ඩෙල්ෆ්ට් දූපතේ සය මිනී මැරුමේ ජර්මනියේ සිට ආ ඝාතකයා කොටු කළ මෙහෙයුමේ සුලමුල | සිළුමිණ

ඩෙල්ෆ්ට් දූපතේ සය මිනී මැරුමේ ජර්මනියේ සිට ආ ඝාතකයා කොටු කළ මෙහෙයුමේ සුලමුල

යාපනය අර්ධද්වීපයේ පිහිටි දූපත් අතරින් රමණීය දූපත වන්නේ ඩෙල්ෆ්ය. සංචාරකයන්ගේ පාරාදීසයක් බවට පත්වෙමින් ඇති මෙම දූපත පිහිටා ඇත්තේ යාපනය අර්ධද්වීපයේ බටහිර කෙළවරේ ඉන්දියාව පෙනෙන නොපෙනෙන දුරිනි. හිරිගල්තට්ටුවක් මත පිහිටි වර්ග කිලෝ මීටර් 48.5ක් පුරාවට විහිදී ඇති මේ සුන්දර දිවයින දෙවැනි වන්නේ කයිට්ස්වලට පමණි. 

උතුරේ දූපත් අතරින් දේශීය මෙන්ම විදේශීය සංචාරකයන්ගේ ආකර්ෂණයට ලක්ව ඇති මේ දූපත කෙරෙහි පසුගිය 22 වෙනිදා ඒ හැමෝගේම විශේෂ අවධානයක් යොමු වෙන්නේ ම්ලේච්ඡ ආකාරයට සිදුවූ පුද්ගල ඝාතන 06ක් හේතුවෙනි. කපා කොටා ඉතා අමානුෂිකව සිදුකර තිබුණු මෙම ඝාතන කෙරහි විශේෂ අවධානයක් යොමුවන්නේ ඝාතනයට වූ හැම අයෙක්ම වයස්ගත වූවන් වූ බැවිනි. ඒ හැමෝම එකම පවුලේ පිරිසකි. ඒ අයව ඝාතනය වී තිබුණේ ඩෙල්ෆ්ට් ජැටියට ආසන්න නිවසක් තුළදීය.

ඩෙල්ෆ්ට් දූපතේ ජීවත්වන ජනතාව භීතියෙන් මුසපත් කළා වූ මෙම ඝාතන කවුරුන් විසින් කළා දැයි හිතා ගැනීමට නොහැකිව ඩෙල්ෆ්ට් පොලිසියේ නිලධාරීන් පවා මුලදී සිටියේ අන්දමන්දවය. ඒ ඔවුන්ටත් සිදුවී ඇත්තේ කුමක් දැයි සිතා ගැනීමට නොහැකිවය. ඒ මෙවැනි කුරිරු ඝාතනයක් දූපත තුළ 2002 වසරේ පොලිසියක් ස්ථාපිත කළ දා සිට මෙතෙක් සිදුවී නොතිබුණු බැවිනි. ගමේ ගොඩේ සුළු ආරවුලක් හෝ පවුල් ආරවුලක් හැරුණු කොට ඩෙල්ෆ්ට් පොලිසියට එදා මෙදා තුරු විසඳන්නට තරම් බරපතළ අපරාධයක් මේ දූපතේ වාර්තා වී නැති තරම්ය. මෙම සමූහ ඝාතනය කෙරෙහි කොයි කාගේත් විශේෂ අවධානයක් යොමුවන්නේ ද එබැවිනි.

මෙම සමූහ ඝාතනය සිදුව තිබුණේ ඩෙල්ෆ්ට් දූපතේ සිරි නැරඹීමට පැමිණෙන සංචාරකයන්ට ඉහළ ආගන්තුක සත්කාර කරන කාන්තාවක් වූ කාරිතිකේසු නාගසුන්දරී නැමැති 74 හැවිරිදි කාන්තාව ජීවත්වූ නිවස තුළය. ඇය මේ නිවෙසේ තනිවම වාසය කළ තැනැත්තියක් වූවාය. ඒ සැමියා කලකට පෙර මියගොස් සිටි බැවිනි. ඇගේ එකම දරුවා සිටියේ කැනඩාවේය. එකම දරුවා යැයි කීවාට ඒ ඇගේ කුසින් වැදූ දරුවෙක් නොවීය. එම දරුවා ඇගේ සහෝදරියකගේ දරුවන් පස්දෙනෙකුගෙන් අයෙකි. විවාහ වී දරුවන් නොමැතිව සිටි ඇයට ඒ අඩුව පුරවන්නට තමාගේ කුසෙන් වැදූ දරුවන් පස්දෙනාගෙන් එක් අයෙක්ව දෙන්නේ වැඩිමහල් සහෝදරියක් වූ වේලායුද පිල්ලෙයි නාගරත්නම්ය. ඇය කාරිතිකේසුට වඩා වයසින් වැඩිමහල් වන්නේ වසර දෙකක් පමණි. උතුරේ යුද බිය ඇවිළෙන විට සිය සැමියා සහ දරුවන් සමඟ එංගලන්තයට පැන ගත් ඇය බොහෝ කාලයක් ලන්ඩන්වල ගත කර මෙරටට එන්නේ මෙයට මාසයකට දෙකකට පෙරය. එසේ පැමිණි ඇය අලුත් අවුරුද්ද වෙනුවෙන් දින කිහිපයකට පෙර ඩෙල්ෆ්ට් මහ ගෙදරට ආවේ සිය සහෝදරිය සමඟ දිනක් දෙකක් ගත කර නැවත යන්නට බලාගෙනය. දින දෙකකට පෙර ඒ නිවෙසට ආ ඇයත් ඝාතකයාගේ ගොදුරක් බවට පත්ව තිබුණි.

