සිරි සමන්තභද්‍ර හිමියන් හෙළි කළ ගුවන් ටිකට් ගැටලුවේ ඇත්ත කතාව | සිළුමිණ

සිරි සමන්තභද්‍ර හිමියන් හෙළි කළ ගුවන් ටිකට් ගැටලුවේ ඇත්ත කතාව

අපට පැමිණිල්ලක් ලැබිලා තියෙනවා. ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් කරනවා 
- සිවිල් ගුවන් සේවා අධිකාරිය

සිරි සමන්තභද්‍ර හිමියන් ගැන මෙරට නොදන්නා කෙනෙක් නැත. උන් වහන්සේ විවිධ කරුණු උදෙසා දින ගණනාවක් අපට කතා කරන්නට විෂය පථ සකස් කර දුන්හ. අනෙක් කරුණු කෙසේ වෙතත් දේශීය ආර්ථිකයක් නංවාලීම ගැන උන් වහන්සේ අපට ලබා දුන් මාතෘකාව නම් අගය කළ යුතුමය.

ඒත් සමඟම පසුගිය අවුරුදු සමයේ උන්වහන්සේ ඉන්දියාවේ සිට ලබා දුන් වීඩියෝවක් නිසා සමස්ත ගුවන් ප්‍රවේශපත් අලෙවි කරන ජාලයම එක්වරම අවදි වන්නට විය. ඒ උන්වහන්සේ තම ආශ්‍රමයට පැමිණෙන බැතිමතුන්, දායකයන් සමඟ සිදු කරන ඉන්දීය සංචාරයක් වෙනුවෙන් ගුවන්ගමන් ප්‍රවේශ පත්‍ර නිකුත් කරන ආයතනයකින් ලබා දුන් ප්‍රවේශ පත්‍රවලින් කොටසක් ව්‍යාජ ඒවා වීම නිසා එම ගමනට විශාල බාධාවක් වූ බවත් එම නිසා මේ සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක වූ බවත් පැවසීම නිසාය. ඉන්දියාවේදී දැඩි සේ මෙරට ජාතික ගුවන් සේවය දෝෂ දර්ශනයට ලක් කළ උන්වහන්සේ මෙරටට පැමිණි පසුද අදාළ ගුවන් ප්‍රවේශපත්‍ර නිකුත් කරන ආයතනයට එරෙහිව තවදුරටත් නීතිය ක්‍රියාත්මක කිරීමට කටයුතු කර තිබේ. 

මේ සිදුවීම් ජාලයේ අලගිය මුල ගිය තැන් පැවසුවේ සිරි සමන්තභද්‍ර ස්වාමීන් වහන්සේ හා ගුවන් ටිකට්පත් මිලදී ගැනීම හා අනෙකුත් කටයුතුවලට සම්බන්ධ වූ අනුරාධපුරයේ ධම්මනාථ සහ හෝමාගම ධම්මසෝම හිමිවරුන් විසිනි. ඒ අනුව උන්වහන්සේලාගේ කතාව මෙසේ පෙළ ගස්වමු. මේ, උන් වහන්සේලා පවසන කතාවේ සාරාංශයකි.

“සිරි සමන්තභද්‍ර හිමියන්ගේ උපදෙස් පරිදි අනුරාධපුරයේ ධම්මනාථ හිමි කොල්ලුපිටිය යුනයිටඩ් ට්‍රැවල්ස් නම් ගුවන් ප්‍රවේශපත්‍ර නිකුත් කරන ආයතනයෙන් චෙන්නායි බලා යන තම ගුවන් ගමනට අදාළ ප්‍රවේශ පත්‍ර ලබා ගැනීම පිණිස ඇණවුමක් ලබා දෙන ලදී. ඒ මගීන් 25 දෙනෙක් වෙනුවෙනි. ඒ එක් අයකුට රුපියල් 87,500ක් බැගින් වූ මුදලක් වැය කරමිනි. සාමාන්‍යයෙන් ඉන්දියාවේ චෙන්නායි දක්වා එතරම් මුදලක් අය නොකෙරුණද විශ්වාසය මත කඩිනම් සේවාව වෙනුවෙන් එම සම්පූර්ණ මුදල එනම්, රුපියල් 2187500ක මුදලක් අදාළ ආයතනය වෙත ගෙවන ලදී. ඒ පසුගිය ජනවාරි මාසයේදීමය. ගමනේ යෝජිත දිනය වූයේ අප්‍රේල් මස 11 වෙනිදාය. එහෙත් මාර්තු මස වන විට ඩොලරයේ අගය රුපියලට සාපේක්ෂව අඩු වීම මත ගුවන් ගමන් ප්‍රවේශ පත්‍ර මිල ගණන් ද අඩුවීම නිසා තම කණ්ඩායමේ ගුවන් ගමන් ප්‍රවේශ පත්‍ර මිල ගණන්ද අඩු කරන ලෙසට සමන්තභද්‍ර හිමියන් හරහා කළ ඉල්ලීමකට ප්‍රතිචාර ලෙස ගුවන් ප්‍රවේශපත්‍ර නිකුත් කරන ලද ආයතනයේ නියෝජිතයා පැවසුවේ තමන් ඒ වන විට ප්‍රවේශ පත්‍ර වෙනුවෙන් ශ්‍රීලංකන් ආයතනයට මුදල් ගෙවා ඇති නිසා එම ප්‍රවේශ පත්‍ර අවලංගු කර මුදල් ආපසු ලබා ගැනීමට දින 21ක් ගත වන බැවින් අඩු මිලට ප්‍රවේශ පත්‍ර ලබා දීමට යළි මුදල් ගෙවිය යුතු බවයි.

