
කැමරාකරණය කියන්නෙත් කලාවක්. ලංකාවේ ඉන්න ජනප්‍රිය කැමරාකරුවන් අතරේ ස්ටීව් ඇංජලෝගේ නමත් තියෙනවා. කලාකරුවන්ගේ විශේෂ කටයුත්තකදි බොහෝ විට ඔහු ඇරයුම් ලබන කෙනෙක්. ඇතැම් ජනප්‍රිය පිරිසගේ නිත්‍ය කැමරාකරු ඔහු. කැමරාවට ප්‍රේම කරන්න කලින් ඔහු ගීතයට ආදරේ කරනවා. මේ වෙද්දී ඔහු ගායකයෙක් බවටත් පත් වෙලා. මේ කතාබහ ඔහු ගැනයි.
ඇංජලෝ දැන් කැමරාව පැත්තකින් තියලා සිංදු කියන්න පටන් ගත්තද...?
මෙහෙමයි. ආර්ථික ප්‍රශ්න එක්ක තමයි මම රස්සාවක් කරන්න ඕන නිසා කැමරාකරුවෙක් වෙන්නේ. මුලින්ම මම ගායකයෙක් විදිහට සංගීත කණ්ඩායමක හිටියා. එතැනදි ජනප්‍රිය පුද්ගලයෙක් මට කිව්වා අනුන්ගේ සිංදු නොකියා තමන්ගෙම ගීත කරන්න කියලා. ඒ නිසා ඇති වුණු හිත් රිදීම් එක්ක මම හිතුවා ටික කාලෙකට මම පැත්තකට වෙලා ඉන්නවා මගේම නිර්මාණ කරනකල් කියලා. ඊට පස්සේ කැමරාකරණය ට සම්බන්ධ වෙනවා. ඒ අතරතුර කාලයක් ගියාට පස්සේ අර හැංගිලා හිටිය ගායකයා උඩට මතු වුණා. මගේම නිර්මාණ එක්ක එළියට ආවා.
අලුත් ගීතය ඔබ ගායනා කරන්නේ ඉදුනිල් අන්ද්‍රමාන්න එක්ක. ගායකයෙක් විදිහට හිට් වෙන්නද ඔහුත් එක්ක එකතු වුණේ ..?
මට හිට් එකක් වෙන්න ඕන නැහැ. නමුත් වෙනසක් කරන්න ඕන කියලා හිතුවා. ඒ වෙනසට ගැළපෙන කටහඬ තමයි ඉදුනිල්. මම ඉඳුනිල් අයියව දන්නේ එයාගේ පවුලේ හැම විශේෂ කටයුත්තකටම ෆොටෝග්‍රැෆර් විදිහට යන නිසා.
සිංදුවක් කරන්න ආසවෙන් ඉන්නවා කියලා දැනගෙන හිටපු ඉඳුනිල් අයියගේ වයිෆ් තමයි කිව්වේ මල්ලී ඔයා අයියා එක්ක සිංදුවක් කරන්න කියලා. ඉඳුනිල් අයියා කිව්වා මල්ලී මේක අක්කගේ ඕඩර් එකක් අපි සිංදුවක් කරමු කියලා. ඔහුගේ නිහතමානීකම නිසා තමයි මම වගේ කෙනෙක් එක්ක මේ ගීතය කරන්න කැමති වුණේ.
ඒ විදිහට තමයි රූකඩ ගීතය බිහිවෙන්නේ. එහි පද රචිතා වාකිෂ්ටගේ. සංගිතය තිලිණ රුහුණුගේ. ලස්සන වැඩක් හොඳ ප්‍රතිචාර ලැබුණා. හරිම සතුටු යි.
රූප රාමුත් වෙනස්..?
රූකඩ කලාව එකතු කරලා වෙනසක් කරන්න හිතුවා. ඒක ගීතයට ගැළපුණා කියලා හිතනවා. ආකර්ෂණය ගන්න තමයි ඒ විදිහට වෙනස් දෙයක් කළේ.
