මගේ ජීවිතේ වෙනස් වුණේ පොතක් නිසා | Page 3 | සිළුමිණ

මගේ ජීවිතේ වෙනස් වුණේ පොතක් නිසා

ගාල්ලේ චිත්‍රපට ශාලා තුනේ දර්ශන වාර තුනම බලන දඩබ්බර කොලු ගැටයෙක් සිටියේය. හේ කෙතරම් චිත්‍රපට බලන්නට ඇබ්බැහි වී ද යත් පාසල් නොගොස් කට්ටි පැන යන්නේ අර චිත්‍රපට ශාලා තුනෙන් එකකට ය. අන්තිමට ඔහුට උසස් පෙළ විභාගයට පෙනී සිටින්නට නොලැබෙන්නේ පැමිණීමේ ප්‍රතිශතය අවම වීම නිසා ය. ඒ කාලයේ වලේ තිලක් කියූ පමණින් ගාල්ලේ පාසල් කොලු ගැටයන් අතර නොදන්නා කෙනෙක් නැත. විවිධ අත්දැකීම් ලබමින් ජීවිතයේ කටුක බව ආදර්ශයට ගනිමින් හේ අද ව්‍යාපාර ලොව දැවැන්ත චරිතයක් වී තිබේ. නමින් තිලක් වනිගසේකර වන ඔහු වත්මනෙහි SENSUS BPO Service (pte)Ltd හි මෙහෙයුම් අධ්‍යක්ෂවරයා ය. ජීවිතයේ අරමුණු සහ ඉලක්ක ගැන පැහැදිලි විශ්වාසයක් තිබූ තිලක් සිය දිවිසැරියේ මතක සටහන් දිග හරිමින් පැවසුවේ සිතිවිලි දැඩි වන විට පාරවල් විවෘත බවෙකි. ඉඳහිට කවි ලියන, සංගීතයේ මිහිරෙන් දිවිය සුසර කරන, පොත් එකතු කරමින් කවදා හෝ ඒ පොත් සියල්ල කියවීමට සිහින මවන ඔහු ව්‍යාපාරික ලොව දැවැන්තයකු වුව ද තවමත් සරල හා සැහැල්ලු ලෙස ජීවිතය විඳින අයුරු කදිමය.

සම්පූර්ණ නම

තිලක් වනිගසේකර

උපන්දිනය

1966 දෙසැම්බර් 9 වැනිදා

ගම්පළාත කොහේද?

ගාල්ල දිස්ත්‍රික්කයේ හිනිදුම ආසනයේ වීරපාන කියන ගමේ

අම්මා තාත්තා මොකද කළේ? මොනවද ඒ අයගේ නම් එහෙම?

තාත්තා ව්‍යාපාරිකයෙක්. තාත්තාගේ නම විල්බට්. අම්මා කෝරලේ හේවගේ කර්ලිනා. ඇය රැකියාවක් කළේ නෑ.

සහෝදර සහෝදරියන්

මට සහෝදරයො තුනයි සහෝදරියො තුනයි ඉන්නෙ. මම තමයි මැද ඉන්නෙ

පාසල් යන්නේ

හය වසර වෙනකම් වීරපාන කනිෂ්ඨ විද්‍යාලයට. ඊට පස්සේ ගාල්ලේ රිච්මන්ඩ් විද්‍යාලයට 

රිච්මන්ඩ් විද්‍යාලයට එන්නෙ ශිෂ්‍යත්වෙ පාස් වෙලාද?

නෑ. මම ශිෂ්‍යත්වෙ පාස් වුණේ නෑ.

වීරපාන ඉඳන් උදේ හවස රිච්මන්ඩ් එන්න යන්න බෑ. ඔබ නේවාසිකාගාරයේ නවතිනවද පුංචි සන්දියේම?

ඔව්. හොස්ටල් තමයි ඉන්නේ. බෝඩිං කිහිපයකත් හිටියා.

