
මේ වන විට වෛද්‍යවරුන් විශ්‍රාම යෑම තුළ ග්‍රාමීය රෝහල් වැසී යාමේ අවදානමක් ඇති බවට සමාජ කතිකාවක් ගොඩනැඟී ඇත. මේ සමාජ කතිකාව ගොඩනැඟීමට පාදක වූ හේතු කාරණා පිළිබඳ සුවිශේෂයෙන් සාකච්ඡා කළ යුතුය.
මේ සඳහා ප්‍රධාන වශයෙන් හේතු 2ක් බලපානු ලබයි. එනම්, අනුරාධපුර මහාචාර්ය ඒකකයේ සිද්ධිය සහ ලියාපදිංචි වෛද්‍යවරුන් 350ක් විශ්‍රාම යෑම යන හේතු ද්විත්වයයි. අනුරාධපුර ළමා රෝග මහාචාර්ය ඒකකය පිළිබඳ පැහැදිලි කරන්නේ නම් මහාචාර්ය ඒකකවලට විශේෂඥ වෛද්‍යවරුන් පත් කරනු ලබන්නේ විශ්වවිද්‍යාලවල අදාළ පීඨවලිනි. අනෙකුත් නේවාසික වෛද්‍යවරු, ජ්‍යෙෂ්ඨ නේවාසික වෛද්‍යවරු සහ හෙද කාර්ය මණ්ඩලය ඇතුළු සියලු මානව සම්පත් සපයනු ලබන්නේ සෞඛ්‍ය දෙපාර්තමේන්තුව මඟිනි.
අනුරාධපුර මෙම ඒකකයේ සිටි විශේෂඥ වෛද්‍යවරු දෙදෙනකු අසනීප තත්ත්වයන් මත නිවාඩු ලබා ගෙන ඇත. එසේම තවත් දෙදෙනකු නිවාඩු ලබා ගෙන විදේශ ගත වී ඇත. අවසානයට ගිය වෛද්‍යවරුන් දෙදෙනාගෙන් එක් අයකු නැවත පැමිණ නැත. විශේෂඥ වෛද්‍යවරුන් අනිවාර්යයෙන් විශේෂඥතාව ලබා ගැනීම සඳහා විදේශ පුහුණුවකට යොමු විය යුතුය. එම විදේශ පුහුණුව සඳහා ඔහු මාර්තු මාසයේ 30 වැනිදා යා යුතුය. ඒ අනුව ඔහු පිටත්ව ගොස් ඇත. එම ඒකකයට විශේෂඥ වෛද්‍යවරයකු නොසිටීමට හේතුව එයයි.
විශේෂඥ වෛද්‍යවරුන්ට නිවාඩු ලබා දීම සිදු කරන්නේ අදාළ වෛද්‍ය පීඨයෙනි. අප සාමාන්‍යයෙන් සෞඛ්‍ය දෙපාර්තමේන්තුවෙන් විශේෂඥ වෛද්‍යවරු මහාචාර්ය ඒකකවලට ලබා නොදෙයි. කෙසේ හෝ මේ තත්ත්වය දැනුම් දීමෙන් පසු විශේෂයෙන් වෛද්‍ය සිසුන් ගැනත් අවදානය යොමු කරමින් අප වෛද්‍යවරයකු යොමු කර ඇත. තවත් විශේෂඥ වෛද්‍යවරයකු සම්මුඛ පරීක්ෂණයක් මඟින් තෝරා ගෙන අදාළ ලියකියවිලි රාජ්‍ය සේවා කොමිෂන් සභාවට යොමු කිරීමක් ද කර ඇත.
එයින් පසු එම වෛද්‍යවරයා මුදා හළ හැකිය. එතෙක් තාවකාලික විසඳුමක් අප ලබා දී ඇත. නිවාඩු ලබා දීමේදී සිදු වූ කාරණයක් සහ විශේෂඥ වෛද්‍යවරුන් දෙදෙනකු අසනීප වීම නිසා මේ තත්ත්වය ඇති වී තිබිණි.
මෙහි අනෙක් කරුණ වෛද්‍යවරු 350ක් ජූනි මාසයේ විශ්‍රාම යෑමයි. ග්‍රාමීය රෝහල් 90%කට පමණ මේ වන විට ලියාපදිංචි වෛද්‍යවරු පත් කර යවා අවසන් වී ඇත. වෛද්‍යවරු 350ක් විශ්‍රාම යෑම රෝහල් 350ක් වැසී යෑමට හේතුවක් නොවෙයි.
