දැනට පවතින සහල් තොග ගැන ගත් තීරණය | සිළුමිණ

දැනට පවතින සහල් තොග ගැන ගත් තීරණය

2023 යල කන්නයේ වී අස්වනු ලැබෙන තෙක් සත්ව ආහාර සඳහා දැනට පවතින සහල් තොග යොදා ගැනීමට නිර්දේශ ලබා නොදෙන ලෙස කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා ඊයේ (15)  නිලධාරින්ට උපදෙස් දුන්නේය.
 
සත්ව ආහාර සඳහා සහල් යොදා ගැනීම සම්බන්ධව සාකච්ඡාවක් ඊයේ කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති අතර එම සාකච්ඡාවට කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් ගුනදාස සමරසිංහ මහතා සහ පශු සම්පත් සංවර්ධන අංශයේ නිලධාරිහු ද සහභාගි වූහ.
 
2021 මහ කන්නයේ  රසායනික පොහොර තහනමත් සමග මෙරට බඩඉරිඟු වගාවේ අස්වැන්න මෙට්‍රික් ටොන් 90,000ක් දක්වා අඩුවීම නිසා 2022 වර්ෂයේ දී සත්ව ආහාර සඳහා අවශ්‍ය බඩඉරිඟු විශාල හිඟයක් ඇති විය.
 
ඒ අනුව 2022 වසර තුළ මෙරටට බඩඉරිඟු ප්‍රමාණය මෙට්‍රික් ටොන් ලක්ෂ දෙකක් ආනයනය කරනු ලැබීය.  
 
2023 වර්ෂයේ ජනවාරි සිට අප්‍රෙල් මස දක්වා මෙරටට බඩඉරිඟු මෙට්‍රික් ටොන් 27,867ක් ආනයනය කර ඇති අතර පසුගිය මහ කන්නයේ දී මෙට්‍රික්  ටොන් 187,000ක අස්වැන්නක් ලැබී තිබේ.
 
මෙවර යල කන්නයේ දී මෙට්‍රික් ටොන් 67,000ක අස්වැන්නක් අපේක්ෂිත අතර 2023 වර්ෂය සඳහා සමස්ත බඩඉරිගු අවශ්‍යතාවය මෙට්‍රික් ටොන් ලක්ෂ 05කි.
 
කෙසේ වුවද දැනට පවතින බඩඉරිඟු ප්‍රමාණය අනුව සත්ව ආහාර සැකසීම සඳහා තවත් මෙට්‍රික් ටොන් 217,633ක් අවශ්‍යව තිබේ. මෙම බඩඉරිඟු ප්‍රමාණය සඳහා සහල් යොදා ගැනීමේ හැකියාවක් ඇතත් යල කන්නයේ අස්වනු නෙලා ගන්නා තෙක් පවතින සහල් හා වී තොග සත්ව ආහාර සඳහා යොදා නොගන්නා ලෙස කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා දැනුම් දුන්නේය.
 
පසුගිය යල හා මහ කන්නයේ අස්වැන්න සහ මෙවර යල කන්නයේ වී අස්වැන්නත් ඇතුළත්ව රට තුළ මෙට්‍රික් ටොන් මිලියන 05ක වී අස්වැන්නක් රට තුළ පවතිනු ඇතැයි කෘෂිකර්ම අමාත්‍යාංශය අපේක්ෂා කරයි. නමුත් යල කන්නයේ වගා කටයුතු දැනට සිදුවෙන නිසා අපේක්ෂිත වී අස්වැන්න ලැබෙන තෙක් නිවැරදිව අස්වනු පුරෝකථනය කිරීම සිදු කළ නොහැකිය.
 
නමුත් වී මෙට්‍රික් ටොන් මිලියන 05ක අස්වනු ඉළක්කය 2023 දී ලබා ගැනීමට හැකි වුවහොත් සහල් මෙට්‍රික් ටොන් ලක්ෂ 05ක අතිරික්තයක් ඇති වේ.
 
එම ප්‍රමාණය සත්ව ආහාර සඳහා යොදාගැනීමට හැකියාව ඇතැයි ද මෙම සාකච්ඡාවේ දී අවධාරණය විය.
 
කෙසේ වුවද යල කන්නයේ වී අස්වනු ලැබෙන තෙක් දැනට පවතින සහල් තොග  සත්ව ආහාර සඳහා යොදා ගැනීමට කටයුතු නොකරන ලෙස අමාත්‍යවරයා නිලධාරින්ට උපදෙස් දුන්නේය.
 
 

Comments