බොදු සිත්තමට ජීවය දුන් හෙළ සිත්තරුන් | Page 5 | සිළුමිණ

බොදු සිත්තමට ජීවය දුන් හෙළ සිත්තරුන්

චාල්ස් රණතුංග බස්නාහිර පළාත් හිටපු සෞන්දර්ය අධ්‍යාපන අධ්‍යක්ෂ

බුදු සමය නිසා සියලු කලාවන් පෝෂණය විය. ස්ථාවර විය. ජනප්‍රිය විය. බෞද්ධ චිත්‍ර අතර ශිල්පියාගේ අවධානයට යොමු වූ අවස්ථාවක් ලෙස 'මාර පරාජය' දැක්විය හැකිය. එය ශිල්පියාගෙන් ශිල්පියාට නිර්මාණාත්මකව වෙනස් විය. මාර පරාජය බුද්ධ චරිතයේ සුවිශේෂී සන්ධිස්ථානයකි. බුද්ධ චරිතය හා බැඳුණු සිත්තම්හි ප්‍රමුඛ ශිල්පියා බුදුන් ජීවමානව සිටියදීම බිහි වූ බව දිව්‍යවදාන ග්‍රන්ථයේ සඳහන් වේ. භාරතීය බොදු සිත්තම්වලට වඩා මෙරට බොදු සිතුවම් ජනප්‍රිය බවට පත් වීම කාලය අනුව වෙනස් විය. භාරතීය අජන්තා හා භාග් ලෙන්, බෞද්ධ චිත්‍රවලට වඩා වෙනත් මාතෘකා ඔස්සේ ඇඳ ඇත. අජන්තාවේ ජනප්‍රියම චිත්‍රය වශයෙන් සලකන්නේ බුදුන් කිඹුල්වත් පුරට වැඩි අවස්ථාවේ යශෝධරාවන් රාහුල පුතුට තම පියා පෙන්වන අවස්ථා නිරූපිත චිත්‍රයයි.

කාලිංග මාඝ සටනින් පසු එහි වේදනාකාරී අවස්ථා දුටු අශෝක අධිරාජ්‍යයා කලකිරීමට පත්වී පසුව නිග්‍රෝධ නම් හිමියන්ගේ මඟ පෙන්වීම අනුව බුදු දහම වැලඳ ගත්තේය. පසුව ඔහු දැහැමි අශෝක විය. ධර්මාශෝක යුගය බෞද්ධ කලාවේ ස්වර්ණමය යුගය විය. එහෙත් එකල සිත්තමට වඩා කැටයම් තුළින් බුද්ධ චරිතය හා ජාතක කතාවල අවස්ථා නිරූපණයට මුල් තැනක් ලැබුණි. සාන්චි ස්ථූපය වටා වූ ශෛලමය තොරන් හතර බෞද්ධ කැටයම් කලාවෙහි ලා වැදගත් තැනක් ගනී.

බුද්ධකාලීන සමාජය හා පසුකාලීන සමාජය දෙස විමසීමේදී බුදුන් උපන් දේශයට වඩා මෙරට බොදු සිතුවම් කලාව ව්‍යාප්තියේ ප්‍රගතියක් පෙන්නුම් කරයි. ඉන්දීය විචාරකයන් පවසන පරිදි බුදු දහම සංස්කෘතියකි. ශිෂ්ඨාචාරයක ඇරඹුමකි. ආගමක් නොවේ. බෞද්ධ දර්ශනය අදේවවාදීය. එහෙත් බුදුන් වහන්සේ ශක්‍ර දේවේන්ද්‍රයා හා මාරයා (වසවත් මරු) හා ගැටුණු අවස්ථා පෙන්නුම් කරයි. ඇතැම් ග්‍රන්ථවල සඳහන් වන්නේ මාරයා යනු දෙවි කෙනෙක් කියාය. සිතුවම් කලාවේදී මාරයා සංකල්පමය සිතුවිල්ලකි.