මේ පවුලේ බාලයා වූ බාලසිංහම් කන්මදිපුල්ලේ විවාහයෙන් පසු ජීවත්වූයේ මුලතිව් තාන්ඩිකුලම් හිය. ඒ සැමියාගේ ගම් පළාතේය. කාරිතිකේසුට වඩා ඇය බාල වසර දෙකක් පමණි. කන්මදපුල්ලේ ද අලුත් අවුරුද්දට ඩෙල්ෆ්ට් මහ ගෙදරට එන්නට පුරුදු වී සිටියේ කලක සිටය. ඒ පවුලේ සහෝදරියන් එකිනෙකාට හමුවන්නේ අවුරුදු මාසයේදී වන බැවිනි. ඒ අනුව ඇය ඩෙල්ෆ් මහගෙදරට එන්නේ සිය සැමියා වූ නාගනාදන් බාලසිංහම් සමඟිනි. ඒ එන්නේ 21 වෙනිදාය. ඒ පැමිණි ඔවුන් දෙදෙනාත් ඝාතනය වී සිටි පස්දෙනා අතර සිටියේය. 

මෙහිදී ඝාතනය වී සිටි පස්වැන්නා වූයේ සුබ්‍රමනියම් මහාදේවාය. ඔහු කාර්තිකේසුගේ මවගේ නැගණියගේ පුතාය. ඩෙල්ෆ්ට් දූපත් වැසියෙක් වන ඔහු පදිංචිව සිටියේ ජැටියේ සිට මඳක් ඈතිනි. මහාදේවන් ඝාතනය වන්නේ එදා පාන්දර ජාමේ නිවෙසින් පිටත්ව ඇත්තේ කාර්තිකේසුගේ නි‍ෙවසට ගොස් ඇඟපත සෝදාගෙන අලුත් ඇඳුමක් ද ඇඳ උදෑසන 7.00ට ජැටියෙන් පිටත්වන මගී ප්‍රවාහන බෝට්ටුවේ නැඟී යාපනය බලා යන්නටය.

මේ පස්දෙනාට අමතරව මෙම නිවෙසේ රැඳී සිටි තවත් කතක් ඝාතකයාගේ ඉලක්කය බවට පත්ව තිබුණේය. ඇය මේ පවුලේ වැඩිමහල් සහෝදරියයි. ඇය කේ. පූනම්ය. ඇගේ වයස අවුරුදු 101කි. නිවෙසේ කාමරයක නිදාගෙන සිටි ඇයට ද ඝාතකයා තියුණු ආයුධයකින් කොටා තුවාල කර තිබුණි. ඇයට ජීවත්වන්නට වාසනාව තිබුණේ දින කිහිපයක් පමණි. පසුගිය 27 වෙනිදා ඇය මිය යන්නේ යාපනය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදීය.

මෙම සමූහ ඝාතනය ගැන මූලික විමර්ශන සිදුවන්නේ ඩෙල්ෆ්ට් පොලිසිය මඟිනි. ඒ අතර යාපනය නියෝජ්‍ය පොලිස්පති මංජුල සෙනරත් සහ කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජගත් විශාන්ත තීරණය කරනුයේ මෙම සමූහ ඝාතනය ගැන විමර්ශන යාපනය කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයට පැවරීමටය. ඒ මෙම සමූහ ඝාතනයෙන් ඒ වන විටත් මුළු යාපනයම හෙල්ලී තිබුණු බැවිනි. ජාත්‍යන්තරයේ පවා අවධානය ඒ දෙසට ක්‍රමයෙන් එල්ල වෙන්නට වූයේ යාපනයේ දෙමළ වැසියන් යුරෝපීය රටවල වැඩි වශයෙන් ජීවත්වන බැවිනි. මෙම සමූහ ඝාතනය කළේ කවුරුන් දැයි තබා ඝාතකයා හඳුනා ගැනීමට තරම්වත් කිසිදු සලකුණක් ඒ වන විට සොයා ගන්නට නොවීය. ඉතිරිව තිබුණේ දේපොළ ප්‍රශ්නයක් මෙම ඝාතනයට මුල්වී තිබේ දැයි කියා මතුවූ සැකයක් පමණි. ඒ හැරුණු කොට මෙම ඝාතනයට මුල ගැන පැහැදිලි තොරතුරක් පොලිසියට නොවීය. එකම බලාපොරොත්තුව වූයේ යාපනය රෝහලට ඇතුළත් කළ අවුරුදු 101ක් වයසැති කත පමණි.

