දුකේදීත් සැපේදීත් හෙවණැල්ල වගේ ළඟ හිටපු අනුර නොකියාම යන්න ගියා | Page 3 | සිළුමිණ

දුකේදීත් සැපේදීත් හෙවණැල්ල වගේ ළඟ හිටපු අනුර නොකියාම යන්න ගියා

පටිගත කිරීමක් අතරතුරදී

විශිෂ්ට ගේය පද රචකයකු මෙන්ම හිත හොඳ මිනිසකු වූ අනුර මාගලගේ පසුගියදා මෙලොව හැර ගියේ ළබැඳියන්ගේ නෙතට කඳුළක් එක් කරමිනි. ඔහුගේ වියෝවෙන් කම්පා වූ කලාකරුවෝ බොහෝය. ඒ අතරින් කීර්ති පැස්කුවල් නම් ප්‍රවීණ ගායන ශිල්පියා තම සුමිතුරාගේ වියෝවෙන් බොහෝ සේ සංවේදී විය.

අනුර මාගලගේ කියන ගේය පද රචකයා ගැන ඔබ තරම් දන්නා වෙන කිසිවකු නැතුව ඇති. කොහොමද ඔබ දෙපළගේ මිත්‍රත්වය ගොඩනැඟෙන්නේ? 

මගේ ගම නුවර. සංගීතවේදී ස්ටැන්ලි පීරිස් මහතාගේ ගුරුහරුකම් මඟපෙන්වීම් මත මට බොරැල්ලේ ජෝනෙත් ශබ්දාගාරයේ පටිගත කිරීමකට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබුණා. 1980 දී මං කොළඹ පදිංචියට ඇවිත් සංගීත කණ්ඩායමක වාදන ශිල්පියකු ලෙස කටයුතු කළා. 1982 දී තමයි මට අනුර මාගලගේ පළමුවෙන්ම හමුවෙන්නේ. ඒ ගුවන්විදුලියේ ජ්‍යේෂ්ඨ තබ්ලා වාදකයකු වූ එම්. ආරියදාස මහතා නිසා. ඒ අනුරගේ පියා. ක්‍රම ක්‍රමයෙන් අපි මිතුරන් බවට පත්වුණා. ඒ වෙද්දි මගේ ගීතයක් දෙකක් වගේ තමයි නිර්මාණය වෙලා තිබුණේ. අනුර මගේ ගීතවලට, මගේ කටහඬට ගොඩක් ප්‍රිය කළා. ඒ නිසාම මට යම් යම් උපදෙස් දෙන්න පටන් ගත්තා. සාමාන්‍යයෙන් කෙනෙකුට උපදෙසක් දෙන්නේ එයාට වඩා දැනුම්වත් බවක් තියෙන කෙනෙක්නේ. මාත් හිතුව අනුර කියන්නේ හිතෛෂී මිත්‍රයෙක් කියලා. ඒ විදිහට තමයි අපි අතරේ මේ මිත්‍රත්වය ඇති වුණේ.

බොහෝ දෙනා කියන්නේ අනුර මාගලගේ කියන්නේ කීර්ති පැස්කුවල්ගේ දකුණු අත කියලා. ඇත්තටම ඒක එහෙමද?

මගේ දුකේදි සැපේදි හෙවණැල්ලක් වගේ ළඟ හිටියෙ අනුර. මට වගේම අපේ පවුලේ හැමෝටම ඔහු බොහෝ සමීප වුණා. එයා අපේ ගෙදර එන යන වෙලාවල් හරියටම කියන්න බෑ. ඒ නිසා අපේ ගෙදර නිතරම එයාට වෙනම ඇඳුම් ටිකක්, බ්‍රෂ් එකක්, සබන් පවා තියලා තිබුණේ. ඔහු අපේ පවුලේ කෙනෙක් වගේ. මට මතකයි ලතා වල්පොල මහත්මිය පවා එක තැනකදි කියලා තිබුණා අනුරගෙ බෙල්ල මිරිකුවොත් මැරෙන්නෙ කීර්ති, කීර්තිගෙ බෙල්ල මිරිකුවොත් මැරෙන්නෙ අනුර කියලා. එහෙම කියන්න තරම් අපි දෙන්නගෙ බැඳීම ශක්තිමත් වෙලා තිබුණා. ඒක ඇතුළෙ තිබුණේ මිත්‍රත්වය, සුහදකම අපි අතරෙ තිබුණු රහස් තමයි.

