අරගලයේ ලොක්කා අරගල බිමේ තරුණියන්ව රවටා ගණිකාවන් කළ තිත්ත ඇත්ත | සිළුමිණ

අරගලයේ ලොක්කා අරගල බිමේ තරුණියන්ව රවටා ගණිකාවන් කළ තිත්ත ඇත්ත

සුපිරි පැලැන්තියේ ධනවතුන්ට සහ විදේශිකයන්ට ගණිකාවන් සපයන ජාවාරමක් ගැන වලානේ පිහිටි මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බළකායේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඉන්දික වීරසිංහට ලැබෙන්නේ ඔහුගේ පුද්ගලික ඔත්තුකරුවකුගේ මාර්ගයෙනි. එම ඔත්තුකරු විසින් ඉන්දික වීරසිංහ දැනුවත් කරන්නට වූ ආකාරයට අනුව මෙම ගණිකා ජාවාරම සිදුවන්නේ සංවිධානාත්මකවය. ඒ ලොකු බලයක් ද ඇතිවය. ඒ නිසාම කිසිදු පොලිසියකින් මෙතෙක් මෙම ජාවාරම මෙහෙයවා ඇති අය අත්අඩංගුවට ගෙන නැති බව ද ඔත්තුකරු කීවේය. 

මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බළකාය පොලිස්පතිවරයාගේ ඝෘජු අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක වන විශේෂ පොලිස් ඒකකයකි. මෙම බළකායේ නිලධාරීන් ඝෘජුවම වගකිවයුතු වන්නේ පොලිස්පතිවරයාට පමණි. ඒ නිසාම මෙම බළකායේ වැඩවලට ඇඟිලි ගැසීමට හෝ බලපෑම් කිරීමට කිසිවකුත් ඉදිරිපත් වන්නේ නැති තරම්ය. ඒ නිසාම මෙම බළකායේ නිලධාරීන්ට රට පුරාම ගොස් වැටලීම් කිරීමට ඇත්තේ ලොකු නිදහසකි. එම නිදහස උපරිමයෙන් ප්‍රයෝජනයට ගෙන වැටලීම් සිදු කරන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බළකායේ ස්ථානාධිපති ඉන්දික වීරසිංහ තීරණය කරනු ලබන්නේ සංවිධානාත්මකව සිදුවන මෙම සුපිරි ගණිකා ජාවාරම මැඬලීමටය. ඒ මෙම ජාවාරම පිටුපස ඇති බලවේග කුමක් දැයි දැන ගැනීමට ලොකු උවමනාවක් ද ඇතිවූ නිසා විය හැකිය.

මේ වැඩේට ඔහු අත තබන්නේ සිය ප්‍රධානියා වූ සහකාර පොලිස් අධිකාරී කේ. ඒ. උදය කුමාරගේ ද ආශීර්වාදය ඇතිවය.

ඉන්දික වීරසිංහට සිය ඔත්තුකරු ලබා දුන් තොරතුරුවලට අනුව මෙම ගණිකා ජාවාරම ක්‍රියාත්මක වන ස්ථිර තැනක් නැත. ගණිකාවන් සිටින්නේ තැන තැන විසිරීය. සියල්ල සිදුවන්නේ ජංගම දුරකතනයෙනි. තමන් කැමති තරුණියක්ව තෝරා ගැනීමට හැකියාව ලැබෙන්නේ වට්ස් ඇප් මඟින් ලැබෙන ඡායාරූප ඔස්සේය. සියල්ල සිදුවන්නේ නීතියේ හිඩැස්වලින් රිංගමින් නීතිය හමුවේ කොටු නොවන ලෙසිනි.

ඔත්තුකරු විසින් මෙම ජාවාරමට සම්බන්ධ පුද්ගලයකුගේ ජංගම දුරකතන අංකයක්ද ඉන්දික අත තැබුවේය. ඒ සැකයක් ඇති වුවහොත් වැඩේ ගැස්සී යන්නට හැකි බවද පවසමිනි.

