බිත්තර වෙළෙඳුන්ට කෝටි දෙකක දඩ | සිළුමිණ

බිත්තර වෙළෙඳුන්ට කෝටි දෙකක දඩ

රජය මඟින් ලබා දී ඇති උපරිම සිල්ලර මිල ඉක්මවා බිත්තර අලෙවි කළ වෙළෙඳුන් 982 කට පසුගිය අප්‍රේල් මස අවසන් වන විට රුපියල් ලක්ෂ 140 ක දඩ නියම කර ඇතැයි පාරිභෝගික කටයුතු අධිකාරියේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් සිළුමිණට කීය. මැයි මාසයේද මේ වන වට සති දෙකක් ගෙවී ගොස් ඇති නිසා එම දඩ මුදල රුපියල් කෝටි දෙකක් පමණ වී ඇති බවද ඒ පිළිබඳව මේ වන විට දත්ත සකස් කරමින් තිබෙන බවද ඔහු පෙන්වා දුන්නේය.

මේ දඩ නියම කර ඇත්තේ සමස්ත වැටලීම් ප්‍රමාණයෙන් නඩු පවරන ලද 70%කට ආසන්න වෙළෙඳුන් පිරිසකට පමණක් බවත් සෙසු අයට විරුද්ධව ඉදිරියේදී නඩු පවරනු ලබන බව ඔහු පෙන්වා දුන්නේය.

රජයේ ගැසට් කළ මිල වන රතු බිත්තරයක් රුපියල් 46ක් හා සුදු බිත්තරයක් රුපියල් 44කට අලෙවි කිරීම අනිවාර්යය බවත් එසේ නොකරන කුමන තරාතිරමේ අයකුට හෝ වෙළෙඳ ආයතනයකට හෝ එරෙහිව නීතිමය පියවර ගන්නා බවද ඔහු පැවසුවේය. විවිධ වෙළෙඳුන්ගේ හා නිෂ්පාදකයන්ගේ බලපෑම් එල්ල වුවත් වැටලීම් දිගින් දිගටම සිදු කරගෙන යයි. ඇතැම් වෙ‍ෙළඳුන් බිත්තර සඟවා ගෙන මිල නොපවසා අලෙවි කිරීම සිදු කරන බවට වාර්තා වී ඇති බවත් ඒ පිළිබඳවද වැටලීම් අංශයේ විශේෂ ක්‍රමවේදයක් සකස් කර ඇති බවද කියති.

Comments