
MT නිව් ඩයමන්ඩ් සහ MV එක්ස්ප්‍රස් පර්ල් නෞකාවන්හි ගිනි ගැනීම් මැඩ පැවැත්වීමට ලබා දුන් සහයෝගය වෙනුවෙන් ඉන්දීය රජය ශ්‍රී ලංකා රජයෙන් වන්දි ඉල්ලා ඇති බව දැක්වෙන මාධ්‍ය වාර්තා මුළුමණින්ම අසත්‍ය සහ සාවද්‍ය බව ඉන්දීය මහ කොමසාරිස් කාර්යාල සදහන් කරයි.
2020 සැප්තැම්බර් සහ 2021 මැයි-ජූනි මාස වලදී MT නිව් ඩයමන්ඩ් සහ MV එක්ස්ප්‍රස් පර්ල් නෞකාවන්හි ගිනි ගැනීම් මැඩ පැවැත්වීමට ඉන්දියාව සහය ලබා දී තිබුණි.
අදාළ නෞකාවන්හි ගිනි ගැනීම් පාලනය කිරීම සඳහා කඩිනම් සහය ලබා දෙන ලෙසට ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සිදු කළ ඉල්ලීම්වලට ප්‍රතිචාර ලෙස ඉන්දීය රජය ඉන්දීය වෙරළාරක්ෂක බලකායේ නෞකාවන් පිටත් කර එවීය. මෙම නෞකාවන් විසින් සිදු කළ මෙහෙයුම් මෙම අවස්ථාවන් දෙකෙහි අන්තරායකර බලපෑම් අවම කිරීමෙහි ලා තීරණාත්මක කාර්යභාරයක් ඉටු කළ අතර ඒ අනුව ශ්‍රී ලංකාවේ සාගරික සහ සමුද්‍රීය පරිසරයට වන හානිය පාලනය කිරීමට ද ඉවහල් වූ බව ඉන්දීය මහ කොමසාරිස් කාර්යාල නිකුත් කළ නිවේදනයක දැක්වේ.
ජාත්‍යන්තර සම්මතය අනුව ‘දූෂකයා ගෙවිය යුතුය’ යන මූලධර්මයට අනුකූලව, ඉන්දියාව නෞකා යෙදවීම, මෙම නෞකා විසින් සිදු කළ ගලවා ගැනීම් කටයුතු සහ අයිතම/ගබඩා සඳහා වන්දියක් ඉල්ලා ඇත. අදාළ වේදිකාව තුළ ශ්‍රී ලංකා පාර්ශවයේ ද වන්දි ඉල්ලීම් සමඟ ඉන්දියාවේ වන්දි ඉල්ලීම හා එක් වන ලෙස ශ්‍රී ලංකාවෙන් ද ඉල්ලා ඇත. පියවීම සහ ස්ථාපිත මාර්ග හරහා ලැබෙන වන්දි ප්‍රතිපූරණය කිරීම සඳහා රක්ෂණකරු/හිමිකරු වෙත මෙම වන්දි ඉල්ලීම ඉදිරිපත් කර ඇති බව අවධාරණය කෙරේ.
ඉන්දියාව ශ්‍රී ලංකා රජයෙන් කිසිදු හානි පූරණයක්/වන්දියක් ඉල්ලා නොමැති බව අවධාරණය කෙරෙන අතර ඉන්දීය රජය විසින් ඉතා කඩිනමින් නෞකා යොදවන ලද්දේ ‘අසල්වැසියා ප්‍රථමයෙන්’ යන ප්‍රතිපත්තිය සහ කලාපයේ සැමට වර්ධනය සහ ආරක්ෂාව (SAGAR) යන සංකල්පය අනුව බව අවධාරණය කෙරේ.