවසේ. ඒ නිසා මම මෙයාට සහරාන් කියලා නම තිබ්බා.
පාද චාරිකාව අපේ පන්සල ළඟින් ගියේ 15 වැනිදා. අපේ දායක සභාවේ ඇත්තෝ එක්ක මාත් මේ එන පිරිස පිළිගන්න ගියා. සහරානුත් අපිත් එක්ක ගියා. අපි අාවාත් සහරාන් ආවේ නැහැ. අපේ පන්සලේ ඉඳලා කිලෝමීටර් 12 ක් විතර ඈතින් අපේ තවත් පන්සලක් තියෙනවා. මෙයා එතන ඉන්නවා දැකලා දායක සභාවේ කෙනෙක් කැබ් එකට පටවා ගන්න හදනකොට එයාව කන්න හදලා. පස්සේ මම කිව්වා ළඟ පන්සල නිසා ඉව පාර දිගේ එයි කියලා කිව්වා. මම සරත් කියලා ත්‍රීවීල් එකක වැඩ කරන කෙනකුට කිව්වා බල්ලා පන්සලේ ඉන්නවාද කියලා බලන්න කියලා. එයා කිව්වා බල්ලා පාද චාරිකාවේ ආව අය එක්ක ගිහින් කියලා.
මේ පාද චාරිකාවට එකතු වෙලා හිටිය පොළොන්නරුවේ ගල්විහාරයේ නායක හාමුදුරු කෙනෙකුගෙන් මම මම බල්ලා ගැන ඇහුවා. උන්වහන්සේ කිව්වා බල්ලා අපිත් එක්ක පාද චාරිකාවේ යනවා කියලා. ගල්ඔය හන්දියේ අලුත්ඔය ඉසිපතනාරාමයේ කට්ටිය නතර වෙලා ඉන්න බවට තොරතුරු ලැබුණ නිසා මම එයා බලන්න ගියේ බිත්තර දාපු බතුත් හදාගෙන. මම යනකොට එයා ඉන්නවා. කන්න දීලා ඔළුව අතගාලා අපි යමු කිව්වම මගේ දිහා බලලා බිම ඉඳ ගත්තා.
එයා එන්න කැමැති නැති බව පෙනුනා. පස්සේ මම එයාට ගමනේ යන්න ඉඩදීලා ආපහු ආවා. මෙයාට තායිලන්ත ඇත්තෝ ගොඩක් සත්කාර කරලා තියෙනවා. හැමදාම ගමන නිමා වුණාම තෙල් ගාලා හොඳට ශරීරය පිරිමදිනවලු. දැන් මෙයාගේ නම සරණ කියලා වෙනස් කරලා කියලත් ආරංචියි. තායිලන්ත ඇත්තෝ මෙයාව ඒ රටට ගෙනියන්නත් කැමැතියි කියලා දැන ගන්න ලැබුණා. සහරාන් නැතුව මට ලොකු සාංකාවක් දැනෙනවා. ඒත් එයාගේ කැමැත්තට ඉඩ දෙන්න ඕන. මෙයා මතු අත්භවයක මිනිස් ආත්මයක් පතාගෙන පිනට දහමට ලැදිව කටයුතු කරනවා කියලා මට හිතෙනවා.
තිරිසන් ආත්මයකින් මිදී මනුෂ්‍ය ආත්මයක් ලබන්නට නම් මහා පින් කන්දරාවක් කළ යුතු බව බුද්ධ දේශනාවේ ද සඳහන්ය. පෙර පින් බලමහිමයෙන් මිනිසත් බවක් ලද නමුත් තිරිසනුන්ටත් අන්ත ලෙස දිවි ගෙවන්නෝ කොතෙකුත් අපි සමාජය තුළ දකින්නේමු. එවන් පසුබිමක සරණ නම් සුනඛයාගේ කතාව වඩාත් ඉස්මතුව පෙනෙන්නේය.
පෙර කළ පවක් නිසා තිරිසනකු ලෙස උපත ලැබූව ද ඇතැම් මිනිසුන්නට ද වඩා උතුම් ගතිගුණ සරණ තුළින් දැක ගැනීමට පුළුවන. ඒ නිසාම අද සරණට අපේ රටේ පමණක් නොව විදේශිකයන්ගේ ද ආදරය දිනා ගැනීමට වාසනාව උදාවී තිබේ. සියම් දේශයෙන් පැමිණි භික්ෂූන් වහන්සේ ඇතුළු පිරිස පසුගියදා රටින් පිටව ගියේ සරණ බලන්නට යළි පැමිණෙන බවට පොරොන්දුවක් ද ලබා දෙමිනි.
ඡායාරූප- රුවන් මීගම්මන හා උකුවෙල සමූහ ප්‍රියන්ත සුමනසේන