ඒ අනුව චෙන්නායි බලා අලුතින් ප්‍රවේශ පත්‍ර 21ක් වෙනුවෙන් එක් අයකුට රුපියල් 68,500ක් බැගින් ආපසු මුදල් ගෙවන ලදී. අනෙකුත් ස්ථානවල ප්‍රවේශපත්‍ර මිල ගණන් ඊටත් වඩා අඩු මිලකට තිබූ හෙයින් සෙසු පිරිසට ගුවන් ප්‍රවේශ පත්‍ර වෙනත් ආයතනයකින් මිල දී ගැනීමට ඇණවුම් කරන ලදී. ඒ අනුව පසුගිය අප්‍රේල් මස 4 වෙනිදා වන විට ගුවන් මඟීන් 21 දෙනෙක් සඳහා වන සම්පූර්ණ මුදලම ගෙවා අවසන් කරන්නට සිරි සමන්තභද්‍ර හිමියන්ගේ උපදෙස් පරිදි කටයුතු කර ඇත. අදාළ ගුවන් ටිකට්පත් ආයතනයෙන් ඒ වෙනුවෙන් ගුවන් ටිකට්පත් (ඊ ටිකට්) 21ක්ද ලබා දෙන ලදී.

ඒ අනුව අදාළ ගුවන් මගීන් පිරිස කැඳවා ඔවුන්ට අවශ්‍ය උපදෙස් ද ලබා දී ගමනට අවශ්‍ය බඩු භාණ්ඩ ආදිය සම්බන්ධයෙන් උපදෙස් ලබා දෙන්නට සිරි සමන්තභද්‍ර හිමියන් විසින් කටයුතු කරන ලදී. සියලු උපදෙස් ලබාදී 11 වෙනිදා අලුයම 4.00 වන විට ගුවන් තොටුපොළට පැමිණෙන ලෙස ඔවුන්ට දන්වන ලද්දේ ගුවන් යානය පෙරවරු පෙරවරු 7.25ට පිටත්ව යෑමට තිබුණු නිසාය.

එහෙත් 10 වෙනිදා රාත්‍රී 10.00ට පමණ සමන්ත භද්‍ර හිමියන් හමු වූ ගුවන් ටිකට්පත් ආයතනයේ නියෝජිතයන් යැයි පැවසූ දෙදෙනෙක් දන්වා ඇත්තේ ශ්‍රී ලන්කන් ලංකා ගුවන් යානයක හදිසි අවලංගුවීමක් නිසා එම යානයේ ගුවන් මගීන් කිහිප දෙනෙක් උදෑසන යානයේ ගමන් කිරීමට යොදා ඇති බැවින් සමන්තභද්‍ර හිමියන්ගේ කණ්ඩායමට වෙන් කළ මගී ආසන 21න් ගමන් කළ හැක්කේ 14කට පමණක් බවත් සෙසු පිරිසට එම යානයේ යා නොහැකි බවයි. ඔවුන් වෙනත් යානයකින් ඉන්දියාව බලා යොමු කිරීමට කටයුතු කළ හැකි බවද එම නියෝජිතයෝ පැවසූහ. 

