
ලංකාවේ නොමැකෙන හින්දි ගී හඬ ටෝනි හසන්
කලාවට ළබැඳි සිත් සෝ සුසුම් අතර තනිකරමින් කලක් මෙරට ගායන ලොවේ ඉහළින්ම වැජඹුන ගායකයන් දෙපළක් සිය දිවි ගමන නිමා කළහ. ඉන් කෙනෙකු වන්නේ ටෝනි හසන් නම් කලාකරුවාය. හින්දි ගීයෙන් සුවහසක් රසික සිත් මුසපත් කළ ඔහුගේ මියුරු ස්වරය පසුගියදා නිහඬ විය. එහි උණුසුම යන්නට මත්තෙන්ම ගී ලොව පිබිදවූ තවත් දීප්තිමත් තරුවක් නිවී ගියේය. ඒ දශක 6ක් පුරා ජනප්‍රියත්වයේ හිනිපෙත්තේ රැඳුණු ගී රැසක හිමිකරුවා වූ ක්‍රිස්ටෝපර් පෝල් නම් ප්‍රවීණ ගායකයාය.
1962 වසරේ ලලිත් එස්. මෛත්‍රීපාල සහ කරුණාරත්න අබේසේකරයන්ගේ ආරාධනයෙන් කොම්පඤ්ඤවීදියේදී කුළුඳුලේ වේදිකාවට නැඟි ටෝනි හසන් ගායකයකු ලෙස රසිකයන් අතරට එන්නේ. සරල ගී ගායකයකු වූ තම මාමාගේ ගීත ගයමිනි. 1966 වසරේ ආර්. මුත්තුසාමි නම් සංගීතවේදියා සංගීතවත් කළ, එඩී ජුලියස් රංගනයෙන් දායක වූ ‘ඔබ නැති නම්‘ චිත්‍රපටයේ ගීත ගායනා කරමින් ඔහු චිත්‍රපට පසුබිම් ගායනයට ද පිවිසියේය. විජය කුමාරතුංග, ගාමිණී ෆොන්සේකා, ටෝනි රණසිංහ, ශෂී විජේන්ද්‍ර වැනි දක්ෂ, ප්‍රවීණ නළුවන්ට පසුබිමි ගායනය සැපයූ ඔහු මියයන විට 40කට අධික චිත්‍රපට සංඛ්‍යාවකට තම මියුරු ස්වරය මුසු කොට තිබිණි. ඒ අතරින් සුජාතා අත්තනායක, ඇන්ජලීන් ගුණතිලක, ලතා වල්පොල, මාලනී බුලත්සිංහල, නිරෝෂා විරාජිනී, චම්පා කල්හාරි, චාන්දනී සෙනෙවිරත්න වැනි ක්ෂේත්රයේ ප්‍රවීණ ගායිකාවන් සමඟ ගැයූ චිත්‍රපට යුග ගීතයන් බොහෝ සේ ජනප්‍රිය විය.
1964 වසරේ තිරගත වූ ‘දෝස්ති‘ හින්දි චිත්‍රපටයේ ජනප්‍රිය ගීත ගායනයත් සමඟින් ඔහු ආ ගමන් මඟ වෙනස් දිශානතියක් කරා යොමු විය. ඒ ඔස්සේ ඔහුට වෙනමම රසික ප්‍රජාවක් නිර්මාණය විය. මෙතෙක් ඔහු ගැයූ සිංහල ගීයට පෙම් බැඳි රසික සිත් හින්දි ගීයට ලොල් වන්නට පටන් ගත්තේ ඔහුගේ මිහිරි හඬ හින්දි ගීයට මනාව ගැළපීම නිසා වන්නට ඇත. හින්දි, දමිළ, සිංහල යන භාෂා ත්‍රිත්වයෙන්ම ගීයට මනා රස මුසුවක් එක්කළ ටෝනි හසන් නම් ගී තරුව ප්‍රසංග වේදිකාවට නැතුවම බැරි ගායකයෙක් බවට පත්වූවේ එලෙසිනි. හින්දි ගී රසිකත්වය කොතෙක් ප්‍රබල වූවේ ද යත් ඔහු සිංහල ගී ගැයුවාද යන්න පවා රසිකයන්ට අමතක වූවා සේ හින්දි ගී ඉල්ලුම ඉහළ ගියේය. රසික ඉල්ලීමට එරෙහි නොවූ ඔහු වරක් මෙසේ පවසා තිබිණි.
“මට එහෙම කරන්න බැරි වුණා. හැමෝම මගෙන් ඉල්ලුවේ හින්දි ගීත. ඒ තිබුණු ඉල්ලුමට එරෙහි වෙන්න මට බැරි වුණා. හින්දි ගීත ඉල්ලන ප්‍රසංගයකට මම ගිහින් සිංහල සින්දු කිව්වට වැඩක් වෙන්නෙ නැහැනෙ. “ එතරම්ම ඔහු රසිකයන්ට ප්‍රේමණීය වූ ගායකයෙකි.