ඒ ඇය මෙම සමූහ ඝාතනයේ එකම සාක්ෂිකාරිය වූ බැවිනි. එහෙත් ඒ වන විට ඇය සිටියේ අසාධ්‍ය තත්ත්වයෙන් වූ බැවින් ඇගේ කටින් වචනයක් එළියට ගැනීමට හැකියාවක් නොවීය. එබැවින් විමර්ශන සිදුකළ යුතුව තිබුණේ පර්යේෂණාත්මක සාක්ෂි ඔස්සේ පමණී.

කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක මෙනන් විසින් තමා යටතේ සිටින උප පොලිස් පරීක්ෂක ආර්. ප්‍රදීප්ට මෙම සමූහ ඝාතන විමර්ශනය භාර දෙන්නේ මෙවන් තත්ත්වයක් මෙම ඝාතන විමර්ශනයන් සම්බන්ධයෙන් පවතින මොහොතකය. පොලිස් සැරයන් බණ්ඩාර (61425), කොස්තාපල්වරුන් වන ජෙයනන්දන් (88792), සුයන්දන් (88941), සම්පත් (88956), ප්‍රවීන් (91799), ජයසිරි (93661) සහ කොස්තාපල් රියදුරු ජයතිස්ස (80251) යන නිලධාරින්ගෙන් සැදුම්ලත් විමර්ශන බල ඇණියක්ම ඔහුගේ සහයට ඒවන විටත් එක්ව සිටියේය.

ඩෙල්ෆ්ට් පොලිසියේ සේවය කරන පොලිස් සැරයන්වරයෙකුගෙන් අපූරු තොරතුරක් එළියට එන්නේ මේ අතරතුරදීය. එම නිලධාරියා යාපනය උසාවිය බලා ගොස් තිබුණේ නඩු කටයුත්තකට මෙදින උදෑසන ඩෙල්ෆ්ට් ජැටියෙන් කුරිකට්ටුවාන් ජැටිය වෙත ගමන් කරමින් තිබුණු මගී යාත්‍රාවේ නැඟීය. මෙම යාත්‍රාවේම ගමන් කළ පුද්ගලයකුගේ රුව ඔහුගේ හිතේ හොඳින් ඇඳී තිබුණේය. ඔහු යාත්‍රාවේ ගමන් කරමින් සිටියේ නිල් පැහැති ලොකු ගමන් මල්ලක් ද රැගෙනය. මේ පුද්ගලයා සිටියේ ඔහුගේ මුහුණ පැහැදිලිවම හඳුනා ගැනීමට නොහැකි වන ලෙස හිස් ආවරණයක් පැලඳගෙනය. වයස අවුරුදු පනහක හැටක පෙනුමක් තිබුණු මේ පුද්ගලයා හැසුරුණේ ඩෙල්ෆ්ට් පැමිණි සංචාරකයෙක් ලෙසිනි. ඔහු ගැන විශේෂ අවධානයක් සැරයන්වරයාට යොමු වන්නේ ලොකු ගමන් මල්ල සහ මුහුණ වැසෙන සේ හිස් ආවරණයක් පැලඳ සිටි බැවින් හා ඔහු ඩෙල්ෆ්ට් දූපතට ආගන්තුකයෙක් බව පෙනී යන්නට වූ බැවිනි. ඩෙල්ෆ්ට් දූපතේ සිදුව ඇති සමූහ ඝාතනය ගැන තොරතුරු මෙම සැරයන්වරයා දැන ගන්නේ කුරිකට්ටුවාන් ජැටියෙන් බැස අධිකරණය හමුවට ද ගොස් බොහෝ වේලාවක් ගිය පසුවය. ඒ බව දැනගත් සැණින්ම ඔහු බෝට්ටුවේ සිටි ආගන්තුකයා ගැන දැනුවත් කරනු ලබන්නේ සිය උසස් නිලධාරින්ටය.‍

