කොළඹ සිට පිළියන්දල දෙසට ගමන් කර කොහුවල මංසන්දිය පසුකර මඳ දුරක් ගිය තැන හමු වන්නේ ෆීල්ඩ් මාවතයි. වෙන කවරදාකටත් වඩා මෙවර මේ මාවත ලොකු කුඩා සැමගේ අවධානය දිනා ගෙන ඇති බව නොරහසකි. ඒ ෆීල්ඩ් මාවතේ ඇළ අසල පිහිටි පාරම්පරික ඉඩමකි. ජනප්‍රවාදයේ එන පරංගියා කොට්ටේ ගිය ඇළ මාර්ගයේ කටුඅැළ ආශ්‍රිත අතු ඇළට යාබද පාරම්පරික ඉඩමක ඉදි කර ඇති කතුරු ඔන්චිල්ලාවකි.
“මෙතන කතුරු ඔංචිල්ලාව කරන පළමු වතාව”, ඒ, ෆීල්ඩ් මාවතේ ඇළ අසල කතුරු ඔන්චිල්ලාවේ ප්‍රධාන සංවිධායක හේමන්ත අබේවික්‍රමගේ හඬයි. මෙකී කතුරු ඔන්චිල්ලාව ළඟ සවි කර ඇති දැන්වීම් පුවරුවක (පෝස්ටරයක) සඳහන්ව ඇත්තේ 56 වැනි කතුරු ඔන්චිල්ලාව ලෙස වුවද, එහි අලිඛිත ඉතිහාසය දශක අටක් පමණ ඈතකට දිව යන බව හේමන්ත කීවේය.
ඔන්චිල්ලා අතර කතුරු ඔන්චිල්ලාවට හිමි වන්නේ සුවිශේෂි ස්ථානයකි. කතුරු ඔන්චිල්ලාව කී සැනින් චිත්ත රූප මැවෙන්නේ ළමා උයනක හෝ සැණකෙළි බිමකදී අත් දැක ඇති මිනිසුන් බහාලිය හැකි කූඩවලින් සමන්විත, යන්ත්‍රානුසාරයෙන් වටේට කරකැවෙන ඔන්චිල්ලාවකි. එය තදබදයක් ඇතිවන පරිදි නතර වී බලා සිටීමට තරම් අපූර්වත්වයක් එවැනි නවීන ඔන්චිල්ලාවක නැත.
එහෙත් මේ කියන ඔන්චිල්ලාව ගමක සාමුහිකත්වය, එකමුතුකම සහ කැපවීම ආදි හැම ගුණාංගයක්ම එකතු වූ තැනක් ලෙස ද හැඳින්විය හැකි බව හේමන්ත පැවසීය. කොහුවල ඉදිකර ඇත්තේ සම්ප්‍රදායික කතුරු ඔන්චිල්ලාවකි. ඔන්චිල්ලාව මැද ඇති රවුමක කෙනෙකු වේගයෙන් දුවයි. අට දෙනකු වාඩිවී පදින ඒ විසල් ඔන්චිල්ලාව වේගයෙන් කරකැවෙන්නේ අඩි 8 -12ක පමණ දිග පුවක් රීප්ප රවුමක හැඩයට නවා සකසා ඇති රවුම වටා දුවන මිනිස් බලයෙනි.
චන්ද්‍රසේන, ඊබට්, කිරිසෝමේ අයියා, ඩැනී, පෙරේරා, සෝමපාල ආදී පැරැන්නන්ගෙන් පැවත එන කොහුවල කතුරු ඔන්චිල්ලාව නිර්මාණය කිරීමේ කටයුතුවලට අද උරදී සිටින්නේ දුදරුවෝ සුබ සාධක සහ අන්‍යෝන්‍යාධාර සමිතියයි. ජනශ්‍රැති විද්‍යාව, ජන ඇදහිලි, ජන බස, මෙන්ම ජන ක්‍රීඩා ආදී පර්යේෂණ කරන්නන්ට කොහුවල කතුරු ඔන්චිල්ලාව හා ඒ හා බැඳි චාරිත්‍ර විධි අධ්‍යයනය වැදගත් බව අමුතුවෙන් කිව යුතු නොවේ.
“කොට්ටේ රාජධානියේ රයිගම කෝරළයේ එක්ක තමයි මේ කතුරු ඔන්චිල්ලාව ආරම්භ වෙන්නේ. විභීෂණ දෙවියන්ගේ තෝඩු දෙක සැළලිහිණි සංදේශයේ කතෘවරයා කතුරු ඔන්චිල්ලාවට සමාන කරලා තියෙනවා.” යැයි කතුරු ඔන්චිල්ලාවේ ප්‍රධාන උපදේශක අනුර කුරුවිටගේ පැවසුවේය.
