මගේ ජීවිතේ හැරවුම් ලක්ෂ්‍යය අටේ පන්තියෙදි චෙස් අදින්න පටන් ගත්ත එක | Page 2 | සිළුමිණ

මගේ ජීවිතේ හැරවුම් ලක්ෂ්‍යය අටේ පන්තියෙදි චෙස් අදින්න පටන් ගත්ත එක

ඒ වන විට තම නිවුන් දරුවන් දෙදෙනා ඉපැදී ගත ව තිබුණේ අවුරුද්දකි. ජීවිතය වෙනස් හා ආලෝකවත් වෙමින් තිබිණි. එහෙත් අසුබ ආරංචි එන්නේ එකවනමය. ඔහුගේ මතකය ටිකෙන් ටික අඩු වෙන බවත්, වැඩිපුර නින්ද යන බවත් නිරීක්ෂණය කළේ ප්‍රිය බිරිය සමිතා ය. අවසන වෛද්‍යවරු කී දේ දෙසවන් අදහා ගත නොහැකි වුවත් යථාර්ථය එය බැව් පිළිගන්නට ඔහුට සිදු විණි. ඒ අදහා ගත නොහැකි සත්‍ය වූයේ ඒ වනවිටත් ඔහුගේ මොළයේ ගෙඩියක් වර්ධනය වෙමින් පවතින බවය. ශල්‍යකර්මය කඩිනමින් කළ යුතුව තිබිණි. ඒ ශල්‍යකර්මය ඔහු ජීවිතේ ගැන හිතන පතන විදිය මුළුමනින්ම වෙනස් කළේය. නමින් දීප්ති හේවාගීගන වන ඔහු ශල්‍යකර්මයෙන් වසර විසි එකකට පසු අප හා එහි මතකය ස්මරණය කළේ ජීවිතය ගැන මනා අවබෝධයෙන් යුතුවය.

අට වසරේ සිට මේ දක්වාම සක්‍රියව චෙස් ක්‍රීඩාවේ නිරත වෙන දීප්ති හේවාගීගන මොරටුව විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු උපාධියෙන් අනතුරුව ආයතන කිහිපයකට සිය සේවා දායකත්වය ලබා දුන්නෙකි. වත්මන ඔහු United Tractors and Equipment (pvt) Ltd හි ප්‍රධාන විධායක නිලධාරියා ය. මේ ඔහුගේ දිවිසැරියේ මතකාවර්ජනයකි.

සම්පූර්ණ නම

දීප්ති හේවාගීගන

උපන්දිනය

1964 දෙසැම්බර් 13 වැනිදා

ගම්පළාත

මම ඉපදුණේ දකුණෙ. ඒ වුණාට මම ඉපදුණාට පස්සේ අම්මයි තාත්තයි මහරගම පදිංචියට ආවා.

අම්මා තාත්තාගේ නම්

අම්මා අමරපාලී විජයවර්ධන විජයපාල පලිහවඩන. ඇය ගුරුවරියක්. තාත්තා හේවාගීගන ආරියදාස, ඔහු අධ්‍යාපන අධ්‍යක්ෂවරයෙක්. මම පවුලේ එකම දරුවා. 

පාසල් යන්නේ

කොළඹ ආනන්ද විද්‍යාලයට

පාසල් කාලෙ අමතර වැඩ කළාද?

මම විවිධ අමතර වැඩ කළා. පිහිනීම්, ශිෂ්‍ය භටයෙක් විදියට වගේ. අටේ පන්තියේ ඉඳිද්දි මම චෙස් අදින්න පටන් ගත්තා. මගේ ජීවිතේ පුරාම දුවන ක්‍රීඩාව වුණේ ඒක. මම කනිෂ්ඨ හා ජ්‍යෙෂ්ඨ චෙස් කණ්ඩායම් දෙකටම ක්‍රීඩා කළා. 1985 ඉඳන් 1989 දක්වා ශ්‍රී ලංකා කණ්ඩායමට ක්‍රීඩා කළා. චෙස් සම්බන්ධයෙන් තියෙන හැම දෙයක්ම වගේ කළා, මේ දක්වා.

උසස්පෙළ කරන්නේ?

