පොසොන් අසිරිය කැන්දන ‘ධර්ම රශ්මි’ හෝමාගම පිටිපන පොසොන් කලාපය | සිළුමිණ

පොසොන් අසිරිය කැන්දන ‘ධර්ම රශ්මි’ හෝමාගම පිටිපන පොසොන් කලාපය

2331 වැනි පොසොන් උත්සවය එළඹෙන ජුනි 3 වැනිදා උදා වන්නේය. මිහින්තලා පුදබිමේදි පැවැත්වෙන රාජ්‍ය පොසොන් උත්සවයට සමගාමීව ‘ධර්ම රශ්මි ‘ පොසොන් කලාපය මෙවර හෝමාගම පිටිපන නගර ආශ්‍රිතව පැවැත්වීමට මේ වන විට සියලු කටයුතු සූදානම්ව ඇත. ප්‍රවාහන මහාමාර්ග හා ජනමාධ්‍ය ඇමති බන්ධුල ගුණවර්ධනයන්ගේ උපදෙස් මත ‘ධර්ම රශ්මි‘ පොසොන් කලාපය සුදානම් වෙමින් පවතින අතර, ශාසනාරක්ෂක මණ්ඩලයේ මඟ පෙන්වීම යටතේ ජනසන්නිවේදන අමාත්‍යාංශය, මහාමාර්ග අමාත්‍යාංශය, බුද්ධශාසන අමත්‍යාංශය, නාගරික සංවර්ධන අධිකාරිය, ත්‍රිවිධ හමුදාව, පොලිසිය, සියලුම රාජ්‍ය ආයතන, බස්නාහිර පළාත් සභාව, හෝමාගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, හෝමාගම කලාප අධ්‍යාපන කාර්යාලය, හෝමාගම ප්‍රාදේශීය සභාව, හෝමාගම ප්‍රදේශවාසීන්, ව්‍යාපාරිකයින් මෙන්ම සියලු සංගම් එක්ව මේ සඳහා පූර්ණ සහභාගිත්වය ලබා දෙයි. 

ජුනි 3, 4 හා 5 වැනිදා දක්වා පැවැත්වෙන මෙම පොසොන් කලාපය කිලෝමීටර් 10ක් පුරාවට විසිරි පවතින අතර, හෝමාගම, පිටිපන, හරිත සරසවි පෙදෙස, දීගොඩ පාර හා ගොඩගම යන ප්‍රධාන නගර 5 ආවරණය වන අතර, පොසොන් කලාප තුනක් වශයෙන් මෙය ක්‍රියාත්මක වෙයි. ධර්ම රශ්මි පොසොන් කලාපයේදී ‍මෙවර බෞද්ධ ජනතාවට සුවිශේෂී වන්දනීය අවස්ථාවක් උදාවන අතර, වසර තුනකට පසු නීලගිරි සර්වඥ ධාතු වන්දනාව සිදු කිරීමට බෞද්ධයින්ට අවස්ථාව උදා වෙයි.

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව සතු නීලගිරි සර්වඥ ධාතු ප්‍රදර්ශනය පොසොන් පුන් පොහෝදා සිට දින තුනක් පුරාවට හෝමාගම පිටිපන ‘ ධර්ම රශ්මි ‘ පොසොන් කලාපයේදී පැවැත්වීමට සූදානම්ය. ජුනි මස 3 වැනිදා මෙම සර්වඥ ධාතූන් වහන්සේලා කොළඹ සිට පොසොන් කලාපයේ පිහිටි හෝමාගම සුගත බිම්බාරාම විහාරස්ථානය දක්වා වැඩම වන්නේ අලි ඇතුන් සහිත දර්ශනීය පෙරහරකිනි.

එදින දහවල් බුද්ධ පූජාවෙන් අනතුරුව මෙම ධාතු ප්‍රදර්ශනය කිරීමට නියමිතය. ඒ අනුව 3,4 හා 5 වැනි දින දක්වා උදෑසන 9 සිට රාත්‍රී 12 දක්වා වසර තුනකට පසු උදාවන මෙම සර්වඥ ධාතු වන්දනා කිරීමට බැතිමතුන්ට අවස්ථාව සැලසෙයි.

නීලගිරි සර්වඥ ධාතූන් වන්දනාව වසර තුනක් පුරාවට බොදු බැතිමතුන්ට ප්‍රදර්ශනය කිරීම සඳහා අවස්ථාව උදා වන්නේ පුරාවිද්‍යා කොමසාරිස්වරයාගේ විශේෂ අවසරය මත වීම විශේෂත්වයකි. මෙම සර්වඥ ධාතූන් වහන්සේලාට ආරක්ෂාව සැපයීම පනාගොඩ යුද හමුදා මූලස්ථානය හරහා සිදුවන අතර, පුද්ගලික බස් රථ සංගම් විසින් නොමිලයේ පොසොන් කලාපය තුළ විනාඩි 15 න් 15 ට විශේෂ බස් රථ 65 ක් දියත් කිරීමටද කටයුතු යොදා ඇත.

