
නාවල නම් අන්නාසි මල්වානේ නම් රඹුටන්ය
එහෙනම් කළුතර කිව්වාම මතකයට එන්නේ
මොනවාද?
කළුතර නම් ඉතින් මැන්ගුස්ය
එදා කළුතර නම් දැරුවේ මැන්ගුස්වලටය. ඒත් අද කළුතර වඩාත් ප්‍රසිද්ධ වී ඇත්තේ එකකට එකක් අල්ලා කුලියට දීමට ඇති 'රූම්ස්' නිසාය. රූම්ස්වලට සිංහලෙන් නවාතැන් පොළවල් කියා ද කියනු ලැබේ. දෙමළ අය නම් මේවා හඳුන්වන්නේ ලොජ් කියාය.
කළුතර රූම් කතාව පසුගියදා කරළියට ආවේ ලැගුම්හලක ජනේලයකින් පැන දහසය වියැති දැරිවියක මිය යෑමත් සමඟය.
මේ කියන රූම්ස් තියෙන කැලිඩෝ පාරේ අප ඔබ මොබ ගියේ නවාතැන් පොළවල් ගණන් කරමිනි. අප මේ මුහුදු තීරයට යාබද කැලිඩෝ පාරේ ගමන් ගනිද්දී උදේ 8ටත් පෙම්වතුන් තමන්ට රිසි සේ සිප වැලඳගනිමින් සිටියහ. ඒත් ඊයේ කළුතර මුහුදු තීරයේ සිටි පෙම්වතුන් ගැන ඊට කලින් දින ප්‍රවෘත්ති වාර්තා කොට සිටියේ මෙසේය.
"කළුතර ගඟ අසල, මුහුදු වෙරළේ සහ වැටකෙයියා පඳුරු අතර රැඳී සිටී තරුණ ජෝඩු 13ක් ඊයේ පස්වරුවේ පොලිසියට රැගෙනවිත් තිබේ. කළුතර ප්‍රදේශයේ විවිධ අපචාර ක්‍රියා වැළැක්වීමේ අරමුණින් බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ගේ උපදෙස් පරිදි වැටලීම සිදුකර ඇත. වෙරළ ආසන්නයට විශේෂ බස් රථයක් රැගෙන ගොස් පොලිසියට කැටුව පැමිණි තරුණ යුවළ කිහිපයක් කළුතර දකුණ පොලිසියේ රඳවා සිටින අයුරු දැකගත හැකිවිය. "
මොවුන්ට අවවාද කර තේ පැන් සංග්‍රහයක් ද පවත්වා මුදාහැරි බව පොලිසිය කීය. "අනේ සර් ගෙවල්වලට නම් කියන්න එපා" කියමින් එම තරුණ පිරිස හඬා වැටුණු බව කළුතර පොලිස් නිලධාරියකු අප සමඟ පැවසීය.
"කොල්ලෙකුටයි - කෙල්ලෙකුටයි මුහුදු වෙරළේ ලව් කරන්න තහනමක් තියෙනවද?" මා කළුතර පොලිසියේ ප්‍රධානියාගෙන් ඇසුවෙමි.
"නෑ!නෑ. ඒක මානව හිමිකමක්. අපි කාවවත් උසාවියට ඉදිරිපත් නොකර අවවාද කරල නිදහස් කළෙත් ඒකයි."
ඊයේ පොලිසිය පෙම්වතුන් පෙම්වතියන් පොලිසියට ගෙන ගියත් අදත් ගිනිකාස්ටක අව්වේ මුහුදු තීරයේ පෙම්වතුන්ගෙන් අඩුවක් නැත. උදේ 9 වන විටත් මුහුදු තීරයේ ලැගුම්හල්වල කුටි බොහෝමයක් පිරී ගොස් ඇති බව එම ලැගුම්හල්වල ඉස්තෝප්පුවේ සිටින නිලධාරින්ගෙන් දැන ගතිමි.
