
පන්තියට පැමිණි ආචාර්යවරයා සිසුන්ගේ පැමිණීමේ ලේඛනය ලකුණු කරන්නට විය. තම නම කියැවුණු සැණින් පැමිණ සිටි අය ‘එහෙයි‘, ‘ඇවිල්ලා‘, ‘ඉන්නවා‘, යනුවෙන් කෑ මොර දුන්හ.
‘සුගුණදාස සිල්වා‘ ඒ නම කියවුණු සැණින් පන්තියේ සිසුන් අතුරින් හීන් හඬකින් පැමිණ සිටිනා බව පැවසුණි.
‘හයියෙන් උත්තර දෙනවා‘ ආචාර්යවරයා සුගුණදාස දෙස තරමක නුරුස්නා ස්වභාවයෙන් බැලුවේය. එහෙත් සුගුණදාසගේ හැසිරීම වෙනස්වූයේ නැත. ඔහුගේ සාමාන්‍ය ගමන, කඩිසර වුවත් අසාමාන්‍ය ලෙස කලබල නොවීම වැනි ගුණාංග දියුණු වූවා මිස කිසිදු විටක තැතිගෙන වැඩ කටයුතු අඩපණ කරගත්තේ නැත.
සුගුණදාස උපන්නේ දකුණේ දික්වැල්ලට නුදුරු දොඩම්පහළ ප්‍රදේශයේය. ඒ 1939 වසරේ දෙසැම්බර් 20 වැනි දිනය. එදිරිවීර පටබැඳිගේ සරනේලිස් සිල්වා සහ එදිරිසූරිය පටබැඳිගේ මිසිනෝනා දෙමාපියෝ වූහ.
සුගුණදාස දොඩම්පහළ මධ්‍ය මහා විද්‍යාලයෙන් පාසල් අධ්‍යාපනය ලබන්නට විය.
වයස අවුරුදු 11 සපිරෙද්දී වූ අදහසකට අනුව සුගුණදාස පැවිදි බිමට පත් විය. පැවිදි නාමය වූයේ දොඩම්පහළ චන්දසිරිය. ඒ 1950 වසරේ නොවැම්බර් 25 වැනි දින දකුණේ කුඩාවැල්ල වාළුකාරාමයේදීය.
උන්වහන්සේගේ ආචාර්යයන් වහන්සේලා වූයේ මාතර හම්බන්තොට දෙදිසාවේ ප්‍රධාන සංඝනායක මාතර ශ්‍රී සද්ධාරාම නායක ස්වාමීන් වහන්සේ සහ මාතර තොටමුණ වීරබා පිරිවෙන්පති, ශ්‍රී කල්‍යාණිවංශ නිකායේ මහානායක ධුරයට පත් මේධා ශ්‍රී මාතර මේධානන්ද ස්වාමීන් වහන්සේලාය.
අධ්‍යාපනය පිණිස පොඩි හාමුදුරුවෝ මාතර වීරබා පිරිවෙනටත් පසුව ගාල්ලේ විද්‍යාලෝක පිරිවෙනටත් වැඩම කළහ.
1962 වසරේ ජූනි මස 17 වෙනි දින මාතර නිල්වලා උදකුක්ඛේප සීමාමාලකයේදී ශ්‍රී කල්‍යාණිවංශික සංඝයා වහන්සේ වෙතින් අධිසිල් ලැබූහ. උපසම්පදාවෙන් පසු උන් වහන්සේ කොළඹට වැඩම කළහ.
කුඩාවැල්ලේ වංගීස අධිකරණ සංඝනායක හිමිපාණන් ගුරුතැන්හි තබාගෙන කොළඹ බෞද්ධාලෝක මාවතේ ජර්මන් ධර්මදූත ආශ්‍රමයට වැඩම කළ උන් වහන්සේ එහි නේවාසිකව භාවනා පුහුණුව ලැබූහ.