සැරයන් ජයලාල් මෙවැනි වැඩවලට උපන් හපන්කම් ඇති නිලධාරියෙකි. මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බළකායේ කෙරෙන හැම වැටලීමකදීම කැපී පෙනෙන චරිතයක් වන ජයලාල්ට මෙම වැඩේ පවරන්නේ ඉන්දික වීරසිංහය. ඒ ඔත්තුකරු විසින් තමා අතට පත්කළ ජංගම දුරකතන අංකය ද ජයලාල් අත තබමිනි.

එම අංකයට ජයලාල් ඇමතුමක් ගත්තේ කල්යල් බලාය. ඒ මෙවැනි වැඩවලටම යොදා ගැනීමටම වෙන්කර ඇති ජංගම දුරකතන අංකයකිනි. එම අවස්ථාවේදී එම දුරකතන තිබෙන්නේ ක්‍රියාවිරහිතවය. නැවතත් අවස්ථා කිහිපයකදීම ඊට ඇමතුම් ගත්තද ඒ සෑම විටකදීම දුරකතනය තිබෙන්නේ ක්‍රියාවිරහිතවය.

මෙහිදී ජයලාල් එම දුරකතන අංකය සිය ජංගම දුරකතනයේ සටහන් කරගෙන වට්ස්ඇප් ඔස්සේ ඊට ඇමතුමක් ගැනීමට හැකියාවක් තිබේ දැයි පරීක්ෂාවක් කළේය. එහිදී පෙනී ගියේ වට්ස්ඇප් අංකය ඒ වන විටත් සක්‍රියව පවතින බවය. ඒ අනුව වට්ස් ඇප් ඇමතුමක් එම අංකයට ජයලාල් ගත්තේය. ඒ ඔහු රත්නපුර පැත්තේ පදිංචිව සිටින මැණික් ව්‍යාපාරිකයෙක් ලෙසිනි.

මෙහිදී දුරකතනයේ එහා කෙළවරේ සිටි පුද්ගලයා එකවරම ගනුදෙනු කතා කළේ නැත. මැණික් ව්‍යාපාරිකයෙක් ලෙස වෙස්ගෙන සිටි ජයලාල් සමඟ ටික වේලාවක් කතාබහක නිරත වන්නට ගත්තේය. ඒ සැබෑ ලෙසම ගණිකාවකගේ අවශ්‍යතාව ඇති අයෙක් විසින් ලබාදුන් ඇමතුමක් දැයි සැකහැර ගන්නටය.

“අපි ගාව ඇති තරම් කෙල්ලො ඉන්නවා. සර්ගේ චොයිස් එක මොනවගේද කිව්වොත් ඒකට හරියන අයත් දෙන්න පුළුවන්” දුරකතනයේ එහා කෙළවරේ සිටි පුද්ගලයා ජයලාල්ට කීවේ දෙදෙනා අතර විශ්වාසය ගොඩනැඟුණු පසුවය.

“එහෙම විශේෂයක් නැහැ. හැබැයි මගේ යාළුවෝ නම් ඉන්නවා කිහිප දෙනෙක්ම. මම එයාලත් එක්කත් කතා කරන්නම්. එහෙම වුණොත් දෙතුන් දෙනෙක්ව එකපාර ගන්න පුළුවන් ද?“ ජයලාල් විමසුවේය.

“සර් අපි ගාව ඇති තරම් කෙල්ලෝ ඉන්නවා. හැබැයි සර් ෆුල් නයිට් එකකට 55ක් ගන්නවා. ෂෝට් ටයිම් එකකට 5000යි. හැබැයි එක දිගට ඒ දවසේ වැඩ තිබ්බොත් විතරයි ෂෝට් ටයිම් වැඩ භාර ගන්නේ. ඒත් මේ දවස්වල ෂෝට් ටයිම් එකට කෙල්ලො දෙන්න බැහැ“ ඊට පිළිතුරු ලැබුණේ එසේය.

මෙහිදී 55 යැයි කීවේ රුපියල් 55,000කටය. ඒ මුළු රාත්‍රියක්ම ගත කරන්නට තරුණියක් වෙනුවෙන් වැයවන මුදලය.

“ප්‍රශ්නයක් නැහැ. ෆුල් නයිට් එකකට මම කැමතියි.“ යැයි ජයලාල් කීවේය. 