කොහොමද පාසල් කාලෙ

අපි ඉතින් ටිකක් දඩබ්බරයි ඒ කාලෙ ඉඳන් ම. මට ඒ කාලෙ යාළුවො කියන්නෙ වලේ තිලක් කියලා.

උසස්පෙළට කළේ?

මම වාණිජ විෂයයන්. විෂයයන් හතරම අසමත්. ඊට පස්සෙ මම කලා විෂයයන් කළා ඊළඟ අවුරුද්දෙ. වැඩ දෙකක් පාස් වුණා.

මොකද වාණිජ විෂයයන් කරලා ඊළඟ අවුරුද්දෙ කලා විෂයයන් කරන්න හිතුවෙ?

පාසල් යද්දි අවුරුද්දට කොච්චර පාසල් ඇවිල්ල ද කියලා ප්‍රතිශතය බලනවනෙ. එ් කාලෙ බෝඩිමක හිටියෙ. විභාගෙ ගන්න තරම් මම පාසලට පැමිණීමේ ප්‍රතිශතය සම්පූර්ණ කරලා තිබුණෙ නෑ. ඊළඟට කලාවට මගේ පොඩි කැමැත්තක් තිබුණා. කවි එහෙමත් වරින් වර ලිව්වා. ඒ නිසා මට හිතුණා කලා විෂයයන් කරන්න. කුමරි පත්තරේට එහෙම මම කවි යවලත් තියෙනවා.

ඇයි පාසල් නොයන්නෙ?

ගාල්ලෙ තියෙනවා සරසවි, ප්‍රින්ස් සහ ක්වීන්ස් කියලා සිනමා ශාලා 3ක්. අපි උදේට 10.30 බලනවා. දවල් වෙද්දි 2.30 බලනවා; ඊට පස්සෙ 6.30ත් බලනවා. ඉතින් දවසම ෆිල්ම් හෝල් එකේ. කොහොම ඉස්කෝලෙ යන්නද?

චිත්‍රපට බලන්න සල්ලි කොහෙන්ද?

අපේ ගෙදර ඒකාලෙ පස්දෙනෙක් බෝඩිංවල හිටියෙ. තාත්තට සල්ලි තිබුණා. අපට ඒකාලෙ වියහියදම්වලට අඩුවක් තිබුණෙ නෑ. මම හිටියෙ නිකම් රැකියාවක් කරන කෙනෙක් වගේ තමයි.

පාසල් යන්නෙ නැති එක ගෙදරට අහු වුණේ නැද්ද?

නෑ, ඉතින් එච්චර හෙව්වෙ නෑ. අනික ඉතින් අපි ප්‍රගති වාර්තා එහෙම වෙනස් කරලා තමයි ගෙදරට පෙන්නුවෙ. අමතර පන්ති යනවා කියලා කාඩ් ගන්න වෙනම සල්ලි ඉල්ල ගන්නවා.

ඉස්කෝලෙ කාලෙ නිමා වුණාම මොකද කළේ? තාත්තගෙ බිස්නස් වැඩවලට එකතු වෙන්න හිතුවෙ නැද්ද?

මම ගමට ගියේ එහෙම හිතන් තමයි. ඒත් තාත්තා එක්ක ඉන්න අමාරුයි. ඒ විතරක් නෙවෙයි, රටේ තත්ත්වෙ හොඳ වුණෙත් නෑ

ඒ කියන්නෙ 88- 89 ජේවීපී කලබල කාලය වෙන්න ඇති?

ඔව්. රෑට ජේවීපී එකෙන් ඇවිත් කඩ වහන්න කියනවා. දලු කඩන කම්කරුවො ඒවට යවන්න එපා කියනවා. ලයින් කාමරනෙ තිබුණෙ. බයට අපි කඩ වහලා දානවා, දවල්ට කම්කරුවො යවන්නෙ නෑ. හමුදාවෙන් ඇවිත් දවසක් මට හොඳටම ගැහුවා, කඩ ඇරලා මිනිස්සු වැඩ කරන්න යවන්න කියලා. මට ව්‍යාපාරික හීනෙ එතනින් ම බොඳ වුණා. මට හිතුණා ගුවන් හමුදාවට බැඳෙන්න ඕන කියලා.

