- A9 සාමාර්ථ 27ක් / A8 සාමාර්ථ 31ක් /A7 සාමාර්ථ 34ක් /A6 සාමර්ථ 55ක්
- ලකුණු 90% ව්‍යාපෘතිය සාර්ථකත්වයට හේතු වූ රහසක්
- සෑම සිසුවකුටම ස්ව ඇගැයීමට ලොග් සටහන් පොතක්
- 2021 සාමාන්‍ය පෙළ පාසල් කාර්ය දර්ශකයට අනුව දිවයිනෙන්ම 56 බස්නාහිර පළාත් පාසල් අතරින් 23වැනි තැන ගම්පහ දිස්ත්‍රික් පාසල් අතරින් 7 වැනි ස්ථානය
නිට්ටඹුව සංඝබෝධි විදුහල සිය අභිමානවත් ගමනේ 81 වසර සම්පූර්ණ කරන්නේ අභියෝග පසුපස හඹා ආ ගමන් මඟේ අන් පාසල් අබිබවමින් එතෙක් මෙතෙක් ලද ජයග්‍රහණ රැසක් ද සමඟිනි. ඓතිහාසික අත්තනගලු පුරවරයේ ප්‍රධානම ජාතික පාසලක් වූ නිට්ටඹුව සංඝබෝධි විදුහල ඇරඹියේ 1942 නොවැම්බර් මස 1 වැනිදාය. එවකට පළාත් පාලන හා සෞඛ්‍ය ඇමැති වූ එස්. බඩ්ලිව්.ආර්. ඩී. බණ්ඩාරනායකයන්ගේ මූලිකත්වයෙන් ගුරුවරුන් දෙදෙනකුගෙන් හා සිසුන් හත් දෙනකුගේ සහභාගිත්වයෙන් ආරම්භ වූයේ ඉංග්‍රීසි මාධ්‍ය බෞද්ධ පාසලක් වශයෙනි.
බණ්ඩාරනායක මහතාට අයත් වූ තිහාරියේ මල්වත්තේ පිහිටි ඉඩමක මුලින්ම ස්ථාපිත වූ මේ පාසල පසුව නිට්ටඹුව මංසන්ධිය අසල අත්තනගල්ල මාර්ගයේ ඒ. ඩබ්ලිව්. ජේ. සෙනෙවිරත්නට අයත් ඉඩමක තාවකාලිකව පිහිටුවීය. අනතුරුව හොරගොල්ල සමාධිය ඉදිරිපස වූ “ කෝපි කොටුව” නම් භූමි භාගයේ මේ පාසල ස්ථාපිත වූ අතර, පසුව හිටපු අගමැතිනිය වූ සිරිමාවෝ බණ්ඩාරනායක පාසලට අක්කර හතරක ඉඩමක් පරිත්‍යාග කළ අතර, ඇය විසින්ම එම භූමි භාගයේ දෙමහල් ගොඩනැඟිල්ලක් ඉදි කළේ එවකට මේ පාසලේ ඉගෙනගත් දරුවන්ගේ සුබ සිද්ධිය වෙනුවෙනි.
කෙසේ වෙතත් වත්මන් නිට්ටඹුව සංඝබෝධි විදුහල සම්පූර්ණයෙන්ම ස්ථාපිත වූයේ 1967 ජනවාරි මස 11 වැනි දිනකය. ඒ හිටපු අගමැතිනිය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ පෞද්ගලික පාසල් රජයට අත්පත් කර ගැනීමේ මූලික පනතට අනුවය. 1960 නොවැම්බර් 1 වැනිදා නිට්ටඹුව සංඝබෝධි විදුහල රජයට පවරා ගත්තේ එසේ පවරාගත් මුල්ම පාසල වශයෙනි. 1967 ඔවුහු රජත ජයන්තිය සමරන විට නිට්ටඹුව සංඝබෝධි විදුහල මහ විද්‍යාලයකි. 1992 වසරේ ඔවුහු රිදී ජුබිලිය සමරන විට මධ්‍ය මහ විදුහලකි.
