වහලක් නැති මාලිගාව | සිළුමිණ

වහලක් නැති මාලිගාව

හලක් නැති මාලිගාව යනු පුලිට්සර් සහ1962 නෝබල් ත්‍යාගලාභී ජෝන් ස්ටෙයින්බෙක් (1902 - 1968) නමැති අමෙරිකානු ලේඛකයාගේ නවකතා 11 අතරින් හත් වැනි කෘතිය වන Of Mice & Men (1937)හි සිංහල පරිවර්තනයයි.

ස්ටෙයින්බෙක් ඔහුට පසු නෝබල් ත්‍යාගය දිනූ සාහිත්‍යකරුවන් මෙන් ඉහළ අධ්‍යාපනයක් ලද්දකු නොවේ. කැලිෆෝනියාවේ සැලිනාස් හි දිළිඳු පවුලක උපන් ඔහුට විද්‍යාලයීය අධ්‍යාපනය හමාර කොට උපාධියක් ලබා ගැනීමේ අවස්ථා අහිමි විය. රැකියා කිහිපයකම නිරතව සිටි ඔහු විසිතුන් හැවිරිදි වියේදී නිව්යෝක් පුරවරයට සේන්දු වී නිදහස් ලේඛකයකු ලෙස ස්ථාපිත වන්නට ප්‍රයත්න දැරීය. 1935 වසරේදී ඔහු විසින් එළි දක්වන ලද Tortilla Flat නම් නවකතාව විචාරක අවධානය දිනා ගත්තේය. ඉන්පසු 1936දී Dubious Battle ද, 1937දී Of Mice & Men ද ඔහුට කීර්තියක් ගෙන ආයේය.

මේ වනාහි එතරම් සංකීර්ණ කතන්දරයක් හෝ විශාල චරිත සංඛ්‍යාවක් හෝ නොමැති කෙටි නවකතා (novella) ගණයට වැටෙන පිටු සියයක පමණ කෘතියකි. 

පළමු වැනි ලෝක මහා යුද්ධයෙන් පීඩාවට පත්ව සිටි ලෝකය යාන්තම් හිස ඔසවනවාත් සමඟම 1929 වසරේ ඇරැඹි ආර්ථික අවපාතය අමෙරිකානු කෘෂිකාර්මික ක්ෂේත්‍රයට බෙහෙවින් බලපෑවේය. ගොවිපොළ හිමිකරුවෝ මෙන්ම ගොවිපොළ කුලීකරුවෝ ද මෙයින් එකසේ බැට කෑහ. මේ නවකතාවේ ප්‍රධාන චරිතය වන ජෝර්ජ් මිල්ටන් එවැන්නෙකි. ගොවිපොළකින් ගොවිපොළකට මාරු වෙමින් රැකියා සොයා යන කම්කරුවකු වන ඔහුට සිහිනයක් තිබේ. ඒ කවදා හෝ තමන්ගේම කියා කුඩා ගොවිපොළක හිමිකරුවා වීමය.

කුඩා සිරුරකින් යුත් ජෝර්ජ් සමඟ යන ගමන් සගයෙක් සිටියි. නමින් ලෙනීය.

මොවුන් දෙන්නා දැන් යන්නේ අලුත් ගොවිපොළක රැකියාවක් ලබා ගන්නටය. මීට පෙර සිටි ගොවිපොළෙන් පැන එන්නට ඔවුන්ට සිදු වන්නේ ලෙනී දැරියකගේ ගවොමක් අතගාන්නට යාම නිසාය.

අලුත් ගොවිපොළට එන ඔවුන්ට එහි කම්කරුවන්ගේ නිවස්නයක නවාතැන් ගන්නට අවස්ථාව ලැබේ. මේ ගොවිපොළේ හිමිකරුගේ පුත් කර්ලි විටින් විට කම්කරු නිවස්නය වෙත එන්නේ ඔහුගේ බිරිය එහි ආවේ දැයි සොයන්නටය. එහි ස්ලිම් නමැති කම්කරුවා සමඟ ඇගේ ඇයිහොඳයියක් ඇතැයි ඔහු සිතයි.