මම ගණිත අංශයෙන් තමයි උසස්පෙළ කරන්නෙ. පළමුවර එච්චර හොඳට ප්‍රතිඵල තිබුණෙ නෑ. මොකද මගේ අරමුණ වෙලා තිබුණෙ චෙස් ක්‍රීඩා කිරීම. හැබැයි දෙවැනි වර පෙනී හිටලා මොරටුව විශ්වවිද්‍යාලයට ඉංජිනේරු විෂයයන් හදාරන්න යන්න අවශ්‍ය ප්‍රතිඵල ලබා ගන්නවා.

විශ්වවිද්‍යාලයට ගියේ ගෙදර ඉඳන් ද?

අපේ උපාධියෙ ස්වරූපය තමයි අවුරුද්ද කොටස් තුනකට බෙදලා තිබීම. මුල් වාර දෙකේදී මම ගෙදර ඉඳන් විශ්වවිද්‍යාලෙට ගියේ. ඒත් අන්තිම වාරය එහෙම කරන්න අමාරු වුණා. අපි හතර පස්දෙනෙක් එකතු වෙලා ගෙයක් අරන් තමයි අන්තිම වාරයේ විභාගයට සූදානම් වෙන්න පාඩම් කළේ.

ගෙදර තනි දරුවා නිසා බෝඩිමක නතර වෙනවට අම්මලා කැමැති වුණාද?

අපේ ගෙදර එහෙම එකක් තිබුණෙ නෑ. ළමයා කියලා එයාලා ළඟ ම තියාගන්න ඕන කියලා හිතුවෙ නෑ. මම නිදහසේ වැඩුණු කෙනෙක්. ඒක දිගටම තිබුණු විදිය

විශ්වවිද්‍යාල කාලෙත් චෙස් ක්‍රීඩා කළාද?

ඔව්. ඒවගේ ම පිහිනන්නත් ගියා. ක්‍රීඩා සංගම්වල ඉහළ තනතුරු දැරුවා ඒ කාලෙ.

89‍ කලබල ඇති වෙන්නට ඇත්තේ ඔබ විශ්වවිද්‍යාලෙ ඉන්න කාලෙ. අවුරුදු හතරෙන් නම් විශ්වවිද්‍යාලයෙන් පිට වෙන්න ඔබට ලැබෙන්න නැතිව ඇති?

ඔව්. අවුරුදු හතරෙ කාලය අවුරුදු හතක් දක්වා දික්වුණා. ඒ කියන්නෙ 1986 ඉඳන් 1992 දක්වා. අපි අවුරුදු දෙකකට වැඩි කාලයක් ගෙදර හිටියා. ජීවිතේ හොඳ ම කාලෙන් අවුරුදු දෙකක් විතර හරියට මකනයක් අරන් මකලා දැම්මා වගේ වැඩක් ඒක.

පළමුවැනි රැකියාව මොකද්ද?

United Tractors කියන සමාගමේ පුහුණු සේවා ඉංජිනේරුවෙක් විදියට. විශ්වවිද්‍යාලෙට දන්වලා තිබුණා ඒ ආයතනෙන් මේ පුරප්පාඩු ගැන. 92 දි මම ඒකට ඉල්ලුම් කළා. ගොඩක් අය ඉල්ලලා තිබුණා. මම ඇතුළු හතරක් තේරුණා. මාස හයක පුහුණුවකටයි ගත්තේ.

මාස හය ඉවර වුණාම?

මාස හයෙන් පස්සෙ අපිව ස්ථිර සේවයට බඳවා ගත්තා. හැබැයි මම අවුරුදු 4කට පස්සෙ එතැනින් ඉවත් වුණා

එතනින් පස්සේ ඔබ කොහාටද යන්නෙ?

මම විදුලි බල මණ්ඩලයට බැඳුණා විදුලි ඉංජිනේරුවෙක් විදියට. ඒ 1994 දි. අවුරුදු 4ක් මම එතැන හිටියා. ඊට පස්සෙ 97 අන්තිම වගේ මම අයින් වුණා විදුලි බල මණ්ඩලයෙන්

ඇයි ඉවත් වෙන්නෙ ඒ වගේ ස්ථාවර තැනකින්?

