
අපේ රටේ දියුණු කළ හැකි සම්පත් බොහෝය. ඒවා සම්බන්ධයෙන් නිසි පරිදි පර්යේෂණය කර ඒ හරහා මෙරටට අවශ්‍ය විදේශ විනිමය සොයා ගැනීමට අදාළ කටයුතු සිදු කිරීම කෙරෙහි අවධානය යොමුව ඇත්තේ ඉතා අවම වශයෙන් වීම ඇත්තෙන්ම කනගාටුදායකය.
විශේෂයෙන්ම අපට ආවේණිකම වූ සම්පත් කෙරෙහි අප වැඩිපුර අවධානය යොමු කළ යුතුය. එහෙත් අප රටේ එවැනි අවධානයක් යොමු කර ඇත්තේද? අද සිළුමිණ සාකච්ඡාවෙන් සිදු කරන්නේ අපටම ආවේණික වූ එවන් විශේෂිත කරුණක් කෙරෙහිය. සිළුමිණ සමඟ අද කතාබහට එක්වන්නේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ භූ ගර්භ විද්‍යා පිළිබඳ හිටපු ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අතුල සේනාරත්නය.
ඔහුගේ මාතෘකාව වන්නේ අපේ දකුණු මුහුදු තීරයේ මෙන්ම දකුණු භූමි ප්‍රදේශයේ ඇති ලෝකයටම වටිනා වූ භූමි භාගයක් ගැනය. එය ‘අහවල් තැනින්‘ ආරම්භ වී ‘අහවල් තැනින්‘ අවසන් වනවායැයි අපට එක්වරම කිව නොහැකිය. විශේෂයෙන්ම මුහුදු තීරය හා ගොඩබිම් තීරයද සහිතව වූ මේ කලාපය ලෝකයටම විශේෂිත වු භූමියක් බව මේ වන විට පර්යේෂණවලින් සොයාගෙන තිබේ.
විද්‍යාවේ දියුණුවත් සමඟම ලෝකයේ සිදු කරන්නා වූ පර්යේෂණ හා සොයා ගැනීම්හි සැලකිය යුතු ලෙස වර්ධනයක් සිදුව තිබේ. එසේම ඒ පර්යේෂණයන්ගේ ප්‍රතිඵලවලින් ලෝකයටම විශාල ප්‍රයෝජන ලබා ගැන්මට හැකිව තිබේ.
විශේෂයෙන්ම පොළොව අභ්‍යන්තර ගවේෂණය මෙහිලා විශේෂී බව පෙන්වා දිය යුතුය. පොළොව අභ්‍යන්තරයේ විශේෂයෙන් වැදගත් වන්නේ ගුරුත්වාකර්ෂණ බලයයි.
ගුරුත්වාකර්ෂණය මැනීම මෙහිදී වඩාත් වැදගත් වනු ඇත. ඝනත්වය වැඩි පාෂාණ තට්ටුවකට වඩා ඝනත්වය අඩු පාෂාණ තට්ටුවක ගුරුත්වාකර්ෂණ බලය වැඩියි. මේ නිසා පොළොවට ඇද ගැනීමේ ශක්තිය වැඩියි. මේ සංකල්පය අතීතයේ සිටම ගුරුත්වාකර්ෂණය හා බැඳී පවතී. මේ ගුරුත්වාකර්ෂණ මැනීම හරහා අතීතයේ සිට භූමිය අභ්‍යන්තරයේ ව්‍යාකූල තත්ත්ව සොයා ගැනීමට උපකාරී විය.
එමෙන්ම ඒ හරහා භූමිය අභ්‍යන්තරයේ ඇති අපට වඩාත් ප්‍රයෝජනවත් දේ ද සපයා ගැන්මට හැකිවනු ඇත. එහිදී ශ්‍රී ලංකාව උදාහරණයක් ලෙස ගත හැකිය.
