කාගිල්ස් ෆුඩ් සිටියෙත් ලංකා IOC පිරවුම් හල් | සිළුමිණ

කාගිල්ස් ෆුඩ් සිටියෙත් ලංකා IOC පිරවුම් හල්

ඔබ කාගිල්ස් ෆුඩ් සිටියට ගොඩ වෙන්නේ 'ගෙදර යන ගමන්' උයන පිහන අඩුමකුඩුම ටික එකතු කර ගන්න. එහෙම යනගමන් වාහනයට තෙල් ටික ගහගන්න ඕනෙ වුණොත් ඒ සඳහා පිරවුම් හලක් හොයාගෙන යා යුතුයි. සිය පාරිභෝගිකයන්ගේ පහසුව පිළිබඳ හිතන, බොහෝ පාරිභෝගික ප්‍රශ්නවලට උත්තර හොයා දෙන කාගිල්ස් සමාගම ඒ ගැටලුවටත් පිළිතුරක් සපයා තිබෙනවා.

මෙතෙක් කලක්, බොහෝ ලංකා IOC ඉන්ධන පිරවුම්හල්වල අප දුටුවේ කාගිල්ස් ෆුඩ් සිටි' එක්ස්ප්‍රස් (Cargill's Food City Express) හෙවත්, පුංචි පහේ කාගිල්ස් සාප්පු. ඒත් දැන්, ප්‍රධාන නගරවල ඇති ෆුඩ් සිටිවල IOC ඉන්ධන පිරවුම් හල් විවෘත කිරීම ආරම්භ කර තිබෙනවා. එහි ආරම්භය සටහන් වුණේ ඉකුත් මැයි 3 වැනිදා.

අවුරුදු හතළිහකට ආසන්න කාලයක් ශ්‍රී ලංකාවේ සුපිරි වෙළෙඳ සැල් ව්‍යාපාරයට නව මුහුණුවරක් එක් කළ කාගිල්ස් සිලෝන් පී.එල්.සී. සමූහය සිය පාරිභෝගිකයන්ට උපරිම පහසුව සලසා දෙමින් සිය ප්‍රථම ලංකා IOC ඉන්ධන අලෙවි සල වත්තල-2, කාගිල්ස් ෆුඩ් සිටි ශාඛා පරිශ්‍රයේදී විවෘත කරනු ලැබුවේ එදිනයි. ඒ, කාගිල්ස් සිලෝන් පී.එල්.සී. සමූහයේ උප සභාපති රංජිත් පේජ් සහ ලංකා IOC සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ, දීපක් දාස් මහත්වරු ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසකගේ සහභාගිත්වයෙන්.

එහිදී කාගිල්ස් සිලෝන් පී.එල්.සී. හී උප සභාපති රංජිත් පේජ් ප්‍රකාශ කළේ,"අපගේ පාරිභෝගිකයන්ට සම්පූර්ණ සුපිරි වෙළෙඳසල් සේවා පහසුකම් සැපයීමට වත්තල කාගිල්ස් ෆුඩ් සිටි ශාඛාවේ, ලංකා IOC අලෙවි සලක් විවෘත කිරීම පිළිබඳ අප ඉතාමත් සතුටට පත් වනවා. ලංකාවේ බහුතරයක් IOC ඉන්ධන හල්වල කාගිල්ස් එක්ස්ප්‍රස් අලෙවිසලක් තිබෙනවා. ඒ අනුව, කාගිල්ස් අප හා ලංකා IOC අතර ඇත්තේ දීර්ඝකාලීන සම්බඳතාවක්. ලංකා IOC සමඟ එක් වී ඉන්ධන සිල්ලර අලෙවි ව්‍යාපාරයට එක් වීම හරහා, අපගේ ඒ වටිනා බැඳීම තවදුරටත් ශක්තිමත් වන බව කිව යුතුයි. ඒ වගේම මේ 2023 වසරේදී රට පුරා තවත් කාගිල්ස් ෆුඩ් සිටි රැසකම ලංකා IOC ඉන්ධන පිරවුම්හල් ආරම්භ කිරීමට අප කටයුතු සැලසුම් කර තිබෙනවා. ඒ හරහා අප බලාපොරොත්තු වන්නේ, අපගේ පාරිභෝගිකයන්ට සුපිරි වෙළෙඳසලකට එහා ගිය අත්‍යවශ්‍ය පහසුකම් ලබා දීමටයි. ඒ වගේම මේ හරහා අලුත් රැකියා අවස්ථා බිහිවනවා."යනුවෙනි.