"කාමර 8යි තියෙන්නේ. 6ක් ෆුල්. දෙකකට දැන් එනවා කිව්වා. මොනාද ඉතින් ෂෝට් පීරියඩ් තමයි (කෙටි කාලයකින්) පැය දෙකකින් විතර ආවොත් ෂුවර් එකටම කාමරයක් තියන්න පුළුවන්. හැබැයි ෆුල් පේමන්ට් එක ගෙවන්න ඕනෑ!"
අපි නැවතත් කැලිඩෝ පාරේ ඔබ මොබ යමින් එහි සිටි ධීවරයන් සමඟ කතාවට වැටුණෙමු. පෙරළා තිබූ ඔරුවක් මත හිඳ අප සමඟ කතාවට වැටුණේ සුසන්ත ප්‍රනාන්දුය.
"හවස හතර, පහෙන් පස්සේ කට්ටිය එනවා වැඩියි. ගෑනු නම් එන්නේ මහත්තයට OT කරනවා කියලා වෙන්නැති. ඔය මූදු වෙරළේ කෙරෙන 'කෙල්ලන් - කොල්ලන්ගේ' ලව් කරන ඒවා බලන්නම එන අන්කල්ල සෙට් එකක් ඉන්නවා. ඒගොල්ලන්ට ගමේ අය කියන්නේ 'බැල්මට්කාරයෝ' කියලා. මුහුදේ ඉඳන් බීච්එක බලනකොට ඔක්කොම පෙම්වතුන් පෙම්වතියන් කරන සේරම පේනවා. සමහර ඒවා හිරිකිතයි." සුසන්ත කියන්නේ රූම් කුලියට දීම ආදී බිස්නස් කරන්නේ ගමට පිටින් පැමිණි පිරිස් බවය.
"මේ ගමේ උදවිය ජීවත් වෙන්නේ ධීවර රස්සාවෙන්. ඔය දුරාචාර වැඩවලට මෙලෝ සම්බන්ධයක් නෑ."
කැලිඩෝ පාරේ ලැගුම්හල් කීපයක් අතරින් සමනල බීච් හෝටලයට අප ගොඩ වූයේ එහි කළමනාකරු සමඟ කතාබහේ යෙදෙන්නටය.
ඔහු චරිත් රත්නසූරිය ය. චරිත් පවසන්නේ සෙනසුරාදා, ඉරිදා සහ පෝයට ලැගුම්හල්වලට එන පිරිස් වැඩිවන බවය. මේ හැම ලැගුම්හලක ගාස්තුව ලෙස බෝඩ් ගසා ඇත්තේ රුපියල් 800 ලෙසය. කලාතුරකින් රුපියල් 400 ලෙස ගැසූ බෝඩ් ද දැකගත හැකි විය. ඒත් චරිත් මේ ගැන කියන්නේ මෙසේය.
"මෙහෙ රූම් එකක් පැය 24කට අඩුම ගාන රුපියල් 2500යි. ඔය රුපියල් 800 කියන්නේ Short Period (කෙටි කාලෙකට) කොරෝනාවෙන් පස්සේ මේ තැන්වල කෑම දෙන්නේ නෑ. කෑම තියෙන තැනකින් ගෙනල්ලා දෙනවා. අපි නම් ත්‍රිවිල්වලට කොමිස් දෙන්නේ නැහැ."
මේ ලැගුම්හල්වල නවාතැන් ගන්නා පෙම්වතුන්ට අපල කාලයක් වන්නේ කළුතර පොලිස් අභ්‍යාස විද්‍යාලයේ විසිර යෑම් සහ වෙනත් උත්සව පැවැත්වෙන විටදීය. දිවයිනේ නන් දෙසින් එම උත්සවවලට පැමිණෙන අමුත්තන්ගෙන් මේ ලැගුම්හල්වලට ඇතිවන්නේ දැඩි ඉල්ලුමකි.
"ඔය ගාලුපාර අයිනේ තියෙන ත්‍රිවිල්වල ප්‍රධාන බිස්නස් එකක් තමයි රූම්ස්වලට කපල් එක්කන් එන එක."