එමෙන්ම කඳුබොඩ විපස්සනා භාවනා මධ්‍යස්ථානයේදී කහටපිටියේ සුමතිපාල මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේ යටතේ භාවනා පුහුණු උපදේශකත්වය ලැබ සියලු කාර්යයන් ප්‍රගුණකොට විපස්සනා භාවනා කම්මට්ඨානාචරිය උපාධියද ලබා ගත්හ.
වනවාසී සම්ප්‍රදාය හා විදර්ශනා භාවනාවේ ප්‍රායෝගිකව නියැළෙමින් එම ප්‍රතිපත්ති අනුගමනය කිරීමට මුල්ලේරියාව නවනගරය කලපළුවාවේ ගෝතම තපෝවන භාවනා මධ්‍යස්ථානය ආරම්භ කිරීමට උන් වහන්සේ සිය දායකත්වය සැපයූහ.
චන්දසිරි හිමියන්ට අවශ්‍ය වූයේ බුදුරජාණන් වහන්සේ දේශනා කළ පරිදි සිත සන්සුන්ව තබා ගෙන කටයුතු කළ හැකි ස්ථානයන් ඇති කිරීමයි.
ඒ අනුව මහනුවර ශ්‍රී දළදා තපෝවනය, මිහින්තලේ කළුදිය පොකුණ අරහන්ත තපෝවනය, පදවිය දෙවියන්ගේ කන්ද තපෝවනය, මාතික මාතා මධ්‍යස්ථානය කතරගම, මෙන්ම මස්කෙළිය, රිකාල්ටන් ජනපදය - කෑගල්ල, මිලිද්දුව, ගාල්ල, කුඩාවැල්ල ඇතුළු ප්‍රදේශ රැසක තපෝවනයන් උන් වහන්සේගේ මූලිකත්වයෙන් බිහි විය.
එසේම වර්ෂ 1986 දී ශ්‍රී වංගීස පිරිවෙන ආරම්භ කිරීමට ද චන්දසිරි හිමිපාණෝ මූලික වූහ.
1989 වසරේදී අමරපුර ශ්‍රී කල්‍යාණිවංශ නිකායේ අනුනායක තනතුරට උන් වහන්සේ පත් වූහ.
කොටස් තුනකට බෙදී මහා නාහිමිවරුන් තුන් නමක් යටතේ පාලනය සිදු වෙමින් වෙන වෙනම උපසම්පදා කටයුතු සිදු කෙරුණු කල්‍යාණිවංශ මහානිකායේ බෙදී තිබූ පාර්ශ්ව සියල්ල ඒකාබද්ධ කිරීමට පෙරමුණ ගන්නා ලද්දේද දොඩම්පහළ චන්දසිරි නාහිමිපාණන් වහන්සේය. පාර්ශ්ව තුනේම මහනාහිමිවරුන් ඇතුළු ප්‍රධාන හිමිවරුන් බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවට කැඳවා සම මහනායක හිමිවරුන් වශයෙන් පිළිගෙන එම මහනාහිමිවරුන් අපවත් වන විට නව මහනාහිමිවරුන් පත් නොකොට අවසානයට අපවත් වන මහානාහිමියන් අපවත් වූ පසු සමස්ත කල්‍යාණිවංශ නිකාය ම වෙනුවෙන් එක් මහනායක හිමිනමක් පත් කර ගැනීමටත් එම පාර්ශ්ව තුනේම හිමිවරුන් කැමැති කරවා ගැනීමට චන්දසිරි මහ නාහිමිපාණන් වහන්සේ සමත් වූහ.
කල්‍යාණිවංශ නිකායේ මහනායක පදවිය හෙබ වූ කොග්ගල සිරි විසුද්ධි මහනාහිමියන් අපවත්වීමෙන් පුරප්පාඩු වූ මහානායක පදවියට උන් වහන්සේ පත් වූයේ දෙවිනුවර රජමහා විහාරාධිපති දෙවිනුවර සිරි සුනන්ද අනුනාහිමියන්ගේ යෝජනාවකට අනුවය. ඒ 1996 වසරේ මාර්තු මස 31 වැනිදාය.