ගායනයට ඇවිත් කාලයක් ගත වුණත් ඔබ ගීත සීමිත ප්‍රමාණයක් තමයි නිර්මාණ කරලා තියෙන්නේ. ප්‍රතිචාර වැඩිපුර ලැබෙන්නේ ..?
කැමරාකරුවෙක් විදිහට තමයි මාව බොහෝ දෙනෙක් හඳුනන්නේ. මම හිරු නාළිකාවේ නිත්‍ය කැමරාකරු වෙලා කාලයක් හිටියා. දැන් නිදහස් කැමරාකරුවෙක් විදිහට එහි වැඩ කරනවා. කැමරාකරුවෙක් විදිහට දුර්ලභ අවස්ථා කිහිපයක කැමරාකරු හැටියට වැඩ කරන්න ලැබුණා. එක අවස්ථාවක් තමයි ලංකාවට පාප් වහන්සේ ආ වෙලාවේ එහි ආවරණය මට පැවරීම. ඒ වගේම කලාකරුවන් බොහෝ දෙනෙකුගේ වැඩකටයුතුවලට ආසාවෙන් සම්බන්ධ වෙනවා.
ඒ නිසා ඔබ මිල අධික කැමරාකරුවෙක් වෙන්න ඇති ..?
විවාහ මංගල්‍යය උත්සව හෝ ඇතැම් ඉවෙන්ට්ස්වලට මිලක් නියම කරනවා. නමුත් කලාකරුවන්ගේ වැඩ ගොඩක් නොමිලේ කරලා දීලා තියෙනවා.
ඇයි ඔබ ප්‍රවිණ කැමරා ශිල්පි දයාන් විතාරණ දකින හැම මොහොතකම වඳින්නේ..?
දයක් විතාරණ සර් වගේ කවදා හරි වෙනවා කියලා හිතේ ආසාවක් තිබ්බා. එතුමාත් ගායකයෙක් වගේම ඡායාරූප ශිල්පියෙක්. ඒ නිසා මම එතුමාට ගරු කරනවා. ඒ නිසා තමයි මම ඔහු දකින හැම දවසකම ඔහුට වඳින්නේ. දවසක් ඔහු මගෙන් ඇහුවා ඇයි මල්ලී මට වඳින්නේ කියලා. ඔහුට මම කිව්වා මගේ ආසාව ඔබ වගේ කෙනෙක් වෙන එක කියලා , දවසක් ඔහු මගේ මුහුණු පොතට සටහනක් එක් කරලා දැනටමත් ඔයා මම වගේ වෙලා ඉවරයි කියලා සටහන් කරලා තිබ්බා. එදා මට සතුටු හිතුණා.
දැන් ආයෙමත් දිගටම ගයනවද..?
දැන් මට කියලා ගීත තියෙනවා. ඉදිරියටත් නිර්මාණ කරනවා. ඒ අතරතුර ඡායාරූපකරණයත් කරගෙන යනවා. විදෙස් සංචාර සඳහාත් ආරාධනා ලැබෙනවා. ආරාධනා ලැබෙනවා ගීත ගයන්න වගේම කැමරාකරණයට. ඩුබායි ඉන්න මගේ හිතවතා දුෂ්මන්ත මල්ලිකාරච්චි මේ වෙලාවේ මතක් කරන්න ඕන. මගේ රූකඩ ගීතයට සියලු වියදම් කළේ ඔහු. ඔහුට ස්තූතියි කියනවා. ඒ වගේම ලක්මාල් විජේසිරි තමයි මාව හිරු නාළිකාවට සම්බන්ධ කරන්නේ. ඔහු නිසා මම ගමනක් ආවා. ඔහුටත් ස්තූතියි මගේ ජීවිතේ වෙනස් කළාට.