එම එකඟතාවත් සමඟ ජයලාල් එම වට්ස්ඇප් ඇමතුම ගත් අංකයට ආවේ තරුණියන් කිහිප දෙනෙකුගේ ඡායාරූප රැසකි. එම ඡායාරූප ජයලාල් විසින් පරීක්ෂා කිරීමේදී පෙනී ගියේ තරුණියන් 10 දෙනෙකුගේ ඡායාරූප ඒ අතර ඇති බවය.

“සර් කැමැති කෙනෙක්ව බලල කියන්න. සර්ට මම එයාව ලෑස්ති කරන්නම්“ ඡායාරූප ගොන්න එවමින් ඔහු ජයලාල්ට කීවේය.

මේ එක් ඡායාරූපයක සිටින තරුණියක්ව ජයලාල් විසින් තෝරා ගත්තේය. එය තමා සමඟ වට්ස් ඇප් ඔස්සේ කතාබහ කළ පුද්ගලයාට යොමු කළේය. තමා ඇයට කැමති බව කියමිනි.

“මම බිස්නස් වැඩකට හොරණට එනවා. රෙමුණ වැව ගාව තියෙන හෝටලේ තමයි නවතින්නේ. පුළුවන් නම් කෙල්ලව එතැනට ගෙනත් දෙන්න.“ යැයි දින කිහිපයකට පසු ජයලාල් ඔහුට ඇමතුමක් ගෙන කීවේය. මේ හැම සංවාදයක්ම සිදුවන්නට වූයේ යම් සැලසුමකට අනුවය. ඒ කිසිදු සැකයක් ඇති නොවන ලෙසිනි.

“සර් තෝර ගත්ත කෙල්ලව ගෙනත් දෙන්න පුළුවන්. ඒත් සර් වැඩේ ඕකේ වෙන්න ඕනේ. සර්ට පුළුවන්නම් ඇඩ්වාන්ස් එකක් දාන්න.“ යැයි කියා ඔහු බැංකු ගිණුම් අංකයක් වට්ස් ඇප් ඔස්සේ යොමු කළේය.

එම ගිණුම් අංකය රාජ්‍ය බැංකුවක අයත් එකකි. ජයලාල්ට සැකයක් මතුවන්නේ සල්ලි ගිණුම්ගත කරගෙන පොල්ලක් තැබීමේ සූදානමකින් මෙසේ ගිණුම් අංකයක් ලබා දුන්නේ දැයි කියාය. ඒ නිසාම ඔහු මේ ගැන සිය ප්‍රධානියා වූ ඉන්දික වීරසිංහව දැනුවත් කළේය. ඉන්දිකට ද තනි තීරණයක් මෙහිදී ගැනීමට හැකියාවක් නොවීය. ඒ නිසාම ඉන්දික තමන්ට උඩින් සිටි සහකාර පොලිස් අධිකාරී උදය කුමාරව මුණගැසුණේය. දිර්ඝ සාකච්ඡාවකින් අනතුරුව ඔවුන් තීරණය කරනුයේ රුපියල් 5,000ක් පමණක් බැංකු ගත කරමින් අවදානමක් ගැනීමටය.

ඒ අනුව එම බැංකු ගිණුම් අංකයට රුපියල් 5,000 ක මුදල තැන්පත් කරමින් ජයලාල් විසින් නැවතත් වට්ස් ඇප් ඇමතුමක් ගෙන “මම ලොකු ගාණක් දැම්මේ නැහැ. ලබන 20 වෙනිද මම හොරණ එනවා. චීනේ ඉඳන් ආපු මගේ බිස්නස් පාට්නස්ලා දෙතුන් දෙනෙකුත් ඉන්නවා. හතර පස්දෙනෙක් එක්කන් එන්න. ෆුල් නයිට් එකකට. එයාල ඒ වෙලාවට ෆුල් පේමන්ට් එක කරයි“ යැයි කීවේය. ඊට දුරකතනයේ එහා කෙළවරේ සිටි පුද්ගලයා එකඟ වන්නේ ඒ වන විටත් දෙදෙනා අතර ලොකු විශ්වාසයක් ගොඩනැඟී තිබුණු බැවිනි.