ඒ කියන්නෙ මේ වුණු දේවල් නිසාද ගුවන් හමුදාවට බැඳෙන්න හිතුණෙ?

ඔව්. මට කිසිම අදහසක් තිබුණෙ නෑ හමුදාවට යන්න. ඒක වුණේ මෙහෙමයි, රෑට ජේවීපී එකෙන් කියනවා කඩ වහන්න, වත්තෙ වැඩට කට්ටිය යවන්න එපා කියලා. දවල්ට හමුදාවෙන් කියනවා කඩ අරින්න, වත්තෙ වැඩට කට්ටිය යවන්න කියලා. අපි හිටියෙ මොකද්ද කරන්නෙ කියලා හිතා ගන්න බැරිව දෙලොවක. ඒකට විකල්පයක් විදියට තමයි මම පත්තරේ තිබුණු දැන්වීමකට අනුව ගුවන් හමුදාවට බැඳෙන්න ඉල්ලුම් පත්‍රයක් දැම්මෙ.

මොකද්ද තනතුර

ගුවන් හමුදා පොලිසියේ සාමාන්‍ය භටයෙක් විදියට තමයි මම බැඳුණෙ.

කොහොමද හමුදා ජීවිතේ? යුද්ධ කාලෙ නිසා යුද්දෙට සම්බන්ධ වෙන්න ලැබුණෙ නැද්ද?

ඒක හරි විනෝදකාමී ජීවිතයක්. හවසට සින්දුවක් එහෙම කියලා මාර ෆන් එකේ හිටියා. අපි යුද්දෙට සම්බන්ධ වුණේ බුද්ධිමය තොරතුරු සපයන නිලධාරීන් විදියට.

කොච්චර කාලයක් හමුදාවෙ හිටියද?

අවුරුදු 14ක් හිටියා. මට හිතුණා ඉවත් වෙන්න ඕන කියලා. මම අනතුරක් වෙලා මාස ගණනක් රෝහල්ගත වෙලා හිටියා. මම කියවන්න ආසනෙ. ඒවුණාට කියවන්න කිසි දෙයක් නෑ. නිකම්ම රෝහලට වෙලා ඉන්න එකත් අමාරුයි. එක දවසක් මගේ යාළුවෙක් ආවා මාව බලන්න. එයා මට ගෙනත් දුන්නා James Hardley Chase ගෙ You Must Be Kidding කියන පොත. මම මේක කියෙව්වා.

ඉංග්‍රීසි පොත් කියවන්න තරම් ඉංග්‍රීසි දැනුමක් තිබුණද ඒ වෙනකොට?

මට ලොකුවට පුළුවන් කමක් තිබුණෙ නෑ. සාමාන්‍ය දැනුමක් තිබුණෙ. එකම දේ මට වෙන කියවන්න කිසිම දෙයක් තිබුණෙ නෑ. ඉතින් මේක කියවන්නම වුණා. මට එකම කියවද්දි ටික ටික තේරෙන්න පටන් ගත්තා. මේ කතාව මට හොඳට අල්ලලා ගියා. මට හිතුණා මිනිහකුට ඕනම දෙයක් කරන්න පුළුවන් කියලා. ඒක මට ලොකු මොරාල් එකක් හැදුවා

ඒ කියන්නෙ ඔබේ ජීවිතේ වෙනස් කරන්න බලපාන්නෙ පොතක්?