ඇත්තටම ගොඩක් අය ඒ වගේ තැන්වලින් ඉවත් වෙන්නෙ නෑ තමයි. ඒ වුණාට මම එකම දේ ගොඩක් කල් කර කර ඉන්න එච්චර කැමති නෑ

ඒ කියන්නෙ එකතැන පල් වෙන්න කැමැති නෑ, වෙනසක් හොයනවා?

ඇත්තටම. මට හිතෙනවා ජීවිතේ අභියෝග ඕන කියලා. නැත්නම් ඒකාකාරී වෙනවා. මට පරණ තැනින් ම ආයෙත් කතා කළා අපි එක්ක එකතු වෙන්න, අපි කළමනාකරණ තනතුරකට කෙනෙක් හොයනවා කියලා.

පරණ තැනටම ආපහු යන්න අකමැත්තක් හිතුණෙ නැද්ද?

නෑ, එහෙම එකක් නෑ. මම කලින් හිටියෙ සේවා ඉංජිනේරුවෙක් විදියට. නමුත් මේ දෙවැනි පාර United Tractors and Eqvipment Limited එකට එකතු වෙද්දි මම අලෙවි පැත්තෙ ප්‍රධානියෙක් ලෙස තමයි බැඳුණේ. ඒ 1997 දී Power Systems Divition එකට.

මේ විෂය පථයට අදාළ මොනවා හරි හැදෑරීම් ඒ කාලෙ කරලා තිබුණද?

ඔව්. 92 ඉඳන් 94 කාලෙ මම පටන් ගත්තා වරලත් අලෙවිකරණ පාඨමාලාව ( CIM ) කරන්න. මම ඒක කළෙත් අර අලුත් දේවල් කරන්න තිබුණු ආශාව නිසා. මම පළමුවැනි අවුරුද්දෙ විෂයයන් 6ක් කළා. හරිනම් අවුරුද්දට විෂයයන් හතර බැගින් කරන්න ඕන. නමුත් මම පළමුවැනි අවුරුද්දෙ විෂයයන් 6කුත් දෙවැනි අවුරුද්දෙ 5කුත් කළා. විශේෂත්වය තමයි මට Practice of Marketing විෂයයට ලංකාවේ වැඩිම ලකුණු හිමි වීම. ඒ විෂයයන් කරපු කෙනෙක් නෙවේනෙ මම. හැබැයි මම හරි ආසාවෙන් කළේ. මම විදුලි බල මණ්ඩලයේ ඉන්න කාලෙත් කොළඹ විශ්වවිද්‍යාලයේ MBA එක කළා. ඒක 1997 දි ඉවර කළා. ඊටත් පස්සෙ තමයි United Tractors ආයතනයට මම ආයෙත් ආවෙ

කොච්චර කාලයක් United Tractors ආයතනයේ හිටියද?

මම හිටියා 2002 වෙනකම්. 2002 දි මම ආයෙත් ඉවත් වෙලා හේලීස් එකට එකතු වුණා. Power and Jenarating Division එකේ දෙපාර්තුමේන්තු ප්‍රධානියා තමයි එකතු වුණේ. පටන් ගත්තේ කළමනාකරුවෙක් විදියට. මම ඒකේ අවුරුදු 17ක් හිටියා. 2019 වෙනකොට මම හිටියේ නියෝජ්‍ය කළමනාකාර අධ්‍යක්ෂ විදියට. ආයෙත් මට එකම දේ එක දිගට කිරීමේ අපහසුතාව ආවා. ඒ වෙනකොට මට United Tractors එකෙන් ආපහු ආරාධනයකුත් ලැබුණා

ඔබ යන යන පාරට එහෙන් කතා කරන්නෙ විශේෂ හේතුවක් නිසා ද? 

ඇත්තටම United Tractors ආයතනය තමන්ගෙ සේවකයන්ට හරිම හිතවත් ආයතනයක්. කවදාවත් සේවකයන් ව අතහරින්නෙ නෑ. මේ වගේ අසීරු කාලෙක පවා එයාලා සේවකයන්ට විශාල සහන දුන්නා. ඒ නිසා මම වුණත් ඒ ඔවුන්ගෙ ආරාධනාව ප්‍රතික්ෂේප කරන්නෙ නෑ.