“එදාට සමහරවිට සර්ට වට්ස්ඇප් කරපු ළමයි නැති වෙන්න පුළුවන්. කමක් නැද්ද සර් වෙන ළමයි දෙතුන් දෙනෙක් ගෙනාවොත්“ යැයි ද කියා දුරකතනය එහා කෙළවරේ සිටි පුද්ගලයා විමසුවේය.

“ ඒකට කමක් නැහැ.“ යැයි ජයලාල් පවසන්නට වූයේ එම තරුණියන් ඇහැට කනට පේන හොඳ අය විය යුතු යැයි යන එකඟතාව ද සහිතවය.

ඒත් එක්කම මෙම ගණිකා ජාවාරම වැටලීමේ මෙහෙයුම දියත් කිරීමේ වගකීම පැවරෙන්නේ ප්‍රධාන පොලිස් පරීක්ෂක මහේන්ද්‍ර පෙරේරාටය. උප පොලිස් පරීක්ෂක සඳරුවන්, සැරයන් ජයලාල් (428), කොස්තාපල්වරුන් වන සංජීව (91287), ශියන්ත (94009), ප්‍රබුද්ධ (77981) යන නිලධාරීන් සමඟ කාන්තා පොලිස් කොස්තාපල් දිල්හාරා (11352) සහ සමිතා (13103) යන නිලධාරීන් එදා නියමිත දින කල්වේලා ඇතිව හොරණට යන්නේ කොස්තාපල් රියදුරු උදේශ් (80831) සමඟිනි. ඒ යන විට මෙම නිලධාරීන් අත හොරණ මහේස්ත්‍රාත් අධිකරණයෙන් ලබාගත් නියෝගයක්ද තිබුණේය.

මෙහිදී උප පොලිස් පරීක්ෂක සඳරුවන් සහ සැරයන් ජයලාල් ව්‍යාපාරික වෙස් ගෙන සිවිල් ඇඳුමින් සැරසී රෙමුණ වැව අසල රැඳී සිටියේය. සෙසු නිලධාරීන් නිල ඇඳුමෙන් සැරසී වැව අවට ස්ථානගතව සිටියේ සැකයක් ඇති නොවන ලෙස සැඟවීය.

සැරයන් ජයලාල් මේ අතරතුර වට්ස්ඇප් ඔස්සේ අදාළ පුද්ගලයාට ඇමතුම් කිහිපයක්ම ගත්තේය. ඒ තමන් මේ වන විට හෝටලයට පැමිණ සිටින බව දැනුම් දෙමිනි. වට්ස් ඇප් ඔස්සේ මෙහිදී ජයලාල් තමා සිටින ස්ථානය පවා එම පුද්ගලයා සමඟ හුවමාරු කර ගත්තේය. ඒත් එක්කම ජයලාල් එම පුද්ගලයාට පවසන්නට වූයේ තමාත් මිතුරාත් ඒ වන විට සිටින්නේ හෝටලයෙන් පිටතට පැමිණ වැව ආසන්නයේ බවය. ඒ අනුව දෙපාර්ශ්වය මුණගැසීමට තීරණය කරගනු ලබන්නේ රෙමුණ වැව අසලදීය.

