ශ්‍රී ලංකා-බ්‍රිතාන්‍ය නොබිඳෙන සබඳතා අලුත් කරමින් චාල්ස් රජුගේ රාජාභිෂේකයට ගිය ජනපති රනිල් | සිළුමිණ

ශ්‍රී ලංකා-බ්‍රිතාන්‍ය නොබිඳෙන සබඳතා අලුත් කරමින් චාල්ස් රජුගේ රාජාභිෂේකයට ගිය ජනපති රනිල්

පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායකයන් සමූහ ඡායාරූපයකට පෙනී සිටිමින්

බ්‍රිතාන්‍යයේ නව රාජ්‍ය නායකයා ලෙස පත්වන තෙවන චාලස් රජුගේ රාජාභිෂේකය පසුගිය සතියේ ලෝකයේම අවධානය දිනාගත් අභිමානවත් මෙන්ම විචිත්‍රවත් උත්සවයක් විය. බ්‍රිතාන්‍ය රාජකීය පවුලේ ආරාධනය අනුව ජනාධිපති රනිල් වික්‍රමසිංහයන් ද ඒ සඳහා සහභාගි විය.

පසුගිය කාලයේ බ්‍රිතාන්‍ය ජනතාව මුහුණපෑමට සිදුවූ ආර්ථික ගැටලු, උද්ධමනය ඉහළ යෑම වැනි අර්බුද නිසා චාල්ස් රජුගේ තීරණය වූයේ සිය මවු රැජනගේ රාජභිෂේකයට වඩා අඩු අමුත්තන් පිරිසක් ඉදිරියේ ඔටුනු පලඳින රාජාභිෂේක උත්සවය සිදු කිරීමටය. ඒ නිසාම මේ සඳහා ආරාධනා ලැබුණේද සීමිත පිරිසකටය. බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේද ඔහු ඇරියුම් කළේ සමීපතමයන්ට පමණි. ඒ සීමිත රාජකීය ආරාධිත ලැයිස්තුවට එක්වීමට අවස්ථාව හිමිවීම පවා ජනාධිපතිවරයා මෙන්ම රටක් ලෙසද ලද වාසනාවක් ය. රටක් ලෙස ලද වැදගත් අවස්ථාවක්ය. 

අනෙක් අතට ජනාධිපතිවරයාගේ මේ සංචාරය ඉතිහාස පොතට එකතු වන තවත් සුවිශේෂ කාරණයක් ද ඇත. ඒ මොහොත දිග හැරෙන්නේ ජනාධිපති රනිල් වික්‍රමසිංහයන් සිය මවුපියන් වන එඩ්මන්ඩ් වික්‍රමසිංහ සහ නාලනී වික්‍රමසිංහ සමඟ 1953 ජුනි 02 වනදා පැවති දෙවැනි එළිසබෙත් මහ රැජිනගේ කිරුළු පැලඳීමේ රාජාභිෂේක උත්සවයට සහභාගිවීමෙන්ය. ඒ එවකට අගමැති ඩඩ්ලි සේනානායක සමඟිනි.

ජනපති රනිල් වික්‍රමසිංහයන් තුන්වැනි චාල්ස් රජුගේ රාජාභිෂේක මංගල්‍යයට මෙවර සහභාගි වූයේ ඒ ඉතිහාසය අලුත් කරමිනි. එනම් එළිසෙබෙත් මහ රැජිනගේ රාජාභිෂේකයට සහභාගි ව පසුව රාජ්‍ය නායකයකු ලෙස තෙවන චාල්ස් රජුගේ රාජාභිෂේකයට ද සහභාගිවීමට අවස්ථාව ලැබීමය. ලෝක ඉතිහාසයේ රජ පවුලෙන් පරිබාහිරව මෙවැනි අවස්ථාවක් හිමි වූ ප්‍රථම මෙන්ම එක ම පුද්ගලයා ලෙස ඒ අනුව ජනාධිපති රනිල් වික්‍රමසිංහයන් ඉතිහාස පොතට එක් වන්නේය.

අනෙක් අතට ශ්‍රී ලංකාවත් බ්‍රිතාන්‍යත් අතර ඇත්තේ කිසිසේත් නොබිඳෙන සබඳතාවකි. ඒ ශ්‍රී ලංකාව වසර 150ක පමණ කාලයක් එරටේ යටත් විජිතයක්ව පැවති නිසාම පමණක් නොවේ. නිදහසින් පසුවත් විශ්වාසදායි සහ ශක්තිමත් රාජතාන්ත්‍රික සබඳතාවක් බ්‍රිතාන්‍ය සමඟ ඇති නිසාය.

