සංචාරක නවෝදයට සුන්දරත්වය කැන්දන දකුණ | සිළුමිණ

සංචාරක නවෝදයට සුන්දරත්වය කැන්දන දකුණ

ළාත් සභාවල පමණක් නොව පළාත් පාලන ආයතනවල බලය ද මේ වන විට ආණ්ඩුකාරවරුන් වෙත පැවරී ඇත. කෙටියෙන් කිවහොත් පළාතේ සර්ව බලධාරියා වන්නේ ආණ්ඩුකාරවරුන්ය. පළාත් සභාවල මහජන නියෝජනයක් නොමැති වුවද පළාත තුළ පදිංචිව සිටින ජනතාවගේ අවශ්‍යතා නොයෙකුත් අභියෝග මැද ඉටු කිරීමට ආණ්ඩුකාරවරු මෙන්ම නිලධාරින් ද කටයුතු කරමින් සිටිති.

එහෙත් පළාත් සභා සඳහා මහජන නියෝජනයක් අත්‍යවශ්‍ය බව දකුණු පළාත් ආණ්ඩුකාරවර ආචාර්ය විලි ගමගේ ගේ අදහසයි. පළාත් සභා ක්‍රමය තවදුරටත් පවත්වාගෙන යන්නේ නම් එය ආණ්ඩුකාරවරයකු හෝ නිලධාරින් යටතේ නොව මහජන නියෝජනයක් යටතේ තිබිය යුතු බව ද ආණ්ඩුකාරවරයා දැඩිව පවසන්නේය. 

ආචාර්ය විලි ගමගේ දකුණු පළාත් ආණ්ඩුකාර ධුරයට පත්ව වසර තුනකුත් මාස හයක් ගතවි ඇත්තේය. මෙකී කාලය තුළදී දකුණු පළාත අධ්‍යාපනය, සෞඛ්‍යය, කෘෂිකර්මය, කර්මාන්ත, ක්‍රීඩා, සංචාරක, ප්‍රවාහනය යන ක්ෂේත්‍රවලින් ඉහළින් ඔසවා තබන්නට ආණ්ඩුකාරවරයා ප්‍රමුඛ නිලධාරීන්ට හැකි විය. ගෙවී ගිය කාලය තුළදී මෙකී ක්ෂේත්‍රවලින් ලබා ගෙන ඇති ජයග්‍රහණ ද රාශියකි. 2021 වර්ෂයේදී දකුණු පළාත් සභාව සඳහා සලසා තිබු මුළු ප්‍රතිපාදන මුදල රුපියල් මිලියන 40,614කි. එම මුදලින් මිලියන 39,120ක මුදලක් උපයෝජනය කර තිබුණි. දකුණු පළාතේ ජනගහනය මිලියන 27කි. ගාල්ල දිස්ත්‍රික්කයේ ජනගහනය එකළොස් ලක්ෂ හතළිස් අට දහසකි. මාතර දිස්ත්‍රික්කයේ අට ලක්ෂ අසූ හත් දාහක පමණ ජනතාවක් පදිංචිව සිටින අතර , හම්බන්තොට දිස්ත්‍රික්කයේ හය ලක්ෂ හැත්තෑ හයදහසක පමණ ජනතාවක් ජීවත් වෙති. මින් සියයට පනස් එකයි දශම අටක් පමණ පිරිමින් වන අතර සියයට හතළිස් හතයි දශම දෙකක් පමණ කාන්තාවන්ය.

දකුණු පළාත ගැන සඳහන් කරන විට දකුණේ සංචාරක කර්මාන්තයට හිමි වන්නේ සුවිශේෂි වු ස්ථානයකි. සැබවින්ම දකුණ වෙරළ තීරය දෙස් විදෙස් සංචාරකයන්ගේ පාරාදිසයකි. මෙරටට පැමිණෙන අති බහුතරයක් විදේශීය සංචාරකයන්ගේ ගමනාන්තය වන්නේ දකුණු පළාතයි. මේ වනවිට දකුණු පළාතේ වෙරළ තීර දෙස් විදෙස් සංචාරකයන්ගෙන් පිරී ගොස් ඇත. බෙන්තොට සිට හම්බන්තොට දක්වා කිලෝමීටර් 125ක පමණ දිගින් යුතු දකුණු වෙරළ තීරය දෙස් විදෙස් සංචාරකයන්ගේ ආකර්ෂණය දිනා ගත් වෙරළ තීරයකි. වෙරළ තීරය පමණක් නොව වෙරළ තීරයෙන් ඇතුළට වන්නට පිහිටි දෙනියාය, ලංකාගම, මදුනාගල, නෙළුව, කන්නෙලිය, පස්ගොඩ, කොග්ගල කළපුව, යාල ආදී ප්‍රදේශ ද දෙස් විදෙස් සංචාරකයන්ගේ පාරාදීස බවට පත්ව ඇත.

