IPL පිටිය හොල්ලන අපේ දඟමල්ල | සිළුමිණ

IPL පිටිය හොල්ලන අපේ දඟමල්ල

මේ දිනවල ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් පිටිය හොල්ලන වේගපන්දු යවන්නන් අතර කැපී පෙනෙන පන්දු යවන්නා බවට පත්වී ඇත්තේ මතීෂ පතිරණ ය. චෙන්නායි සුපර් කිංග්ස් පිල නියෝජනය කරන මේ 20 හැවිරිදි යොවුන් වේග පන්දු යවන්නා කණ්ඩායමේ නායක මහේන්ද්‍ර සිං දෝනිගේ විශ්වාසවන්තම පන්දු යවන්නන් අතර ඉදිරියෙන්ම සිටී. ප්‍රතිවාදී කණ්ඩායමක ඉනිමක අවසන් ඕවර කිහිපයේදී ඕනෑම ප්‍රබල පිතිකරුවකු සිටියද නායක දෝනි මේ යොවුන් වේගපන්දු යවන්නාට පන්දුව බාර කිරීමෙන්ම විශ්වාසය කොතරම් දැයි පැහැදිලිය. විශේෂයෙන් අවසන් ඕවරය සඳහා දෝනිගේ ප්‍රියතම තේරීම වී ඇත්තේ ද මතීෂ ය. 

ජාත්‍යන්තර පිටියේ වැඩි අත්දැකීම් නැති කෝඩුකාර වේගපන්දු යවන්නා කිසිදු චකිතයකින් තොරව පන්දුව අතට ගන්නා අතර, බොහෝ විට අවසන් ඕවරයේදී සිදුවන්නේ ප්‍රතිවාදී පිතිකරුවන් අසරණ වීමය. ඊයේ පෙරේදා නිමාවට පත් වූ චෙන්නායි පිලේ පිට පිට තරග දෙකකදීම ජයග්‍රහණය අත් කර දුන්නේ මතීෂගේ පන්දු යැවීමය. ඔහු එම තරග 2දීම අවසන් ඕවරය යැවූ අතර, දෙවතාවේදීම කඩුලු 3 බැගින් බිඳ දැමුවේ සිය නායකයාගේ විශ්වාසය අකුරටම රැක ගනිමිනි. එහි එක් තරගයක වීරයා සම්මානය දිනා ගනු ලැබුවේ ද මතීෂ විසිනි. චෙන්නායි පිලම නියෝජනය කරන දඟ පන්දු යවන මහීෂ් තීක්ෂණය ද නායකයාගේ විශ්වාසවන්තම පන්දු යවන්නකු වීම විශේෂත්වයකි. මේ වනවිට අයිපීඑල් පිටියේ කාගෙත් අවධානයට ලක්වී සිටින මතීෂ චෙන්නායි පිලේ ප්‍රතිවාදී පිතිකරුවන්ට හිසරදයක් බවට පත්වී ඇත්තේ ඔහුගේ අසාමාන්‍ය පන්දු යැවීමේ ඉරියව්ව හේතුවෙනි. හැම අතින්ම ලසිත් මාලිංගගේ පන්දු යැවීමේ ඉරියව්වට සමානකම් කියන මතීෂගේ ඉරියව් නිසාම ඔහුට ‘පොඩි මාලිංග‘ නම ද පටබැඳී තිබේ. කුඩා වියේ ගොහාගොඩ ජනාධිපති ආදර්ශ පාසලේ සහ අනතුරුව රණබිම රාජකීය විදුහලේ අධ්‍යාපනය ලැබූ මතීෂ සිය අධ්‍යාපනය කටයුතු නිමා කළේ මහනුවර ත්‍රිත්ව විද්‍යාලයෙනි. දකුණතින් වේගපන්දු යවන මේ ක්‍රීඩකයා අවුරුදු 19න් පහළ ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කරමින් ලෝක කුසලාන තරගාවලි දෙකකට ද සහභාගි විය.