බුදු දහම ව්‍යාප්ත වූ ආසියාතික රටවල බුදුන් කෙරෙහි වූ අසීමිත භක්තිය හා ගෞරවය නිසා බුද්ධ චරිතය චිත්‍රයට නැඟීමේදී ඇඹීමේදී හා නෙළීමේදී සැබෑ මානප්‍රමාණ ඉක්මවා කලා කෘති නිර්මාණය විය. විශේෂයෙන් මහායාන බලපෑම් නිසා රටින් රට නිර්මාණය වු බුද්ධ ප්‍රතිමාව විශාලත්වයෙන් විවිධ ප්‍රමාණවලින් යුක්ත විය. ථේරවාදී බුදු දහම ශේෂව ඇති රටවල් අතරින් ශ්‍රී ලංකාව ප්‍රමුඛ ස්ථානය ගනී. මේ හේතු නිසා 'ශාරිපුත්‍ර' ග්‍රන්ථයේ මානප්‍රමාණ හා 'බිම්බමාන' ග්‍රන්ථයේ සඳහන් දෙතිස් මහා පුරුෂ ලක්ෂණවලින් තොර පිළිම නිර්මාණය බහුල විය. ප්‍රතිමා ඇඳීමේදී ද ඉහත කී ග්‍රන්ථ දෙකේ ලක්ෂණවලට අනුව ඇඳීම ශිල්පියාගේ වගකීම වේ. ඒ අනුව ප්‍රතිමා ඇඳීම, ඇඹීම, නෙළීම කෙරෙහි ලාංකික ශිල්පියා දක්වන දක්ෂකම අගය කළ යුතුය. බුද්ධ ප්‍රතිමා හැර අනෙක් චිත්‍ර ඇඳීමේදී සම්ප්‍රදායික සිද්ධාන්ත හැර වෙනත් නීතියක් නැත. එහෙත් විහාර කර්මාන්තයේදී “රූපාවලිය, වෛජයන්තය” යන ග්‍රන්ථවල සිද්ධාන්ත අනුගමනය කළ යුතු බව “චිත්‍ර කර්ම ශාස්ත්‍රය" නම් සංස්කෘත ග්‍රන්ථය සඳහන් කරයි.

බුද්ධ පරිනිර්වානයෙන් පසු බෞද්ධ කලාවේ ස්වර්ණමය යුගය ධර්මාශෝක යුගයයි. එකල බෞද්ධ කැටයම් ශිල්පියාට රාජ්‍ය අනුග්‍රහය ලැබුණි. සාන්චි ස්ථූපය වටා වූ ශෛලමය තොරන් හතර එයට උදාහරණය වේ. එයට අමතරව භාරුත් හා අමරාවතී කැටයම් වැදගත් වේ. කෙසේ වෙතත් මෙකල සිතුවම් ඇඳීම කෙරෙහි අවධානය යොමු නොවීය.

“බුද්ධ” යන්නෙහි අර්ථය අවදි වූ යන්නයි. ඒ අනුව ලොව පහළ වු ශ්‍රේෂ්ඨතම අවදි වූ නායකයා බුදුන් වහන්සේ වේ. උන් වහන්සේ දෙසු ධර්මය නිසා එම තත්ත්වය ලැබුණි. බුද්ධ චරිතය හා සම්බන්ධ සිද්ධි හා ජාතක කථා මඟින් දී ඇති ආදර්ශය වෙනත් ශාස්තෘවරයකු ඉදිරිපත් කොට නැත.

ධර්මාශෝක යුගයෙන් පසු ඉන්දීය බෞද්ධ කාලවේ දෙවැනි ස්වර්ණමය යුගය උදා වන්නේ ගුප්ත යුගය තුළිනි. එම යුගයේ ප්‍රතිමා කලාවේ උසස් ප්‍රගතියක් පෙන්නුම් කළත් බෞද්ධ චිත්‍ර ගැන අවධානයක් යොමු නොවීය. කෙසේ වෙතත් මෙම අඩුව සපුරාලන්නට සමත් වන්නේ ලාංකීය චිත්‍ර ශිල්පියා බවට සාධක එමටය.

