
ශ්‍රී ලංකා ගුවන් තැපෑල හරහා විදේශ රටවලට යවන ලද මැණික් නැතිවීම පිළිබඳ විශේෂ විමර්ශනයක් පොලිසිය, තැපැල් දෙපාර්තමේන්තුව හා ගුවන් තොටුපළ එක්ව ආරම්භ කර ඇතැයි තැපැල්පති රුවන් සත්කුමාර සිළුමිණට පැවැසීය.
පසුගිය තෙමස තුළ අවස්ථා දහයකදී පමණ මෙසේ විදේශ රටවලට යැවීමට ගුවන් තොටුපළ හරහා යැවූ මැණික් පාර්සල් අදාළ විදෙස් ගමනාන්ත කරා ගොස් තිබුණද, එම පාර්සල්වල තිබූ මැණික් අතුරුදන්වීම් සම්බන්ධ පැමිණිලි ලැබී ඇති අතර, නැතිවූ මැණික්වල වටිනාකම ද මේ වන තෙක් තහවුරු කරගෙන නොමැත.
මෙම වංචාව යම් සංවිධානාත්මක පිරිසක් විසින් සිදු කර ඇති බවට දැනට තහවුරු කරගෙන ඇති අතර, අතුරුදන් ඇතැම් මැණික්ගල්වල වටිනාකම ඉතා ඉහළ බවද දැනගන්නට ඇත.
ලංකාවේ මැණික් ව්‍යාපාරිකයන් විසින් ශ්‍රී ලංකා ගුවන් තැපෑල හරහා විදෙස්ගත කිරීමට මසකට මෙවැනි මැණික් ගල් ඇතුළු පාර්සල් 200 ක් පමණ යවා ඇති බව පැවැසූ තැපැල්පතිවරයා අතුරුදන් මෙම මැණික්වල වටිනාකම තවමත් තහවුරු කරගෙන නොමැති බවත්, එය අධික වටිනාකමින් යුතු බවට අනුමාන කරන බවද පැවැසීය.
මෙසේ අතුරුදන් වූ බවට පැමිණිලි ලැබුණු මැණික් ගල් ඇමරිකාව, චීනය, කැනඩාව, ස්විට්සර්ලන්තය වැනි රටවලට යැවූ ඒවාය.
මෙවැනි භාණ්ඩ රක්ෂණය කිරීමකින් යුතුව යැවූවද එය ආරක්ෂා කිරීමේ වගකීම ඇත්තේ ගුවන් තොටුපළ බිම් කාර්ය මණ්ඩලයට බවත්, එසේ තැපැල් භාණ්ඩ ආරක්ෂිතව යැවීමේදි ගුවන් තොටුපළ කාර්ය මණ්ඩලය සිය සම්පූර්ණ සහයෝගය ලබා දුන්නද, මෙය යම් සංවිධානාත්මක පිරිසක් විසින් සූක්ෂමව සිදු කරන්නට ඇති බවත් තැපැල්පතිවරයා පවසයි