රාත්‍රී 10.30ට පමණ වූ ඒ සිදුවීමෙන් පැය කිහිපයකට පමණ පසුව මගීන් ගුවන් තොටුපොළට පැමිණ සිටි අතර එම අවස්ථාවේ ඒ සම්බන්ධයෙන් සමන්තභද්‍ර හිමියන් විසින් සොයා බැලූ විට දැන ගන්නට ලැබුණේ මගීන් 14ක් වෙනුවෙන් ආසන වෙන් කර ඇති බවත් සෙසු පිරිසට එම යානයේ ගමන් කළ නොහැකි බවයි.

පසුව වෙනත් කළ හැක්කක් නොමැති හෙයින් ඉන්ඩිගෝ ගුවන් සේවයට අයත් ගුවන් යානයකින් අනෙක් මගීන්ට යාමට ආසන වෙන් කර ඇත.

ඒ ගුවන්යානය ගමන් කර ඇත්තේ දහවල් කාලයේදීය. එම මගීන් පැය 8ක පමණ කාලයක් ගුවන් තොටුපොළේ රස්තියාදු වී ඇති අතර සෙසු පිරිස ඉන්දියාව බලාගොස් එහි පැය ගණනාවක් මෙරට සිට පැමිණෙන අනෙක් මගීන් එනතුරු රස්තියාදු වී ඇත. එදින එනම් අප්‍රේල් 11 වෙනිදා කුම්බගෝනාම් බලා යාමට සිටි නමුත් එය නැරැඹීම නොහැකි වූ බව සිරි සමන්තභද්‍ර හිමියෝ පවසති.

උන්වහන්සේ වැඩිදුරටත් පවසන්නේ මෙහිදී මුදල් ලබාගෙන ආසන වෙන් කර නොමැති බවයි. තමන් වහන්සේ මෙරටට වැඩම කිරීමෙන් පසුව මේ සම්බන්ධයෙන් වැඩි විස්තර සොයා බලා ශ්‍රී ලංකන් සමාගමෙන් ද අදාළ ගුවන් ටිකට්පත් සම්බන්ධ විස්තර ලබාගත් බවයි.

මේ සිදුවීමෙන් ඇතැම් විට මව හා පියා එක් ගුවන් යානයකත් දූ පුතුන් තවත් යානයකත් යාමෙන් ඔවුන්ද දැඩි අපහසුතාවන්ට පත් වූ බවත් එයින් ඇතැම් අය තම පළමු ගුවන් ගමනට සහභාගි වූ අය බවත් උන්වහන්සේ පැවසූහ.

මෙවැනි කරුණක් සම්බන්ධයෙන් කතා කරන්නට ශ්‍රී ලංකන් ගුවන් සේවාවේ හෝ සිවිල් ගුවන් සේවා අධිකාරියේ හෝ කවුරුත් නොමැති බවත් මේ නිසා අවශ්‍ය ලෙසින් ගුවන් මගීන් ගසා කන්නට ගුවන් ප්‍රවේශපත්‍ර අලෙවි කරන්නන්ට හැකිව ඇති බවයි. ශ්‍රී ලන්කන් සමාගමෙන් ඍජුව අඩු මුදලකට ගුවන් ටිකට්පත් ලබා දෙන්නට කටයුතු කරන්නේ නම් මෙවන් ගැටලු ඇති නොවන බවද උන්වහන්සේ පවසති. 

තමන් මේ පිළිබඳ පොලිස්පතිවරයාටද පැමිණිලි කළ බවත් මේ සම්බන්ධයෙන් පරීක්ෂණ ක්‍රියාත්මක බවද උන්වහන්සේ වැඩිදුරටත් පැවසූහ. මේ වගේ ආයතන නියාමනයට කිසිදු ස්ථානයක් නොමැති බවත් සොරකමක් මිනීමැරුමක් කළ විට සැකකරුවකු අත්අඩංගුවට ගැනීමට නීතියක් තිබුණද මෙවැනි වංචාවකදී සැකකරු අත්අඩංගුවට ගැනීමට නීතිය ක්‍රියාත්මක නොවන බවත් නීතියට අනුව කටයුතු සිදු කෙරෙද්දී සැකකරු මෙරටින් පැන ගොස් තිබුණහොත් එහි වගකීම ගන්නේ කවුරුන්ද? අගතියට පත් පාර්ශ්වයට වග කියන්නේ කවුරුන්ද? යන්න ද උන්වහන්සේ විමසති. මේ සම්බන්ධයෙන් හෝමාගම ධම්මසෝම හිමියන් විසින් පසුව පොලිසියට කළ පැමිණිල්ලකට අනුව මේ වන විට විමර්ශන කටයුතු සිදු වෙමින් පවතී.