තෙරුවන් සහ පත්තිනි දේවිය සිහි කර කතුරු ඔන්චිල්ලාවේ කටයුතු ආරම්භ වේ. පත්තිනිය සියලු දුක් උසුලා ගත් ගැහැනියගේ ප්‍රතිමූර්තිය ලෙස සලකයි. පත්තිනි දේවීය සිය සැමියාගේ සල්ලාලකම් හා සූදුවට ලොල් බවින් අනන්ත පීඩා වින්දාය. එහෙත් පත්තිනි දේවීය සිය පතිනි බලයෙන් සියලු ගැහැටින් මිදුණාය. අතීතයේ සිට අප සියලු වසංගත ලෙඩ රෝග වනසන ලෙස අයැදින්නේ ඇයගෙනි. දරු සම්පත්, ගේ දොර වතුපිටි, රැකී රක්‍ෂා ලබා දෙන්නී ලෙස ද පත්තිනි දේවීය සැලකුම් ලබයි. ඒ නිසාම කොහුවල කතුරු ඔන්චිලි වාරම් කවි සීපද අතරින් අදත් රැව් පිළිරැව් දෙන බව අනුර කුරුවිටගේ පවසයි.
“කතුරු ඔන්චිල්ලාව හැදීම අපේ ප්‍රදේශයේ ආරම්භ වෙලා තියෙන්නේ එක්දාස් නමසිය හතළිස් ගණන්වලදී. ඒ කාලේ මේ ප්‍රදේශයේ නියම ගමක අංග තිබිලා තියෙනවා. අඹ, කජු, කොස්, දෙල් පිරුණු වතු වගේම කුඹුරු ගොවිතැනත් මහා සරුවටම කෙරිලා තියෙනවා. ඒ නිසාම කතුරු ඔන්චිල්ලා හදන්න ඉඩකඩ ඊට අවශ්‍ය සම්පත් වගේම විවේකයත් අපේ වැඩිහිටියන්ට තිබිලා තියෙනවා. ඒ නිසාම වසරක් පාසා ප්‍රදේශවාසීන්ගේ මූලිකත්වයෙන් කතුරු ඔන්චිල්ලා නිර්මාණය වුණා.ඒත් කාලයක් යද්දී මේ සම්ප්‍රදාය නතර වුණා. ඒ විදිහට නතර වූ අපේ සම්ප්‍රදාය 1984 දී අපි පිරිසක් එකතු වෙලා නැවතත් ආරම්භ කළා. මේ වැඩේට ප්‍රදේශවාසීන්ගෙන් ලැබෙන සහයෝගය ඉතාම ඉහළයි. අද අපිට තිබෙන ලොකුම ගැටලුව ඔන්චිල්ලාව සකස් කිරීමටවත් ස්ථීර ඉඩකඩක් නෑ, මෙවරත් ඔංචිල්ලාව හදල තියෙන්නේ පෞද්ගලික ඉඩමක. දිගින් දිගටම අපේ මේ සම්ප්‍රදාය පවත්වාගෙන යෑමට ඉඩමක් අත්‍යවශ්‍ය වෙනවා.” අනුර කුරුවිටගේ වැඩිදුරටත් කීවේය. මේ පිළිබඳ බලධාරීන්ගෙන් අවධානය ද වහා වහාම යොමු විය යුතුය.
ඔන්චිල්ලා පැදීම සම්ප්‍රදායික ජන ක්‍රීඩාවකි. එය පත්තිනි දෙවියන්ගේ ක්‍රීඩාවක් ලෙස ද සලකයි. ක්‍රීඩාවේ නිරත වන අය ආරක්‍ෂා කරදෙන ලෙස භාර වන්නේ පත්තිනි දෙවියන්ටය. මෙහිදී ගම් මඩුව ද සිදු කරන අතර, මෙවර ගරා යකා නැටීමෙන් අනතුරුව ඔන්චිල්ලාව කපා දැමීමට නියමිතය. මෙදින විශේෂත්වය වන්නේ, ඔන්චිලි පැදීමට සිටින පිරිසය. එනම් වෛවර්ණ පැහැ සාරි හතරකින් සැරසුණු සුරූපිනියන් හතර දෙනකු සමඟ සිටින තරුණයන් සිවු දෙනෙකි.
ඉතා අලංකාර ලෙස සාරි ඇඳ ආභරණ පැලඳ හිසේ මල් ගසා නෙත් තොල් අඳුන් ගල්වා අඟර දඟර ඔමරි පාමින් සිටින මේ සුරූපිනියන් සිවු දෙනා අවට සිටින කාගේත් උසුළු විසුළුවලට ලක් වීම සාමාන්‍ය දෙයකි. ඊට හේතුව කිටි කිටියේ තද වන්නට සාරි ඇඳ පමණටත් වඩා ඔමරි පාමින් ඔන්චිල්ලාවේ හිඳ ගැනීමට කාන්තාවන් සේ සැරසී සිටින්නේ පිරිමින් වන නිසා ය. ජෝඩු පැදීම ලෙස හැඳින්වෙන මෙම අංගය සම්ප්‍රදායික කතුරු ඔන්චිල්ලාවේ ඇති චාරිත්‍රයත් ඉටු කිරීමකි.