මගේ මුල්ම ඒක පුද්ගල ප්‍රසංගය තිබුණේ 1988දී. එදා ඉඳන්ම මගේ ප්‍රසංග සංවිධානය කළේ, වේදිකාව හැසිරුවේ, පරිපාලනය කළේ අනෙක් ශිල්පීන් හැසිරෙව්වේ ඔහු. හැමදාම මගේ පිටිපස්සෙන් ඉඳන් ලොකුම ශක්තිය වුණේ ඔහු. ගීතයක් පටිගත කරද්දි, ගීතයක් තෝරද්දි, පද මාලාවක් තෝරද්දි, ඒවට සංගීත ශිල්පීන් හොයද්දි අනුර තමයි කියන්නේ අපි මෙහෙම කරමු කියලා. ඔහු තමයි මගේ මඟපෙන්වන්නා.

එතකොට අනුර මාගලගේ කියන ගේය පද රචකයා බිහිවෙන්නෙ කොහොමද?

අනුර ඉතාම මෑත කාලෙකදි තමයි ගීත රචනයට යොමු වුණේ. ඔහුට ඒ හැකියාව හොඳින්ම තිබුණා. ඒත් ඒ ගැන කිසිම උනන්දුවක් තිබුණෙ නැහැ. මුලින්ම මට ගීත 2ක් ලියලා දුන්නා. අනුරගේ ගීත කිහිපයක්ම මං ගායනා කරලා තියෙනවා. විශේෂයෙන්ම ‘සඳ ගලා හැලෙයි‘ කියන ගීතය යූටියුබ් එකේ ගොඩක්ම ජනප්‍රිය වුණා. ඒක හරියට භාවනාවක් වගේ. ඒ ගීතයේ තියෙන විශේෂ භාවාත්මක සංගීත රටාව සහ පද මාලාව ප්‍රේක්ෂකයා අමුතුම තැනකට ගෙනියනවා. ඒ ගීතය තමයි මං මගේ හැම ප්‍රසංගයක් ආරම්භයේදීම ගායනා කරන්නේ. 

ඊට පස්සෙ රූකාන්ත, චන්ද්‍ර ලේඛා, ජගත් වික්‍රමසිංහ, එඩ්වඩ් ජයකොඩි, චරිතා ප්‍රියදර්ශනී වගේ අයටත් ගීත රචනා කරලා දුන්නා. ඔහු ආධුනික ශිල්පීන්ටත් ගොඩක් උදවු කළා. මගේ සංගීත පන්තිවල ඉන්න හැකියාව තියෙන වැඩිහිටි අය උනන්දු කරවලා ගීතයක් නිර්මාණය කරවලා තමන්ගෙම අනන්‍යතාවක් හදාගන්න පුළුවන් කියන පණිවිඩය දීලා ඔහුම ගීත රචනා කරල දීල සංගීතය කරන්න උනන්දු කළා.

සංගීත අධ්‍යක්ෂවරුත් අනුර එක්ක බොහොම හිතවත්. මහින්ද බණ්ඩාර තමයි අනුරගෙ ගීත 25කට වැඩි ප්‍රමාණයක් සංගීතවත් කරල තියෙන්නේ. අසනීප වෙලා ඉද්දිත් ගීතයක් රචනා කරල එවල තිබුණා. මම මහින්ද ලවා ඒක සංගීතවත් කරලා ගායනා කරන්න උත්සාහ ගත්තා. ඒත් අපිට ඒක කරගන්න බැරි වුණා. ඊට කලින් ඔහු යන්න ගියා.