---------------------------------
රන් රුවන් තොරන් තනා නික්ම ගිය ක්‍රිස්ටෝපර්
1936 අප්‍රේල් 10 වැනිදා මොරටුව කොරළවැල්ලේදී උපත ලද ආදිහෙට්ටිගේ ක්‍රිස්ටෝපර් එමැනුවෙල් පෝල් හෙවත් ක්‍රිස්ටෝපර් පෝල් නමැති ගී ලොව දීප්තිමත් තරුව ද පසුගිය 18 වැනිදා සිය දිවි ගමන නිම කළේය.
‘හා මල් පිපෙන්නෙ ගඟ ගලන්නෙ හඬ නඟා‘, ‘ඇළ දොළ ගංගා යාවි ගලා‘, ‘උදේ ගෙදර පුංචි යුද්ධයක්‘, වතුර නාලා තෙත කොණ්ඩෙ කඩාලා‘, ‘රන් රුවන් තොරන් තනා‘ වැනි අතිශයින් ජනප්‍රිය ගීවල මිහිරෙන් රසික සිත් මන්මත් කළ ක්‍රිස්ටෝපර් පොල් කලාවට පිවිසියේම හෙළයේ මහා ගාන්ධර්වයකු වූ සුනිල් ශාන්තයන්ගේ සෙවණේ පහස ලබමිනි. එම අනගි අවස්ථාව ඔහුට හිමිවූයේ තම පාසල වූ මොරටුව ශාන්ත සෙබස්තියන් විද්‍යාලයේ සංගීතාචාර්ය ෆ්‍රැන්සිස් පෙරේරා ගුරුතුමාගේ මඟපෙන්වීමෙනි. දස වසරක් සුනිල් ශාන්තයන්ගේ ඇසුරේ සංගීතය හැදෑරූ ක්‍රිස්ටෝපර්ට ඒ ඔස්සේ ගුවන්විදුලියට සම්බන්ධ වීමේ අවස්ථාව හිමිවූයේ ගුවන්විදුලියේ සරල ගී පරීක්ෂණයෙන් සමත්වීමෙනි. තම නැඟණිය බර්නඩෙත් සමඟින් ඔහු මුල්ම ගීතය ගායනා කළේ ආධුනික ගී වැඩසටහනකදීය. ඒ ‘පීනා විලේ මැද ඕලු‘ නම් ගීතයයි.
ප්‍රකට ගුවන්විදුලි නිවේදකයකු වූ ආරියසේන මිල්ලවිතානාරච්චි ක්‍රිස්ටෝපර්ගේ ලොකු මස්සිනාය. 1959 වසරේ ඔහුගේ ජනප්‍රියම ගීතය වන ‘හා මල් පිපෙන්නෙ ගඟ ගලන්නෙ හඬ නඟා‘ ගීතය බිහිවන්නේ ද ඔහුගේ සහායෙනි. ඉතාලි ගීයට බෙහෙවින් පෙම් බැඳි ක්‍රිස්ටෝපර්ට තම සිත්ගත් ඒ ගීය තම බසින් ගායනා කිරීමේ ආශාවක් ඇති විය. තම අදහස ලොකු මස්සිනාට කියූ සැණින් ඔහු එයට සුදුසුම පද රචකයා සොයාදී ඔහු සිතැඟි සපුරාලීය. ගී රචකයාට එයට ගත වූයේ විනාඩි ගණනකි. ක්‍රිස්ටෝපර් ඉතාලි ගීය ගයද්දී ඊට සමගාමීව යමින් එයට සිංහල වචන මුසු කරමින් ‘හා මල් පිපෙන්නෙ ගඟ ගලන්නෙ හඬ නඟා‘ ගීය බිහිකළේ කරුණාරත්න අබේසේකරයන්ගේ බාල සොයුරු ගුණරත්න අබේසේකරයන්ය.
රෝයි ද සිල්වා, ෆ්‍රෙඩී සිල්වා යනු ක්‍රිස්ටෝපර්ගේ අතිජාත මිතුරන්ය. ජැන්ඩියට හැඳ පැලඳ, මිතුරන් පිරිවරාගෙන විනෝදකාමී දිවියක් ගත කළ ක්‍රිස්ටෝපර් 1967 අගොස්තු 15 වැනදා යුගදිවියට එළැඹෙන්නේය. ඇය ලලනි ගුණසේකරය. ඔවුන් දෙපළට දරුවන් තිදෙනෙකි. මින් වසර තුනකට පෙරදී. ඇය දිවි ගමන නිමා කළාය. රසික සිත් මන්මත් කළ මේ සොඳුරු ගායන ශිල්පිය 87 වැනි වියේදී සිය දිවි ගමනට සමුදුන්නේය.