ඒ පුද්ගලයා තරුණියන්ව ද රැගෙන එහි එන්නේ මෝටර් රථ දෙකකිනි. එවිට වේලාව රාත්‍රී 8.00ට පමණ ඇත. එක් මෝටර් රථයක රැඳී සිටියේ තරුණියක් සහ රියදුරු සමඟ තරුණයන් සිවුදෙනෙකි. තරුණියන් තිදෙනෙක්ම සිටියේ දෙවැනි මෝටර් රථයේය. එම රථයේ ඒ හැරුණු කොට රියදුරු සහ තවත් තරුණයෙක් සිටියේය. ජයලාල් සමඟ වට්ස්ඇප් ඔස්සේ කතාබහ කරමින් මෙම ගනුදෙනුව සිදු කරනු ලැබුවේ තරුණියන් තිදෙනා සිටි මෝටර් රථයේ සිටි තරුණයාය. එහිදී ඔහු තමාව හඳුන්වා දෙමින් ජයලාල්ට පවසන්නේ මේ සිවුදෙනාගෙන් ඕනෑම අයෙක් තෝරා ගන්නා ලෙසය. එහිදී ජයලාල් තෝරා ගන්නේ තරුණයන් සිවුදෙනෙක් සමඟ ආ මෝටර් රථයේ සිටි තරුණියවය. උප පොලිස් පරීක්ෂක සඳරුවන් ද සිටියේ ව්‍යාපාරික වෙස් ගෙනය. ඔහු එහිදී තෝරා ගන්නේ සෙසු තිදෙනාගෙන් අයෙකි. ඒ සෙසු ව්‍යාපාරික මිතුරන් තව ටිකකින් එතැනට ඒවි යැයි කියා මඳක් රැඳී සිටින ලෙස පවසා රැවටීමකට ලක්කරමිනි. ඒ අතර සඳරුවන් ද රුපියල් 5,000 ක නෝට්ටුවක් ජයලාල් මඟින් වට්ස් ඇප් ඔස්සේ කතාබහ කළ තරුණයා අත තැබුවේය. ඒ අත්තිකාරමක් ලෙසිනි. එහිදී ඔහු මුළු මුදලම ඒ මොහොතේ ඉල්ලා සිටින විට එතැනට කඩා වදින්නේ එතෙක් වේලා සැඟව සිටි මහේන්ද්‍ර ඇතුළු නිලධාරීන් කණ්ඩායමයි. ඒ ඔවුන්ට කිසිවක් සිතා ගැනීමටවත් ඉඩක් නොතබමිනි.

මෙහිදී ඒ අතර සිටි තරුණයකු මධ්‍යම දූෂණ මර්දන බළකායේ නිලධාරීන් සමඟ ගැටුමකට මුල පුරන්නට ගත්තේ රටේ නමගිය නීතීඥවරයකුගේ නමක් ද පවසමින් මෙම වැටලීම නීති විරෝධි බැවින් ඔහුට මේ ගැන දැනුම් දෙන බව කියමිනි. එම නීතීඥවරයා ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ ඉහළ තනතුරක් දැරූ අයෙකි. ඒ නම කියූ විට මධ්‍යම දූෂණ මර්දන බළකායේ නිලධාරීන් ඇඹරෙනු ඇතැයි ඔහු සිතුවේය. එහෙත් කිසිදු නිලධාරීයෙක් ඒ කිසිවක් තැකීමකට ලක්කරන්නට ගියේ නැත. තමන් අත වූ අධිකරණ නියෝගය පවා පෙන්වමින් නීතිය ක්‍රියාත්මක කරන්නට වූයේ එහි සිටි සියලු දෙනාම සිය භාරයට ගනිමිනි.

මෙහිදී මෙම පිරිස පැමිණි එක් මෝටර් රථයක් රියදුරු සමඟ නිදහස් කරන්නට වූයේ එම මෝටර් රථය කුලියට රැගෙන ආ එකක් බව පෙනී යන්නට වූ බැවිනි. ඒ අතර තවත් තරුණයන් දෙදෙනෙක් ද මේ කණ්ඩායමෙන් මුදා හැරීමට නිලධාරීන් පියවර ගත්තේය. ඒ ඔවුන් ද මෙම ජාවාරම ගැන කිසිවක් නොදැන මෝටර් රථයේ නැඟී ජොලියට පැමිණ ඇති බව පෙනී යන්නට වූ බැවිනි.

අවසානයේදී මෙම මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බළකා නිලධාරීන් භාරයේ ඉතිරි වන්නේ තරුණියන් සිවුදෙනාත් සමඟ තරුණයන් තිදෙනෙක් පමණි. රටම දන්නා ජනාධිපති නීතීඥයෙකුගේ නම කියූ තරුණයා ද ඒ අතර සිටියේය. ඔහු හැරුණු කොට මෝටර් රථයේ රියදුරු සහ ජයලාල් සමඟ වට්ස්ඇප් මඟින් මෙම ගනුදෙනුව සිදු කළ තරුණයා ද සෙසු අය අතර සිටියේය. මධ්‍යම දූෂණ මර්දන බළකායේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගන්නේ මේ අයවය.