සමන්තභද්‍ර හිමියන් පෙන්වා දෙන පරිදි අදාළ ගුවන් ගමන් ප්‍රවේශ පත් ආයතනයේ හිමිකරු අප්‍රේල් මස 1 වෙනිදා ටිකට්පත් 9ක් වෙන් කර ඇති බවත් 10 වෙනිදා එනම් ගමනට පෙර දින තවත් ටිකට් පත් 5ක් පමණක් වෙන් කර ඇත. ඒ අනුව වෙන් කර ඇති සම්පූර්ණ ටිකට් පත් සංඛ්‍යාව 14ක් බවත් ඉතිරි ටිකට් පත් 7 වෙන් කර නොමැති බවත් උන් වහන්සේ පවසති.

එමෙන්ම ව්‍යාජ ලෙසින් එවා ඇතැයි කියන ටිකට් පත් 7ක් ද උන් වහන්සේ නිකුත් කර තිබේ. එහි දැක්වෙන්නේ කොල්ලුපිටියේ ආයතනයක් නොව කොළඹ කොටුව පීපල්ස් පාක්හි යුනිවර්සල් සිටි ප්‍රයිවට් ලිමිටඩ් නම් ආයතනයක ලිපිනයකි. එහි සඳහන් ස්ථාවර දුරකතන අංකයට කතා කළ විට එය විසන්ධි කර ඇති අංකයක් බව සඳහන් විය. එමෙන්ම එහි සඳහන් ජංගම දුරකතක අංකයට කතා කළ විට එම අංකය විදෙස්ගත බවට වූ පටිගත කිරීම නිසා වට්ස්ඇප් මාර්ගයෙන් සම්බන්ධ කරගත් අතර එමඟින් කියැවුණේ එවැනි පුද්ගලයකු ගැන එම දුරකතනයේ හිමිකරු නොදන්නා බවයි.

අප මේ සම්බන්ධයෙන් සමන්තභද්‍ර හිමියන්ගේ සංචාරයට අදාළ යුනයිටට් ට්‍රැවල්ස්හි ලරිෆ් මහතා ඇමතුවෙමු.

‘‘අපට ස්වාමීන් වහන්සේ විසින් ඉල්ලුම් කළ අවස්ථාවේ අපි ටිකට් එකවර මෙතරම් ප්‍රමාණයක් පද්ධතියෙන් ලබා ගැනීම අසීරු බව දැනුම් දුන්නා. මම හිතන්නෙ අපත් සමඟ ගනු දෙනු කළ ස්වාමීන් වහන්සේ මේ තොරතුරු නායක හිමියන්ට දන්වා නැහැ. අවසන් මොහොත දක්වාම මම උත්සාහ ගත්තා සියලු දෙනාම එකම යානයේ යවන්නට. ගමනට යෝජිත දිනයට පෙර දිනයේත් මම අපගේ නියෝජිතයන් දෙදෙනෙක් උන්වහන්සේ හමුවට යොමු කර වෙනත් ගුවන් යානයකින් එම මගීන්ට ඉන්දියාවට යාමට අවශ්‍ය පරිදි ආසන ලබා දෙන්නදැයි විමසා සිටියා. වංචාවක් කරනවා නම් එසේ එදිනම වෙනත් යානයකින් හෝ යවන්නට උත්සාහ ගන්නේ නැහැ.

ඒ වගේම ඉන්ඩිගෝ යානයෙනුත් අප තමා ආසන වෙන් කර ලබා දීමට අවශ්‍ය සියලු පියවර ගත්තේ. එම ආසන වෙන් කර අදාළ ටිකට්පත් 11 වෙනිදා උදෑසන 5.30ට පමණ මම වට්ස්ඇප් මාර්ගයෙන් යොමු කර තිබෙනවා. උන්වහන්සේ මාධ්‍ය මඟින් ප්‍රචාරය කර ඇති ව්‍යාජ යැයි කියන ටිකට් පත් ගැන මම දන්නේ නැහැ. ටිකට්වල නිකුත් කළ දිනය ලෙස සඳහන් වන්නේ මාර්තු මාසේ දිනයක්. මට මුදල් ගෙවන්නේ අප්‍රේල් 4 වෙනිදා එතකොට මම කොහොමද මාර්තු මාසෙට ටිකට් අරගන්නේ. මම මේ වෙනකොට මේ සම්බන්ධ නීතිමය ක්‍රියාමාර්ගවලට යොමු වෙලා ඉන්නේ.” 