අප මේ ගැන සොයා බැලීමේදී පෙනී ගියේ රුපියල් 150ක හයර් එකකට රුපියල් 250ක් ගන්නා බවය. රූම් ගාස්තුව වන රුපියල් 800නුත් 200ක කොමිස් මුදලක් ද ලැබේ. ත්‍රීවිල් හිමියකුට කොමිස් එක නොදුන්නොත් 'නයාට ගසා පොල්ල වරද්ද ගත්තා වගේය'. ඉන්පසු ත්‍රිරෝද රියදුරා කපල් එකට ඒ ලැගුම්හල ගැන කියන්නේ මෙසේය.
"අයියෝ ඊයෙත් පොලිසියෙන් පැන්නා. හැම තිස්සෙම පනිනවා. අපි පොලිසිය පනින්නැති තැනකට ගිහින් ඇරලවන්නම්!"
"දැන් ඔය රූම් එකකට එන අයගෙන් ගන්න ID ඇත්ත ඒවද කියල කොහොමද හොයා ගන්නේ?"
"මම හිටියේ පොලිසියෙ. පොලිසියේ රාජකාරි කරනවට වැඩිය බරපතළයි මේ රූම්ස් තියෙන තැනක් බලාගන්න. සමහර කෙල්ලෝ ID ගේනවා. ඒකේ පිංතූරේ ඉන්න කෙල්ල කළුම කළුයි. ඒත් ආපු කෙල්ල ඉන්ජෙක්ෂන් ගහලා සුදුවෙලා පොතු ඇරපු ඉස්සා වගේ. කොල්ලගේ උපන් දින, සම්පූර්ණ නම කටපාඩම් කරගෙන එන්නේ. වෙන වෙනම තියල ප්‍රශ්න ඇහුවත් වැඩක් නැහැ"
කළුතර මේ ලැගුම්හල් නොහොත් රූම්ස්වලට එන්නේ කපල් විතරද සමලිංගිකයෝ නොහොත් 'සමරිසි' ලෙස හඳුන්වන උදවිය මෙන්ම තනි පුද්ගලයන් මේ රූම්ස්වලට එන්නේ නැද්ද?මම ඇසුවෙමි.
" තනිකඩයෝ ආවම රූම්ස් දෙන්න අපි අකමැතියි. මොකද රෑට නැඟිටල වෙන කාමරවල යතුරු දොරවල් අස්සෙන් බලනවා. රූම්ස්වල ඉන්න අය කම්ප්ලේන් කරනවා. කවුද කාමරේ ගාව ඉන්නවා කියලා. පොලිසියෙන් ගෙන්නල එවලේම අරිනවා. රූම් එකට ගන්නේ රුපියල් 2000යි. අන්තිමට 25,000ක් විතර වියදම්. අතින් කයිට්."
කළුතරට ගිය වෙලේ ඉඳන් අප විස්තර අහපු හැම කෙනෙකුගේම කටේ තිබුණු වචනයක් නම් 'කැලිඩෝ මුහුදු තීරය' ය. කාමාතුරයන්ට කැදලි තනන්නට කප් ගසා ඇති කළුතර මුහුදු තීරය කාමාතුරයන්ට බදු දී ඇති බවට මීට වසර 25කට පෙර පළ කළ ප්‍රකාශයක් අපට සොයාගත හැකි විය.
කළුතර කැලිඩෝ වෙරළ තීරයේ පිහිටි රමණීය වැලිතලා යළිත් කාමාතුරයන්ගේ පාරාදීසයක් බවට පත්වෙමින් තිබේ. මෙම භූමිය ඔවුන්ගෙන් මුදවාගෙන බාල මහලු වැඩිහිටි කොයි කාටත් විවේක සුවයක් විඳීමට හැකි සොබා සෞන්දර්යයෙන් පිරි සුවිශේෂ භූමියක් බවට පත් කිරීමට ඊට වගකිවයුතු අංශවල අවධානය මෙතෙක් යොමු වී නැති බව කනගාටුවට කරුණකි.