ඉහළ මිල ගණන්වලට අලෙවි වෙමින් සිටි මෙම තරුණියන්ගේ අනන්‍යතාව මෙහිදී සොයා බැලීමට මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බළකායේ නිලධාරීන් අමතක නොකළේය. එහිදී පෙනී යන්නේ ඒ සියලුම තරුණියන් විවාහක කාන්තාවන් බවය. ඒ හැමෝටම දරුවන්ද සිටී. එහෙත් ඒ හැමෝම අද මේ තැනට වැටී ඇත්තේ විවාහය දෙදරා යාමේ ප්‍රතිඵලයක් ලෙසිනි.

මේ අය අතර සිටි එක් තරුණ කාන්තාවක් පදිංචිව සිටින්නේ අම්පාරේය. ඇය අවුරුදු 33ක තැනැත්තියකි. එහෙත් බැලූ බැල්මට ඇයට වයස අවුරුදු 25ක් වත් කියන්නට බැරිය. රත්මලානේ කුලී නිවසක ඇය ජීවත්වන්නේ ධනවත් කාන්තාවක් ලෙසිනි. ඇය ජීවත් වෙන්නේම ඇගේ සිරුර විකුණාය.

දෙවැන්නා බදුල්ලේය. ඇය අවුරුදු 24ක තරුණියකි. ඇය ද තිදරු මවකි. සැමියා ඇයව අතහැර ගොස් ඇති බැවින් කොළඹට වී ඇය කරන්නේ ද මේ රැකියාවය.

තෙවැන්නා සතුව තිබී මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බළකායේ නිලධාරීන්ට බැංකු හැඳුනුම්පතක් ලැබුණේය. ඒ පුද්ගලික බැංකුවකය. එම හැඳුනුම්පතට අනුව ඇය එම බැංකුවේ සේවිකාවකි. එහෙත් ඇය ප්‍රශ්න කිරීම් හමුවේ කියා ඇත්තේ දැන් තමා එම බැංකුවේ සේවය නොකරන බවකි. ඒ බැංකුවට අපකීර්තියක් එල්ල වීම වළක්වා ගැනීමට ද නැති නම් සැබෑ ලෙසම ඇය දැන් බැංකුවේ සේවය නොකරන නිසා බව දැයි ගැටලුවක් පැන නැඟුණ ද ඒ දේවල් සොයන්නට මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බළකායේ නිලධාරීන් ගියේ නැත. ඒ මෙම විමර්ශනයට එය ඔවුන්ට එතරම් වැදගත් නොවූ බැවිනි. නමුත් ඇය නම් නිලධාරීන් හමුවේ පවසා තිබුණේ තමන් ඇඟලුම් කර්මාන්ත ශාලාවක විධායක නිලධාරිනියක් ලෙස සේවයේ නිරතව සිටින බවය. මේ තැනැත්තිය වයස අවුරුදු 32ක් වන පොලොන්නරුවේ පදිංචිකාරියකි. දෙදරු මවක් වන ඇගේ සැමියා ද සිටින්නේ ඇයව අතහැර ගොසිනි. ඇය මේ රැකියාව කරනු ලබන්නේ පානදුර පැත්තේ කුලී නිවෙසක රැඳී සිටිමිනි. ඒ අමතර ආදායම් මාර්ගයක් ලෙසිනි.

සිවුවැන්නා නිරූපණ ශිල්පිනියකි. ඇය කුරුණෑගල පැත්තේ තැනැත්තියකි. 37 හැවිරිදි ඇය රාගම පදිංචිව සිටින්නේ කුලියට ගත් නිවසක රැඳී සිටිමිනි.

