
නැඟෙමු පිබිදෙමු යෙදෙමු සුරකිමු මිහිඳු මාහිමි දෙසු දහම්, මිහිදු හිමියන් ලක්දිවට වැඩම කිරීමත් සමඟ ලක්දිව බුදුදහම ස්ථාපිත වීම සිහිකරමින් බෞද්ධයින්ගේ උතුම් පොසොන් පොහොය මෙවර යෙදි ඇත්තේ ජුනි මස 3 වැනිදාටය. පොසොන් පොහොය අරමුණු කරගනිමින් ජාතික පොසොන් උලෙළට සමගාමිව රාජ්‍ය පොසොන් උත්සවය මිහින්තලේ රාජමහා විහාරස්ථානයේදී පැවැත් වීමට මේ වන විටත් සියලු කටයුතු සූදානම් කෙරෙමින් පවතියි. "නැඟෙමු පිබිදෙමු යෙදෙමු සුරකිමු මිහිඳු මාහිමි දෙසු දහම්. " මෙවර පොසොන් රාජ්‍ය උත්සවයේ තේමාව වෙයි. මෙවර පැවැත්වෙන්නේ 2331වැනි පොසොන් උත්සවයයි.
රාජ්‍ය පොසොන් උත්සවය උත්සවශ්‍රීයෙන් පැවැත්වීම සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් මිහින්තලේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී අනුරාධපුර මහ දිසාපති ජනක ජයසුන්දරගේ ප්‍රධානත්වයෙන් පැවති අතර මිහින්තලා රාජමහා විහාරාධිපති වළවාහැංගුණවැවේ ධම්මරතන නාහිමියන් අනුශාසකත්වය දැරීය.
"නැඟෙමු පිබිදෙමු යෙදෙමු සුරකිමු මිහිඳු මාහිමි දෙසු දහම්. " පොසොන් රාජ්‍ය උත්සවයේ තේමාව ලෙස සලකා එහි කටයුතු සිදු කිරීමට සැලසුම් කර ඇති බව ධම්මරතන නාහිමියෝ එකී සාකච්ඡාවේදී පැවසූහ. 2019 වසරෙන් පසු මෙවර පොසොන් උලෙළ උත්කර්ෂවත්ව පැවැත්වෙන බැවින් වන්දනාකරුවන් ලක්ෂ දහයක පමණ සහභාගීත්වයක් මෙවර පොසොන් සමයේදී මිහින්තලා පුදබිමට පැමිණෙනු ඇතැයි අපේක්ෂා කරයි.
පොසොන් සති පිරිත් පින්කම මැයි 25 දා සිට ජූනි 1 දා තෙක් ඉපැරණි චාරිත්‍රානුකූලව සිදු කිරීමට විධිවිධාන සලසා ඇති අතර, ඒ අනුව මැයි 31දා සිට ජුනි 06 දක්වා කාලය පොසොන් සතිය ලෙස නම් කර ඇත. රාජ්‍ය පොසොන් උත්සවය ත්‍රෛනිකායික මහානායක ස්වාමීන් වහන්සේලා ප්රමුඛ කොට ගෙන පැවැත්වෙන අතර, මේ අවස්ථාවට ජනාධිපතිවරයා ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසක් ද එක් වීමට නියමිතය. පොසොන් ආලෝක පූජාව 02වැනිදා සිට 04වැනිදා දක්වා පැවැත්වෙයි.
මේ අතර, පොසොන් සතිය තුළ අනුරාධපුරය දිස්ත්‍රික්කය තුළ සියලුම සුරා සැල් සහ මාංස වෙෙළදාම මෙන් ම නීති විරෝධි මත්පැන්, මත් ද්‍රව්‍ය අලෙවි කරන ස්ථානයන් වැටලීමට ද කටයුතු යොදා තිබේ. බැතිමතුන් ගෙන් පරිසරයට සිදු වන හානි වළක්වා ගැනීමට මෙන්ම පරිසරය පිරිසිදුව තබා ගැනීමේ වැඩසටහන් රාශියක් ද ක්‍රියාත්මකය. මේ අතර පොලිතින් සහ ප්ලාස්ටික් රැගෙන ඒම වැළැක්වීම සඳහා වැඩසටහන් රැසක් ක්‍රියාත්මකය. ඉකුත් වසරවල මෙන් ම ජාතික පොසොන් උත්සවයේදී බත් සහ සිසිල් පැන් දන්සල් රැසක්, මිහින්තලේ ප්‍රාදේශීය සභාව, සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව,මිහින්තලේ පොලිස් ස්ථානය සහ දන්සල් කමිටුව සංවිධාන කර තිබේ.