දවසක් කර්ලි ලෙනීට අභියෝග කරයි. ලෙනී එවිට ඔහුගේ අතේ ඇඟිලි මිරිකා කඩයි. මෙයින් කර්ලි ලෙනී සමඟ වෛර බැඳ ගනියි. මෙය සිදු වූයේ යන්ත්‍රයකට හසු වීමෙන් යැයි සියල්ලන්ම කියතත් එය ලෙනීගේ අතින් සිදු වූ වැඩක් බව කර්ලිගේ බිරිය වටහා ගනියි. පසුදිනෙක කිසිවකු නැති මොහොතක ඇය ලෙනී සිටින තැනට අවුත් ඔහු කාමයට පොලඹවා ගන්නට තැත් කරයි.

පෙර සිටි ගොවිපොළේ සිද්ධිය එවිට ඔහු ඇයට කියයි. ලෙනීගේ අත ගෙන එය තමාගේ හිස මත තබා ගන්නා ඇය සිය කෙස් කෙතරම් සිනිඳු දැයි අත ගා බලන ලෙස ඔහු පොලඔවයි. එහෙත් ලෙනීගේ දැඩි අත සිය කෙස් අවුල් කරති යැයි කෝපවන ඇය ඔහුගේ අත ඉවත් කරන්නට තැත් කරන විට ග්‍රහණය දැඩි වෙයි. එවිට උගුරු දණ්ඩ බිඳී යෑමෙන් ඇය මිය යයි.

පසුව එන ජෝර්ජ් හා කැන්ඩි නම් තවත් අයෙක් සිද්ධිය වටහා ගනිති. මේ නිසා කලින් නියම කරගත් තැනකට ගොස් සැඟවෙන්නට ජෝර්ජ් ලෙනීට උපදෙස් දෙයි. කම්කරුවෝ ලෙනී සොයන්නට යති. කාල්සන් නමැති කම්කරුවා ළඟ තිබෙන පිස්තෝලය සොරකම් කර ගන්නා ජෝර්ජ් ලෙනී සොයා යයි.

ලෙනී මුණගැසෙන ජෝර්ජ් ගඟෙන් එගොඩ තැනක් පෙන්වා ඒ තමන් දෙදෙනා ගොවිපොළ පිහිටුවන බිම්කඩ බවත් ඒ දෙස බලන ලෙසත් ලෙනීට කියයි. ලෙනී ඒ ගැන අවධානය යොමු කරත්ම ජෝර්ජ් තමා අතැති කාල්සන්ගේ පිස්තෝලයෙන් හිසට වෙඩි තබා ලෙනී මරා දමයි. ජෝර්ජ්ගේ ක්‍රියාව කර්ලිගේ හැර අන් අයගේ පැසසුමට ලක්වේ. මෙය පසුගිය සියවස තුළ වැඩිම අභියෝගයට ලක්වූ පොත් අතරින් සිවු වැනි ස්ථානයේ දිගටම පැවැති අතර, තවමත් ඒ තත්ත්වයේම පවතියි.

මේ කෘතිය අධ්‍යක්‍ෂවරුන් තිදෙනකු විසින් 1939දී, 1982දී සහ 1992දී චිත්‍රපට ගත කරනු ලැබ ඇති අතර, ඒ ඇසුරින් මාලා ටෙලිනාටකයක් ද වේදිකා නාට්‍ය කිහිපයක් ද රේඩියෝ නාටකයක් ද නිෂ්පාදනය වී තිබේ.

 

වහලක් නැති මාලිගාව ස්වර්ණකාන්ති රාජපක්‍ෂගේ පරිවර්තනයකි.

Comments