වට්ස් ඇප් ඔස්සේ මෙම කාන්තාවන්ට ගනුදෙනුකරුවන් සොයා දෙන්නට වූ පුද්ගලයා ද සිටියේ අත්අඩංගුවට ගත් සෙසු තිදෙනා අතරය. ඔහු වයස අවුරුදු 22ක තරුණයෙකි. නමින් ඔහු ජීවන්තය. මාතර පදිංචිකරුවෙක් වූ ජීවන්ත තාවකාලිකව රැඳී සිටියේ ගල්කිස්සේ මිතුරකුගේ ඥාති නිවසකය. තරුණ කාන්තාවන් ගණිකාවන් ලෙස අලෙවි කිරීමේ ජාවාරම ලොකුවටම කරගෙන යන්නේ ඔහුගේ වැඩිමහල් සහෝදරයාය. සහෝදරයාගෙන් කැඩී ඔහු මේ වැඩේට බැස්සේ ගෝල්ෆේස් අරගල භූමියේ කැපී පෙනෙන චරිතයක් වූ පුද්ගලයෙක් සමඟ එක්වය. ඔහු සුපුන්ය. ජීවන්තට විකිණීමට තරුණ කාන්තාවන් සපයනු ලැබුවේ ඔහුය. මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බළකායේ නිලධාරීන්ට ලොකු නීතීඥයකුගේ නමක් කියමින් නීතිය උගන්වන්නට ගියේ ද ඔහුය. ඒ වන විටත් මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බළකා අත්අඩංගුවේ සිටි සුපුන් ජීවත්වූයේ මොරටුව කොරලවැල්ලේය. ගෝල්ෆේස් අරගල භූමියේ ඉදිරියෙන්ම සිටි ඔහු අරගල භූමියේ පැවති මාධ්‍ය හමුවලට පවා සෙසු අරගලකරුවන් සමඟ එක මේසයේ සිටියෙකි. 29 හැවිරිදි වියේ පසුවන සුපුන් විවාහකයෙකි. කියැවෙන ආකාරයට අනුව ඔහුගේ බිරිය පිලිපීන් ජාතික තැනැත්තියකි. මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බළකායේ නිලධාරීන්ට ලැබී ඇති තොරතුරුවලට අනුව ඇය ඔහුව අතහැර ගොසිනි.

ප්‍රශ්න කිරීම් හමුවේ සුපුන් මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බළකායේ නිලධාරීන්ට පවසා ඇත්තේ තමා හරි හම්බ කළ හැමදෙයක්ම අරගලය වෙනුවෙන් වැය කළ බවකි. ඔහු කියන්නේ ඇත්තක් ද නැත්තක් ද යන්න ගැන දන්නේ ඔහු සමඟ අරගලයේ ක්‍රියාකාරීව සිටි අය පමණි. එහෙත් දැන් ඔහු රැකියාව ලෙස තෝරාගෙන ඇත්තේ තරුණ කාන්තාවන් ගණිකාවන් ලෙස අලෙවි කිරීමට සොයාදීමය. රුපියල් 55,000ට අලෙවි කරන කාන්තාවට සැබෑ ලෙසම ලැබෙන්නේ රුපියල් 20,000ක් හෝ ඒ ආසන්න මුදලක් පමණි. ඉතිරි මුදල බෙදී යන්නේ මෙම තැරැව්කරුවන්ටය. සුපුන් ජීවත් වෙන්නේ එසේ තරුණියන්ගේ ඇඟ විකුණා උපයන මුදල්වලින් බව මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බළකායේ නිලධාරීන්ට සිය විමර්ශනවලින් පෙනී ගියේය.

ඒ හැරුණු කොට සුපුන්ට ඇති වෙනත් ආදායම් මාර්ගයක් නම් සොයා ගන්නට නොවීය. සුපුන් ගැන මෙතරම් හාර අවුස්සමින් සොයන්නට මෙම නිලධාරීන් පෙලඹෙන්නේ ඔහු ජනාධිපති නීතීඥවරුන්ගේද නම් කියමින් ලොකුකම් පාමින් ගැටුමක් ඇතිකර ගත් බැවිනි. එසේ නොවන්නට මධ්‍යම දූෂණ මර්දන බළකායේ නිලධාරීන්ට මෙතරම් ඔහු ගැන තොරතුරු හාර අවුස්සමින් සොයන්නට කිසිසේත්ම උවමනාවක් ද නොවීය.

එහිදී හෙළිවූ තොරතුරුවලට අනුව වට්ස් ඇප් මඟින් අලෙවි කිරීමට ජීවන්තට ලබාදෙන තරුණ කාන්තාවන්ගෙන් ඇතැමුන් සුපුන්ට මුණගැසී ඇත්තේ අරගල භූමියේදීය. අරගල භූමියේ සුපුන් කැපී පෙනෙන චරිතයක්ව සිටි බැවින් ඔහුට තරුණියන් මෙන්ම තරුණ කාන්තාවන් ආකර්ෂණය වී තිබුණේය. ඒ අය අතර සිටි බිලිබා ගන්නට හැකි අය ඔහු බිලිබා ගත්තේය.