මිහිඳු පෙරහැර 02 වැනි සිකුරාදා රාත්‍රියේ වීදි සංචාරය කෙරෙන අතර, පෙරහැරේ ගමන් මඟ වන්නේ ඉසුරු උයන මාවතේ සිට මහා වීදිය ඔස්සේ පැමිණ කටු සෑය අසලින් නිමාවෙයි. පොසොන් උත්සවයට එක්වන බැතිමතුන් වෙනුවෙන් පොසොන් සතිය පුරාම ක්‍රියාත්මක ජිවිත ආරක්ෂක සේවාවක් සැපයීමට කටයුතු යොදා ඇති අතර, ශ්‍රී ලංකා නාවික හමුදාවේ ප්‍රධානත්වයෙන් ක්‍රියාත්මක මෙකී කටයුත්ත සඳහා නියෝජ්‍ය පොලිස්පති, ශ්‍රී ලංකා පොලිසිය, සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය, රක්ෂණ සංස්ථාව ද මේ සඳහා අත්වැල් බැඳගෙන තිබේ.
වන්දනාකරුවන්ගේ පහසුව සඳහා ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය සහ උතුරු මැද පළාත් මාර්ගස්ථ මඟීප්රවාහන සේවා අධිකාරිය මඟින් විශේෂ ප්‍රවාහන පහසුකම් සැපයීමට නියමිතය. එසේම නගරයේ සනීපාරක්ෂාව තහවුරු කිරීමට සෞඛ්යාරක්ෂිත වැඩපිළිවෙළක් මිහින්තලේ ප්‍රාදේශීය සභාව සැලසුම් කර ඇත. හදිසි ප්‍රතිකාර සඳහා පැය 24 පුරාම සෞඛ්‍ය සේවා සැපයීමට පළාත් සෞඛ්‍යය සේවා අධ්යක්ෂ, මිහින්තලේ රෝහල සහ යුද හමුදා කඳවුර සූදානමින් පවතියි.
මේ අතර, පොසොන් උත්සවය පැවත්වෙන කාලය තුළ නගරය ආශ්‍රිතව ශබ්ද විකාශන භාවිතයේදී සැලකිලිමත් වියයුතු බව ද අවධාරණය කර තිබේ. මෙවර අ.පො.ස සාපෙළ විභාගය පොසොන් සතිය තුළ පැවැත්වෙන බැවින් එයට බාධාවක් නොවන අයුරින් කටයුතු කළ යුතු බවත්, විභාග මධ්‍යස්ථාන අසල ඇති ශබ්ද විකාශන යන්ත්‍ර දහවල් කාලයේදී ක්‍රියාත්මක නොකිරීමට ද පොසොන් කමිටුව තීරණය කර තිබේ. මෙවර පොසොන් සතියේදී විනෝද සැණකෙළි කිසිවක් නොපැවැත්වන අතර, රාජ්‍ය පොසොන් උත්සවයට සමගාමීව, අටමස්ථානය හා තන්තිරිමලය පුදබිම් කේන්ද්‍ර කරගෙන පොසොන් උත්සවය පැවැත්වේ. ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ අබියස හා අනෙකුත් විහාස්ථානවල ධර්මදේශනා, ධර්ම සාකච්ඡා ඇතුළු ආගමික වැඩසටහන් රැසක් පැවැත්වීමට කටයුතු යොදා තිබේ. මේ අතර තෙවැනි වරටත් අටමස්ථානයේ සහ මිහින්තලේ රජමහා විහාරස්ථානවල විශේෂ සුවඳ දුම් පූජාවක් පොසොන් පොහෝදින පැවැත්වෙයි.
පසුබිම් වාර්තා - බන්දුල ජයමාන්න / චන්දිමා එදිරිමාන්න