එයා අනියම් සබඳතාවක් පවත්වනවාද? | Page 5 | සිළුමිණ

එයා අනියම් සබඳතාවක් පවත්වනවාද?

ඔබේ සහකරු, සහකාරිය කාලයක් තිස්සෙ අනියම් සබඳතාවක් පවත්වාගෙන ගියත් ඒ බව හඳුනා ගන්න ලක්ෂණ ඕන තරම් ප්‍රදර්ශනය කෙරුණත් ඔබගේ නොදැනුවත්කම නිසා එය මඟහැරී යන්න පුළුවන්. ඇත්තෙන්ම අනිකා දක්ෂ ලෙස ව්‍යාජ චරිතයක් මවා පෑවා කියල වංචාවට අසුවූ පාර්ශවය චෝදනා කළත් බොහෝ විට සිදු වන්නේ ප්‍රේමයෙන් අන්ධ වීම නිසා අනිකාගේ එම ලක්ෂණ නොපෙනී යාමයි. අපි අද තීරණය කළා අනියම් සබඳතාවක් පවත්වන කෙනෙක් හඳුනා ගන්නෙ කොහොමද කියල පැහැදිලිව ඔබව දැනුවත් කරන්න.

අයි කන්ටැක්

ඔයාගෙ ඇස් දිහා බලන්නෙ නැතුව ඉන්න එයා උත්සාහ කරන එක මූලිකම අනතුරු ඇඟවීමක්. විශේෂයෙන් ඔයාට කතා කරද්දි අහක බලාගෙන උත්තර දෙනව කියන්නේ ඇස් දිහා කෙළින් බලන්න බැරි වංචාවක් එයාගෙ හිතේ තියනව කියන එක.

ප්‍රශ්නයක් අහද්දි බය වෙලා ගොත ගහනවද?

දවසේ සාමාන්‍ය එදිනෙදා ජීවිතේ කරපු කියපු දෙයක් ආගිය තැනක් ගැන ඇහුවත් එකවර උත්තර නොදී බයවෙලා, ගොත ගහ ගහ, හිත හිත උත්තර දෙනව නම් ටිකක් කල්පනාවෙන් එයාව අධ්‍යයනය කරන්න.

පාස් වර්ඩ්

හිටිහැටියේ ෆෝන් එකේ පාස්වර්ඩ්, වෙනස් කරලා පිවිසුම් ක්‍රම වෙනස් කරලා නම් ඔන්න රතු එළියක්. අනිකාගේ ෆෝන් එක බලන එක නොකළ යුතු දෙයක් වුණත් තම සහකරු සහකාරියගෙන් ෆෝන් එක හංගන එක ගැටලුවක්. සමාජ ජාලා ගිණුම් මුරපද වෙනස් කිරීමත් මෙයට ඇතුළත්.

ෆෝන් එක රින්ග් වෙද්දි

යමක් හංගන්න තියෙන අය තමන්ගෙ ෆෝන් එක රින්ග් වෙද්දි කලබල වෙනව. නැත්තම් ගැස්සෙනවා. බොහෝ විට දුරකතනයේ හඩ නිහඬ කරලා තියන්නෙත් එවැනි අයයි.

කෝල් එකක් ආවම

දුරකතන ඇමතුමක් ආවම ටිකක් ඈතට ගිහින් හැංගිලා උත්තර දෙන්න උත්සාහ කරන එකත් තව ලක්ෂණයක්. එහෙම ඈතට ගිහින් කතා කරද්දි එකපාරට ඔයා එතැනට ගියොත් බය වෙලා ගැස්සිලා ගොත ගහනව නම් විශේෂයෙන් කතා කරමින් හිටපු හඬට වඩා උස් හඬින් කතා කරනව නම්, ඉක්මනින් ඇමතුම ඉවර කරන්න උත්සාහ කරනව නම් ඒ ලක්ෂණත් භයානකයි.

තෑගි

හිටිහැටියේ මීට පෙර මිලට නොගත් තෑගි කියල හිතන්න පුළුවන් දේවල් එයා ළඟ තියෙනවා නම්, කොහෙන් ලැබුණද කියල පැහැදිලි කරද්දී වචන පටලා ගන්නව නම් ඒකත් හොඳ ලකුණක් නෙවෙයි.

පෙනුම වෙනස් වෙලා

හිටිහැටියේ බාහිර පෙනුම වෙනස් කරන්න උත්සහ ගන්න එක, ඇඳුම් පැලඳුම් වෙනදාට වඩා වෙනස් වීම, සුවඳ විලවුන් භාවිතය වැඩි වීම තවත් ලක්ෂණයක්. මේවා නම් ඉතා සියුම්ව නිරීක්ෂණය කරන්න ඕන දේවල්.

ඔයාගෙ නිදහස

එයාගෙ අතින් වරදක් වෙද්දි එයා නිතරම ඔයාට උපරිමයෙන් නිදහස දෙන්න උත්සාහ ගන්නවා. “මං ඔයාගෙ ඒවා හොයන්නෙ නෑ නේ. ඔයත් මගේ ඒවා හොයන්න එපා” වගේ අදහසක් තමයි ඒ ගැන ඔවුන්ට තියන්නෙ.

යන එන වෙලාවල් වෙනස් වීම

නිවසින් පිටවන, නි‍ෙවසට පැමිණෙන වෙලාවල් වෙනස් වීම, නිරන්තරයෙන් නි‍ෙවසෙන් පිට ගමන් බිමන් යොදා ගැනීම, නි‍ෙවසින් බැහැරව රාත්‍රිය ගත කිරීමට උත්සාහ කිරීමත් අනියම් සබඳතා පවත්වන අය හඳුනා ගන්න ලක්ෂණයක්.

(අන්තර්ජාලය ඇසුරෙනි)

Comments