තුන්වැනි පාර United Tractors එද්දි ඔබේ තනතුර මොකද්ද?

මම ආවෙ ප්‍රධාන විධායක නිලධාරියා විදියට. මේ තනතුරෙන් ඔබ්බට මේ ආයතන පරිපාලන සැලැස්ම අනුව යන්න තනතුරක් නෑ. මේක පවුල් ව්‍යාපාරයක්.

මේ කාලයේ ඔබ ජිවිතයේ ඉතා අසීරු දේකට මුහුණ දෙනවා. ඒ ගැන මතක් කළොත්?

ඔව්, ඇත්තටම මට මොළයේ ගෙඩියක් ආවා. ඒක වුණේ 2002 වසරෙදි විතර. ඒක ටිකක් සීරියස් ශල්‍යකර්මයක්. ලංකාවෙත් නෙවේ, ඉන්දියාවෙ කළේ.

කොහොමද දැන ගත්තෙ ලෙඩේ ගැන?

මගේ නෝනා තමයි හඳුනා ගත්තේ. ඇත්තටම මට ඒක තේරුණේ නෑ. එයාට තේරිලා තිබුණා මගේ මතකය අඩු වෙනවා, නින්ද යනවා වැඩියි වගේ ඒවා. එයා මාව වෛද්‍යවරයෙක් ගාවට අරන් ගියා. ඇත්තටම මගේ නෝනත් වෛද්‍යවරියක්. එතනින් තමයි දැන ගත්තේ. ලංකාවෙ තමයි මූලික සැත්කම කළේ. ඉන්දියාවෙදි මේජර් ඔපරේෂන් එක කළා.

සැත්කම ගැන හිතද්දි මොකද හිතන්නෙ

ඒක මගේ ජීවිතේ ප්‍රමුඛ හැරවුම් ලක්ෂ්‍යයක්. මම ජීවිතේ දිහා බලන විදිය මුළුමනින් ම වෙනස් වුණා. ඇත්තටම පරිණත වුණා කිව්වොත් නිවැරදියි. මේ ජීවිතේ තියෙන අනිත්‍යතාව, ශූන්‍ය බව මට අවබෝධ වුණා. වෙනදට වඩා වෙනස් ඇහැකින් ලෝකය බලන්න මට කවුළුව විවෘත වුණේ මේ සැත්කම නිසා.

මොකද හිතුණෙ මේ වගේ සැත්කමක් කරන්න වුණාම?

ඇත්තටම මට සැත්කම කරද්දි මතකය එහෙම ටිකක් අඩු වෙලා තිබුණෙ. ඒ නිසා මට ඒක එච්චර තේරුණෙ නෑ. පස්සෙ නම් මට හිතුණා ජීවිතේ කියන්නෙ මොකද්ද කියලා. මගේ ජීවිතේ වෙනස් වුණා ඒ සැත්කමෙන් පස්සෙ. මම වෙනස් වුණාට වඩා මම දේවල් දිහා වෙනස් විදියට බැලුවා.

කොහොමද ඒ වෙනස අනෙක් අය දැක්කෙ?

ඒ වගේ අත්දැකීමක් ලබන කෙනෙක්ට ඒක තේරෙනවා. අපි හැමතිස්සෙම හිතනවා කියනවානෙ මේ සියල්ල අනිත්‍යයයි, තාවකාලිකයි කියලා. හැබැයි ඒ කියන්නෙ නියම අර්ථයෙන් නොවෙයි. ඒක හරියටම තේරෙන එක තමයි මේ වගේ සැත්කමකින්, අත්දැකීමකින් වෙන්නෙ. මිනිස්සු එක්ක ගනුදෙනු කරන හැටි, තීරණ ගනිද්දි අපි කොහොමද ඒවට මුහුණ දෙන්නෙ කියන එක. ඇත්තටම තීරණ ගන්න බය හිතෙන්නෙ නෑ දැන්. වෙනස් වෙන්න, අලුත් වෙන්න කොහෙත්ම බය නෑ. ඒක හරියටම වචනවලින් කියන්න පුළුවන් දෙයක් නොවෙයි

ගෙදර අය කොහොමද ඒ කාලෙ මේ අත්දැකීම බෙදා ගන්න ඔබත් එක්ක හිටියෙ?