ජාතික කණ්ඩායම නියෝජනය කරමින් ජාත්‍යන්තර පිටියේ දස්කම් දැක්වීමටත් පෙර අයිපීඑල් පිටියට ගොස් ශ්‍රී ලංකාවේ ක්‍රීඩාලෝලීන් අතර තරුවක් බවට පත් වූ මතීෂ අපූරු ගතිපැවැතුම් ඇති තරුණයකු බව රණබිම රාජකීය විදුහලේ මතීෂගේ දස්කම් මුවහත් කළ පුහුණුකරු සම්පත් ද සිල්වා මහතා ‘සිළුමිණ‘ට කීවේය.

‘මට මුලින්ම මතීෂ හමුවෙන්නේ 2013 වසරේදියි. එයා එතකොට හතේ පන්තියේ විතර ඇති. ඒ අවුරුද්දේ තමයි මමත් රණබිම රාජකීය විදුහලේ පුහුණුකරු ලෙස වැඩ ආරම්භ කළේ. මතීෂලා තමයි මගේ පළමු ‘බැච්‘ එක. මම එයාව අවුරුදු 13න් පහළ ටීම් එකට තෝරාගත්තා. මට මතකයි දෙවැනි තරගයේදී සාන්ත අන්තෝනි විදුහල් පිලට එරෙහිව එයා කඩුලු 6ක් බිඳ දැම්මා. ඒ කාලෙත් ඔය ඉරියව්වෙන්ම තමයි පන්දු යැව්වේ. මතීෂ ඇත්තටම මගේ කණ්ඩායමේ ආරම්භක පන්දු යවන්නා වගේම ආරම්භක පිතිකරුවා වුණා. එයාට හොඳ පිතිකරුවෙක්. එයා දෙපැත්තම හොඳින් දියුණු කරගෙන ආවා. ඒ නිසා අවුරුදු 15න් පහළ ක්‍රීඩා කරද්දීම මම එයාව පළමුපෙළ කණ්ඩායමටත් ගැස්සුවා. මට මතකයි වික්‍රමබාහු විදුහල් පිල එක්ක තිබුණු තරගයේදී එයා කඩුලු 8ක් බිඳ දැමුවා. මේ දස්කම් නිසාම එයාව ජාතික යොවුන් වේගපන්දු ඇකඩමියට තෝරා ගත්තා. ඒ වගේම ගොඩාක් පාසල්වලින් කතා කළා. අපේ පළාත් පුහුණුකරු අමිල පින්නදුව එක්ක කතා කරලා අපි එයාව වැඩිදුර අධ්‍යාපනයට ත්‍රිත්ව විදුහලට දුන්නා. මතීෂ කිසිම කලබලයක් නැති ක්‍රීඩකයෙක් විදිහටයි මම දකින්නේ.‘

වසර 2002 දෙසැම්බරයේ 18 වැනිදා උපන් මතීෂ ශ්‍රී ලංකා කණ්ඩායමට පළමුවරට ක්‍රීඩා කිරිමේ අවස්ථාව උදා වුණේ පසුගිය වසරේ ඩුබායි නුවර පැවැති ආසියානු කුසලාන තරගාවලියේදිය. එහිදී ඇෆ්ගනිස්තානය සමඟ පැවැති තරගයට ක්‍රීඩා කළ මතීෂට දස්කම් පෑමට නොහැකි විය. ඒ වසරේදිම ඔක්තෝබරයේ පළමුවරට අන්තර් ක්‍රීඩා සමාජ තරගාවලියට එක්වෙමින් එන්සීසී පිලට ක්‍රීඩා කළ මතීෂට පළමු තරගයෙන් පසු මෙතෙක් ජාතික කණ්ඩායමට එක්වීමේ අවස්ථාව ලැබී නැත.

මෙවර අයිපීඑල් තරගාවලියට මතීෂ එක්වූයේ දෙවැනි වරටය. ඔහු පළමුවරට එක්වූ පසුගිය වසරේදි වැඩි දස්කම් පෑමට අවස්ථාවක් නොලැබිණි. 