මේ පුද්ගලයා කවුරුන් දැයි හැමෝම සොයන්නට ගන්නේ මෙම තොරතුරත් සමඟිනි. උප පොලිස් පරීක්ෂක ප්‍රදීප් ඇතුළු විමර්ශන නිලධාරීන් මෙහිදී ඒ පුද්ගලයා ගැන විශේෂ අවධානයන් යොමු කිරීමට ද අමතක නොකළේය. මේ කියන පුද්ගලයා ඩෙල්ෆ්ට් දූපතේ සති කිහියක් තිස්සේම සැරිසරමින් සිටියෙක් බව හෙළි වන්නේ එවිටය. සමූහ ඝාතනය සිදුවූ නිවෙසේද ඔහු දිනක් දෙකක් ගැවසී ඇති බවට තොරතුරු ද ඒත් එක්කම ලැබෙන්නට ගත්තේය. මෙම සමූහ ඝාතනයත් සමඟ මේ කියන පුද්ගලයා දූපතින් පිටව යෑම ගැන ඇති වන්නේ දැඩි සැකයකි. ඒ අනුව විමර්ශන කණ්ඩායම තීරණය කරනුයේ ඔහු පස්සේ පැන්නීමටය. නමුත් මේ පුද්ගලයා ඉන්න හිටින තැනක් ගැන කිසිවක් දන්නා කියන කිසිවෙක් නොවීය. ඩෙල්ෆ්ට් දූපතේ ඇති කන්දයියා රෙස්ටුරන්ට් එකේ ඔහු ගැවසී ඇති බවට තොරතුරක් විමර්ශන නිලධාරින්ට ලැබෙන්නේ ඒ ගැන තොරතුරු සොයන්නට වූ බැවිනි. මාර්තු 26 වෙනිදා සිට අප්‍රේල් 13 වෙනිදා දක්වා ඔහු එම රෙස්ටුරන්ට් එකේ නවාතැන්ගෙන සිට ඇති බව ඒත් එක්කම විමර්ශන නිලධාරීන් තහවුරු කර ගත්තේය. ඒ එම රෙස්ටුරන්ට් එකේ හිමිකරුගෙන් කළ ප්‍රශ්න කිරීම් හමුවේය. බෝට්ටුකරුවෙක් වූ එම නවාතැන් පොළේ හිමිකරු විමර්ශන නිලධාරීන් හමුවේ පවසන්නට වූයේ ඔහුව නවාතැන් පොළෙන් පිටත් කර යැවුවේ බොහොම අමාරුවෙන් බවය. 

“ඔය මිනිහා අපිට කිව්වේ ඩෙල්ෆ්ට් කෝවිලේ උත්සවයට ආවා කියල. ඒ ඇවිල්ල මගේ රෙස්ටුරන්ට් එකෙයි නතර වුණේ. අතේ සල්ලි නැතිව රා කට්ටත් කාගෙන් හරි ඉල්ලගෙනයි බිව්වේ. ඒ නිසා මම අලුත් අවුරුද්දට ඉස්සරින් දවසේ මිනිහට කිව්වා අවුරුද්දටවත් ගෙදර යන්න කියලා. මම බල කරපු නිසාම රෙස්ටුරන්ට් එකෙන් ගියා. රුපියල් 7000ක් බිල තිබ්බා. ගෙව්වේ 6000යි. බිම නිදා ගත්තේ කියලා.“ යැයි ඩෙල්ෆ්ට් දූපතේ ඔහු නවාතැන් ගෙන සිටි රෙස්ටුරන්ට් එකේ හිමිකරු විමර්ශන නිලධාරීන් හමුවේ කියන්නට ගත්තේය.

රෙස්ටුරන්ට් හිමිකරුගෙන් දීර්ඝ ලෙස තවදුරටත් තොරතුරු විමසීමේදී දැනගන්නට ලැබෙන්නේ මේ කියන පුද්ගලයා රගූ නැමැති අයෙක් බවය. යාපනය පුංකුඩිතිව් පැත්තේ ඔහු පදිංචිකරුවෙක් බවට තොරතුරක්ද ඒත් එක්කම එළියට ආවේය.

එදා රෙස්ටුරන්ට් එකෙන් එළියට ආ මේ පුද්ගලයා ඩෙල්ෆ්ට් දූපතින් පිටතට නොගිය බවට පවා තොරතුරු විමර්ශන නිලධාරින්ට ගලා එන්නට ගත්තේය. ඒ ඔහු රා බොන්නට දූපතේ තැන තැන කරක් ගසා ඇති බැවිනි. ඒ අනුව විමර්ශන නිලධාරින්ට පැහැදිලි වන්නේ රගූ නැමැති මේ පුද්ගලයා ඩෙල්ෆ්ට් දූපතින් පිටව යන්නේ සමූහ ඝාතනයෙන් පසුව බවය.