මහ නාහිමිපාණෝ විසිහත් වසරකට වැඩි කාලයක් එම මහනායක පදවිය හොබවන ලද අතර මෙරට දීර්ඝතම කාලයක් මහානායක ධුරයක් හෙබ වූයේ උන් වහන්සේය.
එමෙන්ම කල්‍යාණිවංශ මහානිකාය ශ්‍රී ලංකා අමරපුර මහා සංඝ සභාවට සම්බන්ධ වී නොතිබුණු හෙයින් මඩිහේ පඤ්ඤාසීහ මහානාහිමියන්ගේ සහ වජිරාරාමාධිකාරී පියදස්සි හිමියන්ගේ මඟ පෙන්වීම මත කල්‍යාණිවංශ නිකාය අමරපුර මහා සංඝ සභාවට සම්බන්ධ කරවන ලදින් 1996 වර්ෂයේ සිට අමරපුර මහා සංඝ සභාවේ පාලක සභික හිමිනමක වශයෙන් කටයුතු කොට 2009 වර්ෂයේ එහි උපසභාපති පදවියටද චන්දසිරි හිමියෝ පත් වූහ.
අමරපුර මහා සංඝ සභාවේ ප්‍රධාන ක්‍රියාකාරී පදවිය සේ ම අමරපුර මහානිකායේ සමස්ත පාර්ශ්වයන්හි අනුනායක පදවිය වශයෙන් සම්මත ශ්‍රී ලංකා අමරපුර මහා සංඝ සභාවේ සභාපති පදවිය සඳහා 2013 වර්ෂයේ දී තේරී පත් වූ මහ නාහිමිපාණන් වහන්සේ එකී පදවියේ පස් වසරක ධුර කාලය සාර්ථකව නිමා කොට 2018 වසරේ මහාහෝපාධ්‍යාය පදවියෙන්ද පිදුම් ලැබූහ.
විශේෂයෙන්ම අසරණකමින් හා දරිද්‍රතාවෙන් පීඩා විඳින්නන් සොයා ගොස් හැකි පමණින් උපකාර කිරීම උන් වහන්සේගේ දිවියේ කොටසක් කර ගත්හ. උන් වහන්සේ විටෙක පිළිකා රෝහලේය. විටෙක වික්ටෝරියා විකලාංග රෝහලේය. විටෙක යුද්ධයෙන් අවතැන්වූවන්ට පිළිසරණ වීමට අනාරක්‍ෂිත ගම්මානවලය.
උන් වහන්සේ 2004 වසරේ ඇති වූ සුනාමි ව්‍යසනයෙන් අසරණ වූ ජනතාව දෙස බැලුවේ තමන්ට සිදුවූ විපතක් සේය. එහිලා ඔවුනගේ ආධ්‍යාත්මික සහනය වෙනුවෙන් කළ මෙහෙවර මෙතෙකැයි කියා කිව නොහැකිය.
විදේශ බෞද්ධ අබෞද්ධ ජනතාවගේ සහාය ඇතිව සුනාමියෙන් හානියට පත් වෙහෙර විහාර, පුස්තකාල, සංඝාවාස, ගොඩනැගිලි, ඉදිකිරීම්, රෝහල් උපකරණ බෙදාදීම්, ත්‍රිපිටක ග්‍රන්ථ, අටුවා පොත්, ජාතක පොත් ආදිය දහස් ගණනින් බෙදා දැවැන්ත ශාසනික මෙහෙවරක යෙදුණේ සිය හදවතේ පවතින බෝධිසත්ව ගුණ ප්‍රභාව ප්‍රගුණ කරමිනි.