දුරබැහැර සිට සර්වඥ ධාතු ප්‍රදර්ශනය හා පොසොන් කලාපය නැරඹීමට පැමිණෙන අය වෙනුවෙන් මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයේ රාත්‍රී 12 දක්වා විශේෂ දුර බැහැර බස් රථ ධාවනයට කටයුතු යොදා ඇති අතර, අවසන් බස් රථය රාත්‍රී 12 ට ධාවනය කිරීමට නියමිතය.

සර්වඥ ධාතු ප්‍රදර්ශනයට සමගාමීව හෝමාගම පිටිපන, පනාගොඩ ශ්‍රී මහා බොධිරාජාරාම විහාරස්ථානය, මාහේන හරිත සරසවිය, මීගොඩ, ගොඩගම ‘ධර්ම රශ්මි‘ පොසොන් කලාපයේදී තොරණ, අලංකාර වෙසක් පහන් කූඩු, ආගමික වැඩසටහන්, බොදු බැති ගී සංදර්ශන, රූකඩ සංදර්ශන මෙන්ම දන්සැල් යනාදිය පැවැත්වීමට මේ වන විට සියලු කටයුතු සූදානම්ය.

පනාගොඩ ශ්‍රී මහා බෝධිරාජාරාම විහාරස්ථානයේදී සැදැහවතුන් 1200 කගේ පමණ සහභාගිත්වයෙන් සීල සමාදාන ව්‍යාපාරයක් පැවැත්වෙන අතර, මෙම පොසොන් ආගමික වැඩසටහන් ස්වාධීන රූපවාහිනියේ සවනක් රැස් වැඩසටහන ඔස්සේ පොසොන් පොහෝ දින සජීවීව විකාශය කිරීමට නියමිතය.

ධර්ම රශ්මි පොසොන් කලාපය වඩාත් අලංකාර කරමින් දින තුන පුරාවට බොදු බැති ගී සංදර්ශන පැවැත්වීමට නියමිත අතර, ඒ සියල්ල දින තුනේම රාත්‍රී 10-12 දක්වා ජාතික රූපවාහිනිය, ස්වාධීන රූපවාහිනිය හා ගුවන් විදුලි සේවාව හරහා විකාශය වෙයි. 

මේ අතර පාසල් දරුවන් තුළ අාධ්‍යාත්මික ගුණධර්ම ප්‍රගුණ කිරීම වස් බස්නාහිර පළාත් සභාව, බස්නාහිර පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව ඒකාබද්ධව දරුවන්ගේ අාධ්‍යාත්මික දියුණුව සඳහා වූ විශේෂ වැඩසටහන් රැසක්ද ක්‍රියාත්මක කිරීමට නියමිතය. හෝමාගම පිටිපන මහින්ද රාජපක්ෂ විදුහල් ක්‍රිඩාංගණයේදි රාත්‍රී පොසොන් මහ බත් දන්සල් පැවැත්වෙන අතර, භක්ති ගීත NSBM පරිශ්‍රයේදී පැවැත්වෙයි.

පොසොන් කූඩු තරඟ, පොසොන් සැරසිලි ඇතුළත් මේ දර්ශනිය පොසොන් කලාපය රාත්‍රී 7 සිට 12 දක්වා පැවැත්වෙන අතර, මේ සඳහා මෘද්‍රිත හා විද්‍යුත් මාධ්‍ය අනුග්‍රහය ලේක්හවුස් ආයතනය, බුදුසරණ පුවත්පත, ස්වාධීන රූපවාහිනි ආයතනය, ජාතික රුපවාහිනිය හා ගුවන් විදුලි සංස්ථාව ලබාදෙයි. ලංකාවේ සීමාසහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගම (ලේක්හවුස්) ස්වාධීන රුපවාහිනියේ විද්‍යුත් මාධ්‍ය අනුග්‍රහය ඇතිව සංවිධානය කරන පොසොන් පහන් කූඩු තරගද ජුනි 3 4 5 දිනවල “ධර්ම රශ්මි “හෝමාගම පිටිපන පොසොන් කලාපයේදී පැවැත්වෙන අතර, මෙහි විශේෂත්වය වන්නේ සියලුම නිර්මාණ පොලිතින්වලින් බැහැරවී පරිසර හිතකාමී ලෙස පොසොන් උත්සවය අර්ථවත් වන අයුරෙන් නිර්මාණය කිරීමයි.

මෙම තරගයේ පළමුවන ස්ථානය රුපියල් 500,000, දෙවන ස්ථානය රුපියල් 250,000 තුන්වන ස්ථානය 125,000 හා හතරවැනි ස්ථානයේ සිට දහවන ස්ථානය දක්වා රුපියල් විසිපන්දහස බැගින් ත්‍යාග ලබා දෙයි. වෙසක් කූඩු තරගයේ විවෘත අංශයෙන් වෙසක් කූඩු 50 කට ආසන්න සංඛ්‍යාවක් ප්‍රදර්ශනය වීමට නියමිත අතර, වෙසක් කූඩු 40 කට ආසන්න සංඛ්‍යාවක් පාසල් අංශයෙන්ද ඉදිරිපත් කිරීමට නියමිතය.

මෙය කොළඹ දිස්ත්‍රික්කයේ පැවැත්වෙන විශාලතම පොසොන් කලාපය වන අතර, කිසිවෙකුගෙන් කිසිදු මුදලක් අය නොකර සියලු කටයුතු සම්පාදනය වීම විශේෂත්වයකි.

Comments