1960 දශකයේදී ශ්‍රී ලංකාවේ උතුරු ප්‍රදේශයට වන්නට සිදු කළ ගවේෂණයේදී සොයා ගැනීමට හැකි වූයේ මන්නාරමට උතුරින් හා දකුණින් ඛනිජ තෙල් නිධි තිබෙන බවයි. පෝක් සමුද්‍ර සන්ධියද ඇතුළුව මන්නාරම් දූපත ආශ්‍රිතව මේ නිධි තිබෙන බව අනාවරණය විය.
ඒ අනුව මන්නාරම ද්‍රෝණිය මෙරටට ඛනිජ තෙල් සම්පත් ලබා ගත හැකි බවට අපට කරුණු සොයා ගැනුණ ද එයින් කිසිදු ප්‍රයෝජනයක් මේ වන තෙක් ලබා ගෙන නැත.
එහිදී 1970 දශකය වන විට සොයා ගෙන තිබුණේ එවැනි ද්‍රෝණි දෙකක් තිබෙන බවයි. එය ආර්ථික වශයෙන් මෙරටට විශාල වාසියක් විය.
අප ඒ කතා කෙළේ භූමිය අභ්‍යන්තරයේ ඇති එක් පැත්තකින් සිදු වන්නා වූ වාසි ප්‍රයෝජනය.
ආචාර්ය ආතර් සී. ක්ලාක් විසින් විශ්වය ගැන රචිත කෘතියක සඳහන් වූයේ ශ්‍රී ලංකා භූමියේ සිට අභ්‍යවකාශයට පිවිසුමක් නිර්මාණය කළ හැකි බවයි. පොළොවේ සිට අභ්‍යවකාශයට ආධාරක සෝපානයක් පහසුවෙන් ස්ථාපිත කළ හැකි බව ඔහු දක්වා තිබුණි. එයට හේතුව ලෙස ඔහු දක්වා තිබුණේ මෙරට භූමියෙන් ඉහළට යාම අනෙක් රටවලට වඩා වඩාත් පහසු බවයි.
ආචාර්ය ආතර් සී. ක්ලාක්ගේ කෘති ප්‍රබන්ධ වුවද එයින් බහුතර කෘති හරහා ප්‍රායෝගික විද්‍යා සංකල්පයන් ඉදිරිපත් කර තිබුණි. මීට වසර කිහිපයකට පෙර නාසා ආයතනය හා යුරෝපීය අභ්‍යවකාශ මධ්‍යස්ථානය එක්ව සමස්ත ලෝකයේම ගුරුත්වාකර්ෂණය මැන බැලීමක් සිදු කරන ලදී. ඒ සඳහා විශේෂිත චන්ද්‍රිකාවක් දියත් කළ අතර එය වසර 10ක් 12ක් පමණ සමස්ත පෘථිවි තලයේම ගුරුත්වාකර්ෂණය මැන බැලීමට යොදා ගන්නා ලදී. එහිදී හෙළි වූ විශේෂිතම කරුණක් වූයේ පෘථිවිය ගෝලාකාර බවට වූ මතය සම්පූර්ණයෙන්ම සත්‍ය නොවන බවයි. එය අතින් මිරිකන ලද මැටි ගුලියක් මෙන් යම් විෂමාකාර හැඩයකින් යුත් බව නාසා ආයතනය විසින් සොයා ගන්නා ලදී. එය අමුතුම හැඩයකින් යුක්ත බවත් එහි ගුරුත්වාකර්ෂණය අඩු තැන් මෙන්ම වැඩි තැන්ද ඇති බවත් එහිදී අනාවරණය විය.
එහිදී ගුරුත්වාකර්ෂණය අඩු ස්ථානවලදී චන්ද්‍රිකාව කක්ෂයෙන් මඳක් ඈත්ව ගමන් කිරීමත් ගුරුත්වාකර්ෂණය වැඩි ස්ථානවලදී ආසන්නයෙන් ගමන් කිරීමත් සිදුව තිබේ. එයින් ඉතා පැහැදිලිව ඔප්පු වී ඇත්තේ ගුරුත්වාකර්ෂණය පෘථිවියේ සියලු ස්ථානයන්හි එකම මට්ටමකින් නොපවත්නා බවයි. එහිදී හෙළි වූයේ ලෝකයේ ගුරුත්වාකර්ෂණ බලය අඩුම ස්ථාන පිහිටා ඇත්තේ ශ්‍රී ලංකාවේ බවයි. විශේෂයෙන්ම දකුණු මුහුදු කෙළවරේ ගොඩබිම් කලාපයේ සිට මුහුද අභ්‍යන්තරය දක්වා මෙසේ ගුරුත්වාකර්ෂණය අඩු ස්ථාන බවට හඳුනා ගෙන තිබේ.