විදේශීය සංචාරකයන් ආකර්ෂණය කරගැනීම සඳහා දකුණු පළාත් ආණ්ඩුකාර ආචාර්ය විලි ගමගේ ගේ උපදෙස් මත රුහුණු සංචාරක කාර්යාංශය, සංචාරක සංවර්ධන අධිකාරිය හා එක්ව දකුණු පළාත තුළ විවිධ වැඩසටහන් දියත් කොට තිබේ. දකුණු පළාතේ ඇති හෝටල් කාමර සංඛ්‍යාව 2,160කි. එපමණක් නොව සෘජුව හා වක්‍රව විශාල පිරිසක් සංචාරක කර්මාන්තයේ නිරතව සිටිති. මේ වන විට රුසියානු සංචාරකයන් ඇතුළු විදේශීය සංචාරකයන් විශාල වශයෙන් දකුණු පළාතට පැමිණීමත් සමඟ සංචාරක කර්මාන්තයේ නිරත වුවන්ගේ අතමිට සරු වෙමින් ඇත. මේ අතර ශ්‍රී ලංකාවේ සහ මාලදිවයිනේ රුසියානු තානාපති Levan S. Dzhagaryan සහ දකුණු පළාත් ආණ්ඩුකාර ආචාර්ය විලි ගමගේ අතර හමුවක් ද පසුගියදා පැවති අතර දකුණේ සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීම එම හමුවේ අරමුණ විය. ගාල්ල හා උණවටුන යන ප්‍රදේශ රුසියානු සංචාරකයන්ගේ කේන්ද්‍ර ස්ථානයක් බවට පත් කිරීම මෙකී සාකච්ඡාවේ තවත් අරමුණකි. එපමණක් නොව රුසියානු සංචාරකයන්ට සිදු වන හිරිහැර මෙන්ම, උණවටුන සංචාරක හෝටල් හිමියන්ගේ ගැටලු, ඒවාට යෙදිය යුතු පිළියම් හා සංචාරක කර්මාන්තය දියුණු කිරීම වෙනුවෙන් ගත හැකි අදහස් හා යෝජනා පිළිබඳ ද මෙහිදී සාකච්ඡාවට ලක් විය.

සැබවින්ම මුහුදේ සිටින විශාලතම සතා වන තල්මසා සහ ගොඩබිම සිටින විශාලම සතා වන අලියා පැය කිහිපයක් තුළ දැකබලා ගැනීමට විදේශිය සංචාරකයන්ට උදා වන්නේ දකුණු පළාතට පැමිණ විටදීය. විදේශීය සංචාරකයන්ට මිරිස්සට ගොස් තල්මසුන් බලා උඩවලවට ගොස් අලි ඇතුන් දැක බලාගත හැකිය. එමෙන්ම මෙවර අලුත් අවුරුදු සමයේ විදේශීය සංචාරකයන් වෙනුවෙන් දකුණු පළාතේ ප්‍රධාන සංචාරක කලාපවල අලුත් අවුරුදු උත්සව ද සංවිධානය කොට තිබුණි.