ශ්‍රී ලංකාව් ඉතාමත් සුන්දර ස්ථානයක් වූ මෙම කැලිඩෝ වැලි තලාව කළුතර ප්‍රදේශවාසීන්ගේ මෙන්ම මුළු මහත් ශ්‍රී ලංකාවාසීන්ගේ ද සිත් දිනාගත් මනරම් තැනක් බවට එදා පත්වී තිබුණි. එහෙත් පසු කාලයේදී තරුණ පෙම්වතුන් මෙම තීරයට පෙම් සුව විඳීමට පැමිණීමත් සමඟම බාල, මහලු, වැඩිහිටියන්ට මෙහි පැමිණීමෙන් වැළකී සිටින්නට සිදු විය.
කාලයාගේ ඇවෑමෙන් කැලිඩෝව පෙම්වතුන්ගේ පාරාදීසයක් බවට පත් විය. පසු කාලයක වෙරළ සංරක්ෂණ මණ්ඩලය මඟින් මෙම වැලිතලාවේ ආරක්ෂාව උදෙසා වන වගා රෝපණයක් සිදු කරන ලදී. වසර කීපයක් ගෙවී යද්දී මෙම වන වගා ව්‍යාපෘතිය කැලිඩෝ වෙරළ වෙළාගත් ලඳු කැලෑවක් බවට පත්විය. මේ කැලෑවට ඇතුළු වූ කිසිවකුට පිටතින් ගමන් කරන අයවළුන්ව පැහැදිලිව දැක ගත නොහැකිය. පෙම්වතුන්ගේ පාරාදීසය කාමාතුරයන්ගේ පාරාදීසයක් බවට පරිවර්තනය වූයේ එතැන් සිටය.
සොබා දහම් මාතාවගේ අපූරු නිර්මාණයක් ලෙසින් සැලකෙන මෙවැනි සුන්දර ස්ථානයක් ශ්‍රී ලංකාවේ තවත් තැනෙක පිහිටා නැත. පසෙක කළු ගඟය. පසෙක මහා සයුරය. මේ අතර මීටර් 50ක් පමණ පළල ප්‍රමාණයකින් උතුරු කළුතර සිට කටුකුරුන්ද දක්වා විහිදෙන සැතපුම් 3/4ක් පමණ වූ දුර ප්‍රමාණයක් යුත් සුදු වැලි තලා කැලිඩෝ වෙරළ ලෙසින් සැලකේ.
දිනපතාම මෙම කැලිඩෝ කැලෑවට පැමිණෙන තරුණ තරුණියන්ගේ ගණන ඉතා විශාලය. සති අග දිනවලදී මෙන්ම රජයේ නිවාඩු දිනයන්හිද විශේෂයෙන් පුන් පෝ දිනවලදී ද මෙම ලඳු කැලෑව තුළට ඇතුළු වන තරුණ ජෝඩු ගණන ඇතැම් අවස්ථාවල 400 ද ඉක්මවා යන බව ඒ අවට පදිංචිකරුවෝ පවසති. මෙලෙස පැමිණෙන තරුණ, තරුණියන් අතර ටියුෂන් පංති යන මුවාවෙන් ගෙවල්වලින් පිටවෙන වයස අවුරුදු 15 - 16 වයස් සීමාවේ පසුවන නොදරුවෝ ද වෙති.
අවට ප්‍රදේශවාසීන් පවසන අන්දමට තම දරුවන් හදා වඩා ගැනීමද දැන් ඔවුන් හමුවේ ඇති ප්‍රබල අභියෝගයක් වී තිබේ. එදා වෙරළේ පාවී එන දර කැබැල්ලක් අහුලා ගැනීමට එහි ගිය ප්‍රදේශවාසීන්ට දැන් කැලිඩෝ තීරය තිත්ත වී ඇතැයි කියති. ඊට හේතු වන්නේ එම ලඳු කැලෑව තුළ සිදුවන - සිදුකෙරෙන දේ දැකීමට තියා ඇසීමටත් ඔවුන්ට අප්‍රිය වීමය. එකල අනගාරික රයිටර් තිලකසේකරයන් වැඩ විසූ ආරාමය පිහිටුවා තිබී ඇත්තේ කැලිඩෝ මුහුදු තීරයේය. එහි කළුතර නගර සභාවට අයත් තානායමක් ද තිබී ඇත.