“කතුරු ඔන්චිල්ලාව නිර්මාණය කිරීමට වගේම අවසාන දවසේ දෙන දේව දානයටත් විශාල මුදලක් වැය වෙනවා. දළ වශයෙන් අද වෙන කොට මේ සම්පූර්ණ කටයුත්තට ලක්‍ෂ 10ක් විතර වැය වෙනවා. මේ සියලු මුදල් අපිට ලැබුණේ ප්‍රදේශවාසීන්ගෙන්. දන්සලකට, තොරණකට මුදල් එකතු කරනවාට වැඩි උනන්දුවකින් මිනිස්සු මේකට එකතු වෙනවා. මේක පටන් ගත්තේ 14දා. 29 වැනිදා අවසන් කරනවා. මේ සීමාව ඇතුළත පුද බිමක් ලෙසයි සලකන්නේ.
අපි විශේෂ අවස්ථාවලත් කතුරු ඔන්චිල්ලාව හදනවා. 2013 / 14දී යාපනයේ, 2016දී දුම්මලසුරියේ තිබුණ බාලදක්ෂ කඳවුරුවලදී ඔවුන්ගේ ක්‍රියාකාරකම් සඳහා අපි මෙය ඉදි කරලා දුන්නා. ඒ වගේම නිදහස් චතුරස්‍රයේ පැවති ජාතික අවුරුදු උත්සවයකටත් කතුරු ඔන්චිල්ලාව හදලා දුන්නා. නිශ්චිත වියදමක් මේකට කියන්න බෑ. අමුද්‍රව්‍ය වියදම්, ගමන් ගාස්තු වගේම, කතුරු ඔංචිල්ලාවක් ඉදිකළාට පස්සේ මේක දාලා එන්න බෑ. ගලවනකම්ම ඉන්න ඕනෑ ඒවත් එක්ක බලලා තමයි ගණන් කියන්නේ.“ යැයි හේමන්ත අබේවික්‍රම වැඩිදුරටත් පැහැදිලි කළේය.
කතුරු ඔන්චිල්ලාව කපන එහෙමත් නැත්නම් ගලවන දිනය දා දෙන දේව දානයත් සුවිශේෂ බව අමුතුවෙන් කිවයුතු නොවේ. සභාපති සුජීව සිල්වා අපට ඒ ගැන තවත් විස්තර කීවේය.
“ගරා යක් නැටුමින් පස්සේ දේව දානය දෙනවා. දේව දානයට හාල් ගෝණි 05ක විතර බත් උයනවා. පොල් ගෙඩි 450ක් පමණ අවශ්‍යයි. එළවළු විශාල ප්‍රමාණයක් වුවමනා වෙනවා. මෑ කරල් කිලෝ 150ක්, දියලබු කිලෝ 150ක්, කිරිකොස් උයන්න කොස්ගෙඩි 150 /200ක්, හාල් මැස්සෝ කිලෝ 30ක්, අච්චාරු කිලෝ 40ක්, කැවුම්වලට පිටි කිලෝ 100ක් විතර ගන්නවා. මේවා විශාල ප්‍රමාණ වුණත් ප්‍රදේශයේ සියලු දෙනා මේ සඳහා මුදලින් වගේම ශ්‍රමයෙන් දායක වෙනවා. මේ ඔන්චිල්ලාව බැඳපු සීමාෙවමයි කැවුම් බැදීම සිදු කරන්නේ.
ගරා යකා නැටීමෙන් පසුව ඔන්චිල්ලාවට නැඟීම තහනම්ය. ඊට හේතුව ඉඳගන්නා ලෑලි එල්ලා තිබෙන කාදු ගරා යකා විසින් කපා දැමීමයි. දෙවියන් පිළිබඳ ඇති භක්තිය නිසාම හැම දේම සාර්ථක වන බවට අප තුළ විශ්වාසයක් තිබේ.මොන බාධක ආවත් කැපවීමෙන් කටයුතු කළ පිරිසක් සිටින නිසා සියල්ල සාර්ථකයි. මෙකි කටයුත්තේදී සුසන්ත ලක්මාල්, ප්‍රියන්ත දිසානායක සහ යෝෂිත බුද්ධිමගේ මෙන්ම, දානපතින්ගේ සහ ප්‍රදේශවාසීන්ගේ දායකත්වය මෙන්ම කැපවීම සහ එකමුතුකම ද මේ කටයුත්ත සාර්ථක කර ගැනීමට බෙහෙවින් ඉවහල් වූ බව පැවැසීය යුතුය.
ඡායාරූප - රංජිත් අසංක