ඒ අනුව බරපතළ ලෙස සැකයක් මතුවන්නේ මෙම සමූහ ඝාතනය හා මෙම පුද්ගලයා අතර යම් සම්බන්ධයක් ඇති බවය. ඒ අනුව කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරීන් සිය විමර්ශන මඟින් එතෙක් සොයාගත් තොරතුරු ඔස්සේ යන්නේ පුංකුඩිතිව් වෙතය. එහිදී විමර්ශන නිලධාරින්ට තොරතුරක් ලැබෙන්නේ සැකයට ලක්ව සිටින රගූ නැමැති මේ පුද්ගලයා පුංකුඩිතිව් හි පිහිටි තැබෑරුමක එදා උදෑසන ගැවසී ඇති බවකි. තැබෑරුමෙන් ඔහු පිටව ගොස් ඇත්තේ මත්පැන් වීදුරුවක් දෙකක් හිස්කර පන්දහසේ නෝට්ටුවක් දී තවත් කාලේ බෝතල් දෙකක් රැගෙන බවය.

අතේ සතේ නැතිව ඩෙල්ෆ්ට් දූපතේ රැඳී සිටිමින් රා කට්ටත් අනුන්ගෙන් ඉල්ලා ගෙන බොමින් සිටි මේ පුද්ගලයාට හිටි හැටියේම යහමින් මුදල් අතට ලැබී තිබීම ගැන තොරතුරු මෙසේ ලැබෙන විට විමර්ශන නිලධාරින්ට ඒ ගැන පැන නඟින්නේ බලවත් සැකයකි. ඩෙල්ෆ්ට් දූපතින් මේ පුද්ගලයා මෙදින උදෑසන පිටව එන විට අතේ තිබුණේ යැයි කියන ලොකු බෑගය ඔහු රෙස්ටුරන්ට් එකෙන් පිටව යන විට නොතිබුණු බව ද විමර්ශන නිලධාරින්ට ලද තොරතුරු විශ්ලේෂණයේදී පෙනී ගියේය. ඩෙල්ෆ්ට් සමූහ ඝාතනය සිදුවී පැය 24ක් යන්නට මත්තෙන් විසඳමින් ඝාතකයාව යාපනයේදී කොටුකර ගැනීමට උප පොලිස් පරීක්ෂක ප්‍රදීප් ඇතුළු නිලධාරින්ට හැකියාව ලැබෙන්නේ ඒ ඔස්සේ යමින් කළ පුළුල් විමර්ශනයක ප්‍රතිඵලයක් ලෙසිනි.

සභාරත්නම් රගූ නැමැති මෙම සමූහ ඝතකයා වයස අවුරුදු 51ක් වයසැති අයෙකි. ඔහු පදිංචිව සිටියේ පුංකුඩිතිව් පෙරන්කාඩු 03 වන කොටසේය. ඔහුගේ පවුලේ සාමාජිකයන් ගණන 13 දෙනෙකි. ඒ අයගෙන් තිදෙනෙක් මේ වන විට ජීවතුන් අතර නැත. දෙදෙනෙක් හැරුණු කොට සෙසු සහෝදර සහෝදරියන් සිටින්නේ යුරෝපීය රටවලය. ඒ ප්‍රංශය, ජර්මනිය, ස්විස්ටර්ලන්තය සහ කැනඩාව යන රටවලය. මොහු පවුලේ 11 වෙනියාය. මේ පුද්ගලයා ද ජර්මනියේ කාලයක්ම ගත කර මෙරටට පැමිණ ඇති අයෙකි. අනාවරණය වී ඇති ආකාරයට අනුව ඔහු ජර්මනිය බලා ගොස් ඇත්තේ වයස අවුරුදු 16දීය. ඒ යුද්ධය ආරම්භක වකවානුවේදි ලද අවස්ථාවකින් ප්‍රයෝජනය ගනිමිනි. 

මේ පුද්ගලයාගේ මව කුලියාපිටියේ තැනැත්තියක් වූවාය. පියා පුංකුඩිතුව් වැසියෙකි. එකල මව නාගදීපදීපයේ වෙළඳාමට ආ අවස්ථාවකදී දෙදෙනා දැන හඳුනාගෙන විවාහ වී ඇති බව කියැවෙති. මවුපියන් ජීවත්ව ඇත්තේ පුංකුඩිතිව් හිය. ඇය මිය යන්නේ 2020 වසරේදීය. පියා මියගොස් ඇත්තේ මව මිය යෑමට බොහෝ කලකට පෙරය.