කළුතර මේ කාමාතුර රූම් සෙල්ලම කලක් ඒ ප්‍රදේශයේ ජනතාවට කොතරම් හිසරයක් වූවා දැයි කිවහොත් කලින් දින පැමිණි කපල් ලැයිස්තුව පහුවෙනිදා උදයේම කළුතර පොලිසියට ඉදිරිපත් කළ යුතු බවට නීතියක් ද කලක් තිබී ඇත. කළුතර මුහුදු තීර දිගේ යනවිට දැකගත හැකි ආසන මෙන් සාදාගෙන ඇති වැටකෙයියා ගාල් බොහෝය. මේවාට පෙම් සුව සොයා එන කපල්වලින් කප්පම් ගැනීමද ජයටම කෙරීගෙන යයි. කපල් එකේ පෙම්වතිය හෝ පෙම්වතා ටිකක් වයසක වගේ පෙනුනොත් කප්පම සෑහෙන වැඩිය.
"පිංතූර ටික ගෙදරට වට්ස්ඇප් කරනවා" ඔවුන්ගේ තර්ජනය හමුවේ කපල් එක අසරණ වෙති. මාල කඩා ගැනීම ද ජයටම කෙරේ. දෙවසරකට පෙර ළමා හා කාන්තා කාර්යාංශය කළුතර ලොජ් හිමියන් කැඳවා රැස්වීමක් පවත්වා ඇත.
"ඔය කළුතර පඳුරු අස්සේ තමයි ලංකාවේ ළමා අපචාරවලින් අංක 1ට ඇවිල්ලා තියෙන්නේ." යයි එම රැස්වීමේදී ළමා හා කාන්තා කාර්යාංශය පවසා ඇත. මේ ලොජ්වල කළමනාකරුවන්ගෙන් අත්දැකීම් ගැන අසා සිටියෙමි.
"එක සැරයක් අත දරුවෙක් අරගෙන වයස විසිපහක විතර අම්ම කෙනෙක් ආවා. එයා බබාට බේත් ගන්න ආවාලු මහත්තයත් එක්ක. මහත්තය ඩිස්පෙන්සරියෙන් එයාලව දාල කෙල්ලෙක් එක්ක මේ පැත්තට ආවා. රූම් එකේ ඉන්නවද ඇහුවා. නංගි පොලිසියට ගිහින් පැමිණිල්ලක් දාල එන්න. එතකොට අපිට ID පෙන්නන්න පුළුවන් බව අපි කිව්වා."
ඒත් දැරිය අතින් ගත් තරුණ මව කාමරවලින් එළියට එන කපල් එකින් එක එළියට එනතුරු රෑ අට වනතුරුත් බලා සිට පිටව ගියේ තම සැමියා එම රූම් එකකවත් නැති බව සහතික කරගත් පසුවය.
කළුතර රූම් හිමියන් කියන්නේ ඔවුනට වැඩිම බිස්නස් තිබුණේ මුළු රටම ඉන්ධන ගෑස් අර්බුදය පැවති අඳුරු යුගයේ බවය.
"මහත්තයට කියන්න කළුතර, නාගොඩ ටවුන්වල පෙට්‍රල් නැතුව මරා ගන්නවා. මුළු රටම ගිනිඅරන්. ඒත් රූම්ස් පිරෙන්න කපල් ආවා. මම දවසක් ඇහුව මල්ලි කීයකටද පෙට්‍රල් ගන්නේ කියලා."
"අයියෙ පෙට්‍රල් ලීටරේ රුපියල් 2500ට ගහගෙන ආවේ මෙයාගේ කරදරෙන් බේරෙන්න බැරි නිසා" කියල කියනවා. කාමර ගන්න එන පිරිමින් හෝටලයේ කළමනාකරුට කතා කරන්නේ ඉතා හොඳින් කලක් ආශ්‍රය කළ පුද්ගලයකු ලෙසය.
"කොහොම හරි අයිඩෙන්ටි නැතුවම රිංගන්න තමයි බලන්නේ."