අනිවාර්යයෙන්ම. මම මුළුමනින්ම වෙනස් වෙන්න ඕන කියලා හිතුවා. ඒවගේම මට පුළුවන් කියලත් හිතුණා. ඒක තමයි මගේ හැරවුම් ලක්ෂ්‍යය. අනික ඒක ධනාත්මක චින්තනය ගැන ලියැවුණු පොතක් නොවෙයි, ඒක නවකතාවක්. හැබැයි ඒකෙන් මට මාර හයියක් ආවා මට ඕන දෙයක් කරන්න පුළුවන් කියලා.

හමුදාවෙන් විශ්‍රාම ගත්තද? නැත්නම් ඉවත් වෙනවාද? 

මට ඇත්තටම ඕන නම් විශ්‍රාම යන්න තිබුණා. ඒ සේවා කාලය සම්පූර්ණ කරලා ඊළඟ අවුරුදු 10ටත් මම ඉල්ලලා හිටියෙ. ඒත් මම ලියුමක් දීලා ඉවත් වුණා

ආයෙත් ගෙදර යනවද?

ඔව්. නන්නත්තාර වෙලා තමයි ගෙදර යන්නෙ. මම හිතුවා තාත්තා වෙනස් කරනවා කියලා. අපි තාත්තට ඉස්සර හරිම බයයි. හැබැයි මම තාත්තට කතා කරලා මට තාත්තා එක්ක කතා කරන්න ඕන කියලා කිව්වා. මම තේ පැළ ටිකක් දාන්න තාත්තව එකඟ කරගත්තා. මම වෙනස් වුණාට තාත්තා වෙනස් වුණේ නෑ. තාත්තා ගෙදර ඇවිත් කෑගහනවා. මම ඒකට ආස වුණේ ම නෑ. කෑගහන්නෙ මටත් නොවෙයි. ඒත් ඒ කෑගැහිල්ලට මම කැමැති වුණේ නෑ. ඒව වෙනස් කරන්නත් බෑ. එක දවසක දරා ගන්න බැරිම තැන මම ආයෙත් කොළඹ ආවා.

කොළඹ එන්නෙ රැකියාවකටද?

එහෙම එකක් එවෙලෙ දන්නෙ නෑ. තද වුණා ආවා එච්චරයි. පිටකොටුවට එනකම් ආවා. ඇවිත් පිටකෝට්ටෙ මගේ යාළුවෙක් ඉන්නවා, එහෙට යන්නයි හැදුවෙ. හැබැයි ඒ යන්න ඕන කරන බස් ටිකක් එක ගන්නවත් මගේ අතේ සල්ලි නෑ. මම බස් එකේ හොරෙන් ගියේ.

යාළුවා බාර ගත්තද?

අපෝ ඔව්. අපි යාළුවො එක්ක ඉද්දි ඒ අයව හොඳටම ආශ්‍රය කළා. එයාලත් එහෙමයි. වියදම් කළා, කැපවීම් කළා. ඉතින් මට හොඳ යාළුවො හිටියා. පිටකෝට්ටෙ ගෙදර මම නතර වුණා. මට හොඳටම සැලකුවා. මම මාස 4ක් විතර කිසිම කරදරයක් නැතිව ජොලියෙන්ම හිටියෙ. බරක් පතළක් තිබුණෙම නෑ. මෙහෙම ඉන්නකොට මගේ මල්ලිගෙ විවාහ මංගල්‍යය ආවා. මගේ යාළුවා මට මේකට වියදම් කරන්න කියලා 12,500ක මුදලක් දුන්නා. මට හරි අවුලක් දැනුණා. ඇත්තටම මාස ගණනක් නිකම් යාළුවගෙ ගෙදර හිටියට මට ඒක පොඩ්ඩක්වත් දැනුණෙ නෑ. හැබැයි මට මගේ ගෙදර අවශ්‍යතා වෙනුවෙනුත් යාළුවගෙන් සල්ලි ගන්න වුණා කිව්වම මට හරි ලැජ්ජාවක් දැනුණා. හරියට මම පරපෝෂිතයෙක් වගේ. ඒක තමයි මගේ දෙවැනි හැරවුම් ලක්ෂ්‍යය. එදා මම හිතා ගත්තා මම මොනවා හරි කරනවා කියලා. හැබැයි මගේ යාළුවා කැමැති වුණේ නෑ මම රස්සාවක් කරනවාට. එයාලට ඕන විනෝදෙන් ඉන්න.

