රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ කටයුතු ගැන සාකච්ඡාවක් | සිළුමිණ

රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ කටයුතු ගැන සාකච්ඡාවක්

අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා සහ කොරියානු ජාත්‍යන්තර සහයෝගීතා ව්‍යාපෘතියෙහි මෙරට අධ්‍යක්ෂ Myungin Kim මහත්මිය සහ එම ව්‍යාපෘතියෙහි නියෝජිතයින් පිරිසක් අතර සාකච්ඡාවක් අද(18) පැවැත්විණ.
 
ඒ අධිකරණ අමාත්‍යාංශයේදී ය.  
 
රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ කටයුතු පුළුල් කිරීම සම්බන්ධයෙන් දීර්ඝ ලෙස සාකච්ඡා කල අතර, රස පරීක්ෂක දෙපාර්තමේන්තුව ලබාදෙන රස පරීක්ෂක වාර්තා ප්‍රමාදයකින් තොරව ලබාදීම සඳහා අවශ්‍ය කරන නවීණ පහසුකම් වැඩි කිරීමේ වැදගත්කම ද මෙහිදී  විශේෂ අවධානයට ලක්විය. 
 
අමාත්‍යවරයාගේ ඉල්ලීම පරිදි කොරියානු රජය විසින් KOICA ව්‍යාපෘතිය හරහා මේ වන විටත් රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ කටයුතු විධිමත් කිරීම සඳහා රසායනාගාර පහසුකම් සලසා දී තිබේ. එමෙන්ම ඊට අවශ්‍ය තාක්ෂණික පුහුණුවද රසපරීක්ෂක දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට ලබාදීමටද කටයුතු කර ඇත.
 
අධිකරණ අමාත්‍යාංශයේ ලේකම් වසන්තා පෙරේරා මහත්මිය, කොරියානු ජාත්‍යන්තර සහයෝගීතා ව්‍යාපෘතියෙහි  නියෝජිතයින් පිරිසක් සහ අධිකරණ අමාත්‍යාංශයේ නිලධාරීන් පිරිසක් මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.
 

Comments