දකුණේ අම්බලන්තොට නෝනාගම මුහුදු තීරයට ආසන්නයේ පිහිටා ඇති උස්සන්ගොඩ ප්‍රදේශයද මෙහිලා විශේෂිතය. අභිරහස් හා කුතුහලය මතුකරන ජනප්‍රවාද ගණනාවකට මූලික වූ මෙම ප්‍රදේශය ඉතා දැකුම්කඑ මනස්කාන්ත බවක් උසුලයි. ඇතැම් ජනප්‍රවාදවලින් කියැවෙන්නේ මෙම ප්‍රදේශයට උල්කාපාතයක් කඩා වැටී ඇති බවයි. නැතහොත් මෙම ප්‍රදේශය ආසන්න වායුගෝලයේදී උල්කාෂ්මයක් පිපිරී ගොස් ඇති බවයි. මතුපිට පාෂාණ කොටස් කළු පැහැයට ආසන්න දුඹුරු-රතු මිශ‍්‍ර පැහැයක් දරණ අතර උණුවී ද්‍රව වී ගිය ස්වරූපයක්ද පෙන්වයි. උල්කාපාතයක් පිපිරීමේදී පිටවන අධික තාපය මඟින් පාෂාණ උණුවී ගොස් ඇති බැව් අතීතයේ සිට ජනතාවගේ විශ්වාසයි. එමෙන්ම රාවණා රජුගේ දඬුමොනරය බැස්ස වූ ප්‍රදේශය මෙය බවද ඇතැමුන් සලකනු ලැබේ. එසේ වුවත් මෙය අක්‍රිය තලයක පිහිටා ඇති බව මහාචාර්යවරයා පවසයි. ඔහු පවසන්නේ ත්‍රිකුණාමලයේ සිට උස්සන්ගොඩ හරහා අක්‍රිය තලයක් පවත්නා හේතුව පිළිබඳව පර්යේෂණ කළ යුතු බවයි.
කැනඩාවේ උතුරු ප්‍රදේශවල යම් ප්‍රදේශ කිහිපයකද මෙලෙසින් ගුරුත්වාකර්ෂණය අඩු බවට තොරතුරු ලැබී තිබුණද එම පෙදෙස් තැන් තැන්වල විහිදී පැවතුණද ශ්‍රී ලංකාවේ භූමිය කේන්ද්‍රගතව තිබීම නිසා එහි විශාල වටිනාමක් තිබේ.
ගුරුත්වාකර්ෂණය හෙවත් පොළොවට ඇද ගැනීම අඩු මට්ටමක තිබීම යනු පොළොවෙන් මිදී අභ්‍යවකාශයට ගමන් කිරීම පහසු බවයි. තවත් ලෙසකින් පවසන්නේ නම් රොකට් යානයක් හෝ චන්ද්‍රිකාවක් අභ්‍යවකාශගත කිරීම වඩා පහසුවෙන් කළ හැකි බවයි. පොළොවට ඇද ගැනීම අඩු බැවින් පොළොවෙන් මිදීම ඉතා පහසුය.
ආචාර්ය ආතර් සී. ක්ලාක් විසින් පවසන ලද ශ්‍රී ලංකාවේ සිට අභ්‍යවකාශයට ‘සෝපානයක් තැනීම‘ යන්න ගැන අලුතින් කතා කළ යුතුව තිබේ. ඒ අනුව ශ්‍රී ලංකාවේ දකුණු දිග සිට අභ්‍යවකාශයට යානා යොමු කිරීමේදී අඩු මුදලකින් එය කළ හැකි වනු ඇත. විශේෂයෙන්ම ඇමරිකාවේදී හෝ වෙනත් බටහිර රටකදී මෙන්ම චීනය වැනි රටකදී එය අභ්‍යවකාශගත කිරීමට වඩා අඩු පිරිවැයකින් එය කළ හැකි වනු ඇත.