නිට්ටඹුව සංඝබෝධි විදුහල තවත් පියවරක් ඉදිරියට තබමින් 1960 වසරේදී කලා හා වාණිජ විෂයධාරා ආරම්භ කළ අතර, 1973 උසස් පෙළ විද්‍යා විෂය ධාරව ද, 1989 වසරේ කෘෂි විෂයධාරා ආරම්භ කරමින් අංග සම්පූර්ණ පාසලක් බවට පත් වූයේ සිසු දරුවන් 3,000කට පමණ නැණ පහන් දල්වන නොනිමි
මෙහෙවරකට එක් වෙමිනි. අතීතයේ පාසලට හිමි ගරුත්වය ඒ ආකාරයෙන්ම රකිමින් පසුගියදා පාසල් ඉතිහාසයේ තවත් සන්ධිස්ථානයක් සනිටුහන් කරන්නට හැකි වූයේ මේ සාඩම්බර ගමන් මඟේ වත්මන් උරුමක්කරුවන් විසිනි. පසුගියදා ලොවම වෙළාගත් කොවිඩ් අභියෝග හමුවේ වුවද ඒ සියල්ලට සෘජුව මුහුණ දෙමින් 2021( 2022) සාමාන්‍ය පෙළ විභාගයෙන් පාසල විශිෂ්ට ජයක් අත්කර ගත්තේය. විභාග දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ 2021 සමාන්‍ය පෙළ පාසල් කාර්ය දර්ශකයට අනුව නිට්ටඹුව සංඝබෝධි විදුහල දිවයිනෙන්ම 56 වැනි ස්ථානයට පත් විය. ඒ අනුව බස්නාහිර පළාත් පාසල් අතරින් 23 වැනි ස්ථානයත්, ගම්පහ දිස්ත්‍රික් පාසල් අතරින් 7 වැනි ස්ථානයත් ලබා ගන්නට හැකි විය. ඒ මෙවර සාමාන්‍ය පෙළට අපේක්ෂකයෝ 357 දෙනෙක් ඉදිරිපත් කරමින් එයින් 356 දෙනෙක්ම උසස් පෙළ හැදෑරීමට සුදුස්සෝ බවට පත්කරමින් 99.71% ක සාධනීයත්වයක් වාර්තා කරමිනි. A9 සාමාර්ථ 27ක්, A8 සාමාර්ථ 31 ක්, A7 සාමාර්ථ 34 ක් හා A6 සාමර්ථ 55 ක් මෙවර විශිෂ්ට ප්‍රතිඵල අතරට එක් විය.
මෙවර සාමාන්‍ය පෙළ විශිෂ්ට ප්‍රතිඵල අතර බොහෝ විෂයන්ගේ සාමාර්ථ 100% ක්ම විය. කතෝලික ආගම, සිංහල භාෂාව, විද්‍යාව හා ගණිත ඉංග්‍රීසි මාධ්‍ය මෙන්ම සංගීතය, නැටුම්, නාට්‍ය, භූගෝලය, පුරවැසි අධ්‍යාපනය, තොරතුරු තාක්ෂණය, කෘෂිකර්ම, ගෘහ විද්‍යා මෙන්ම ශාරිරික සෞඛ්‍ය වෙයි. බුද්ධාගමට 99.17% ක්, ඉංග්‍රීසි හා ඉතිහාසය 99.72% ක්, විද්‍යාව 99.7% ක්, ගණිතය 98.19% ක් හා ව්‍යාපාර අධ්‍යයනය හා ගණකාධිකරණය 98.5% ක් විය.
නිට්ටඹුව සංඝබෝධි විදුහලේ වත්මන් විදුහල්පති එන්. ඒ.
ලක්ෂ්මන් විජේරත්න වසර 30 ක විදුහල්පති අත්දැකීම්වලින් පරිපූර්ණ, දක්ෂ විදුහල්පති භූමිකාවට පණ පොවන්නකු වන අතර, පාසල මේ තත්ත්වයට පත් කිරීමට ඔහු විසින් දැක්වූ මෙහෙය අපමණය. සාමාන්‍ය පෙළ විභාගයට පමණක් නොව අනිකුත් සියලු විෂය ආවරණය කරමින් ඔහු විසින් හඳුන්වා දුන් විවිධ සංකල්ප මේ ගමන් මඟේ තීරණාත්මක සාධක බවට පත් විය. කොවිඩ් පැමිණීමට පෙර සිටම සිසු අධ්‍යාපනය ඉහළ නැංවීම වස් ශිෂ්‍ය ලොග් සටහන් පොතක් හඳුන්වා දුන් අතර, සිසුන් විසින් ස්ව ඇගැයීමක් කිරීමටත් පසුව ඒවා ගුරුවරු විසින් අධීක්ෂණය කිරීමක් සිදු විය. මෙම ලොග් සටහන් පොත හඳුන්වා දීම නිසා කොවිඩ් සමයේ වුවද සිසුන් විසින් මේ ක්‍රියාදාමය නොනවත්වා පවත්වා ගෙන යෑම හේතුවෙන් ඔවුන්ගේ වැඩ සටහන් කිසිවක් අතපසු නොකර පවත්වා ගෙන යන්නට හැකිවිණ.