මතීෂගේ පාසල් ජීවිතයේ අවසන් කාලය පිළිබඳ ත්‍රිත්ව විදුහලේ පුහුණුකරු කාවින්ද ජයසූරිය ‘සිළුමිණ‘ට කීවේ මතීෂ පළමුපෙළ කණ්ඩායමට ක්‍රීඩා කළ පළමු අවස්ථාවේදීම සර්වේෂස් විදුහල් පිලට එරෙහිව කඩුලු 7ක් දවාලමින් දස්කම් පෑමට සමත් වූ බවය.

‘මතීෂ ත්‍රිත්ව විදුහලට ආවේ සාමාන්‍ය පෙළ විභාගයෙන් පසුවයි. එයාගේ සාමාන්‍ය පෙළ ප්‍රතිඵලත් හොඳටම තිබුණා. ඒ නිසා ත්‍රිත්ව විදුහලට ඇතුළත් කරගන්න පහසු වුණා. පුදුම විදිහට මහන්සි වෙලා ටිකින් ටික දියුණු වුණු ක්‍රීඩකයෙක් තමයි මතීෂ කියන්නේ. අපි සාමාන්‍යයෙන් ඕනෑම තරගයක් වීඩියෝ පටිගත කරනවා. එදා මතීෂ සර්වේෂස් පිලට එරෙහිව කඩුලු 7ක් දවාලීමත් අපි ඒ විදිහට වීඩියෝ පටිගත කළා. ඊට පස්සේ ඒක සංස්කරණය කරලා අපේ පාසලේ මුහුණුපොත පිටුවට මුදා හැරියා. ඒක ඒ කාලයේ සෑහෙන්න ජනප්‍රිය වුණා. ඒ වීඩියෝ පටය නිසාම තමයි මතීෂ මීට අවුරුදු දෙකකට කළින් චෙන්නායි සුපර් කිංග්ස් පිලට ආරාධනා ලැබුණේ. එයාට නෙට් බෝලර් කෙනෙක් විදිහට එකතු වෙන්නයි මුලින්ම ආරාධනා ලැබුණේ. එයාගේ කළමනාකරු අමිල කලුගලගේ මහතා මේ බව අපිට දැනුම් දීලා අපේ අදහස් විමසුවා. ඒත් මතීෂ කැමැති වුණේ නෑ ඒ වතාවේ ඉන්දියාවට යන්න. මොකද එතකොට එයා පළමුපෙළ පාසල් තරගාවලියට ක්‍රීඩා කරමිනුයි හිටියේ. තරග ගොඩක් මඟ හැරෙන්න තිබුණා. අනික නෙට් බෝලර් කෙනෙක් විදිහටනේ ඉන්දියාවට යන්නෙත්. ඒ නිසා අන්තිමට මතීෂ අපිට කිව්වේ ත්‍රිත්ව විදුහලට මම තව සෙල්ලම් කරන්න ඕනා. මම දැන් ගියොත් තරග ගොඩාක් මඟ හැරෙනවා කියලා. ත්‍රිත්ව විදුහලේ අවසර නැතිව යන්නෙත් නෑ කිව්වා. ඒ අතින් හරි නිහතමානී දරුවෙක්.‘

‘කොහොමහරි ඊළඟ අවුරුද්දෙත් එයාට චෙන්නායි පිලෙන් ඒ ආරාධනාව ලැබුණම අපි හැමෝම කැමැත්තෙන් අවසර දුන්නා. එතකොට එයා අපේ බිග් මැච් එකට සූදානම් වෙමිනුයි හිටියේ. ඊට කලින් අවුරුදු 2ක්ම අපිට කොවිඩ් නිසා බිග් මැච් එක පවත්වන්න බැරි වුණා. නැතිනම් මතීෂට ඒ අවස්ථා දෙකේදීම සෙල්ලම් කරන්න තිබුණා. කොහොම හරි බිග් මැච් එකට ආපහු ලංකාවට එන්න බලාගෙන එයා චෙන්නායි සුපර් කිංග්ස් පිලට එකතු වුණා. ඒ වගේම බිග් මැච් එකටත් ආවා.‘