එහෙත් ඊට පෙර මෙරට දකුණු දිග ප්‍රදේශය ගුරුත්වකර්ෂණයෙන් අඩු ඇයිද යන්න ගැන විශේෂ පර්යේෂණයක් කළ යුතුය. එය මෙරටට කළ හැකි මට්ටමේ පර්යේෂණයක් නොවේ. එහෙත් මෙරට විශ්වවිද්‍යාල මහාචාර්යවරු, ආචාර්යවරුන් ඇතුළු පිරිස් මෙන්ම ඉංජිනේරු සහායද ලබා ගත හැකි වනු ඇත. සංවර්ධන අංශයක් හරහා එය වැඩිදියුණු කර අදාළ ගවේෂණ කටයුතු කළ යුතුය.
ඒ සඳහා නාසා ආයතනය, යුරෝපීය අභ්‍යවකාශ මධ්‍යස්ථානය වැනි ආයතනවල සහාය ලබා ගත යුතු වේ.
අභ්‍යන්තරික පාෂාණ ස්ථර ගැන විශේෂ විමර්ශන කළ යුතු වේ. ඒ සඳහා පොළොව අභ්‍යන්තරයේ ගැඹුරු කැණීම් කළ යුතුය. මේ වන විට ලෝකයේ පොළොවෙන් කිලෝමීටර් 12ක් පමණ ගැඹුරට කළ කැණීම් දක්නට තිබේ. ඒ ලෙසින් ලෝකයේම අවධානය අපට යොමු කර ගත හැකිය.
ඒ හරහා යානා කක්ෂගත කරනු ලබන ස්ථානයක් මෙරට ස්ථාපිත කළ හැකිය. එය විදේශ විනිමය උල්පතකි.
මේ වන විට ජපානය, ඇමරිකාව, කේප් කෙනවරල් තුඩුව මෙන්ම චීනය වැනි රටවල රොකට් යන්ත්‍ර අභ්‍යවකාශයට විදින ස්ථාන වෙනුවට ශ්‍රී ලංකාව යොදා ගැනීමෙන් අපට විශාල විදේශ විනිමයක්ද උපයා ගත හැකි වනු ඇත.
එහෙත් ඒ සියල්ලටම පෙර පැහැදිලි පර්යේෂණයක් කළ යුතුය.
මේ ලෙසින් ආරම්භ කරනු ලබන ව්‍යාපෘතියක් මඟින් කිසිදු පරිසර හානියක්ද සිදු නොවේ. රටක් දියුණු කරන්න නව මංපෙත් සොයා ගත යුතු වේ. එකම කාර්යය වුවත් වෙනස් ආකාරවලින් එළියට ගැනීම හරහා බොහෝ දේ කරගත හැකිය.
මේ වන විට ලොව විදුලි බලය අඩුවෙන්ම ලබා දෙන රට ලෙස චීනය ඉතිහාස ගත වී අවසන්ය. ඒ න්‍යෂ්ටික විදුලි බලයේ පිහිටෙනි. එහෙත් පරමාණු යන වචනය කන වැකුණු විගස අපට එය වහකඳුරු මෙනි. එහෙත් න්‍යෂ්ටික විදුලි බලය වැනි දේ අප වැනි රටකට අත්‍යාවශ්‍යය. එවැනි කරුණක් ලෙසින් සොයා බලා මෙරට භූ අභ්‍යන්තර පර්යේෂණ කටයුතු වහාම ආරම්භ කළ යුතු වේ. ඒ හරහා අභ්‍යවකාශය හා ගනුදෙනු කිරීම පවා ආරම්භ කළ හැකිය. දැන් අපට සිදුව ඇත්තේ එහි වාසියද නොගෙන කිසිදු පර්යේෂණයක්ද නොකිරීමය. රොකට් තාක්ෂණය ගෙන එන්නට අපට යම් වාසනාවක් ඇත්දැයි ඉදිරියේදී බලමු.