කොවිඩ් අභියෝග කාලයේ පාසල් විසින් විධිමත් වැඩ සටහන් හඳුන්වා දුන් අතර, ඒ කටයුතු සියල්ල විදුහල්පතිතුමාගේ අධීක්ෂණය යටතේ දියත් කිරීමේදී විශාල කාර්යභාරයක් කළේ අධ්‍යාපනය සංවර්ධනය භාර සහකාර විදුහල්පතිනි ඕලනි රත්නායක විසිනි. මේ සඳහා සමස්ත ගුරු මණ්ඩලය ලබා දුන්නේ විශිෂ්ට කැපවීමකි. මාර්ගගත අධ්‍යාපනයේදී කාල සටහන් සකස් වූයේ පාසල් කාලයම ආවරණය වන පරිදිය. මාර්ගගත අධ්‍යාපනයේදී එය අතහැරුණු සිසුන් කවුරුන්ද යන්න ගූගල් ෆෝම් හරහා සහභාගීත්වය හඳුනා ගැනීමට විශේෂ වැඩ සටහනක් දියත් කළ අතර, මෙහිදී නොසැලකිල්ල නිසා මාර්ගගත අධ්‍යාපනය නොලැබුණු සිසුන්ට නැවත වතාවක් ඒ සඳහා අවස්ථාව ලබා දුන් අතර, අවශ්‍ය උපකරණ නොමැතිව මාර්ගගත අධ්‍යාපනයෙන් ගිලිහිණු සිසුන් හඳුනාගෙන වෙනමම වැඩ සටහනක් දියත් කරන්නට හැකි විය. එම සිසුන් සඳහා පාසල විසින්ම සකස් වූ ප්‍රශ්න පත්‍ර කට්ටල හා විෂය සටහන් කට්ටල සිසුන්ට ලබා දීමට හා ඒ පිළිබඳ ඒ ඒ විෂයන්ට වෙන වෙනම ඇගැයීම් වාර්තා සකස් කරන්නට ගුරුවරු අපමණ වෙහෙසක් දරන්නට වූහ.
2022 වසර නිට්ටඹුව සංඝබෝධි විදුහලේ සාමාන්‍ය පෙළ ඉහළම සාමාර්ථ පෙන්වූ වසරක් වුවද 2016 දී 97.18% ක්ද, 2017 දී 99.08% ක්ද, 2018 දී97.85% ක්ද, 2019 දී 98.60% ක් හා 2020 දි 99.72%ක් වාර්තා කරන්නට හැකි වූයේ වත්මන් පාසලේ විදුහල්පති හා ගුරු මණ්ඩලයේ නොපසුබස්නා කැපවීම නිසාවෙනි. ගුරුවරු අධික රාජකාරි මධ්‍යයේ වුවද සෞඛ්‍ය තර්ජන නොසලකා කොවිඩ් වසංගතයෙන් පාසල් දරුවන්ට අත් වූ බලපෑම අවම කර ගැනීම සඳහා අධ්‍යාපන අමාත්‍යාංශය විසින් ලබා දුන් වැඩ සටහන් ඒ ආකාරයෙන්ම ක්‍රියාත්මක කිරීම හා ඒ සම්බන්ධ පසු ඇගැයීම් සකස් කිරීම සඳහා විශේෂ මහන්සියක් ගෙන තිබුණි. මෙහිදී පාසල විසින් ව්‍යාපෘති 151ක් ක්‍රියාත්මක කළ අතර, නිට්ටඹුව සංඝබෝධි විදුහල එහිදී විශේෂ ඇගැයීමකට ලක්විය. මේ කටයුතු පළාත්, කලාප හා අධ්‍යාපන අමාත්‍යාංශයේ අධීක්ෂණය ඇතිව සිදු විය. මේ යටතේ පාසලේ සෑම සිසුවකුටම ඉගෙනුම් ආධාර ලබා දීමක් සිදු කළ අතර, මේ සඳහා අධ්‍යාපන අමාත්‍යාංශයෙන් ප්‍රතිපාදන ද වෙන් විය.