විශේෂයෙන්ම 1948 වසරේ නිදහස ලබාගැනීමත් සමඟම කලාපයේ එකල පැවැති අර්බුදකාරී වාතාවරණය තුළ, මෙරට තිබු සංවේදී භූ දේශපාලන තත්ත්වය ගැන සලකා බලන විට විදේශ ප්‍රතිපත්තිය ඉතා වැදගත් කරුණක් විය. මන්ද ශ්‍රී ලංකාව පිහිටා තිබුණේ ඉතා වැදගත් භූ දේශපාලනික මාන තුනකින් සමන්විත සුවිශේෂී භූ ගෝලීය ස්ථානයකය.

එම භූ දේශපාලනික මාන වන්නේ, ශිෂ්ටාචාර රැසක ආරම්භය සිදු වූ ඉන්දියානු උපමහාද්වීපයට එහි ඇති සමීපත්වය, නැඟෙනහිර ආසියාව හා නැඟෙනහිර අප්‍රිකාව අතර සමදුරින් ශ්‍රී ලංකාව පිහිටා තිබීම , පෙරදිග - අපරදිග යා කරන මුහුදු මාර්ග ශ්‍රී ලංකාව හරහා වැටී තිබීම හේතුවෙන් නැඟෙනහිර හා බටහිර අතර සම්බන්ධතාව ඇති කරන භූමියක් බවට පත්ව තිබීමය.

මේ තත්ත්වයන් හැඩගැසී ඇති ආකාරය, තුළ නිදහස ලද මේ කුඩා දිවයිනට විශ්වාසදායි මෙන්ම ශක්තිමත් රාජතාන්ත්‍රික සම්බන්ධයක් අවශ්‍යම විය. එහිදී ශ්‍රී ලංකාව වැඩි විශ්වාසයක් තැබුවේ යටත් විජිත පාලකයාම වූ බ්‍රිතාන්‍ය වෙතයි. පොදු රාජ්‍ය මණ්ඩලයේ සාමාජිකත්වය ලබාගැනීමට ශ්‍රී ලංකාව තීරණය කිරීම, නිදහස් ලංකාවේ පළමු අග්‍රාමාත්‍ය මහාමාන්‍ය ඩී.එස්. සේනානායක පොදු රාජ්‍ය මණ්ඩලයට සම්පූර්ණ සහයෝගය ලබාදීම සහ බ්‍රිතාන්‍ය සමඟ ඇතිකරගත් ආරක්ෂක ගිවිසුම ඊට සාක්ෂි දරයි.

මේ ආකාරයේ ඓතිහාසික සම්බන්ධයක් එක් පසෙකින් බ්‍රිතාන්‍ය සමඟ ඇති විට අනෙක් පසින් අද රට පවතින තත්ත්වය හමුවේ ද ඉහළම මට්ටමේ රාජතාන්ත්‍රික හැසිරීමක් අවශ්‍යව පවතී. නමුත් විපක්ෂයේ කොටස් මේ ගැන කියන්නේ , ජනාධිපතිවරයා රටේ මුදල් නාස්ති කරමින් පිටරට මළගෙවල්වල සහ කිසිම වැඩකට නැති උත්සවවලට යන බවය. මීට පෙර බ්‍රිතාන්‍යයේ දෙවන එළිසෙබෙත් රුජිනගේ අවමංගල්‍යයට මෙන්ම ජපානයේ හිටපු අගමැති ෂින්ෂෝ අබේගේ අවමංගල්‍යයට ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහභාගි වූ අවස්ථාවේ ද මේ විවේචනය එල්ල කෙරිණි.

නමුත් ඒ විවේචනවලට වඩා වැදගත් වන්නේ , මේ සහභාගිත්වය නිසා ජාත්‍යන්තරයෙන් කොන් වී සිටි ශ්‍රී ලංකාව කෙරෙහි යළි අවධානය යොමු කරගැනීමට හැකියාව ලැබීමය. ජාත්‍යන්තර සහයෝගය අත්පත් කරගැනීමට අවස්ථාව හිමිවීමය. විශේෂයෙන් චාල්ස් රජු මෙරටට ඉතාම වැදගත් රාජතාන්ත්‍රිකයකු බවත් තේරුම් ගත යුතුය. ඒ ඔහු දැන් පොදු රාජ්‍ය මණ්ඩලයේ ප්‍රධානියා වන නිසාය. එක්සත් ජාතීන්ගේ සංවිධානයට පසුව පවතින පුළුල්ම ජාත්‍යන්තර සංවිධානය වන්නේ පොදු රාජ්‍ය මණ්ඩලය ය. බ්‍රිතාන්‍යයේ යටත් විජිතයන්ව පැවැති රටවල් සියල්ලම පාහේ මෙහි සාමාජිකත්වය දරමින් එකිනෙකාට උදව් උපකාර කර ගනිමින් සාමුහික සංවර්ධනයක් වෙනුවෙන් පෙනී සිටිමින් කටයුතු කරන්නේය.