විශේෂයෙන්ම තෙල්වත්තේ ශ්‍රී රාහුල සංඝරාජ පුස්තකාලය ඉදිකර දීම, මිරිස්ස සිරි සුනන්ද ත්‍රිපිටක ධර්ම ආයතනයේ පුස්තකාලය ඉදිකිරීම, විහාරස්ථාන 200කට පමණ ත්‍රිපිටක පොත් සියල්ල අල්මාරි සහිතව ලබාදීම, අටුවා පොත්, ජාතක පොත් ලබාදීම ඒ අතර සුවිශේෂී විය.
2009 වසරේදී ත්‍රස්තවාදී යුද්ධය අවසන් වූ වහාම යුද්ධය නිසා අසරණ වූ සිංහල, දෙමළ හා මුස්ලිම් පාසල් දරුවන්ට අවශ්‍ය පාසල් පොත්, බෑග්, ඇඳුම්, පාසල් උපකරණ හා වියළි ආහාර ද්‍රව්‍ය ගෙන ඔවුන් වෙත වැඩම කර ඒවා පිරිනමා මනස සුවපත් කරන්නට තරම් උන් වහන්සේ කාරුණික වූහ.
රාජගිරියේ අරියඤාණ ස්වාමීන් වහන්සේ, කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ වැනි වියත් භික්ෂූන් වහන්සේලාට ආචාර්ය උපාධ්‍යායත්වයෙන් මඟ පෙන්වමින් උන් වහන්සේ සිදු කළ ශාසනික සේවාව අපමණය.
එමෙන්ම ඇමෙරිකාවේ වැඩවසන කැලණිය විශ්වවිද්‍යාලයේ වාග් විද්‍යා අංශයේ කථිකාචාර්ය ධුරය හෙබ වූ තපෝවනයේ සුතධර ස්වාමීන් වහන්සේගේ සහායෙන් ශාස්ත්‍රීය හා ආගමික සමාජ සේවා රැසක් සිදු කරන්නට චන්දසිරි හිමියෝ කටයුතු කළහ.
අමරපුර මහානිකායේ මූලස්ථානය ඉදිකරවන්නට වත්මන් දායක සභාව හා සාකච්ඡා කරමින් පර්චස් 84ක ඉඩමක් ජයවර්ධනපුර රෝහල පාරට නුදුරුව ලබාගත්තේ දොළොස් දහසක පමණ අමරපුර භික්ෂූන් වහන්සේගේ ඉදිරි අභිවෘද්ධිය ප්‍රාර්ථනා කරමිනි.
දොඩම්පහළ චන්දසිරි මහ නාහිමියන් අපවත් වූයේ වයස අවුරුදු 83ක් ආයු වලඳාය. උන් වහන්සේගේ ආදාහනෝත්සවය රාජ්‍ය ගෞරව සහිතව 21 ඉරිදා පස්වරු 3.00ට නිදහස් චතුරශ්‍රයේදී සිදු කෙරේ.
අග්ගමහා පණ්ඩිත මඩිහේ පඤ්ඤාසීහ මහ නාහිමි, අග්ගමහා පණ්ඩිත දවුල්දෙණ ඤාණිස්සර මහ නාහිමි, අග්ගමහා පණ්ඩිත කොටුගොඩ ධම්මාවාස මහ නාහිමි ආදී මහ තෙරවරුන් වහන්සේලා අමරපුර නිකායේ මහා නායක ධුරය හෙබවූහ. අග්ගමහා පණ්ඩිත කොටුගොඩ ධම්මාවාස උත්තරීතර මහා නාහිමියන්ගේ අපවත් වීමෙන් හිස් වූ එම පදවිය සඳහා 2021 ජූලි මස 20 වැනිදා අග්ගමහා පණ්ඩිත දොඩම්පහළ චන්දසිරි මහ නා හිමියෝ එම ධුරයට පත් වූහ.
සම්බුදු සසුන වෙනුවෙන් උදාරතර ලෝක ශාසනික සේවාවක නිරත වූ දොඩම්පහළ චන්දසිරි මහ නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේට 2021 වසරේ ජනවාරි මස 04 වැනි දින මියන්මාර් රජය අග්ගමහා පණ්ඩිත උපාධිය පුදන ලදී.