පවතින ආර්ථික අර්බුදය හමුවේ වැඩි වශයෙන් රට හැර යන්නේ වෛද්‍යවරුන්ය. මෙහිදී සෞඛ්‍ය අමාත්‍යාංශය ලෙස ගත හැකි ක්‍රියාමාර්ගය කුමක්ද යන්න පිළිබඳ බොහෝ දෙනා තුළ ප්‍රශ්නයක් මතු වී ඇත.
අවුරුදු 2 සිට 5 දක්වා නිවාඩු ගත හැකි බවට රාජ්‍ය පරිපාලන චක්‍රලේඛයක් නිකුත් කර ඇත. ඒ අනුව ඔවුන්ගේ රාජකාරී ආවරණය කර ගත හැකි වැඩපිළිවෙළක් යොදා ගත හැකි නම් ඔවුන්ට යෑමට අවස්ථාව ලබා දී ඇත. නමුත් සමහරු රාජකාරි ආවරණයකුත් නොමැතිව, සමහර විට සෞඛ්‍ය දෙපාර්තමේන්තුවටවත් නොකියා රට හැර ගොස් ඇති බව පෙනෙයි. මෙරට වෛද්‍ය අධ්‍යාපනය තුළ පශ්චාත් උපාධිය දක්වාම රජයෙන් මුදල් ලබා දෙයි. අපේ පශ්චාත් උපාධි ආයතනයෙන් පිටවන වෛද්‍යවරු ඔවුන්ගේ විශේෂඥතාව සම්පූර්ණ කිරීම සඳහා විදේශ රටක අනිවාර්යයෙන් වසරක් හෝ දෙකක් පුහුණුව ලැබිය යුතුය. එසේ යවනු ලබන වෛද්‍යවරුන් නැවත ලංකාවට පැමිණෙතැයි අපි බලාපොරොත්තු වෙමු. ඒ සඳහා ගිවිසුමක් අත්සන් කිරීමක්ද සිදු වෙයි. එසේ පිටරට යන වෛද්‍යවරුත් නැවත ලංකාවට නොපැමිණි අවස්ථා ද වෙයි. මේ වන විට ඔවුන්ට එරෙහිව නීත්‍යනුකූල පියවර ගනිමින් සිටියි. සමහරුන්ට නීත්‍යනුකූල පියවර ගැනීමට කටයුතු කර ඇත. විශේෂඥ වෛද්‍යවරු, වෛද්‍යවරු, හෙදියන් ඇතුළු සෞඛ්‍ය ක්ෂේත්‍රයේ බොහෝ දෙනා මේ ආකාරයෙන් විදේශගත වෙයි. විශේෂයෙන් විශේෂඥ වෛද්‍යවරු විදෙස්ගත වීම ගැටලුවක් වී ඇත. නමුත් රාජ්‍ය පරිපාලන චක්‍ර ලේඛයට අනුව යන විදෙස් ගතවන වෛද්‍යවරුන්ට ආවරණයක් ඇත. මේ තත්ත්වය වෛද්‍ය ක්ෂේත්‍රයේ පමණක් තිබෙන දෙයක් නොවේ.
රට ක්‍රමයෙන් යහපත් තත්ත්වයට පත් වන විට ක්‍රමවේදය අඩු වෙතැයි කියා අපි බලාපොරොත්තු වෙමු. රට ගැන විශ්වාසයක් ඇතිව තවමත් මෙරට රැඳී සේවය කරන විශාල පිරිසක් වෙයි.
මේ දිනවල පැතිර යන කැස්ස, හෙම්බිරිස්සාව, ඇඟ රිදීමේ ගතිය මේ තත්ත්වය කොවිඩ්වල නැවත නැඟී සිටීමක් ද යන්න ජනතාව තුළ බියක් මතුව ඇත. කොවිඩ් ඇතිවීම හෝ නැඟිටීම ගැන අපට සැක කළ නොහැකිය. මේ දිනවල උණ, ඉන්ෆ්ලුවෙන්සාව පැතිරී යයි. දිනකට කොවිඩ් රෝගීන් පහක් හයක් හමුවෙන අවස්ථා ද ඇත. නමුත් මේ තත්ත්වය භයානක තත්ත්වයක් නම් නොවේ. යම් අයකුට කැස්ස ඇති නම් මුව ආවරණ පැලඳිය යුතුයි. සෞඛ්‍ය අංශ මේ උණ, හෙම්බිරිස්සාව පිළිබඳ අවධානය යොමු කර ඇත. ඒ පිළිබඳ විශේෂ යමක් සොයා ගැනීමට ලැබුණොත් ඒ පිළිබඳ කඩිනමින් ජනතාව දැනුවත් කිරීමට අපි කටයුතු කරමින් සිටිමු. එසේම මේ වන විට විශාල වශයෙන් ඩෙංගු වසංගතය පැතිර යයි. කොවිඩ් වසංගතය තුරන් වුවද තවම ඩෙංගු වසංගතය තුරන් වී නැත. ඩෙංගු මර්දන කටයුතුවලදී සෞඛ්‍ය අමාත්‍යාංශය තවමත් දුර්වල ක්‍රියාමාර්ගවල නියැළී සිටින බවට චෝදනා එල්ල වුවත් මේ සඳහා ආයතනික මට්ටමින් විවිධ වැඩසටහන් සංවිධානය කර ඇත.
