තව‍ මොහොතක් ප්‍රමාද වුණා නම් මෙතන පාර්ලිමේන්තුවක් දකින්න වෙන්නේ නැහැ | සිළුමිණ

තව‍ මොහොතක් ප්‍රමාද වුණා නම් මෙතන පාර්ලිමේන්තුවක් දකින්න වෙන්නේ නැහැ

"දැනට වසරකට පෙර අපේ පාර්ලිමේන්තුව ගිනි තියන්නත් සැලසුම් කළා. තව මොහොතක් ප්‍රමාද වුණා නම් මෙතන පාර්ලිමේන්තුවක් දකින්න වෙන්නේ නැහැ. ඉතිරි වෙන්නේ ගිනි අරන් ඉතුරු වූ සුන්බුන් ගොඩක් පමණයි. ඔවුන් එදා ඒ ආවේ පාර්ලිමේන්තුව ගැන අවබෝධයක් ඇතුව ද, පාර්ලිමේන්තුව ගැන අවබෝධයක් නැතුව ද, අවබෝධය උපරිමයට ගිහින්ද, එහෙමත් නැත්තම් ඉවසගන්න බැරිව ද යන කරුණු ගැන අපි සොයාබැලිය යුතුය. අපේ රටේ විවිධ අරමුණු සඳහා කටයුතු කරන පිරිස් සිටිනවා. එවැනි කොටසක් තමයි පසුගිය වකවානුවේ අරගලයේදී සියලුම දේ අනිත් පැත්ත හරවා සියල්ල විනාශ කළේ . නමුත් එතනින් එහාට යන්නෙ කොහොමද කියා ගැටලුවක් තිබෙනවා. එසේ වූවා නම් රට අරාජිකයි. පොලිසිය, හමුදාව, උසාවිය ක්‍රියාත්මක වූයේ නැහැ. රටේ පාලනයක් නැහැ. ඒ ක්‍රියාවන් මැදට හිරවූ මිනිසා මම. මම කළ යුතු දේ කල්පනා කරමින් සිටින අතරෙ පාර්ලිමේන්තුව ගිනි තියන්න එනවා. පාර්ලිමේන්තුව ගිනි තියන්න පැමිණියා නම් අපිව අත්හරිද? අපිවත් මේකටම දාලා ගිනි තියයි. එවිට මොකද වෙන්නේ?

මේ රටේ උගත් පරපුරට අධ්‍යාපනය බෙදන කණ්ඩායමක් ලෙස මහාචාර්යවරු කල්පනා කරලා බලන්න. මෙයද අපේ රටේ විය යුතු දේ. නිදහස ලබා වසර 70 ක් ගතවන විට අපි රට ගෙනාවේ මෙතැනටද? බන්දුල ගුණවර්ධන මහතාගේ නිවසට ගිනි තිබ්බා. මන්ත්‍රීවරු 74 කගේ ගෙවල් ගිනි තිබ්බා. ඊට අමතරව තවත් 684 කගේ නිවාස රට පුරා ගිනි තිබ්බා. ඒ මිනිසුන්ට යන එන මං නැහැ. පාරට වැටුණා. 1980 දශකයේදී මගේ නිවෙසටත් ගිනි තිබ්බා. අපිත් ඒ වේදනාව වින්දා. යන එන මං නැහැ. දරුවන්ට පාසල් නැහැ. ජීවිත බේරා ගත්තා පමණයි. මේ ලෝකේ කිසි දෙයක් ඉතුරු වූයේ නැහැ. අනුන් ගෙනත් දුන්න දේවල් වලින් තමයි මමත් දරුවොත් සියලු දෙනාම ඇන්දේ. එහෙම තැනකට අපිත් වැටුණා. අදත් වුණේ එවැනි දෙයක්. සාමාන්‍යයෙන් අවුරුදු 20 කට 25 කට වරක් මේ වගේ දේවල් වෙනවද කියලා හිතෙනවා. රටේ ගෙවල් ගිනි තියනවා. අරගල ඇති කරනවා. ඉන් එහාට විසඳුමක් නැහැ. පාර්ලිමේන්තුව ගිනි තිබ්බා නම් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවට මොකද වෙන්නේ. එයට ඕන මුදල් වෙන් කරන්නේ කොහොමද? අධිකරණ කටයුතු පවත්වා ගෙන යන්නේ කොහොමද?