රගූ ද තිදරු පියෙකි. කුඩා කල ජර්මනියට ගිය රගූ විවාහ වී ඇත්තේ ද ජර්මන් කතක් සමඟිනි. එම විවාහයෙන් ඔහුට සිටින්නේ දියණිවරු තිදෙනෙක් සහ එක් පුතෙක් පමණී. වැඩිමලා දියණියකි. ඇය 22 හැවිරිදිය. දෙවැනියා ද දියණියකි. ඇය 19 හැවිරිය. බාලය පුතාය. ඔහු 17 හැවිරිදිය.

ප්‍රශ්න කිරීම් හමුවේ හෙළිවූ තොරතුරුවලට අනුව කාලයක් රෙස්ටුරන්ට් එකක වැඩකර ඇති රගූ ජර්මනියෙන් මෙරටට එන්නට පෙර රැකියාවේ නිරතව සිට ඇත්තේ ගල් විදින්නෙක් ලෙසිනි. මෙරටට එන්නට ඔහුට සිදුවන්නේ සිය බිරිය ඝාතනය කිරීමට උත්සාහ දැරීමේ චෝදනාවක් මත ඔහුව මෙරටට පිටුවහල් කරන බැවිනි. රගූගේ විදෙස් ගමන් බලපත්‍රය පරීක්ෂා කිරීමේදී එහි කොතනකවත් ඔහුව පිටුවහල් කිරීමකට අදාළ සටහනක් සොයා ගන්නට ලැබී නැත. ඒ ගැන සොයා බැලීමට සිදුවන්නේ ජර්මනියෙන් තොරතුරු විමසාය. විමර්ශන නිලධාරීන් සූදානමින් සිටින්නේ විමර්ශන අවශ්‍යතා මත ජාත්‍යන්තර පොලිසිය මඟින් ඒ ගැන තොරතුරු සොයා බලන්නටය.

ජර්මනියේ වසර ගණනාවක් රැඳී සිටියත් රගූ අත තිබී ඇත්තේද ශ්‍රී ලංකාවේ විදෙස් ගමන් බලපත්‍රයකි. එම විදෙස් බලපත්‍රයේ ඇති වීසා සටහන්වලට අනුව රගූ කුඩා කල සිට ජර්මනියේ රැඳී සිටියත් එරට කතක් සමඟ විවාහ වී සිටියත් ඔහුට එරට පුරවැසිභාවය ලැබී නැත. ඒ වෙනුවට ඔහුට ලැබී තිබී ඇත්තේ එරට රැඳී සිටීමට අවශ්‍ය නේවාසික වීසා පමණි.

විමර්ශනවලින් අනාවරණය වී ඇති තොරතුරුවලට අනුව ඔහුව මෙරටට පිටුවහල් කර ඇත්තේ 2019 වසරේදීය. ඒ පැමිණි ඔහු සිය මව මියයන තුරුම රැඳී සිට ඇත්තේ පුංකුඩිතිව් පෙරුන්කාඩු නිවසේය. මවගේ මරණින් පසු තැන තැන ඉබාගාතයේ ගිය ඔහු නාගදීපයේ සිටින සිය සහෝදරයකුගේ නිවෙසේ ද අවසාන මාස දෙකක කාලය ගත කළේය. මෙසේ හුදෙකලාවේ තැන තැන ජීවත්වීමට ඔහු කුඩා කල සිටම දැක්වූයේ දැඩි කැමැත්තකි. ඒ නිසා අඹුදරුවන් හෝ දන්නා කියන අය නොමැතිව හුදෙකලාවේ ජීවත්වීම ඔහුට අරුමයක් නොවීය. සහෝදරයාගේ නිවෙසේ මාස දෙකක කාලයක් ගත කිරීමෙන් අනතුරුව ඔහු යන්නේ ඩෙල්ෆ් දූපතටය. ඒ යන්නේ ද කෝවිලේ උත්සව සමයේදී ය. රගූ නම් පවසන්නේ කන්දයියා රෙස්ටුරන්ට් එකේ හිමිකරු තමාගේ පාසල් මිතුරෙක් බවය. එහෙත් රෙස්ටුරන්ට් එකේ හිමිකරු නම් එය පිළිගන්නේ නැත.