ක්ෂේත්‍රයේ වගේම සමාජයේත් ඔහු බොහෝ දෙනාගේ හිත දිනාගත් කෙනෙක් කිවුවොත්?

මමත් හිතන් හිටියේ මං විතරයි මෙච්චර හිතවත් කියලා. ඒත් බැලුවම ඔහු හැමෝ එක්කම හිතවත්. අනුර එක්ක තරහ කෙනෙක් ගැන කියන්නත් නැති තරම්. අනුරගෙ අවසන් මොහොත දක්වා එකටම හිටපු මිතුරන් පිරිසක් ඉන්නවා. ඔහුගේ ආදරණීය බිරිය චන්දිමා පීරිස් වගේම කපිල කරුණාධාර, අනිල් ජයවර්ධන ඇතුළු මිතුරන් අවසන් මොහොත දක්වා සියලුම කටයුතු හොයලා බලලා කළා.

සමීපතම මිතුරා විදිහට අනුර මාගලගේ ඔබ දකින්නෙ කොහොමද?

අනුර කියන්නේ පුදුමාකාර ගතිගුණ තියෙන පුද්ගලයෙක්. ඔහු කාටවත් වරදක් කියන්නෙ නැති මනුස්සයෙක්. තමන්ගේ ශරීර සෞඛ්‍යය ගැන උනන්දු නොවුණ නිසා තමයි ඔහුට මේ වගේ දෙයක් වුණේ.

ඔහු තුළ දක්ෂතා රැසක් තිබුණා. ඒත් උනන්දු වුණේ නැහැ. ගීතයක් ලියද්දි ක්‍රම දෙකක් තියෙනවා. එකක් තමන් කැමැති විදිහට තමන්ගේ හැඟීම් සිතුවිලි පදවලට නැඟීම. අනික තමයි තනුවේ තියෙන සංගීත රටාවට සහ ඒ සංගීත හැඟීමට ගැළපෙන විදිහට වචන ගැළපීම. ඒක තමයි අසීරුම කාරණය. අනුරට මේ හැකියාවන් දෙකම තිබුණා. ඔහුට හරි අපූරුවට ගීත ගයන්නත් පුළුවන්.

අනුර වෙනුවෙන් ගී ප්‍රසංගයක් පැවැත්වීමට ඔබ සූදානම් වුණා නේද ?

අනුර අසනීප වෙලා ඉද්දිමයි මේක සැලසුම් කළේ. ඒ මුදලින් ඔහුව සනීප වෙනකල් රැකබලා ගන්න. ඒ ප්‍රසංගය නම් කළේ ‘අනුර වෙනුවෙන් තව දවසක්‘ කියලා. ජුනි 2 වැනිදා සවස 6.30ට Colombo South International School Auditorium එකේ කැළුම් ශ්‍රීමාල්ගේ මෙහෙයවීමෙන් මම, මරියසෙල්, වෝල්ටර් ප්‍රනාන්දුගේ සහභාගිත්වයෙන් සිදු කෙරෙන්නේ. සංගීත සංයෝජනය සුපර් ෆෝචූන් කියන මගේම සංගීත කණ්ඩායම. චේතනා රණසිංහ ගීත ගායනයෙන් දායක වෙනවා. බොහෝ දෙනා අහනව අනුරගේ වියෝවත් එක්ක මේක නවත්තනවද කියලා. අනුර වෙනුවෙන් අපිට තව ලොකු වැඩ කොටසක් කරන්න තියෙනවා. ඒ නිසා මේක සූදානම් කරගත් පරිදි ඒ විදිහටම පවත්වනවා. හැමෝටම ආරාධනා කරනවා අනුර වෙනුවෙන් මේ ප්‍රසංගය බලන්න එන්න කියලා.

Comments