ඩෙංගු මර්දනය කිරීම සෞඛ්‍ය අමාත්‍යාංශයට පමණක් තනිවම සිදු කිරීමට නොහැකිය. පොදු ස්ථානවල, නිවෙස්වල සහ ජලය එකතුවෙන සෑම ස්ථානයකම ඒ ඩෙංගු මදුරුවන් සිටියි.
පොදු ස්ථාන, තමන්ගේ නිවාස ආශ්‍රිත ප්‍රදේශ ශුද්ධ පවිත්‍ර කරගැනීම ජාතික කර්තව්‍යයක් ලෙස සලකා කළ යුතුය. ජලය එකතු වෙන තැන්වල මෙම මදුරුවා බෝවීම සිදු වෙයි. මේවා හැකිතාක් දුරට වැළැක්විය යුතුය. කීට විද්‍යා සමීක්ෂණ අනුව වැඩිපුරම ඩෙංගු මදුරුවන් බෝවන ස්ථාන තිබුණේ රජයේ ආයතනවල, පොදු මහජනතාවගේ වාසස්ථානෙවල සහ සිද්ධස්ථානවලය. ආගමික සිද්ධස්ථානවලට විශාල පිරිසක් රැස්වන බැවින් එවැනි ස්ථාන පිළිබඳ අවධානයෙන් සිටිය යුතුය. වැඩ බිම්වල ඩෙංගු ව්‍යාප්තිය ඉහළ ගොස් ඇත. පාසල්වලත් එවැනි තත්ත්වයක් නිර්මාණය වී ඇත. එම නිසා පාසල් ශ්‍රමදාන මඟින් අදාළ පිරිසුදු කිරීම් කටයුතු කිරීමට අවශ්‍ය වැඩපිළිවෙළ සකස් කිරීමට උපදෙස් දී ඇත.
කොළඹ, ගම්පහ, කළුතර දිස්ත්‍රික්කවල වැඩි වශයෙන් ඩෙංගු රෝගීන් වාර්තා වෙයි. නැඟෙනහිර පළාතේ ත්‍රිකුණාමලය, මඩකලපුව සහ සබරගමු පළාතේ රත්නපුර දිස්ත්‍රික්කය ඩෙංගු රෝගීන් වාර්තා වීමක් පෙන්නුම් කරයි. වයඹ පළාතේ පුත්තලම දිස්ත්‍රික්කයේ වැඩි වශයෙන් ඩෙංගු රෝගීන් වාර්තා වීමක් පෙන්නුම් කර තිබේ. කොට්ඨාස වශයෙන් මේ සම්බන්ධයෙන් උපදෙස් ලබා දීමට සෞඛ්‍ය අංශ විසින් කටයුතු කර ඇත. බස්නාහිර පළාතේ මීට සතියකට කලින් විශේෂිත වැඩසටහනක් සංවිධානය කර ඇත.
ඩෙංගු රෝගය ව්‍යාප්ත වීමට ඉඩ හැර බලා සිටින පාර්ශ්ව සම්බන්ධයෙන් නීතිමය කටයුතු සම්පාදනය කර ඇත. මහජනතාවගේ ආරක්ෂාව උදෙසා මෙම සියලු කටයුතු සෞඛ්‍ය අමාත්‍යංශය විසින් සිදු කරයි.