මොකද කළේ අන්තිමට?

මගේ යාළුවම මට එයාගෙ මල්ලිගෙ කාර්යාලයේ recovery executive කෙනෙක් විදියට රැකියාවක් හොයලා දුන්නා. ලංකා ඉන්ටර්නෙට් සර්විසස් ප්‍රයිවට් ලිමිටඩ් තමයි ආයතනයේ නම.

දැන් ඔබ වෙනස් ම ක්ෂේත්‍රයකටයි යොමු වෙන්නෙ?

ඔව්. හැබැයි මම හිතා ගත්තා මම මේකෙන් පස්සෙ එක එක ක්ෂේත්‍රවලට යන්නෙ නෑ කියලා. නැත්නම් මට අත්දැකීම් ගන්න අමාරුයි. අත්දැකීම් කවදාහරි මිල කරන්න පුළුවන්. මම එදා පටන් ගත්ත ක්ෂේත්‍රයේම තමයි අදටත් ඉන්නෙ. මම පුංචිම තැනින් පටන් ගෙන අන්තිමට සාමාන්‍යාධිකාරී තනතුර දක්වා ආවා.

අර කලින් නවත්තපු අධ්‍යාපන සුදුසුකම් ඒ වෙනකොට හදා ගන්න උත්සාහ කළාද?

නෑ, මට කවදාවත් හිතුණෙ නෑ, සහතිකවලට යටවුණු සුදුසුකම් ඕන කියලා. කුරුල්ලෙක් අහසෙ පියාසලද්දි ඒකේ සුන්දරත්වය විඳින්න බැරි නම්, වැහි වැටෙද්දි ඒක විඳින්න දන්නෙ නැතිනම්, පරිසරයේ සුන්දරත්වය උකහා ගන්න දන්නෙ නැත්නම් අර මොනවා තිබුණත් වැඩක් නෑ. ඒ නිසා මට හිතෙන්නෙ අපිට තියෙන්න ඕන, ඕනෑම වැඩක් කරන්න අවශ්‍ය අත්දැකීම් හා පුහුණුව. ඒ නිසා මට මේ වෙනකම් ඒවා හදා ගන්න ඕන කියලා හිතිලා නෑ. මම හිතන්නෙ ඉදිරියටත් එහෙම හිතෙන එකක් නෑ.

එත් ආයතනයක ඉහළ තනතුරුවලට එද්දි ඒක බාධාවක් වුණේ නැද්ද?

ඔව්, අනුන්ගෙ ආයතනවල වැඩ කරද්දි එහෙම විවිධ ගැටලු එන්න පුළුවන්. මම වැඩ කරමින් හිටපු ආයතනය මගෙත් එක්ක මෙහෙම යනකොට එයාලට ඕන වුණා උපාධි ගොඩක් ඒ විෂයය සම්බන්ධයෙන් තියෙන කෙනෙක් මට සමාන්තරව ගන්න. මගේ කළමනාකාරීත්වය වෙනස්. මම දැන් හිතුවොත් දෙයක් ඒක දැන් කරනවා. අපේ තිබුණෙ ක්‍රම දෙකක්. ඒ ක්‍රම දෙක එකකට එකක් පෑහුණේ නෑ. ඉතින් ගැටුමක් ඇති වෙන්න කලින් මම ඉවත් වුණා. මොකද මම මගේ හිතවත්කම නිසා ගැටෙන්න අකැමැති වුණා.

රැකියාවෙන් එළියට බහිද්දි ඉතිරි කරපු මොනවා හරි තිබුණද?