ශ්‍රී ලංකාව මුහුණ දුන් බොහෝ අර්බුදකාරී අවස්ථාවන්හිදී එයින් මිදීම වෙනුවෙන් පොදු රාජ්‍ය මණ්ඩලයෙන් ලැබුණු සහාය විශිෂ්ටය. ඒ සහාය ඉදිරියටත් අවශ්‍යය. එසේම මෙවැනි රාජකීය උත්සව අවස්ථාව වෙනුවෙන් විදෙස් රාජ්‍ය නායකයන්, රාජ්‍යයන්හි විශේෂ නියෝජිතයන් සහභාගි වන්නේය. එහිදී ඔවුනොවුන් සමඟ මුහුණට මුහුණ හමුවී සාකච්ඡා කරමින් රටට ඵලදායි අවශ්‍යතාවන් වෙනුවෙන් සාකච්ඡා කිරීමේ අවස්ථාව හිමි වන්නේය. ඒ අවස්ථා හොඳින්ම ප්‍රයෝජනයට ගැනීමට තරම් ශුරත්වයක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ සතුය. පසුගිය විදේශ සංචාරයන්වලදී ඔහු එය ඔප්පු කර පෙන්වීය.

ණය ප්‍රතිව්‍යුහගත කිරීමට ඉන්දියාවේ, ජපානයේ මෙන්ම පැරිස් සමාජයේ සහාය ලබා ගැනීමේ ආරම්භක මොහොත සනිටුහන් කෙරුණේ ඒ ගමන් වලදීය. එසේම දේශගුණික සමුළුවට සහභාගිවීම හරහා ප්‍රතිලාභ රැසක් මෙරට ලබා ගැනීමේ එකඟතාවන් ඇති කර ගැනීමට හැකි විය. එහිදීද මෙරට දේශගුණික විපර්යාස සම්බන්ධ විශ්වවිද්‍යාලයක් ඉදිකිරීමේ යෝජනාවට පොදුරාජ්‍ය මණ්ඩලයේ අනුග්‍රහය ලබා ගැනීමේ සාකච්ඡාව සාර්ථක විය.

ඉදින් මෙවර සිදුකෙරුණු තෙවන චාල්ස් රජුගේ රාජාභිෂේකය වෙනුවෙන් වූ සංචාරයද තවත් එක් සංචාරයක් පමණක් වූයේ නැත. එහිදී ජනාධිපති රනිල් වික්‍රමසිංහයන් සහ රුවන්ඩා ජනාධිපති පෝල් කගමේ (Paul Kagame) මහතා මැයි 04 වනදා ලන්ඩන් නුවරදී හමු වී සාකච්ඡා කළ අතර ශ්‍රී ලංකාව සහ රුවන්ඩාව අතර සහයෝගීතාව තවදුරටත් වර්ධනය කර ගැනීම පිළිබඳ එහිදී නායකයන් දීර්ඝ ලෙස සාකච්ඡා කළහ.

විශේෂයෙන් කෘෂිකර්ම හා සෞඛ්‍ය ක්ෂේත්‍රයට අදාළව දෙරට අතර පවතින නව ආයෝජන අවස්ථා සොයා බැලීමට ද මෙහිදී එකඟතාව පළ කෙරුණු අතර දෙරටේම අදාළ අමාත්‍යවරුන් දෙරට අතර සංචාරය කරමින් ඒ පිළිබඳ ඉදිරි සාකච්ඡා පැවැත්වීමට ද තීරණය කෙරිණි. එමෙන්ම ශ්‍රී ලංකාව සහ රුවන්ඩාව අතර ආරක්ෂක සහයෝගිතාව පුළුල් කර ගැනීම පිළිබඳව ද අවධානය යොමු වූ අතර ස්වභාවික විපත්වලදී කඩිනමින් ක්‍රියාත්මක වීම පිළිබඳ පුහුණුවීම් සඳහා ශ්‍රී ලංකාවේ ආරක්ෂක හමුදාවන්හි සහාය රුවන්ඩාවට ලබාදීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහයන් එකඟතාව පළ කළේය.

ලන්ඩනයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් සරෝජා සිරිසේන සහ ජාත්‍යන්තර සබඳතා පිළිබඳ ජනාධිපති අධ්‍යක්ෂ දිනූක් කොළඹගේ යන නිලධාරීහු ද එම අවස්ථාවට එක්ව සිටියහ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහයන් සහ ඝානා ජනරජයේ ජනාධිපති නානා අකුෆෝ-ඇඩ්ඩෝ (Nana Addo Dankwa Akufo-Addo) අතර සාකච්ඡාවක් ද එදින පස්වරුවේ පැවැත්වුණු අතර දෙරට අතර ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගැනීම පිළිබඳ එහිදී ජනාධිපතිවරු සාකච්ඡා කළහ.