ඒක තමයි වැදගත්ම කාරණේ. ඒ අවුරුද්ද විශේෂ අවුරුද්දක්. 2001 තමයි මගේ නිවුන් දුවලා ඉපදුණේ. මම ඒ අත්දැකීම විඳිද්දි ඒ දෙන්නට අවුරුද්දක්වත් නෑ. බිරියත් ප්‍රසූත නිවාඩු ඉවර කළා විතරයි. ඉතින් ඒක ලොකු අභියෝගයක්. මට ගොඩක් උදව් කළා අපි දෙන්නගෙම මවුපියෝ. ඒ විතරක් නෙවෙයි, මගේ බිරියගෙන් ලැබුණු හයිය විශේෂයි. එයා ඇත්තටම මම වෙනුවෙන් ගොඩක් කැපවීම් කළා. ඒ වෙලාවෙ ඉඳන් මගේ සුවවීමේ කාල පරිච්ඡේදය දක්වා මට ලැබුණු සහය ඉතා වටිනවා.

දරුවො දෙන්නත් පොඩියි. අලුතෙන් ජීවිතේ වෙනස් වුණා විතරයි. මොකද හිතුණෙ?

මට ඇත්තටම ඒ කාලෙ මාස තුන හතරක මතකය නැති කාල පරිච්ඡේදයක් තියෙනවා. හැබැයි මට ඊට පස්සෙ ආව ලොකුම අභියෝගය වගේම සිතිවිල්ල වුණේ මේ වගේ දෙයක් ඕන මොහොතක වෙන්න පුළුවන් කියන එක. මම හැමතිස්සෙම මගේ පවුලෙ ආරක්ෂාව ගැන හිතන්න පටන් ගත්තා. එයාලට මම නැතිව වුණත් ජීවත් වෙන වටපිටාවක් හදන්න ඕන කියන එක මගේ හදවත පතුලටම දැනුණා.

මේ වෙනකොට තත්ත්වෙ කොහොමද? දැන් අවුරුදු 21ක් ගෙවිලා. තාමත් පරීක්ෂණ කරනවද?

අවුරුදු තුනෙන් තුනට මට පරීක්ෂණ කරන්න තිබුණා. මම ඒවා ඔක්කොම කළා. දැන්නම් වැඩිය එළවන්නෙ නෑ. දැන් ලොකු බෙහෙත් ගැනිල්ලක් නෑ.

කොහොමද ඔබ, ඔබේ සේවකයන් එක්ක ගනුදෙනු කරන්නෙ? එ් අය එක්ක මොනවගේ සම්බන්ධයක් ද තියෙන්නෙ?

මම කැමැතියි ඒක මෙහෙම කියන්න. අපි ආයතනය එක්ක වර්ධනය වෙන්න ඕන. අනික් දේ තමයි මම පිළිගන්න කාරණා තුනක් තියෙනවා. මිනිස්සුන්ගෙ දක්ෂතාවලට උදව් කරන්න අවශ්‍ය කාරණා තුනක් තියෙනවා. එකක් අවංක බව, අනෙක මහන්සි වී වැඩ කිරීම. තෙවැන්න කැපවීම. මේ තුන තියෙනවා නම් ඕන කෙනකුට ඉදිරියට යන්න පුළුවන්. මම අලුතෙන් එන අයට කියන්නෙ මේක

අලුත් පරම්පරාව ගැන මොකද හිතන්නෙ? ඔබ කියන මේ කරුණු තුන ඒ අයට තියෙනවාද?

දැන් ඉන්න පරම්පරාවෙ අය නිතරම හිතන්නෙ බලන්නෙ ළඟ ළඟ අරමුණු සාධනය කර ගන්න. ඒක තමයි ඒ අයගෙ විදිය. ඒක වැරැද්දක් විදියට දකින එක හරිද කියන ගැටලුව මට තියෙනවා. ඒක සමහර වෙලාවට වැරැද්දක් නොවෙන්නත් පුළුවන්. ඒ කියන්නෙ ධනාත්මක පැත්තකට යන්නත් පුළුවන්. අපිට තියෙන අභියෝගය ඒ අයගේ ඒ දේ හරියට පාවිච්චි කරන එක.