අතීතයේ බිතු සිතුවම් ඇඳි ලෙන් හෝ චිත්‍ර ශාලා තිබූ බව සංස්කෘත ග්‍රන්ථවල සඳහන් වෙතත් නිශ්චිත සාක්ෂියක් ඉන්දියාවේ පවා නැත. එකල මිර්සාපූර් දේශයේ තිබූ නටබුන් හැරෙන්නට අජන්තාවට පෙර කාල පරිච්ඡේදය හිස් එකක් බව විචාරක මතයයි. එහෙත් මෙරට මුල්ම අවධියේ සිටම බෞද්ධ සිත්තම් තිබුණු බවට ලෙන් චිත්‍ර සාක්ෂි දරයි. සිතුවම් ඉතිහාසයේ ප්‍රථමයෙන් තෙල් සායමින් සිතුවම් ඇඳීමේ ගෞරවය සිංහල සිත්තරාට හිමිවන බව 'එමසන් ටෙනන්ට්' කියයි.

බුදු රජුන් බුද්ධත්වයෙන් පසු පළමු වතාවට මාස 9කට පසුද දෙවැනුව වසර 8කට පසුද තෙවැනි වර වසර 15කට පසුද ලක්දිවට වැඩි බව වංශ කථාවල දැක්වේ. උන්වහන්සේගේ පරිනිර්වානය ක්‍රි.පූ. 486ට ආසන්න කාලයේදී සිදුව ඇත. ඊට අනුව මහින්දාගමනයෙන් සිදුව ඇත්තේ මෙරට බුදු දහම යළි ප්‍රතිස්ථාපනය වීමක් බව විද්වත් මතය වේ. එතැන් සිට මෙරට ආගමික හා සංස්කෘතික ගමන් මඟ වෙනස් විය. එතැන් සිට දේශීය කලාව දියුණු විය. දේශීය බෞද්ධ චිත්‍ර කලාවේ ගමන් මඟ ඇරඹෙන්නේ මෙතැන් සිටය. දුටුගැමුණු රජු (ක්‍රි.ව. යට පෙර 161-137) කාලයේ රුවන්වැලි මහ සෑ ධාතු ගර්භය තුළ බුද්ධ චරිතය හා ජාතක කථා ඇඳි පෙතිකඩ චිත්‍ර තැන්පත් කළ බව මහා වංශයේ සඳහන් වේ.

පසු කලෙක සංඝමිත්තා තෙරණිය ශ්‍රී මහා බෝධිය වැඩම කළ අවස්ථාවේ පැමිණි අටලොස් කුලයක ශිල්පීන් නිසා මෙරට කලාව වර්ණවත් විය. බුදු දහම ව්‍යාප්ත වූ සියලු රාජ්‍යයන්ට වඩා බෞද්ධ චිත්‍ර ගැන උනන්දුවක් දැක්වූයේ මෙරට ශිල්පියාය. පළමු වරට හේමමාලි හා දන්ත කුමරු දළදා වහන්සේ රැගෙන එන අනුරාධපුර නගරයේ මඟ දෙපස බෞද්ධ චිත්‍රාවලියෙන් අලංකාර කිරීමට කටයුතු කළ බව පොතපතේ සඳහන් වේ.

අතීතයේදී සතුරන්ගෙන් ආරක්ෂා වීමට වළගම්බා වැනි රජවරු හා භාවනානුයෝගී භික්ෂූන් වැඩ සිටි සෑම ලෙනක්ම බෞද්ධ චිත්‍රවලින් අලංකාර කිරීමට රාජ්‍ය අනුග්‍රහය ලැබුණි. ක්‍රි.පු. 2 සියවසට අයත් දකුණු පළාතේ කුරුන්දක ලෙන, ගොනාගොල්ල පර්වතය, සිතුල්පව්ව වැනි ස්ථානවල චිත්‍ර ද මුල්කිරිගල, සෝමාවති ලෙන් චිත්‍ර ද, මහියංගණ චෛත්‍ය ධාතු ගර්භයේ චිත්‍ර ද මේ කාලයට අයත් මහනුවර දළදා මාළිගයට අයත් චිත්‍ර ද ගඩලාදෙණිය, ඇම්බැක්ක හා ලංකා තිලකය දඹුල්ල ලෙන් චිත්‍ර සම්ප්‍රදායික චිත්‍රයෙන් අලංකාර විය. මේ අතරින් ලේ වැල්ලේ ගංගාරාමය හා දෙගල්දොරු ලෙන් චිත්‍ර වැදගත් වේ. (ක්‍රි. ව. 332) මෙරට රාජකීය කලා ඇඳුරු ලෙස බොහෝ දෙනෙකුට ශිල්ප ඉගැන්වු ජෙට්ඨතිස්ස රජතුමා හා මහනුවර සමයේ කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමා චිත්‍ර කලාවට අනුග්‍රහය දැක්වූ සුවිශේෂි පුද්ගලයෙකි.

