කවි සිළුමිණ | සිළුමිණ

කවි සිළුමිණ

පින්වන්ත අම්මා

 

පුර හඳ තිබුණාට

නුඹයි අම සිසිලස

ඉර මඬල කුමටද

උණුසුමයි නුඹ මට

සාගරේ පොඩියි මට

නුඹේ ආදරය ළඟ

කෝ කොහිද දෙවියන්

සැනසීම නුඹ මිස

පතන්නේ කෙලෙස මං

නුඹ මතුද මගෙ බව

පාරමී පුරා විත්

නුඹ නිවන් දොර ළඟ

උපමා කිසිත් නැත‍

ලියන්නට නුඹ ගැන

පින්වන්ත අම්මා

වියපත්ව මං ළඟ

උපුලී කටුවාවල


පෝස්ටර්

 

කෙනෙක් එති

අලවති

වට පිට බලති

දුවති

අයෙක් එති

ගලවති

බිම දමති

නැවත අලවති

පලායති

සමහරෙක් එති

සියල්ල වසති

තමාටත් නැති

අනුන්ටත් නැති

තවකෙක් එති

වටිනා නමට

ගිනි තබති

පුපුරති

වනසති

කනවැරැල්ලේ හේමාලෝක හිමි


සෙනෙහසක සලකුණ

 

තුඩගින් තුඩග තබමින් සෙනෙහස පාන

අතු ඉති වලට පැන රස රැඟුමන් ගේන

මොන හේතුවක් මත වුව පොළොවට නේන

තුරු වදුලෙහි සිටී දකිමින් පෙම් සීන

 

කාලය කෙමෙන් පියමන් වන විටදි ගෙවී

ලෝකය සොඳුරු බව හඩඟා පුතුට පෙවී

තුඩු අග රඳවමින් දස දෙස වෙතට සවී

නිහඬව මා පියන් දෙහදෙහි සතුට මැවී

 

මිනිසත් බවට වැඩි සුන්දර බවක වෙළී

ඒ ගී හඬ ඇසෙයි දෙසවන් වෙතට යළී

සෙනෙහස ආදරයෙ යුතුකම් එකට ගැලී

සියොතුන් වසන තැන කිසිවිට නොමැත මැළී

මාස්පොත ධම්මජෝති හිමි


නැන්දාගෙන් ලේලියට

 

දහ දුක් විඳ නිදි නොලබා

දෙතනේ කිරි පොවා

හැදු වැඩු පුතාණෝට

මා අමතක වෙලා

රුව සෝබන පබාවතී

ජයසක් මැද කැන්දාගෙන

එකම ගෙදර දෙතැනක් කර

මා තනි කළ හැටි පුදුමයි

 

ජේ.ජී. රණතුංග


සිහිනයක් මට තවම
 

සැබෑ වූ ප්‍රේමය

ආදරේ නාමයෙන්

නුඹ දුන්න ජීවිතය

සිනාකැන් ළෙන්ගතුම

කතා බස් සිත නිවන

ගීතයක් මිහිරැතිම

පින් පිරූ සෙනෙහස

ජීවිතේ සුබ සිහින

විඳගන්න බල කරන

ආදරෙන් නුඹ දුන්න

මා ඉපදුණා නැවත

 

දිස්නා කුමාරි අල්විස්


බඹරිඳු

 

මල වට බඹරිඳු

සිත් මලේ සුවඳ

මලට හොරා විඳින

නෙතු කඳුළු පිනිබිඳු

මල වටා සරසන...

දෝතින් දරා සිඹ

සනසා මහීකත...

මල වටා රඟදෙන

අහිමි බඹරිඳු නුඹ

මල්කි අනුරුද්ධිකා මහවත්ත


අපේ හාමුදුරුවෝ

 

අකුරු කර ගෙදරදිත්

උගැන්මට පන්සලෙන්

මුණ ගැසුණු පළමු දා

අපේ හාමුදුරුවෝ

තෙරුවනයි පන්සිලුයි

සමාදන් කොට මුලින්

හෝඩි පොත කියා දුන්

අපේ හාමුදුරුවෝ

බිත්ති හතරෙන් එහා

දෑස් පිස බලන්නට

කවුළු දොරගුළු හැරිය

අපේ හාමුදුරුවෝ

උදෑසන විකසිතව

සවස පරවන මලින්

දිවි අරුත වැදෑරුව

අපේ හාමුදුරුවෝ

දණ ගගා දහස් ගව්

දුර කතර යන ගමන

නතර වන පාරකී

අපේ හාමුදුරුවෝ

 