තමන්ගේ සේවකයන්ගේ ආවේණික දක්ෂතා හඳුනා ගන්නේ කොහොමද?

වගකීමක් දුන්නම ඒක ඉටු කරන විදිය හා හැසිරීම ගැන මම බලනවා. අර මුලින් කියපු කරුණු තුන තියෙනවාද කියන කාරණය. අවංකකම, කැපවීම හා මහන්සියෙන් වැඩ කිරීම. ඒක කනප්පුවෙ කකුල් තුන නම් ඒ උඩ තියෙන්න ඕන තාක්ෂණික කුසලතා සහ ඒ කාර්යයට අදාළ නිර්මාණාත්මක කුසලතා. මේ ටික විධි දෙකකින් මම හඳුනා ගන්නවා. එකක් සමහර දේවල් අපට ගණනය කරන්න බෑ. මහන්සිය, කැපවීම, අවංකකම වගේ ඒවා බලන්න වෙන්නේ ඔවුන් නිරීක්ෂණයෙන්. අනික් විදිය තාක්ෂණික කුසලතා සහ ඒ කාර්යයට අදාළ නිර්මාණාත්මක කුසලතා ආදිය ගණනය කිරීමෙන්. මේ දෙකේ එකතුවකින් තමයි අපිට ඒ අයගේ දක්ෂතා හඳුනා ගන්න වෙන්නෙ.

ජීවිතේ හැරවුම් ලක්ෂ්‍යය මොකද්ද? සැත්කමද?

සැත්කම නිසා මම වෙනස් වුණා. හැබැයි ඒක මගේ ජීවිතේ හැරවුම් ලක්ෂ්‍යය නොවෙයි. අටේ පන්තියෙදි චෙස් අදින්න පටන් ගත්ත එක තමයි මගේ ජීවිතේ ඇත්තම හැරවුම් ලක්ෂ්‍යය. මිනිස්සු එක්ක හැසිරීම, තර්කානුකූල බව මේ ඔක්කොම මට එන්නෙ එතැනින්.

කොයි කාලෙද විවාහ දිවියට ඇතුළත් වෙන්නෙ? කවුද ඔබේ ජීවන සහකාරිය?

1995 දී. ඇගේ නම සමිතා සෝමපාල. ඇය හෝමාගම මූලික රෝහලේ වෛද්‍යවරියක් ලෙස කටයුතු කරනවා. අපට නිවුන් දුවලා දෙන්නෙක් ඉන්නෙ. එක්කෙනෙක් ඉමායා, අනෙක් දුව පුනාරා. දෙන්නම තාම උසස් අධ්‍යාපනය ලබනවා.

පොත් කියවන්න, චිත්‍රපට බලන්න කැමැතිද?

ඉස්සර මම ඇබ්බැහි වෙලා පොත් කියවන කෙනෙක්. නමුත් දැන් නම් වෙලාව අඩුයි. චිත්‍රපට නම් පස්සෙන් පන්නලා බලන්නෙ නෑ. නමුත් ඉඳහිට බලනවා.

ලංකාවෙ නම් ඇවිදින්න කැමති කොහේද?

ඔව්. මම කැමැතියි ලංකාව පුරා ඇවිදින්න. නිතර ඇවිදින්න යනවා. හැබැයි විශේෂයෙන් යනවා කියලා එකක් නෑ. කොහේ හරි යනවා

බ්‍රෑන්ඩඩ් ද පාවිච්චි කරන්නෙ

කොහෙත්ම නෑ. කවදාවත් මට එහෙම දෙයක් තිබිලත් නෑ

විවේක වෙලාවට තාමත් චෙස් අදිනවද?

ඔව්. මම පුළුවන් හැමවෙලාවටම සෙල්ලම් කරනවා. දැන් ඔන්ලයින් කරන්නත් පුළුවන්නෙ.

ජීවිතේ හැරිලා බලද්දි පශ්චාත්තාප වෙන තැන් තියෙනවාද?

කිසිම විටෙක එහෙම නෑ. අර සැත්කමෙන් පස්සෙ කොහොමත් මට ඒ වගේ සිතිවිලි එන්නෙ නෑ

Comments