කළුතර සිසුවියක මියයෑමේ සිද්ධියට අදාළ හෝටලයට නීතිමය පියවර | සිළුමිණ

කළුතර සිසුවියක මියයෑමේ සිද්ධියට අදාළ හෝටලයට නීතිමය පියවර

පාසල් සිසුවියක මියයෑමේ සිද්ධියට සම්බන්ධ කළුතර නගර මධ්‍යයේ පිහිටි පස්මහල් හෝටලය නීතිවිරෝධීව" ඉදිකර ඇති බැවින් ඊට එරෙහිව  කඩිනමින් නීතිමය පියවර ගන්නා ලෙස නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා නාගරික සංවර්ධන අධිකාරියට පසුගිය සිකුරාදා (12) උපදෙස් දුන්නේය.
 
එම හෝටලය නියමිත ප්‍රමිතියට ඉදිකරන ලද එකක්දැයි යන්න කඩිනමින් විමර්ශනය කර තමන්ට වාර්තාවක් ලබාදෙන ලෙස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පසුගිය (11) වැනිදා නාගරික සංවර්ධන අධිකාරියේ සභාපති නිමේෂ් හේරත් මහතාට නියෝග කර තිබුණි.
 
ඒ අනුව නාගරික සංවර්ධන අධිකාරියේ කළුතර දිස්ත්‍රික් කාර්යාලය විසින් අදාළ හෝටලය පිළිබඳව විමර්ශනය කර මෙම පරීක්ෂණ වාර්තාව ඉදිරිපත් කර ඇත.
 
අංක 402, ගාලු පාර, කලුතර දකුණ යන ස්ථානයේ මෙම හෝටලය ඉදිකර ඇති අතර එය වර්ග මීටර 300ක පමණ විශාලත්වයකින් යුතුවේ.
 
2010 වසරේ ඉදිකිරීම් ආරම්භ කර ඇති මෙම හෝටලයේ ඉදිකිරීම් කටයුතු 2014 වසරේදී අවසන් කර ඇති අතර මේ වනවිට එය ලැඟුම්හලක් සහ ආපනශාලාවලක් වශයෙන් පවත්වාගෙන යන බවද අදාළ පරීක්ෂණ  වාර්තාවේ සඳහන් වේ.
 
එමෙන්ම මෙම ගොඩනැගිල්ල ඉදිකිරීමේදී අනුමත බිම් කට්ටි සැලැස්මක් නොමැතිවීම, වාණිජ භාවිතය සදහා අවශ්‍ය වන අවම භූමි ප්‍රමාණය සපුරා නොමැතිවීම ( කළුතර නගර සංවර්ධන සැලැමට අනුව ලැගුම්හලක්  හා ආපනශාලාවලක් පවත්වාගෙන යෑමට අවම වශයෙන් පර්චස් 20ක් අවශ්‍ය වේ. එහෙත් ගූගල් සිතියම මගින් මනින ලද බිම් ප්‍රමාණයට අනුව මෙම ඉඩම පර්චස් 2.38ක් ලෙස හඳුනාගෙන තිබේ.)
 
මෙම පරීක්ෂණ වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වන්නේ ගොඩනැගිල්ල ඉදිකිරිමේදී අනුමත උපරිම බිම් කට්ටි සැලැස්ම ඉක්මවා ඇති බවයි.
 
එමෙන්ම ඉඩමේ මුහුණත පළල නාගරික සංවර්ධන අධිකාරියේ රෙගුලාසිවලට අනුකූල නො⁣වීම,පිටුපස අවකාශය ආලෝකය හා වාතාශ්‍රය සදහා වන රෙගුලාසි උල්ලංඝණය කර ඇති බවද අදාළ පරීක්ෂණ  වාර්තාවේ සදහන්ව ඇත.
 
එමෙන්ම නීත්‍යානුකූල නොවන ලෙස මායිම් බිත්තිවල වා කවුළු තැබීම, රථවාහන නැවතුම් ස්ථාන නොමැතිවීම, ආබාධිත පුද්ගලයන් සඳහා සඳහා ප්‍රවේශයක් නොමැතිවීම, නාගරික සංවර්ධන අධිකාරියේ රෙගුලාසිවලට අනුකූලව අනුමත ගොඩනැගිලි සැලැස්මක් නොමැතිවීම සහ කලුතර නගර සභාව මගින් කිසිදු අනුමැතියක් ලබාගෙන නොමැති බවද නාගරික සංවර්ධන අධිකාරියේ කළුතර දිස්ත්‍රික් කාර්යාලය විසින් අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා වෙත ඉදිරිපත් කර ඇති පරීක්ෂණ වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වේ.
 
මේ අතර කළුතර නගර සභාව විසින් නාගරික සංවර්ධන අධිකාරියට දැනුම් දී ඇත්තේ ⁣ආපනශාලාවක් හා ලැඟුම්හලක් පවත්වාගෙන යෑම වෙනුවෙන් ආයතන හිමිකරු මෙම වසර වෙනුවෙන් වෙළෙඳ බලපත්‍රයක්ද ලබාගෙන නොමැති බවයි.
 
මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් නාගරික සංවර්ධන අධිකාරියේ සභාපති නිමේෂ් හේරත්  මහතා පැවසුවේ අනවසර ඉදිකිරීමක් වශයෙන් හඳුනාගෙන ඇති ⁣මෙම ගොඩනැගිල්ල සම්බන්ධයෙන් නාගරික සංවර්ධන අධිකාරී පනත ප්‍රකාරව කඩිනමින් නීතිමය පියවර ගන්නා බවයි.
 
 
 
 

Comments