ගුවන් තොටුපොළට ගොස් ගමන් මලු සමඟ ස්කෑන් පරීක්ෂණවලට බඳුන් වී යානයට යෑමට තම ආසනය ලබා ගන්නට ගිය විට (Boarding Pass) ගුවන් මගියාට ප්‍රවේශපත්‍රයක් නොමැති බව දැන්වුවහොත් ඇතිවන තත්ත්වය කෙබඳුද? සිළුමිණ මේ සම්බන්ධයෙන් සිවිල් ගුවන් සේවා අධිකාරියේ වැඩබලන සමුච්චිත අධ්‍යක්ෂ ජනරාල් රෙහාන් වන්නිඅප්පාගෙන් කරුණු විමසන ලදී.

“ගුවන් ප්‍රවේශපත්‍ර වංචාවක් සම්බන්ධයෙන් සිරි සමන්තභද්‍ර හිමියන්ගෙන් අපට පැමිණිල්ලක් ලැබිලා තියෙනවා. ඒක සම්බන්ධයෙන් අප විමර්ශනයක් කරනවා. ගුවන් මගීන්ට ප්‍රවේශපත්‍ර නිකුත් කිරීමට සිවිල් ගුවන් සේවා අධිකාරියෙන් බලපත්‍රයක් ලබාගත යුතුමයි. අප එය අධීක්ෂණයට ලක් කරනවා. නමුත් එසේ නොවන ව්‍යාජ ආයතනත් තියෙනවා. රට පුරා මේ ආයතන තිබෙන නිසා ඒවා සියල්ල ගැන විපරම් කිරීම අසීරුයි. කොහොම වුණත් පැමිණිල්ලක් ආවොත් අපි අනිවාර්යෙන්ම ඒ ගැන විමසා බලනවා."

අප මේ සම්බන්ධයෙන් ශ්‍රීලන්කන් ගුවන් සමාගමේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකුගෙන් කරුණු විමසූ අතර, ඔහු පැවසුවේ ගුවන් මගියකුට ඉතා විශ්වාසවන්තව ‘ඔන්ලයින්‘ ඔස්සේ ප්‍රවේශපත්‍ර මිලදී ගත හැකි බවයි. ශ්‍රීලන්කන් ප්‍රධාන කාර්යාල 3ක් මෙරට ස්ථාපිත බවත් ඒවායින්ද ප්‍රවේශපත් මිල දී ගත හැකිය. විශේෂයන්ම ඔන්ලයින් ප්‍රවේශපත්‍ර අඩු මිලකට ගත හැකි බවත් පෙන්වා දුන් ඔහු කීවේ ප්‍රවේශ පත්‍ර මිල ඉහළ පහළ යෑම සාමාන්‍ය සිදුවීමක් බවයි. එහෙත් තමන් මිලදී ගත් ප්‍රවේශ පත්‍ර සම්බන්ධයෙන් කාර්යාලයෙන් විමසා දැනගත හැකි බවද ඔහු පෙන්වා දුන්නේය. නීතියට අනුව ගුවන් ටිකට් පතක් අලෙවි කළ හැක්කේ සිවිල් ගුවන් සේවා අධිකාරියේ අනිවාර්යෙන්ම ලියාපදිංචි ගුවන් ප්‍රවේශ පත් අලෙවි ආයතනයකට පමණකි. ඒ සඳහා ලක්ෂ 3ක මුදලක් ගෙවා බලපත්‍රයක් ලබා ගත යුතුය. එහෙත් ඔවුන්ට ගුවන් ටිකට් පතක් නිකුත් කළ නොහැකිය. එසේ නම් ගුවන් ටිකට්පතක් නිකුත් කළ හැක්කේ කාටද?