නිට්ටඹුව සංඝබෝධි විදුහලේ සාමාන්‍ය පෙළ සිසුන් සඳහා සාමාන්තර පන්ති 8ක් ක්‍රියාමක වෙයි. එයින් එක් පන්තියක් ඉංග්‍රීසි මාධ්‍ය වෙයි. පන්ති දෙකක් සුහුරු පන්ති කාමරය. පාසලේ සිසුන් සඳහා අවශ්‍ය උපරිම පහසුකම් ලබා දෙන්නට විදුහල්පතිතුමා ඇතුළු පාසල් බලධාරීන් විශේෂ ක්‍රියාමාර්ග අනුගමනය කළහ. එසේ පහසුකම් සලසා තිබියදීත් පාසල් නොඑන දරුවන් පාසලට ගෙන්වා ගැනීමට ගුරුවරුන් ඒ ඒ දරුවන්ගේ නිවෙස්වලටම ගොස් සිසුන් පාසලට ගෙන්වා ගැනීමට කටයුතු කළහ. මේ නිසාවෙන් සිසුන් පාසලට යළි ගෙන්වා ගැනීමට හැකිවූවා සේම ඒ දරුවන්ගේ සාමාන්‍ය පෙළ හා උසස් පෙළ ඉහළ ප්‍රතිඵල නැංවීමට ද හැකි විය.
සාමාන්‍ය පෙළ විභාගයට සිසුන් මුහුණ දීමට සූදානම් කරන ගමනේදී පාසලේ බාහිර ජයග්‍රහණ ලබා ගන්නටද ඔවුහු කටයුතු කළහ. ශිෂ්‍යභට පෙරදිග තූර්ය වාදක කණ්ඩයම විද්‍යාලයේ ඉහළ පිළිගැනීමකට ලක්වූ අංශයකි. මීට අමතරව බාලදක්ෂ හා පරිසර කණ්ඩායම් පාසලට ජයග්‍රහණ අත්කර දීමට සමත් වූහ. 2022 ඉන්දියාවේ පැවැති කරාතේ තරගාවලියේදී ජාත්‍යන්තර ජයග්‍රහණ ලබා ඇත. කොවිඩ් අභියෝග මධ්‍යයේ වුවද පාසලේ විෂය සමගාමී හා විෂය බාහිර ක්‍රියාකාරකම්වලින් අත්කරගත් බොහෝ ජයග්‍රහණ ඇත. උඩරට, පහතරට නැටුම්, සමස්ත ලංකා පාසල් සංගීත තරග, ශ්‍රී ලංකා මලල ක්‍රීඩා, කරාතේ ශූරතාවලි, සමස්ත ලංකා පාසල් චෙස් තරගාවලි, කෘෂි විද්‍යා තරගාවලී, ඉංග්‍රීසි භාෂා තරගාවලී ඇතුළු විවිධ අංශවලින් ඉහළ ජයග්‍රහණ වාර්තා කරන්නට නිට්ටඹුව සංඝබෝධි සිසුහු සමත් වූහ.
වසර 81 ක අභිමානවත් අතීතයක් හිමි නිට්ටඹුව සංඝබෝධි විදුහලේ සියලු ජයග්‍රහණ පිටුපස විදුහල්පති, ගුරු මණ්ඩලය මෙන්ම සිසුහු වෙති. කොවිඩ් හේතුවෙන් පාසල් කටයුතු අඩපණ වෙද්දි සාමාන්‍ය පෙළ ඉහළ ජයග්‍රහණ වාර්තා කරන්නට මේ පාසලට හැකිවී ඇත්තේ ද ඔවුන් විසින් අනුගමනය කළ විශේෂ ක්‍රියාමාර්ග නිසාය. ‘ලකුණු 90% ව්‍යාපෘතිය‘ හෙවත් සෑම සිසුවකුම සෑම විෂයකටම ලකුණු 90ක් ලබා ගැනීමේ ඉලක්කයක් ලබා දුන්නේ මේ ගමන ශක්තිමත් කරන්නටය. ඔවුන් අද ඒ අභියෝගය ජය ගත්තේ පැමිණි බාධාවන්ට අභියෝග කරමිනි. මේ ගමනේදී විදුහල්පති එන්. ඒ ලක්ෂ්මන් විජේරත්න, නියෝජ්‍ය විදුහල්පති ෂාමලී රණපුරආරච්චිගේ, නියෝජ්‍ය විදුහල්පති කේ. එස්.යූ පතිරණ, සහකාර විදුහල්පතිනි ආර්.එම් ඒ ඕලනි රත්නායක, 10/11 අංශ ප්‍රධාන ගුරුවරුන් වන සුසිල් කුමාර, දුලීතා හේරත්, බී එස් අබේවික්‍රම ඇතුළු සාමාන්‍ය පෙළ ගුරුවරු විශාල ශක්තියක් විය.
සිසු දරුවන්ට නැණ පහන් දල්වමින් දිගු ගමනක් පැමිණ සිටින සඟබෝ විදුහල් මාතාව ඉදිරියටත් අනාගත දූ පුතුන්ට මංපෙත් විවර කරන නොනිමි මෙහෙවරක නිරත වන්නට බලා සිටියි.
ඡායා - නිශ්ශංක විජේරත්න