මේ ආකාරයට අප්‍රිකානු රාජ්‍යයන් සමඟ සබඳතා තහවුරු කරගැනීම වැදගත් වන්නේ අප්‍රිකාව පිබිදීමේ යුගය ඇරඹී ඇති නිසාය. තවදුරටත් එය සාගතයේ සහ වසංගතයේ භූමියක් හෝ ශාපලත් අඳුරු බිමක් නොවන අතර ලෝකයේම අවධානය දිනාගත් මහා වෙළඳ පාරාදීසයක් බවට පත්වෙමින් ඇත. ඒ තුළ අපේ කොටස හිමිකර ගැනීම, ඒ වෙනුවෙන් ලැබෙන සෑම අවස්ථාවක්ම ප්‍රයෝජනයට ගැනීම කොහෙත්ම අපතේ යන දෙයක් නොවේ.

මේ අතර පොදු රාජ්‍ය මණ්ඩලීය රටවල රාජ්‍ය නායක හමුවක් තෙවන චාල්ස් රජුගේ සහභාගිත්වයෙන් මැයි 05 ද ලන්ඩන් නුවර පොදු රාජ්‍ය මණ්ඩලයීය මහලේකම් කාර්යාලයේ දී සංවිධානය කර තිබිණි.

ඊට එක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහයන්ට චාල්ස් රජුගෙන් හිමි වූයේ ඉහළ පිළිගැනීමකි. සෙසු රාජ්‍ය නායකයන් අතර ශ්‍රී ලංකා ජනාධිපතිවරයාට හිමි වූ එම මිත්‍රශීලි පිළිගැනීම කැපී පෙනෙන්නක් වූ අතර රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ මිත්‍රශීලි සහ විශ්වසනීය රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවන් ලෝකය හමුවේ පිළිබිඹු කළ අවස්ථාවක් ද විය.

එහිදී ජනාධිපතිවරයා තෙවන චාල්ස් රජු වෙත තම උණුසුම් සුබ පැතුම් පිළිගන්වමින් සුහද කතාබහකට එක් විය. එම අවස්ථාවට මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහයන් ද එක්ව සිටියාය.

පොදුරාජ්‍ය මණ්ඩලයීය රටවල නායකයන් හමුවේ ජනාධිපති රනිල් වික්‍රමසිංහයන් අවධාරණය කළේ තරුණ සහභාගිත්වය දිරිමත් කරන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සඳහා පොදු රාජ්‍ය මණ්ඩලය වඩා විශාල කාර්යභාරයක් ඉටු කළ යුතු බවයි.

ඩිජිටල්කරණය තුළින් සබඳතා ශක්තිමත් කරන ලෙස ද ජනාධිපතිවරයා මෙහිදී පොදුරාජ්‍ය මණ්ඩලයෙන් ඉල්ලා සිටියේය.

මේ අතර පොදු රාජ්‍ය මණ්ඩලීය නායක හමුවට සමගාමීව පැවති 'Fireside Chat' වැඩසටහන සඳහා ද මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහයන් සහභාගි වූවාය. 'Fireside Chat' වැඩසටහන පොදුරාජ්‍ය මණ්ඩලීය රටවලට අදාළ විවිධ කරුණු සාකච්ඡා කෙරෙන වේදිකාවකි.

මැයි 06 වන සෙනසුරාදා වෙස්ට්මිනිස්ටර් ආසන දෙව් මැඳුරේ දී, සංගීතයෙන් හා සංකේතනයෙන් පිරි උත්සවයක දී තෙවැනි චාල්ස් රජු ඔටුනු පැලඳී ය. වර්ෂ 1066න් පසු එම දෙව් මැඳුරේදී කිරුළු පලන් 40 වැනි රාජ්‍යත්වය දරන අධිරාජ්‍යයා ලෙස ඒ අනුව චාල්ස් රජු ඉතිහාස ගත විය. රාජකීය පවුල, රාජ්‍ය නායකයන්, ප්‍රසිද්ධ පුද්ගලයන්, ආගමික නායකයන් ඇතුළු 2200ක පමණ පිරිසක් ඊට එක්ව සිටි අතර ඊට එක් වූ විදෙස් රාජ්‍ය නායකයන් අතර ලොව ප්‍රබලතම ජනපතිවරු හා අගමැතිවරු රැසක් විය.

සුසන්ති ප්‍රදීපිකා

Comments