විදේශිකයන් වෙනුවෙන් උණවටුණ වෙරළ තිරයේ සංවිධානය කොට තිබු අලුත් අවුරුදු උත්සවය සඳහා විදේශිකයන් විශාල පිරිසක් එක්ව සිටියහ. අලුත් අවුරුද්ද හා බැඳුණු සංස්කෘතික අංග රැසකින් අලුත් අවුරුදු උත්සවය වර්ණවත් වි තිබුණි. එය විදේශීය සංචාරකයන්ට නැවුම් අත්දැකීමක් විය. විදේශීය සංචාරකයන් වෙනුවෙන් වෙන්කර තිබු අලුත් අවුරුදු කෑම මේසය සංචාරකයන්ගේ ආකර්ෂණය දිනාගෙන තිබුණි. විදේශිකයන් සඳහා කණා මුටිටිය බිඳීම, අලියාට ඇස තැබීම, ලිස්සන ගස නැඟීම, අවුරුදු කුමරා සහ කුමරිය තේරීම ඇතුළු තරග රැසක් සංවිධානය කොට තිබුණි. දේශීය නැටුම් හා බෙර වාදන සහිත සංස්කෘතික අංග ද අවුරුදු උත්සවය සඳහා එක්කොට තිබු අතර, විදේශීය සංචාරකයන්ගේ දරුවන් වෙනුවෙන් වෙරළේ වැලි මාලිගා සකස් කිරීමේ තරගයක් ද සංවිධානය කර තිබුණි. දේශීය ආහාර සකස් කිරීම පිළිබඳ සජීවී අත්දැකීම් සංචාරකයන්ට ලබා දීම සඳහා දේශීය කැවිලි සහිත ගැමි මුළුතැන්ගෙයක් ද අලුත් අවුරුදු උත්සවය සඳහා එක්කර තිබුණි. මෙකී අලුත් අවුරුදු උත්සවය සංචාරක අමාත්‍යාංශය හා සංචාරක සංවර්ධන අධිකාරිය එක්ව සංවිධානය කොට තිබුණි.

මේ අයුරින් දකුණු පළාතේ සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීම සඳහා විවිධ වැඩසටහන් දියත් කරමින් තිබියදී උණවටුණ මුහුදු තීරය යට ලංකාවේ පළමු කලාගාරය ඉදිකිරීමට ද මේ වනවිට සැලසුම් කොට තිබේ. මුහුද යට පිළිම 64ක් තැන්පත් කරන අතර, මුල්ලේරියානු සටන මේ තුළින් නිරූපනය කිරීමට සැලසුම් කොට ඇත. මේ සඳහා රුපියල් මිලියන 100ක් ආයෝජනය කිරීමට නියමිතව තිබේ. දකුණු පළාත් ආණ්ඩුකාරවර ආචාර්ය විලි ගමගේ ගේ උපදෙස් මත රුහුණු සංචාරක කාර්යාංශය විසින් ද දකුණු පළාත තුළ සංචාරක කටයුතු ප්‍රවර්ධනය කිරිමට මෙන්ම නව සංචාරක ගමනාන්ත හඳුනා ගැනීමට විවිධ ව්‍යාපෘති දියත්කොට ඇත. රුහුණු සංචාරක කාර්යාංශයේ සභාපති චන්න සාලිය මෙන්ඩිස් ඒ පිළිබඳ අදහස් දක්වමින් මෙසේ කීවේය.

" දකුණු පළාතේ සංචාරක ස්ථාන සඳහා යටිතල පහසුකම් සැලසීමේ ව්‍යාපෘති යටතේ සත්මහල් ඇල්ල සංවර්ධනය කිරීම, සංචාරක ආකර්ෂණය ඇදගත හැකි නව සංචාරක ගමනාන්ත හඳුන්වා දීමට අපි කටයුතු කරමින් සිටිනවා.

දකුණු පළාතට පැමිණෙන විදේශීය සංචාරකයන්ට වැඩි කාලයක් මෙහි රැඳී සිටීම සඳහා විවිධ වැඩසටහන් දියත් කොට තිබෙනවා. සර්පින් ජල ක්‍රීඩා, දකුණු පළාත් රාජ්‍ය නැටුම් කණ්ඩායමේ නර්තන, විවිධ සංස්කෘතික වැඩසටහන් ආරම්භකොට තිබෙනවා. බේරුවල, අලුත්ගම වැනි ස්ථානයන්හි පවතින පොල් රා කර්මාන්තය මෙන්ම ලංකාගම, අකුරැස්ස ප්‍රදේශයෙන් ඇති කිතුල් රා කර්මාන්තය Toddy tourism වශයෙන් නව සංචාරක ආකර්ෂණයක් ඇති වන පරිදි ව්‍යාප්ත කිරිමට කටයුතු කර තිබෙනවා. දකුණු පළාතේ සංචාරක සේවා පහසුකම් සපයන සියලු දෙනා හඳුනාගෙන සංචාරක කාර්යාංශයේ ලියාපදිංචි කර ඔවුන් බලගැන්වීම වෙනුවෙන් පුහුණුවීම් හා වැඩමුළු සංවිධානය කිරීමට කටයුතු කළා. ගාල්ල නගරය දකුණු පළාතේ මෙන්ම ලංකාවේ හොඳම සංචාරක ගමනාන්තය බවට පත් කිරීම වෙනුවෙන් ගාලු කොටුව රූමස්සල හා උණවටුන යා කරමින් පෞද්ගලික අංශයේ ද සහයෝගය මත සංවර්ධන සැලැස්මක් ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වෙනවා."