කළුතර නගර සභාවේ හිටපු නාගරික මන්ත්‍රී එම්.පී. වසන්ත ඩයස් අපට හමුවුණේ මේ අතරය.
"ඔය කෙල්ල වැටිල මැරිච්ච හෝටලය නගර සභාව අනුමත කරපු එකක් නෙවෙයි. පරිසර බලපත්‍ර මුකුත් නෑ. ඉස්සර කළුතර වතුරට කරදිය එකතුවෙලා බොන්න බැරි කාලයක් තිබ්බා. අපි තමයි ඒක නැති කළේ. ඔය බිල්ඩිම ගැහුවේ තනිකර දේශපාලන බලෙන්. අන්තිමට අහිංසක දැරියකගේ ජීවිතයක් නැති වුණා."
අපි කළුතර පොලිස් ස්ථානාධිපති ඩබ්.කේ.එච්. වීරසිංහ හමුවන්නට යන විට පොලිස් නිලධාරින් කළුතර ප්‍රදේශයේ හෝටල්වල කාමරවල එදින එදින සිටි සියලු දෙනාගේ විස්තර එක්කාසු කරගෙන පැමිණ සිටියහ.
"මේ පොත් හරියට මේන්ටේන් වෙන්න ඕන. දැන් කළුතර ටියුෂන් ගුරෙක් සිසුවියන් 16කට අතවර කළා කියලා චැනල්වල යනවා. අපෙන් අහනව පොලිසිය බම්බු ගහනවද කියලා. පැමිණිලි හතරයි ඇවිල්ල තියෙන්නේ. ඒකෙනුත් එක පාර්ශ්වයක්වත් ඉදිරිපත් වෙන්නේ නැහැ. මේ ඝාතනයේ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට ගත්තේ මම. සැකකාරයා පොලිසියට ගේනකොට රේඩියෝ, ටීවී පොලිසිය වටකරලා. මං කිව්වේ මගේ රාජකාරිය කරගන්න දෙන්න කියලා."
අපේ ඊලඟ වෑයම වුණේ කළුතර මහජන සෞඛ්‍ය පරීක්ෂක අයි.ජී.ඒ. නිර්මලගේ අදහස් දැන ගැනීමටය.
"ඔය සිද්ධිය වෙච්ච හෝටලයට රූම් කුලියට දෙන්න කිසිම බලපත්‍රයක් නගර සභාව දීලා නෑ. මේ තියෙන්නේ ඉල්ලපු ඇප්ලිකේෂන් එක. කළුතර නගර සභා සීමාවේ කිසිම රූම් දෙන තැනකට බලපත්‍ර දීලා නැහැ. කළුතර උතුර, බලපත්‍ර 15ක් තියෙනවා. හෝටල් බලපත්‍රලාභී 41ක් තියෙනවා.
අප නගර සභාවේ ඇවිදින විට අපට ඇසුණේ මීට පෙරද මෙවැනි පාසල් සිසුවියන්ට මෙතැන අතවර සිදුවන බවට පැමිණිලි ලැබී තිබුණත් දේශපාලන අණසක මත ඒවාට එරෙහිව පියවර ගෙන නොමැති බවය. කළුතර ටියුෂන් යන සිසු සිසුවියන් ද මේ රූම්ස්වලට යන බවට ඇත්තේ ප්‍රබල චෝදනාවකි. කළුතර ටියුෂන් පොලවල් කීපයක කරක් ගැසූ අප අවසානයේ විද්‍යා ගුරුවරයකු වූ ප්‍රවීන් මතුගමගේ හමුවුණෙමු.
"ඔය සිසුවියගේ ඝාතනයට ටියුෂන් මාස්ටර් කෙනෙක් දුන් කෝල් එකක් ගෑවිලා තියෙනවා."
"ඔය ඝාතනය වෙච්ච සිසුවියගේ ගෙදර තියෙන්නෙත් ටියුෂන් ආයතනයක්. දැන් අපි සිසුවියන්ට කියල තියෙන්නේ විෂයානුබද්ධ කරුණකට විතරක් අත්‍යවශ්‍ය නම් විතරක් කතා කරන්න කියලා. අනවශ්‍ය දුක්ගැනවිලි, ආර්ථික ප්‍රශ්න අපිට කියන්න එපා කියලා. මේක ගෞරවනීය වෘත්තියක්."