සුපුන් අද මේ තැනට වැටී ඇත්තේ ඔහු අධික ලෙස අයිස් මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහී වී සිටින බැවින් මත්ද්‍රව්‍ය වෙනුවෙන් මුදල් සොයන්නටය. ගෝල්ෆේස් අරගලය ක්‍රියාත්මක වෙමින් පැවති සමයේදීත් ඔහු මත්ද්‍රව්‍ය භාවිතා කළත් ඔහුට එකල මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් ගැටලුවක් නොවීය. ඒ නොමිලයේ මත්ද්‍රව්‍ය ලැබෙන මාර්ග ඇති තරම් ඒ වන විට සකස් වී තිබුණු බැවිනි. අරගලකරුවන්ට ගොල්ෆේස් භූමිය අහිමිවීමත් සමඟ ස්ථිර ආදායම් මාර්ගයක් පවා නොමැතිව සිටි සුපුන්ට සිදුවන්නේ මත්ද්‍රව්‍ය වෙනුවෙන් මංකොල්ලකන්නටය.

අරගලයේ උණුසුම සමාජයෙන් පහව යන්නටත් මත්තෙන් සුපුන් පොලිස් අත්අඩංගුවට පත්වන්නේ ද පැපිලියානේ සිල්ලර වෙ‍ළඳ සැලක හිමිකරුවකුගේ ගෙල මිරිකා මුදල් බෑගයක් කොල්ලකන්නට ගොසිනි. බස්නාහිර පළාත් දකුණු දිසා අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් සුපුන්ව අත්අඩංගුවට ගන්නේ එම කොල්ලකෑම සිදුව පැයක් හමාරක් යන්නට මත්තෙනි. ඒ ඔහුගේ ගෝලබාලයන් දෙදෙනෙක්ද සමඟිනි. කොල්ලකෑ මුදල් බෑගය මෙන්ම ඔවුන් ඒ සඳහා පැමිණි යතුරුපැදිය පවා බස්නාහිර පළාත් දකුණු දිසා අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් සොයා ගත්තේය.

අරගලයේ මුල් පෙළේ ක්‍රියාකාරිකයකු වූ සුපුන් එදාත් ඔහුව අත්අඩංගුවට ගැනීමට ගිය පොලිස් නිලධාරීන්ට සිය ලොකුකම් පා තිබුණේය. ඒ අරගලයේ හයිය පෙන්වමිනි.

ජනාධිපති මන්දිරයට සහ ජනාධිපති ලේකම් කාර්යාලයට පහරදීමට සුපුන් ඝෘජුවම සම්බන්ධ වූවෙක් මෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාරගේ තලංගම පිහිටි නිවසට පහරදීමටත් මොරටුව නගරාධිපතිවරයාව සිටි සමන් ලාල් ප්‍රනාන්දුගේ නිවසට පහරදී ගිනි තැබීමටත් නායකත්වය ගෙන කටයුතු කර ඇති අයෙක් බවත් එකල හෙළි කර ගන්නේ බස්නාහිර පළාත් දකුණු දිසා අපරාධ කොට්ඨාසයේ නිලධාරීන්ය. ඒ සුපුන් ගැන කළ දීර්ඝ විමර්ශනය ප්‍රතිඵලයක් ලෙසිනි.

ගණිකා ජාවාරමට සුපුන් පිවිසෙන්නේ මේ හැම අපරාධයකටම සැකකරුවෙක් ලෙස බන්ධනාගාරගතව සිට ඇප මත එළියට ඒමෙන් අනතුරුවය. පොලිසියට පෙනී ගොස් ඇත්තේ අරගලයට මුවාවෙමින් සුපුන් ලොකු ගේමක් ගසමින් සිටින බවය. ඔහු මේ දේවල් කිසිදු බියක් සැකක් නොමැතිව කරනුයේ මොන කුප්ප වැඩක් කළත් තමන් වෙනුවෙන් අරගලයේ ඉදිරි පෙළ රැඳී සිටි ඇතැම් ක්‍රියාකාරිකයන් තමන් වෙනුවෙන් පෙනී සිටින බව ඔහු දන්නා බැවිනි..

Comments