මැන්ඩිස් රාජකරුණා


නොමියැදුණු

 

මියැදුණු

ප්‍රේමයේ

සොහොන මත

තබමි

බැතිබරව

වන මලක්

පිනි කඳුළින්

තෙමුණු

තවම

නොමියැදුණු

චමින්ද රොෂාන්


පෝය සඳ එපා මට

 

සුදෝ සුදු මල් වට්ටි දෝතින්ම පුද දෙමින

ඔබ සමඟ සඳ එළියෙ සෑ මළුවෙ පියමැන්න

අතීතය සිහිපත්ව පුර පෝය මෝදු වන

හැම දිනම ඔබෙ මතක මැවෙනවා දස දෙසින

 

අතීතයෙ ඔබ සමඟ සඳ සාවා සෙවුවද

පුන් පෝය උදාවන තුරු අහස බැලුවද

අපෙ ලොවේ හිරු එළිය නිවා දැමු පෝය සඳ

නිරතුරුව පාරවයි පියාණෙනි මගේ හද

 

පෝයදා සඳ එළියෙ පන්සලට නොගියාට

බෝමළුව අමදින්න තරු එළිය ඇති මෙමට

සරණ වෙමි නිරතුරුව අන්ත අසරණ දනට

මා කරන සියලු පින් පුදන්නෙමි ඔබෙ නමට

 

චන්දිමා දිසානායක


පන්නරය

බිඳුණු අතීතයේ

රිදුණු තැන්වලින්

සැදුණු දිවියට

රැඳුණු අනාගතයක්

පෙරකම් විලස හිමි අහිමි වීම්

කළ කම් පරිදි ඵල දෙයි හැම විට

සිතුවම් ලෙසින් ඇන්දොත් දිවිය

කැටයම් කරයි ලද පන්නරය

ටී. නිපුනි සමෝද්‍යා වත්තේගම


නයිටිංගේල් කුමරිය

 

තිරසර සුව පෙළහරෙ මං තරුවේ

නයිටිංගේල් කුමරිය විස්කම් පෑවේ

මානවවාදී යහ ගුණ වරුණේ

හෙදකමෙ පදනම මං තරු දිලුනේ

 

ඇගෙන් පැවත ආ මනුසත් මෙහෙයුම

අභිනව සිල්ප මුසුකර ඔපවත් කොට

සකළ සතර විදු නැණ පහණින් එකලු කොට

සුරකිමු ආතුර පණ නල අද නිපුණව නිබඳව

 

ජාතික රෝහල් සුව අසපු නිලබරේ

විස්මිත හෙදකමෙන් සුහුරුකොට

දැනුම - දස්කම් - යහ ආකල්පයන්ගෙන් පිරිපුන්ව

අඳුරු වු හදවතට ප්‍රභාදී ප්‍රදීපෙන්

සුරකිමු මනුදිවි

අසහාය හෙදකමේ යශෝරාව නංවමිනේ

ජී. ශ්‍රියංගනී


ගඳ - සුවඳ

 

ගඳ සුවඳ

දෙකක් නැත

ඇත්තේ ගඳම පමණි

සිත කියයි නාසයට

මේ ගඳය මේ සුවඳය

ගඳින්

විජේරත්න වනසිංහ


තනිකම

 

සීතල පිනි බිංදු වැටී

පොළොව තෙමන රෑ යාමේ

එකවරකට දහස් වරක්

ඔබ මට සිහි වෙනවා

පාළුව තනිකම දැවටී

හිතට කාන්සිය දැනිලා

තනි යහනේ ඉන්නා විට

ඔබ මට සිහි වෙනවා

ගාමිණී චන්ද්‍රසේන


ඔබේ කවි නිර්මාණ

‘කවි සිළුමිණ’

සිළුමිණ, ලේක්හවුස්,

කොළඹ - 10 යන ලිපිනයට යොමු කළ හැකිය.

දුරකතනය 011 2429265

 

Comments