කවදාවත් මට ඔය ඉතිරිකරන පුරුද්ද නෑනෙ. එදා තිබුණෙත් නෑ. අදත් නෑ.

මොකද කළේ?

මම හැදුවා ආයතනයක්. සල්ලි අවශ්‍යතාවක් වෙලා මගේ කොටස් ටික මම ටික කාලෙකින් විකුණුවා. ඊට පස්සෙ තමයි මම 2010 දි SENSUS ආයතනය පටන් ගත්තෙ.

ඔබ කාලයක් නාස්ති වුණු කාලය හිලව් කරන්නද, මෙච්චර ඉක්මන් ඉලක්කවලට යන්නෙ?

සහතිකෙන්ම ඔව්. මම පටන් ගත්තෙ පරක්කු වෙලා. එතකොට මට කෙටි කාලයයි තියෙන්නෙ. පොඩි කාලයක් ඇතුළත අපි ලොකු ඉලක්කවලට යන්න ඕන. සිතිවිලි දැඩි වෙනකොට පාරවල් පේනවා. මම හිතපු දේවල් ක්‍රියාත්මක කරන කාලෙ මට නින්ද ගියේ නෑ. දැන් නම් මම පැයයි දෙකයි වැඩ කරන්නෙ. ඒවා ඔක්කොම භාර දීලා ඉන්නෙ. මම වැඩ කරන්නෙ ටිකක් වෙනස් විදියට.

මොකද්ද කළමනාකාරීත්වයේ ඔබේ වෙනස?

මම බලය පවරනවා. ඒ වගේම ඒ අයට අදාළ බලය පාවිච්චි කරන්න අවසර දීලා තියෙන්නෙ. මම ගාවට තීරණ ගන්න එන්න එපා කියලයි මම කියන්නෙ. තීරණ ගන්න පුළුවන් මිනිස්සු තමයි මම හදන්නෙ. තමන්ට විසඳ ගන්නම බැරි ප්‍රශ්නයක් නම් විතරයි මම ළඟට ගේන්න ඕන. කාටහරි තමන්ගෙ ප්‍රශ්නයක් විසඳා ගන්න බැරි නම් ඔහු හොඳ කළමනාකරුවෙක් නෙවේ කියන එකයි මගේ අදහස. එයාගෙ මට්ටමෙන් එයා තීරණ ගන්න ඕන. ඒක හරි යන්න පුළුවන්, වරදින්න පුළුවන්. නමුත් තීරණ ගන්න ඕන. තව කාරණයක් තියෙනවා, මම වැඩ කල්දාන්නෙ නෑ. වැඩ කල් දාන මිනිස්සුන්ට කැමැතිත් නෑ.

ඒ කියන්නෙ ඔබේ අරමුණ නායකයෙක් හදන එක?

පැහැදිලිව ම. මගේ අරමුණ ඒක. මිනිස්සු හැදුවෙ නැත්නම් වැඩක් නෑ.

ඔබේ සේවකයන් එක්ක ඔබ කරන ගනුදෙනුව කොහොමද?

මම මෙහෙම හිටියට හරිම නිවුණු කෙනෙක්. ඒත් මොකක් නිසාද මන්දා මට ඔක්කොම හරි බයයි. මට එළියෙ තියෙනවා නාහෙට නාහන, දඩබ්බර චරිතයක්. ඒත් මම ඒක කාර්යාලයට අරන් එන්නෙ නෑනෙ. කාර්යාලය කියන්නෙ දේවස්ථානයක් වගේ තැනක්. මෙතන ඉන්න ඔක්කොම වගේ මට වඩා වයසින් අඩු ළමයි වගේ අයනෙ. ඒ අයත් එක්ක මගේ තියෙන්නෙ ඉස්කෝලෙක විදුහල්පති කෙනෙක් එක්ක ශිෂ්‍යයන් කරන ගනුදෙනුව වගේ එකක්. හැබැයි එළියෙ මම වෙනස්. මේ දෙක මම පටලගන්නෙ නෑ.