අතීත හා මධ්‍යකාලීන ශිල්පියාට බොහෝ විට වස්තු විෂය වූයේ සූවිසි විවරණය හා ජාතක කථාය. එහෙත් දෙගල්දොරු චිත්‍ර ඇඳි දෙවරගම්පල සිල්වත් තැන මාර පරාජය නිරූපණය කළ අතර, එහි මාරයා නවීන පන්නයේ ගිනි අවියක් අත දරා සිටීම විශේෂ සිද්ධියකි. නූතන චිත්‍ර ශිල්පියාට බොහෝවිට වස්තු විෂයය වූයේ සිදුහත් උපත, දම්සත් පැවතුම් සූත්‍ර දේශනාව, සරණ මංගල්‍යය හා මාර පරාජය වැනි අවස්ථාය. මේවා අතර, මාර පරාජය අවස්ථා නිරූපණය ශිල්පියාගෙන් ශිල්පියාට වෙනස් වේ. බොරැල්ල ගෝතමී විහාරයේ චිත්‍රාවලියේ මාර පරාජය නිරූපණයේදී ජෝර්ජ් කීට් ශිල්පියා අමුතුම ආරකට චිත්‍රය හසුරුවා ඇත. සෝමබන්දු විද්‍යාපති ශිල්පියා විසින් බෙල්ලන්විල විහාරයේ මාර පරාජය වෙනත් ශෛලියකට ඇඳ ඇත. බුදු රජුන්ගේ උපතේ සිට පිරිනිවීම දක්වාම මාරයා නිරන්තර බාධාවක් මෙන්ම අභියෝගය විය. සියලු කෙලෙසුන් නසා සිදුහත් බුද්ධත්වයට පත් අවස්ථාව ජාතක කථා හි විස්තර වන්නේ සංකේත අනුවය. එම දුෂ්කර අවස්ථාව ලිවීමෙන් හෝ ඇඳීමෙන් ඉදිරිපත් කිරීම දුෂ්කරය. එහෙත් ලාංකික ශිල්පියා එම අවස්ථාව අර්ථාන්විතව නිරූපණය කිරීමට සමත් වී ඇත. මාර පරාජය ඇඳීමේදී බුදුන් භූමි ස්පර්ෂ මුද්‍රාව විදහා දැක්වීම නිරූපණය අනිවාර්ය දෙයකි. භූමි ස්පර්ශ මුද්‍රාව දැක්වීමේදී අත්ලේ මැදඟිල්ල පොළොවේ ස්පර්ශ වේ. එවිට පොළොව ගුගුරා ශබ්ද වේ. එයයි උන්වහන්සේ සත්‍ය වටහා ගත් බවට වූ සාක්ෂිය. මාරයා පසු බසියි.

බුද්ධ චරිතය හා ජාතක කථා ඇඳ දැක්වීමෙන් ශිල්පියා අපේක්ෂා කරන්නේ දැහැමි මිනිසකු නිර්මාණය කිරීමය. අප අද ජීවත්වන්නේ බුද්ධ වර්ෂ 2567 වසර ද පසු කරමිනි. පසුගිය තෙවසර වෙසක් උත්සවය නිසි අයුරු සැමරීමට අපට නොහැකි වුවත් මේ උදාවී ඇත්තේ පින්බර වෙසක් මාසයයි.

මෙරට අතීතයේ සිට මේ දක්වා බෞද්ධ චිත්‍ර ඇඳීමේහිලා දායක වු සියලු ශිල්පීන්ට ජාතියේ ගෞරවය ලැබිය යුතුය. එම ශිල්පීන් අතර එම්. සාර්ලිස්, විජේවර්ධන, හෙන්රි ධර්මසේන, ඇම්. නෝබට්, ජී. ඇල්. ගෞතමදාස, උපසේන ගුණවර්ධන හා ගුණසිරි කොළඹගේ, ජයසිරි සේමගේ, මොටාගෙදර වනිගරත්න වැනි ශිල්පීන් බෞද්ධයන් අතර ජනප්‍රිය විය.

Comments