මාර්තු 26 වෙනිදා සිට අප්‍රේල් 13 වෙනිදා දක්වා කන්දයියා රෙස්ටුරන්ට් එකේ රැඳී සිටි ඔහු අප්‍රේල් 19 වෙනිදා දක්වා ඩෙල්ෆ්ට් දූපතේ ගත කර ඇත්තේ මුහුද අයිනේ ඇති ධීවර වාඩි හා ගස් යටය. ඩෙල්ෆ්ට් දූපතට එන අයට උදව් උපකාර කරන කාරිතිකේසු සොයා රගූ යන්නේ 19 වෙනිදා සවස් කාලයකදීය. ඒ බෝට්ටුව මඟ හැරුණු දූපතේ සංචාරයට ආ අයෙක් ලෙසිනි. ඇය ඔහුට නිවෙසේ ඉදිකරමින් ඇති කොටසක ඇති කාමරයක්ද නවාතැන් ගැනීමට ඉඩ දෙමින් කන්න බොන්න පවා එදින ලබා දුන්නේය. ඔහු ඇගේ හිත දිනා ගනිමින් එදින පමණක් නොව, දවසක් දෙකක්ම එහි රැඳී සිටියේය. 20 වෙනිදා ඔහු ඇගෙන් රුපියල් 2000ක් ඉල්ලා සිටින්නේ නිවෙසට යන්නට මුදල් නැතැයි කියාය.

“දැන් අතේ සල්ලි නැහැ. පස්සේ දෙන්නම්“ යැයි ඇය එහිදී ඔහුට කීවාය.

ඇයගෙන් ඔහු මුදල් ඉල්ලා සිටියේ සැබෑවටම දූපතෙන් පිටව යාමට නොව, රා කට්ටක් බොන්නටය. ඇය දෙන්නම් යැයි කීවාට ඔහුට සත පහක් දුන්නේ නැත.

ලන්ඩන් සිට පැමිණි සහෝදරිය සමඟ ඇගේ සහෝදරියන් තිදෙනා මේ නිවෙසට එන්නේ ඔය අතරතුරදීය. ඒ අලුත් අවුරුද්ද වෙනුවෙනි. ඒ පැමිණි ඔවුන්ට රගූව එතරම් විශේෂ පුද්ගලයෙක් නොවීය. ඒ සිය සහෝදරිය දූපතේ අතරමං වන අයට නවාතැන් දෙන බව දැන සිටි බැවිනි. 21 වෙනිදා නිවෙසට ආ මේ අය අතේ කරේ පැලඳ සිටින රන් භාණ්ඩ දුටු විට රගූට ඇති වන්නේ ආශාවකි. එහෙත් ඔහු ඒ ආශාව යටපත් කරගෙන එදා සිටියත් 22 වෙනිදා අලුයම් කාලයේදී ඇහැරුණු ඔහුගේ හිතට එන්නේ ගෙට පැන අතට අහුවන දෙයක් රැගෙන පලා යන්නටය. රගූ තමන් රැඳී සිටි පිටත කාමරයේ සිට නිවෙස තුළට රිංගන විට දකින්නේ මේසයක් මත වූ මුදල් පසුම්බියකි. එය අතට ගන්නවාත් සමඟ සාලයේ නිදා සිටි කාර්තිකේසුගේ නැගණියගේ සැමියා නාගනාදි බාලසිංහම් ඇහැරී දෙමළෙන් කෑගසන්නේ “හොරෙක් හොරෙක් යැයි කියාය“ ඒත් එක්කම බියට පත්වන රගූ දිව යන්නේ නිවෙසින් පිටතටය. රගූ පස්සේ බාලසිංහම්ද දිව ගියේ අඳුරේ නිවෙසට ඇතුළු වී දිව යමින් සිටින හොරාව අල්ලා ගන්නටය.

රගූ දිව ගියේ නිවෙසේ පිටුපස කොටසේ ඇති මඩුවක් වෙතය. එහි තිබී ඔහු අතට ගන්නේ මලකා ගිය කැත්තකි. හැරුණු ගමන් රගූ එම කැත්තෙන් කොටන්නේ ඔහු පස්සේ පන්නමින් සිටි බාලසිංහම්ටය. මරහඬ නඟමින් බාලසිංහම් මිදුලේ ඇද වැටෙන විට නිවෙසේ කාමරයක නිදා සිටි බාලසිංහම්ගේ බිරිය නිවෙසින් පිටතට එන්නේ එම කෑමොර හඬින් අවදි වෙමිනි. ඒ පැමිණි ඇයටත් ඔහු පහර දෙන්නේ එම කැත්තෙමිනි. ඒ හිස දෙපලු වන්නටය.