අවසානයේ අප කළුතර හොටල් සිදුවීමෙන් මියගිය දැරියගේ ගෙදර සොයා ගියෙමු. අපට මුලින්ම එල්ල වූයේ දැඩි විරෝධයකි. ඒ තම දියණිය ගැන විකෘති වාර්තා පළවීම ගැනය.
"අපරාධකාරයන්ගේ පින්තූරවල ඇස් කපනවා. මගේ මේ අහිංසක දුවගේ පිංතූරේ විකුණන් කනවා." දැරියගේ මව නිලූකා පැවසුවාය.
මෙවැනි ඝාතන දහස් ගණනක් වාර්තා කොට ඇති මා ඇගේ හිතේ පීඩනය නිමවනතුරු ඇගේ චෝදනාවලට හූමිටි තබමින් සිටියෙමි.
මියගිය දැරිය ටිහාරා නිර්මාණිය.
"ඔය නම දැම්මේ කවුද?"
"අරිසෙන් අහුබුදුගේ ගෙදරින්. ඇයි ඝන අප්සට්ද" දැරියගේ තාත්තා විමතියෙන් ඇසුවේය.
"ගේ ඉස්සරහ පන්සලේ සුප් දන්සලක් තිබුණා. අපි දන්සල ඉවරවෙලා පන්තියට එන්න හිටියේ. පබා දුවව තව දන්සලකට එක්ක යන්න ඉල්ලුවා. මම දුන්නෙම නෑ. ඒත් අන්තිම වතාවට කියලා එක්කන් ගියා. මං හිතන්නේ පබා දුවව ඒගොල්ලන්ගේ ගෙදර එක්කන් ගිහිල්ලා මොකක්හරි මත්වෙන පෙති දාපු තේකක් වගේ දෙයක් දීල තමයි එක්කන් ගිහින් තියෙන්නේ."
මේ සිදුවීම සිදුවී ඇත්තේ විනාඩි 45 ඇතුළතය. රේල්පාරේ තරුණියක් නිරුවතින් වැටී සිටින බවට සුවසැරියට ඇමතුම ලැබෙන විටත් ටිහාරා මෙලොව හැරගොස් හමාරය.
අපේ දුවට බෝයි ෆ්‍රෙන්ඩ් කෙනෙක් කීයටවත් හිටියේ නෑ. මේක ප්ලෑන් කරල සල්ලිවලට කරපු ඩීල් එකක්. මං කියන්නේ මගේ දුවගේ චරිතෙ ඝාතනය කරන්න එපා. මගේ දුවට වෙච්ච අපරාදේ ගැන යුක්තිය ඉටුවෙන්න කියලා. මේවා බලාගෙන දෙවිවරුන් ඉන්නවා!
ටිහාරා වෙනුවට දෙන්නට හැඳුනුම්පතක් අරගෙන ගොස් තිබුණේ ගේ ඉදිරිපිට ගෙදරක තරුණියකගෙනි. අප එම නිවසට ගොස් ඇයගෙන් කරුණු විමසුවද ඇයගේ පියා එය වළකන ලදී.
කළුතර ලැගුම්හල් ඇත්තේ ද එකට එකක් යාබදවය. කළුතර ලැගුම්හල්වලට නිසි ක්‍රමවේදයකට ලයිසන් දුන්නා නම් සිසුවිය ඝාතනය වූ ලැගුම්හලට කාමර කුලියට දීමේ බලපත්‍රයක් හිමි නොවේ. ඒත් සියල්ල දේශපාලන බලය මත සිදුවී තිබේ. අවසානයේ සිදුවී ඇත්තේ පාසල් සිසුවියකගේ ඝාතනයක් කළුතර ලැගුම්හලක 'අභිරහස්' ලෙස සිදුවූ බව ඉතිහාසයට එක්වීම පමණි.
ඡායාරූප - දුෂ්මන්ත මායාදුන්න