ආයතනය ඔබේ තනි අයිතියක්ද?

අපි තුන්දෙනෙක් එකතු වෙලා මේක පටන් ගත්තෙ. මමත් එක්ක අධ්‍යක්ෂවරු තුන්දෙනෙක් ඉන්නවා. අනික් දෙන්නම නැව්වල වැඩ කරන කැප්ටන්ලා. එක්කෙනෙක් කැප්ටන් සමන්ත මීහැල්ල. අනෙක් කෙනා කැප්ටන් සනත් වනිගසේකර. මේ අය නිතර ලංකාවෙ නෑ. ව්‍යාපාරයක් පටන් ගන්න මුල්කාලෙ හරි අමාරුයි. අපි රෑ 2 වෙනකම් වැඩ කරලා ආපහු උදේ 6ට නැගිටලා වැඩ පටන් ගන්නවා. එහෙම අවුරුදු කිහිපයක් වැඩ කළා. ඒ කාලෙ නැව්වල යන්නෙ නැතිව කැප්ටන් සමන්ත මාත් එක්ක අවුරුද්දක් එකට වැඩ කළා. ආයතනයේ මුදල්මය අවශ්‍යතා පවා ඉටු කළේ මුල් කාලෙ ඔහු.

කවුද ඔබේ ජීවන සහකාරිය

මම විවාහ වෙන්නෙ 2005දි. යෝජිත විවාහයක් තමයි මම කරගන්නෙ. ඇය දිමුතු ඉනෝකා, ඉංග්‍රීසි ගුරුවරියක්.

තාමත් පොත් කියනවද?

මම තණ්හාවට පොත් දැක්ක ගමන් ගන්නවා. පුදුම ආසාවක් තියෙන්නෙ පොත්වලට. හැබැයි කියවන්න ලැබෙන ඉඩකඩ අඩුයි.

ඒ කියන්නෙ ඔබ පොත් එකතු කරන්නෙක්?

ඔව්. මම සැළලිහිණි සන්දේශය, ගුත්තිල කාව්‍ය ආදියෙ ඉඳන් එකතු කරලා තියෙනවා. මම කවදහරි කියවනවා කියලයි ඒ එකතු කරන්නෙ. දැන් ටික ටික වැඩේට බහින්න හිතන් ඉන්නෙ.

අර ඉස්කෝලෙ යන කාලෙ එක දවසෙ දර්ශන තුනම බලනවා වගේ දැනුත් චිත්‍රපට බලනවද?

දැන්නම් අඩුයි. හෝල්වලට ගිහින් බලනවා නම් හරිම අඩුයි. ඉස්සර කොච්චර චිත්‍රපටි බලන්න ආසද? දැන් එකක් විවේකය නෑ. අනික් අතට අපිත් වෙනස් වෙලා.

ඒ කියන්නෙ වලේ තිලක් දැන් වෙනස් තිලක් කෙනෙක්?

ඉස්සර ඉතින් හරි දඩබ්බරයි තමයි. එදා වලේ තිලක් වුණාට දැන් මම දේශමාන්‍ය තිලක් වනිගසේකර. මිනිස්සු වෙනස් වෙනවා. දියුණු වෙනවා. හැබැයි මගේ අර වලේ තිලක් හදවතේ තවමත් ජීවත් වෙනවා. හදවතින් මම වෙනස් වෙලා නෑ.

විනෝදාස්වාදය ලබන්නෙ මොන වගේ දේවල්වලින්ද?

මම හරි ආසයි තනි වෙලා සින්දු අහන්න. යාළුවොත් එක්ක එකතු වෙලා විනෝද වෙන්නත් මම හරි කැමැතියි.

ඡායාරූප- ගයාන් පුෂ්පික

Comments