‘මතීෂගේ පන්දු යැවීම වගේම පිතිහරඹය ගැනත් කියන්න ඕනා. එයා රණබිම රාජකීය විදුහලේ සෙල්ලම් කරපු කාලේ ජූනියර් ටීම් එකේ ආරම්භක පිතිකරු විදිහට සෙල්ලම් කරලයි තිබුණේ. අපිත් එයාව පළමුපෙළ තරගවලදී පින්ච් හිටර් කෙනෙක් විදිහට පිතිහරඹ ලැයිස්තුවේ ඉහළින් යවපු අවස්ථා තිබුණා.‘ කාවින්ද ජයසූරිය එසේ කීවේය.

කටුගස්තොට, ගොහාගොඩ පදිංචි මතීෂලාගේ පවුලේ වැඩිමල් දියණියන් දෙදෙනෙකි. පවුලේ බඩපිස්සා මතීෂය. කුඩා වියේ මතීෂගේ දඟවැඩ ගැන ‘සිළුමිණ‘ට කීවේ ඔහුගේ මව ශාලිකා ය.

‘දැන් කොයිතරම් සන්සුන් දරුවෙක් වුණත් මතීෂ පොඩි කාලේ නම් පුදුම දඟයි. දඟමල්ලක්. අක්කලා දෙන්නත් එක්ක කොයිවෙලාවෙත් රණ්ඩු කරගන්නවා. අපේ ඇස් වලින් පොඩ්ඩක් එහාට මෙහාට වුණොත් මොනා හරි දඩබ්බර වැඩක් කරලා ඉවරයි. මොනා හරි දෙයක් පෙන්නුවොතින් ඒක අත්හදා බලන්නමයි හදන්නේ. ඉතින් නිතරම බලාගෙන ඉන්න ඕනා. මට මතකයි අපි එක වතාවක් පෙරහැර බලලා ආවට පස්සේ මතීෂ අපි කාටත් හොරෙන් කෝටුවක ඉටි කොළයක් දවටලා ඒක ගෑස් ලිපෙන් පත්තු කරගෙන අර පෙරහැරේ ගිනි කරකවනවා වගේ කරන්න ගත්තා. ඇත්තටම අපි ඒක දැක්කේ නෑ. අහළ පහළ ගෙවල්වල අය තමයි අපිට කෑගහලා කිව්වේ. මතීෂට එතකොට අවුරුදු 4ක් විතර ඇති. එයාට ඉතින් තේරෙන්නේ නෑනේ ඉටි දියවෙලා ඇඟට වැටුණොත් පිච්චෙනවා කියලා. කොහොම හරි එයාගේ අතට ඉටි දියවෙලා වැටිලි පිච්චිලත් තිබුණා.‘ මතීෂගේ මව ඒ සිදුවීම සිහිපත් කරන්නේ සිනාමුසුවය.

මතීෂගේ පියා අනුර පතිරණ වාහන සම්බන්ධ ව්‍යාපාරිකයෙකි. ඔහුට සිය එකම පුත්‍රයා ගැන ඇත්තේ නිහතමානී ආඩම්බරයකි. ‘පොඩි කාලේ ඉඳලා අක්කලා දෙන්නම ඉගෙනීමට බරයි. ඉතින් මතීෂත් පොතපතේ වැඩට හුරු වුණා. එයා ශිෂ්‍යත්වය පාස් වුණාට පස්සේ අපි රණබිම රාජකීය විදුහලට ඇතුළත් කළා. මොකද ඒ පාසල අධ්‍යාපනය අතින් ඉහළ මට්ටමකයි තියෙන්නේ. ඒ පාසලෙත් වෙනම විභාගයක් පවත්වලා තමයි සිසුන් ඇතුළත් කරගන්නේ. මතීෂ ඒ විභාගයෙනුත් පාස් වුණා. රණබිම රාජකීය පාසලට ගියාට පස්සේ තමයි මතීෂ ක්‍රිකට් ක්‍රීඩාවට යොමු වුණේ.‘

පියා එසේ කියද්දී මව කීවේ ක්‍රීඩාවෙන් නොව මතීෂ අධ්‍යාපනයෙන් ඉහළට යැවීම ඔවුන්ගේ අරමුණ වූ බවය.