ඩෙංගු මර්දනය යනු පොදු කාර්යයකි. එසේ නොමැතිව ඩෙංගු වසංගතයෙන් රට මුදා ගැනීමට හැකියාවක් නැත. මෙවර ඩෙංගු රෝගයේ වයිරසය, ඩෙංගු 2 කාණ්ඩය සහ 3 කාණ්ඩය යටතට ගැනෙයි. මේ නිසාම රෝගය ව්‍යාප්ත වීමේ ප්‍රවණතාව ඉතා ඉහළ මට්ටමක තිබෙයි. මේ පිළිබඳ සියලුදෙනා දැනුවත් වී සිටියොත් මෙම රෝගය ඉක්මනින්ම මර්දනය කර ගත හැකිය.
එමෙන්ම මේ දිනවල මී උණ රෝගීන්ගේ වැඩි වීමක් ද දක්නට ලැබෙයි. රත්නපුර, කළුතර, ගාල්ල ආදී දිස්ත්‍රික්කවල මේ තත්ත්වය දක්නට ලැබෙයි. වර්ෂාවත් සමඟ මේ තත්ත්වයේ වැඩි වීමක් සිදු වී ඇත. මී උණ, මීයන්ගේ මූත්‍රාවලින් හැදෙන රෝගයකි. ශරීරයේ සිදු වන පොඩි සීරීමකට මීයන්ගේ මුත්‍රා සමඟ මිශ්‍ර වූ මෙම ජලය ආසාදනය වූ විට එයින් මෙම රෝගය ආසාදනය විය හැකිය.
එබැවින් මෙයින් වැළකී සිටීම සඳහා ලබා ගත හැකි ඖෂධ ඇත. එය සියලු ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලවලින් නොමිලේ ලබා දෙයි. ගොවි මහත්වරුන්ට මෙම කාර්යාලවලට ගොස් මෙම ඖෂධය ලබා ගැනීමේ හැකියාව ඇත. මෙම රෝගය සමඟ තද උණ ගතියක් ඇති වෙයි. කුමන හෝ ලක්ෂණයක් තිබේ නම් ළඟම ඇති රෝහලට ගොස් ප්‍රතිකාර සඳහා යොමු විය යුතුය. මෙම රෝගය උග්‍ර වුවහොත් ජීවිතය බේරාගත හැකි සම්භාවිතාව අඩුය. සියලු රජයේ රෝහල්වල වෛද්‍යවරු සහ සෞඛ්‍ය කාර්ය මණ්ඩල මෙම රෝගය පිළිබඳ හොඳ අවබෝධයකින් සිටියි. ඒ නිසා නිසි ප්‍රතිකාර ලබාගත හොත් මෙය සුව කර ගත හැකිය.
මහජනතාව තමන්ගේ සෞඛ්‍ය රැකගැනීමේ ක්‍රියාමාර්ග ද ගත යුතුය. සෞඛ්‍යය යනු පුළුල් විෂය පථයකි. රෝගය වැලඳී රෝහලට පැමිණෙනවාට වඩා රෝගය වළක්වා ගැනීම කළ යුතුය. බෝ නොවන රෝග වැඩිවීමේ ප්‍රවණතාවක් තිබේ. විශේෂයෙන් දියවැඩියාව, අධික රුධිර පීඩනය, ස්ථූලතාව යන රෝග වැඩි වී ඇත. එම සියල්ල අපේ ජීවන චර්යාවත් සමඟ බැඳී තිබේ. තමන්ගේ ජීවන රටාව අනුව මෙම රෝගවලින් වැළකී සිටීමට අප සැලකිලිමත් විය යුතුය. රෝහල්වලට පැමිණෙන රෝගීන් ප්‍රමාණය සහ එම රෝගවලින් සිදු වන මරණ ප්‍රමාණය අඩුකර ගැනීම සඳහා සෞඛ්‍යමත් ජාතියක් ලෙස හැකි තරම් රෝගවලට ගොදුරු වීමෙන් වැළකී සිටිය යුතුය. ඒ සඳහා වූ විවිධ වැඩසටහන් අපේ සෞඛ්‍ය අධ්‍යාපන කාර්යාංශය මඟින් දිනපතා ප්‍රචාරය කරනු ලබයි. ඊට අමතරව සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෙනම බෝ නොවන රෝග ඒකකයක් ද ඇත. මානසික සෞඛ්‍යය මෙන්ම කායික සෞඛ්‍යය ද මෙහිදී ඉතා වැදගත් වෙයි. ඒ නිසා සුදුසුම දේ නීරෝගිකම ආරක්ෂා කර ගැනීමට ආහාර වේලේ සිට ව්‍යායාම දක්වා මේ සියල්ල පිළිබඳ සැලකිලිමත් වීමයි.