මේ තත්ත්වයන් සමඟ අපි වික්ෂිප්ත වුණා. ඉන් පසුව මොනවද වෙන්නේ. එවන් තත්ත්වයන් නිර්මාණය වූ රටවල් ලෝකයේ තිබෙනවා. දැන් ලිබියාව බලන්න. ලිබියාවේ ගඩාපි පාලනය කළ හැටි අපි දන්නවා. නමුත් විශ්ව විද්‍යාලයක ඉංජිනේරු පීඨයට සිසුවෙක් තේරුණාම ඒ සිසුවාට ඉංජිනේරුවකුගේ වැටුප දුන්නා, තෙල් දුන්නා, එහෙම තමයි අධ්‍යාපනය වෙනුවෙන් ඒ දරුවන් දිරිමත් කළේ. පිටරට යනවා නම් කොහේ හරි රටකට යනවානම් දරුවෙක් අධ්‍යාපනය වෙනුවෙන් සියලුම දීමනා දුන්නා. පාසල් ගාස්තු, ප්‍රවාහන ගාස්තු සියල්ල දුන්නා. ඒ ඉගෙන ගෙන ඇවිත් රටට වැඩ කරන්න. මාලදිවයිනෙත් ඔය ක්‍රමය ක්‍රියාත්මක වුණා.මාලදිවයිනේ දරුවොත් විදෙස් අධ්‍යාපනය සඳහා යනවානම් සියලු වියදම් රජයෙන් දරනවා. එහෙම වැඩ කරපු රටක් තමයි ලිබියාව. අද මොකක්ද සිදුවී තිබෙන්නේ. අද රටක් නැහැ. කවුරු හරි දන්නවද ලිබියාව කියලා රටක් තිබෙනවා, පාලනයක් ති‍යෙනවාද, පාර්ලිමේන්තුවක් තියෙනවද, පාලක මණ්ඩලයක් තිබෙනවද, එහෙම ක්‍රමයක් අද ලිබියාවේ නැහැ. අන්න ඒක තමයි, අපි කල්පනා කළ යුත්තේ. ඒ නිසා අපි මේ ශාස්ත්‍රීය කෘති එළියට දැමිය යුත්තේ එම අංශය කෙරෙහි අවධානය යොමු කරමිනුයි. පාර්ලිමේන්තුව ගිනි තිබ්බට පස්සේ මොකද කරන්නේ. කවුද රට පාලනය කරන්නේ. එතකොට අපි කතා කළ ප්‍රජාතන්ත්‍රවාදය, නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය, අවුරුදු අටසියයක් පරණ එංගලන්ත පාර්ලිමේන්තු ක්‍රමය ඒවට මොකද වෙන්නෙ. අපි ඒක මෙහෙ ගෙනත් දාලා ඒක කොහෙටද ගෙන යන්නේ. ඉන් පස්සේ රටට මොනව වෙයිද? නැවත ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක් ඇති කර ගන්න පුළුවන් වෙයිද, ඒ සඳහා කොපමණ කාලයක් ගත වෙයි ද, වසරක් දෙකක්, පහක්, දහයක් බලාගෙන ඉන්න වෙයිද? එහෙමනම් එම කාලය තුළ මොකක්ද කරන්නේ. එතකොට රටට මොකද වෙන්නේ. අපි වයසට යනවා . කොටසක් මැරෙනවා. අද දරුවො තරුණ වෙනවා. එතකොට රටේ අනාගතය නිවැරදි වෙනවාද? දැන් පාර්ලිමේන්තු ක්‍රමය තිබිලත් යම් වැඩක් කරන්නට මොන තරම් කාලයක් ගත වෙනවද? යෝජනාවක්, පනතක් සම්මත කරන්න කොතරම් කාලයක් ගත වෙනවාද? පාරවල් කීයක ගමන් කරන්න වෙනවද ‍ එක දෙයක් කර ගන්නට.

සමහර දේවල් තැන් තැන්වල ගිහිල්ලා ආපහු එන්නෙත් නැහැ. කොයි තරම් අමාරුවෙන්ද පනත් කෙටුම්පතක් මේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා සම්මත කර ගන්නෙ. ඒ වගේම ඒවා ක්‍රියාත්මක කරන්න මොන තරම් කාලයක් යනවද? ඒ නිසා වැරදීමකින් හරි පාර්ලිමේන්තුව ගිනිබත් කළා නම් ඒ කාල සීමා ව තුළ අපට පාලනයක් නැහැ. එහෙම තිබෙන වකවානුවක අපි කටයුතු කරන්නේ කොහොමද?

පාර්ලිමේන්තුව ලෙස එංගලන්ත ක්‍රමය තමයි අපි දැන් ක්‍රියාත්මක කරන්නේ. මේවා ගිනි තියලා අපි ආපහු මොන ක්‍රමයක්ද ගේන්නේ. මෙන්න මෙතෙන්ට තමයි අපේ රට යොමු කළ යුත්තේ. මෙවැනි ශාස්ත්‍රීය ග්‍රන්ථ තුළින් සිදු කළ යුත්තේ එවන් ඉසව් කෙ‍ෙරහි අවධානය යොමු කිරීමයි. ඒ නිසයි මම කිව්වේ පාර්ලිමේන්තුව කතා සාප්පුවක් නොව පොත් සාප්පුවක් බවට පත් කරමු කියලා. මේ පොත් සාප්පුවේ දැනුම තිබිය යුතුයි. පොත් තිබිය යුතුයි. විද්වතුන් සිටිය යුතුයි. විද්වතුන්ගේ දැනුම බෙදා හරින තැනක් බවට පත්විය යුතුයි. ඔබතුමාලාගේ පුස්තකාලවල තිබෙන පැරණි පර්යේෂණ ග්‍රන්ථ බවට පත් කරන්නම්.“

Comments