සුබසාධක දීමනා අපේක්‍ෂකයන්ට දැනුම් දීමක් | සිළුමිණ

සුබසාධක දීමනා අපේක්‍ෂකයන්ට දැනුම් දීමක්

සුබසාධක ප්‍රතිලාභ ලබා දීමේ දී සුදුසුකම් සැපිරූ යම් පාර්ශ්වයක් මඟහැරී ඇත්නම් එය නිවැරදි කිරීමට ඉඩ සලසනු ලබන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා සඳහන් කරයි. 
 
සුබසාධන ප්‍රතිලාභ ඉල්ලුම් කිරීමට නොහැකි වූ වතුකරයේ ජනතාව වෙනුවෙන් පහසුකම් සැලසීම සම්බන්ධයෙන් මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතාගේ මූලිකත්වයෙන් යුතුවහිටපු අමාත්‍ය පා.ම. මනෝ ගනේෂන්, රාජ්‍ය අමාත්‍ය පා.ම. ජීවන් තොණ්ඩමන්, පා.ම. ආචාර්ය වී.රාධාක්‍රිෂ්ණන් මහතා  හා පා.ම.වඩිවේල් සුරේෂ් යන මහත්වරුන් සමඟ මුදල් අමාත්‍යාංශයේ දී පැවති සාකච්ඡාවක දී රාජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
 
සමෘද්ධි දීමනා ලබා දීමේ නීති රෙගුලාසි සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ දී සිදු කළ විවාදයෙන් පසුව, ඡන්ද විමසීමකින් තොරව අනුමත වූ එම සංශෝධන අනුව, විනිවිද භාවයකින් යුතු තෝරාගැනීම් ක්‍රමවේදයකින් සමෘද්ධි ප්‍රතිලාභ ගෙවීමට කටයුතු සූදානම් ක‌ර ඇති ආකාරය රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
 
“මෙම වැඩසටහන අනිවාර්යෙන්ම විනිවිද භාවයකින් පැවතිය යුතු වෙනවා. ආරම්භක අවස්ථාවේ සිට මේ දක්වා පවත්වාගෙන ආ මෙම මූලික අදියර තුළදී යම් යම් අඩුපාඩු පැවතිය හැකියි. ප්‍රතිලාභියාම ඉලක්ක කරගෙන එම අඩුපාඩු සකස් කරගෙන, දෙවන අදියරේදී  කටයුතු කරනවා. පක්ෂ විපක්ෂ භේදයකින් තොරව මෙම සාකච්ඡාවට සහභාගී වෙමින්, මතු නොවූ ගැටළු පෙන්වා දීමට කටයුතු කිරීම ගැන මම ඔබ සියළු දෙනාට ස්තුතිවන්ත වනවා.” රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.
 
එහිදී වතුකර ප්‍රදේශ වල ජනතාවගේ ප්‍රතිලාභ නොලැබීම සම්බන්ධ ගැටළු ඉදිරිපත් වූ අතර හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන් මහතා විසින්, මෙම ගැටළු හා ඒවා මඟහරවා ගැනීමට අවශ්‍ය පිළියම් සම්බන්ධ තීරණ ගැනීම සඳහා මෙවැනි සාකච්ඡාවක් කැඳවීම පිළිබඳ මුදල් රාජ්‍ය අමාත්‍යවරයා වෙත සිය ප්‍රසාදය පළ කරන ලදී.
 
තොරතුරු එක්රැස් කිරීමේ දී මඟහැරීම් සිදු ව ඇති වතුකර ප්‍රදේශ සම්බන්ධ තොරතුරු ලබාදීමට ද මෙහිදී තීරණය කෙරිණි. රාජ්‍ය අමාත්‍ය පා.ම ජීවන් තොණ්ඩමන් මහතා විසින් සැලකිය යුතු කරුණු ඇතුළත් වාර්තාවක් ද මෙම සාකච්ඡාවට ඉදිරිපත් කර තිබිණි.
 
ජූලි මාසයෙන් පසුව ප්‍රතිලාභී නාමලේඛන යාවත්කාලීන කිරීමේ දී, ඉල්ලුම් කිරීමට නොහැකි වූ වතුකර ජනතාවට ද නැවත ඉල්ලුම් කිරීමට අවස්ථාව සලසනු ලබන බව ද මුදල් රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය. 
ඒ සඳහා වන කාල සීමාව හා ක්‍රමවේදය සම්බන්ධයෙන් ඉදිරියේ දී දිස්ත්‍රික් ලේකම්වරුන් හා ප්‍රාදේශීය ලේකම්වරුන් හරහා ජනතාව දැනුවත් කෙරෙන බව ද මුදල් රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
 

Comments