ලිංගික අපයෝජන සිද්ධියකට ට්‍රම්ප් වරදකරු වෙයි ! | සිළුමිණ

ලිංගික අපයෝජන සිද්ධියකට ට්‍රම්ප් වරදකරු වෙයි !

මාධ්‍යවේදිනියකට ලිංගික අපයෝජන කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් එල්ල වූ චෝදනාවකට අමෙරිකානු ජනාධිපතිවරණ අපේක්ෂක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් වරදකරු වී තිබේ.
 
ජීන් කැරොල් නම් මාධ්‍යවේදිනිය විසින් ට්‍රම්ප්ට එරෙහිව ගොනුකර තිබූ සිවිල් නඩුවකදී එහි ජූරි සභාව විසින් එම තීරණය ගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
 
ඇය චෝදනා කර ඇත්තේ ඇඟලුම් වෙළෙඳසැලක පැළඳුම් කාමරයක් තුළදී 1996 වසරේ දී ට්‍රම්ප් ඇයට ලිංගික හිරිහැර සිදුකර ඇති බවය.
 
ඒ අනුව අදාළ චෝදනාවට ට්‍රම්ප් වරදකරු කළ අදාළ ජූරි සභාව අදාළ මාධ්‍යවේදිනියට අමෙරිකානු ඩොලර් මිලියන 05ක වන්දි මුදලක් ලබාදෙන ලෙස ද ඩොනල්ට් ට්‍රම්ප්ට නියෝග කර තිබේ.
 
ජූරි සභිකයන් කැරොල්, දූෂණයට ලක් වූ බවට කරන ලද ප්‍රකාශය ප්‍රතික්ෂේප කළ නමුත් ට්‍රම්ප් සිදු කළ ලිංගික අපයෝජනයට සහ කැරොල්ගේ චෝදනා ප්‍රසිද්ධියට පත් කිරීමෙන් පසු අපකීර්තියට පත් කිරීමට වගකිව යුතු බව තීරණය කර ඇත. 
 
ට්‍රම්ප් සිවිල් නඩු විභාගයට නොපැමිණීමට තීරණය කළ අතර තීන්දුව කියවන විට ඔහු එහි නොසිටි බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. 
 
මීට අදාළ තීන්දුව කියවන විට කැරොල් හිස වැනූ බවත් පසුව, ඇගේ නීතිඥයන් ඇය වටා දෑත් තැබූ අතර, ඇය කඳුළු අතරින් සිනාසෙමින් ගැලරියේ සිටි ආධාරකරුවන් වැළඳ ගත් බව සදහන් වේ.
 
කෙසේ නමුත් මේ පිළිබඳ ඩොනල්ඩ් ට්‍රම්ප් වහාම ඔහුගේ සමාජ මාධ්‍ය වෙබ් අඩවියේ ප්‍රකාශයක් කරමින්, සදහන් කර ඇත්තේ ඔහු කැරොල්ව හඳුනන්නේ නැති බව නැවතත් ප්‍රකාශ කර ඇති අතර මෙම තීන්දුව “අපකීර්තියක්” බවත් ය. 

Comments