ඇයත් කෑ මොර දෙමින් බිම ඇද වැටී මරු තුරුලට යන විට මුළුතැන්ගෙයි දල්වා තිබුණු විදුලි ආලෝකයෙන් රගූ දකින්නේ කිර්තිකේසු සහ ඇගේ ලන්ඩන් සහෝදරිය දිව යන අයුරුය. ඒ දෙදෙනා දිව ගියේ නිවෙසේ පිටුපස පැත්තටය. ඔවුන් දෙදෙනා දිව ගොස් මුල්ලක සැඟවෙන විට එතැනට කඩා වැදුණු රගූ හිතක් පවුවක් නොමැති නරුමයෙක් ලෙස ඒ දෙන්නාගේ හිසටත් කැත්තෙන් කොටා එතැනම මරා දැමුවේය. අනතුරුව ඔහුගේ ඉලක්කය බවට පත්වන්නේ මේ පවුලේ වැඩිමහල් සහෝදරියයි. ඇය ඒවන විට සිටින්නේ කාමරයේ ඇදක් මත නිදාගෙනය. අඳුරේ පැවති කාමරයට පය තැබූ රගූ ඇයටත් කැති පහරක් එල්ල කළේ ඇගේ වැඩේත් හමාර බව සිතාය. කාමරයේ නිදා සිටි ඇයට කැති පහර එල්ල කරනුයේ ඇය ජීවතුන් අතර සිටියහොත් තමාව පාවා දෙයි යැයි සිතාය.

සියල්ල අවසානයේදී රගූ මේ හැමෝගේම අතේ පයේ තිබුණු පවුම් විස්සක තිහක මුදු, මාල, වළලු , කරාබු මේ හැම එකක්ම ගලවා ගත්තේය. ඒ හැම එකක්ම ඔහු දමා ගන්නේ ලන්ඩන් සහෝදරියගේ නිල් පැහැති ගමන් මල්ලටය. ඒ එම ගමන් මල්ලෙහි ඇයට අයත් වටිනා සාරි කිහිපයක්ද තිබුණු බැවින් යාපනයට ගොස් ඒවා විකුණා කීයක් හරි අතට ගන්න බලාගෙනය.

පාපැදියක නැඟුණු මහා දේවන් මෙහි එන්නේ ඔය අතරතුරදීය. රගූ සිටින්නේ නිවෙස ඉදිරිපිට මිදුලට වී දූපතින් පිටව යෑමට වේලාව එළඹෙන තුරුය.

“කොහේද යන්නේ මේ පාන්දරම “ රගූ කිසිදු වෙනසක් නොපෙන්වමින් මහා දේවන්ගෙන් විමසුවේය.

“යාපනේ“ ඔහු එසේ කියමින් ගෙවත්තට ඇතුළුවන්නට සූදානම් වන විට රගූ ඔහුව වළකමින් “මේ වෙලාවේ මේ කොහේද එන්නේ“ යැයි විමසන්නට විය.

“උදේම නාගෙන ඇදුම් මාරු කරගෙන යන්නත් එක්කයි ආවේ.“ මහා දේවන් කීවේය.

“උදේ පාන්දර නාන්න. පිස්සුද? මේ සීතලේ“ රගූ කීවේය.

මහා දේවන් මෙම නිවෙසට නෑකම් කී අයෙක් වූ බැවින් රගූව එතරම් තැකීමක් නොකර නිවෙස දෙසට ගමන් කරන්නට ගත්තේය. ඒත් එක්කම රගූ ඊළඟ කැති පහර එල්ල කරන්නේ මහා දේවන්ගේ හිසටය. ඒ ඔහුවද ඝාතනය කරමිනි.

මෙසේ මුළු පවුලක්ම අමු අමුවේ මරා දැමූ රගූ එම නිවෙසින්ම ඇඟ පත සොදා පිරිසිදු වී ඔහු හැද සිටි ලේ තැවුරුණු සරම ගලවා එහි කැත්ත ඔතා විසිකරනු ලබන්නේ අසල ලිඳටය. ජැන්ඩියට හැද පැලඳගෙන ලන්ඩන් සහොදරියගේ ගමන් මල්ල ද රැගෙන ඩෙල්ෆ්ට් දූපතින් රගූ පැන ගන්නේ එදින උදෑසන ඩෙල්ෆ්ට් ජැටියෙන් පිටත් වූ මගී යාත්‍රාවට ගොඩවෙමිනි. කුරිකට්ටුවාන් ජැටියෙන් ඩෙල්ෆ්ට් සිට පැමිණි යාත්‍රාවට සමුදුන් රගූ එතැන් සිට සිය ගමන් පහසුකම් සපයා ගන්නේ බස් රථයකිනි. පුංකුඩිතිව් තැබෑරුමට ඔහු ගොඩවන්නේ ද ඒ අතර තුරදීය. උප පොලිස් පරීක්ෂක ප්‍රදීප් ඇතුළු යාපනය කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරින්ට රගූව කොටු වන්නේ තැබෑරුමෙන් මිලදී ගත් කාලේ බෝතල් දෙක පෙරුන්කාඩු 03 වන කොටසේ පිහිටි නිවෙසට ගොස් හිස්කර පිස්සෙක් මෙන් ඉබාගාතේ ඇවිදිමින් සිටියදීය.

Comments