අපිට තිබුණු සැලසුම තමයි මතීෂව අධ්‍යාපනය පැත්තෙන් ඉහළට යවන්න. ඒත් ක්‍රිකට් එයාගේ සහජ හැකියාවක් වුණා. නමුත් අධ්‍යාපන කටයුතු අත්හැරියෙත් නෑ. අපිත් නිතරම කිව්වේ අක්කලා දෙන්නා හොඳට ඉගෙන ගන්නවා. ඔයත් හොඳින් ඉගෙන ගන්න කියලයි.‘

කුඩා වියේ මතීෂගේ පන්දු යැවීමේ ඉරියව් පිළිබඳ ඔහුගේ මාපියන්ට එතරම් මතකයක් නොතිබිණි. 

‘අපිට හරියටම මතකයක් නෑ එයා පොඩි කාලෙත් ඔය විදිහටද පන්දු යැව්වේ කියලා. සමහර විට වෙන්න ඇති.‘ ලසිත් මාලිංගගේ ඉරියව්වෙන්ම පන්දු යැවීමට හුරු වූවද, ඔහුගේ පියා කියන්නේ මතීෂ ඒ වන විට මාලිංග ගැන අසා නොතිබුණු බවය. එයා එතකොට මාලිංගව දැකලා තිබුණේ නෑ. අහලා තිබුණෙත් නෑ. ඒ කාලේ තමයි ඇත්තටම මාලිංගත් ජාතික කණ්ඩායමට එකතු වුණේ. මාලිංග බෝල් කරන්නෙත් මේ විදිහට කියලා දැනගත්තට පස්සේ මතීෂගේ ක්‍රිකට් වීරයා වුණේ මාලිංග තමයි. පස්සේ කාලෙක මාලිංග එයාට මුණ ගැහිලා තිබුණා. ඒ වගේම ගොඩාක් උදව් උපකාරත් කළා. අදටත් එහෙමයි‘ මතීෂගේ පියා එසේ කීවේය.

මතීෂගේ ලොකු අක්කා විෂූකා ය. පොඩි අක්කා තාරින්දිය. විෂුකා මේ වන විට කැලණිය විශ්වවිද්‍යාලයේ සහකාර කථිකාචාර්යවරියක ලෙස කටයුතු කරන බවත්, තාරින්දි විවෘත විශ්වවිද්‍යාලයේ උපාධි අපේක්ෂිකාවක් බවත් මව කීවාය.

‘චෙන්නායි පිලේ මතීෂ ඉන්නේ හරිම සතුටින්. එයා හැමදාම අපිට කතා කරනවා. නායක දෝනි ඇතුළු හැම ක්‍රීඩකයෙක්ම එයාට හරි ආදරෙන් සලකන්නේ. එයානේ ටීම් එකේ බාලයා.‘

‘මතීෂගේ ක්‍රිකට් ජීවිතයේ සාර්ථකත්වයට උර දුන්නු අයට අපි ස්තූති කරන්න ඕනා. නම් වශයෙන් කියනවා නම් සම්පත් සිල්වා, අනුර චන්ද්‍රසිරි, සැම්සන් බර්කේ, චමිල ගමගේ, රවීන්ද්‍ර පුෂ්පකුමාර, නිලන්ත රත්නායක, අමිල පින්නදූව, කාවින්ද ජයසූරිය, කාන්තා සමරසිංහ හා මහින්ද අගලවත්ත මහත්ම මහත්මීන්ට ස්තූති කරන්නම ඕනා‘ මතීෂගේ මාපියෝ එසේ කීහ.

Comments