සංචාරක කර්මාන්තය තුළින් පමණක් නොව අධ්‍යාපන ක්ෂේත්‍රය තුළින් ද දකුණු පළාත අනෙකුත් සියලුම පළාත් අබිබවා පෙරමුණ ගැනීමට සමත්ව ඇත. අ.පො.ස සාමාන්‍ය පෙළ ප්‍රතිඵලවලින් පිට පිට අට වැනි වතාවටත් පෙරමුණු ගැනීමට දකුණු පළාතට හැකි විය. ආණ්ඩුකාර ධුරයට පත්වී ගතවු වසර තුනහමාරක කාලය තුළදී දකුණේ ජනතාව වෙනුවෙන් ගත් ක්‍රියාමාර්ග පිළිබඳ දකුණු පළාත් ආණ්ඩුකාර ආචාර්ය විලි ගමගේ පැවසුවේ මෙවැන්නකි.

"පසුගිය කාලයේදී පළාත් සභාව තුළින් ජනතාවට සිදු විය යුතු සේවාව නිසි පරිදි ඉටු කිරිම තුළින් සාධනීය ප්‍රතිඵල අත්පත් කරගැනීමට අපිට හැකි වුණා. සෞඛ්‍ය අංශය ගැන සඳහන් කළහොත් කොවිඩි වසංගත සමයේදී වලස්මුල්ල, තංගල්ල, තිස්සමහාරාම, උඩුගම අකුරැස්ස යන රෝහල් සංවර්ධනය කිරිමට කටයුතු කළා. මේ නිසා කරාපිටිය රෝහලේ තදබදය අඩුකර ගැනීමට හැකි වුණා. ආයුර්වේද රෝහල් සංවර්ධනය කළා.

උඩුගම රෝහලේ ඇදන් 05ක දැඩි සත්කාර ඒකකයක් ආරම්භ කළා. මේ සඳහා හෙදියන් 25 දෙනකු බඳවා ගත්තා. දකුණු පළතේ පළාත් පාලන ආයතන 49 ශක්තිමත් කිරීමට කටයුතු කළා. එම පළාත් පාලන ආයතන සඳහා මුද්දර හා දඩ මුදල් වශයෙන් සියයට 30ක 35ක හිඟ මුදලක් තිබුනා. පසුගිය වසර තුනක කාලය තුළදී හිඟ මුදල් සමඟ මිලියන 5,300ක මුදලක් ලබා දීමට කටයුතු කළා. මේ අයුරින් අධ්‍යාපනය, සෞඛ්‍යය, ප්‍රවාහනය, ධීවර ක්ෂේත්‍රය ඇතුළු සැම අංශයක් තුළම කැපී පෙනෙන වර්ධනයක් අත්පත් කරගැනීමට අපිට හැකි වුණා. අඩුපාඩු නැහැ කියලා මම කියන්නේ නැහැ.

ආර්ථික අර්බුදය ඇතුළු නොයෙකුත් අභියෝග මැද දකුණු පළාත ආර්ථික, සමාජීය, සංස්කෘතික යන සැම අංශයකින්ම ඉහළින් ඔසවා තැබීමට අපිට හැකි වුණා. ඒ ගැන මට තියෙන්නේ නිහතමානී ආඩම්බරයක්. පළාත් සභාවේ ඇමතිවරුන් නඩත්තු කිරීමට විශාල මුදලක් වැයවන බව කියනවා. නමුත් ඒ සඳහා වැය වන්නේ පළාත් සභාවේ වියදමින් සියයට 1.2ක මුදලක්, මිලියන 500ක මුදලක්. සංචාරක ක්ෂේත්‍රයේ ප්‍රවර්ධනය සඳහා විශාල වැඩ කොටසක් අපි සිදු කර තිබෙනවා. නමුත් සංචාරකයන් සඳහා තියෙන පහසුකම් ප්‍රමාණවත් නැහැ. එම යටිතල පහසුකම් සංවර්ධනය කළ යුතුව තිබෙනවා."

Comments