ලංකා IOC සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ දීපක් දාස් අදහස් දක්වමින් කියා සිටියේ, " අද අපි ආරම්භ කරන්නේ අලුත් ගමනක්. ගිය වසරේ මේ කාලය වන විට ශ්‍රී ලංකාව හිටියට වඩා හොඳ තත්ත්වයක අද ඉන්නවා. ඒ නිසා අපිට ශ්‍රී ලංකාවේ ආයෝජන සඳහා හොඳ බලාපොරොත්තු තිබෙන බව කියන්නට කැමැතියි. මෙවැනි විශාල ඉන්ධන පිරවුම් හලක් අප කාගිල්ස් සමාගම සමඟ විවෘත කළේ පළමු වතාවට. නමුත් ලංකා IOC සමාගම සහ කාගිල්ස් සමාගම අතර ඇත්තේ පැරැණි මිතුදමක්. අපගේ IOC පිරවුම් හල්වල කුඩා කාගිල්ස් ෆුඩ් සිටි තිබෙනවා ඔබ දැක ඇති. පිරවුම්හලට එන කෙනකුට අත්‍යවශ්‍ය යමක් ගන්න ඕනෙ වුණොත් එසේ කාගිල්ස් ෆුඩ් සිටි එක්ස්ප්‍රස්, 2000 වසරේ පමණ පටන් ලංකා IOC පෙට්රල් ෂෙඩ් සමඟ හිටියා. අද ඒ තත්ත්වය වෙනස් වෙලා. කාගිල්ස් කළමනාකාරිත්වය යටතේ, මේ පෙට්රල් ෂෙඩ් පාලනය වීමත් අපිට අලුත් අත්දැකීමක්."

ඉන්ධන සිල්ලර අලෙවිය දක්වා තම ව්‍යාපාරය පුළුල් කිරීම සෑම දිනකම මිලියන ගණනක ශ්‍රී ලාංකිකයන්ගේ ජීවිත හා සම්බන්ධ වෙමින් තිරසර සහ සමාජයට වගකියන ව්‍යාපාරයක් ගොඩ නැඟූ වසර 179ක කාගිල්ස් ඉතිහාසය තුළ සුවිශේෂී කඩ ඉමකි. සුපිරි වෙළෙඳසල් සංකල්පය සෑම තරාතිරමකම ශ්‍රී ලාංකිකයන් වෙත එක සේ හඳුන්වා දුන් පුරෝගාමියා වන කාගිල්ස්, ශ්‍රී ලංකාවේ දිස්ත්‍රික්ක 25ටම සේවය සපයන පුද්ගලික අංශයේ එකම සුපිරි වෙළෙඳසල් ජාලයයි. අද වන විට කාගිල්ස් ෆුඩ් සිටි වෙළෙඳසල් ජාලය යාපනයේ සිට මාතර දක්වා ශාඛා 500කට අධික ලෙස විහිදී පැතිරී, ශ්‍රී ලංකාවේ සිවු දිශාවේම සිටින ශ්‍රී ලාංකිකයන් හට සිය සේවා සපයයි. වත්තල ෆුඩ් සිටියෙන් ආරම්භ වූ මෙම නව අත්දැකීම ඉදිරියේදී රට පුරා සෑම නගරයකම කාගිල්ස් පාරිභෝගිකයන් හට අත්විඳින්නට හැකි වනු ඇත.

Comments