ඒ සඳහා රුපියල් ලක්ෂ 25ක් ගෙවා අන්තර්ජාතික ගුවන් මඟීන් ප්‍රවාහන සංවිධානයේ (International Air passengers Transport Association) බලපත්‍රයක් ලබාගත යුතුය. එය කෙටියෙන් IATA (අයටා) යනුවෙන් හඳුන්වන අතර අයටා යනු සම්පූර්ණයෙන්ම අන්තර්ජාතික ගුවන් ප්‍රවේශපත්‍ර නිකුත් කරන ආයතනයක් වන අතර, එහි ලියාපදිංචි වී ඇති අයට පමණක් ගුවන් ටිකට් පතක් නිකුත් කිරීමේ හැකියාව තිබේ. මෙරට සිවිල් ගුවන් සේවා අධිකාරියේ පමණක් ලියාපදිංචි අයට ප්‍රවේශ පත්‍රයක් නිකුත් කිරීමේ පහසුකම් නැත. ඔවුන් කරන්නේ අයටාහි ලියාපදිංචි අය හරහා ප්‍රවේශපත්‍රය ලබාගෙන එය නිකුත් කිරීමේ පරපෝෂිත ක්‍රියාවලියකි.

එසේනම් ලියාපදිංචි නොමැති ආයතන කරන්නේ මොනවාද? මේ සම්බන්ධ වැටලීම් පද්ධතියක් ක්‍රියාත්මක කිරීමට දැන් කාලය එළැඹ තිබේ.

ඇතැම් ආයතන විසින් සංචාරක වීසා ඇති අයට යෑමට නිසි පරිදි ප්‍රවේශ පත්‍රයක් හා පැමිණීමට ව්‍යාජ ප්‍රවේශ පත්‍ර ආකෘති පවා නිකුත් කරන අතර ඒ හරහා අන්තර්ජාතිකව මෙරටට කැළලක් පවා වන්නට ද ඉඩ තිබේ. මෙවන් ක්‍රමවේදයක් නිර්මාණය වී ඇත්තේ නියාමනයේ ඇති දුර්වලතාවය නිසාය.

ශ්‍රී ලන්කන් ආයතනයෙන් මෙරට ප්‍රවේශපත්‍ර නිකුත් කරන ආයතනවලට කිසිදු කොමිස් මුදලක් ලබා නොදෙන අතර, ඒ නිසා අදාළ ටිකට්පත් අලෙවි ආයතන හිතූ හිතූ ගණන්වලට ප්‍රවේශ පත්‍ර නිකුත් කරන්නට පුරුදු වී සිටී. එමෙන්ම අයටාහි ලියාපදිංචි නොමැති වී ආයතන ප්‍රවේශ පත්‍ර ගැන විශ්වසනීයත්වයක් ඇති කර ගැනීමේ ප්‍රශ්නයක්ද තිබේ. අධිකාරිය කළ යුත්තේ අයටා ලියාපදිංචි මෙන්ම ලියාපදිංචි නැති ආයතන වෙන වෙනම නියාමනය කිරීමය. ලියාපදිංචි අංකය විශාල ලෙසින් ප්‍රදර්ශනය අනිවාර්ය කිරීමය. අවම වශයෙන් ප්‍රාදේශීය ලේකම්වරයාගේ අනුමැතියට යොමු කිරීමය. එය ඉතා සරල ක්‍රියාවකි. එවන් තත්ත්වයක් ක්‍රියාත්මක කෙළේ නම් ව්‍යාජ ආයතන සියල්ල වැසී යනු ඇත.

එමෙන්ම ගුවන් සමාගම් විසින් එකම යානයේ එක් එක් ආසන කාණ්ඩවලට (ව්‍යාපාර පංතිය නොවේ) විවිධ මුදල් අය කිරීම නිසාත් විවිධ ගැටලු මතුව තිබේ. එම සමාගම් කරන්නේ එහි අඩුමිල කාණ්ඩය ආරම්භයේදී වසා දමා වැඩි මිල කාණ්ඩ පමණක් පළමුව මිල දී ගැනීමට යොමු කිරීමයි. පසුව අඩු මිල කාණ්ඩද එළියට දැමූ විට වැඩි මිලට ප්‍රවේශ පත්‍ර මිලදී ගත් අය නිකුත් කළ අය සමඟ ගැටුම් ඇති කර ගනී. එමෙන්ම ඇතැම්විට ඉතිරි ගුවන් ප්‍රවේශපත්‍ර අලෙවි නොවන්නටද ඉඩ තිබේ. මේ ක්‍රමවේද සියල්ල මගී ජනතාවට හිතකර ලෙසින් වෙනස් විය යුතුය. එසේ නොවන තාක්කල් සමන්තභද්‍ර හිමියන්ගේ සිදුවීම් වැනි දේ අනාගතයේ ඉතා සුලභ වන්නට ද ඉඩ ඇත.

Comments