
ලෝකයේම කම්කරුවන්ට විශේෂිත වූ දිනයක් වන්නේ මැයි මස 01 දාය. මැයි පළමුවනදා කියනවා වෙනුවට එය මැයි දිනය නමින් හැඳින්වීමට සමස්ත ලෝකවාසීන්ම පුරුදු වී සිටිති. කම්කරු නායකයන් සමරමින් ජාත්‍යන්තර මැයි දිනය දා ලෝකය පුරාම කම්කරුවන් එදිනට විදී බැස පෙළිපාලි යමින් රැලි පවත්වති.
එක්සත් ජාතික පක්ෂය ද මෙවර මැයිදින රැලිය කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට කටයුතු යොදා තිබේ. 19 වසරකට පසු එක්සත් ජාතික පක්ෂය මැයි දිනය සමරන්නේ සිය පක්ෂයේ ජනාධිපතිවරයකු යටතේය. එය පාක්ෂිකයාට මහත් ආඩම්බරයකි.
වසර 100 කට එහා ඉතිහාසයක් තිබෙන කම්කරු දිනය සැමරීමට අවශ්‍ය පසුබිම සැකසුණේ 1886 වසරේ චිකාගෝ නුවරදී සිදුවුණු එක්තරා කාරුණක් පාදක කරගෙනය. 1886 වසර වන විට කම්කරුවන්ට සිය රාජකාරි කිරීම සඳහා නිශ්චිත පැය ගණනක් වෙන්ව තිබුණේ නැත. එබැවින් හාම්පුතුන් විසින් සේවකයන් වැඩි කාලයක් සේවයේ යොදවනු ලැබුවේය. එම අසාධාරණය දිගු කලක් තිස්සේ ඉවසාගෙන සිටි එක්තරා කම්කරුවන් පිරිසක් අරගලයක් කිරීමට සූදානම් වූහ.
1886 මැයි 1 වැනිදා අමෙරිකාවේ චිකාගෝ නුවරට එක්රැස් වූ ඔවුන් සිය හාම්පුතුන්ගෙන් ඉල්ලා සිටියේ දිනක සේවා මුරය පැය 8ක් දක්වා කෙටි කරන ලෙස ය. මැයි 03 වන දින වන විට 65000 ට අධික කම්කරුවන් පිරිසක් මේ අරගලයට එකතු වූ අතර, පොලිසිය සහ අරගලකරුවන් අතර ඇති වූ ගැටුම්වලින් පිරිසක් මියගිය අතර, බොහෝ පිරිසක් තුවාල ලැබූහ. කම්කරු නායකයින් 08 දෙනෙකු අත්අඩංගුවට පත් වූ අතර කීපදෙනෙක් වෙනුවෙන් සිරදඬුවම් සහ මරණ දණ්ඩනය ද හිමිවිණි. කෙසේ වෙතත් 1893 ජුනි 26 වැනිදා චිකාහෝ පිහිටි ඉලිනොඉස් ප්‍රාන්තයේ ආණ්ඩුකාරයවරයා ලෙස කටයුතු කළ ජෝන් පීටර් ඇල්ට්ගෙල්ඩ් තීන්දු කළේ එම කම්කරු නායකයන් අට දෙනා නිවැරදිකරුවන් බැවින් සිරගතව සිටි සෙසු කම්කරු නායකයන් තිදෙනාට ද නිදහස හිමිකර දීමටය. එයින් ඇරඹි මැයි දිනය අදටත් ලෝකයේ සෑම රටක්ම පාහේ කම්කරු දිනය ලෙස සැමරීම ආරම්භ වූවේය.
ලෝක ඉතිහාසය එසේ වද්දී ශ්‍රී ලංකාවේ කම්කරු දිනය සැමරීම ආරම්භ වන්නේ මේ සිදුවීමෙන් වසර 38කට පමණ පසුව ය. ඒ 1927 වසරේදී ඒ.ඊ ගුණසිංහගේ ප්‍රධානත්වයෙන් මෙරට කම්කරු සැමරුමක් පැවැත්වීමෙනි. එදා මැයි දින පෙරහරක් පවත්වා පැමිණ සිටි කම්කරුවන්ට තෑගි බෝග බෙදාදීමක් ද සිදුවිණි. එතැන් පටන් විවිධ දේශපාලන පක්ෂ සහ කම්කරු සංගම් සහ කණ්ඩායම් විසින් මැයි දින සැමරුම් අද දක්වාම පවත්වාගෙන එනු ලබයි.
දේශපාලන පක්ෂයක් වශයෙන් සහ කම්කරුවන්ගේ සුබ සිද්ධිය වෙනුවෙන් බොහෝ තීරණාත්මක සාධනීය පියවරයන් වැඩ කරන ජනතාව වෙත දායාද කළ එක්සත් ජාතික පක්ෂය මැයි දිනය යනු හුදු සැමරුම් දිනයකට එහා ගොස් සැබෑ කම්කරු නිදහස සහ අයිතීන් දිනාගත් එකක් බවට පත් කිරීම කැපී පෙනෙන ඓතිහාසික වෙනසකි. සේවක භාරකාර අරමුදල පිහිටුවීම වැඩ කරන ජනතාව ලැබූ සැබෑ ජයග්‍රහණයකි. එම ජයග්‍රහණයේ නියමුවා එක්සත් ජාතික පක්ෂයයි. 1981 මාර්තු මස පළමු දින ආරම්භ කරන ලද මෙම අරමුදල මඟින් මේ වන විට මිලියන 03 ට ආසන්න සාමාජිකයන් සිටින එහි වටිනාකම රුපියල් බිලියන 320 ක් ඉක්මවයි. එසේම සේවක අර්ථසාධක අරමුදලේ ලබා දුන් පොලී ප්‍රතිශතය ඉහළ දැමීම ද එක්සත් ජාතික පක්ෂ රජය විසින් ඉටු කළ තවත් සුවිශේෂී පියවරකි. ඒ හා සමානව හාම්පුතුන් විසින් සේවකයින් වෙනුවෙන් ගෙවන ලද ප්‍රතිශතය ඉහළ දැමීම වෙනුවෙන් ගත් ක්‍රියාමාර්ග අදටත් සමස්ත ශ්‍රී ලාංකික වැඩ කරන ජනතාවගේ පැසසුමට ලක්වෙමින් තිබේ.
එසේම අවිධිමත් ලෙස සේවය කළ පිරිස් විධිමත් සේවකයන් බවට පත් කිරීම උදෙසා පනත් සම්මත කිරීමත්, සේවකයන් සේවයෙන් ඉවත් කිරීමේදී පැවති යල්පැන ගිය ක්‍රමවේද වෙනුවට නවීන "වන්දි සූත්‍රයක්" හඳුන්වා දීම, එක්සත් ජාතික පක්ෂය සේවක සුරක්ෂණය පිළිබඳව ගත් දූරදර්ශී තීන්දුවලට උදාහරණ වේ.
එසේම කම්කරු ආරවුල් පනත ඇති කිරීමත්, 1983 අංක 12 දරන පාරිතෝෂික දීමනා පනත බිහිකරමින් සේවකයන්ගේ අනාගතය පිළිබඳව මුල්‍යමය ස්ථාවර පිළිබඳව කටයුතු කිරීම එක්සත් ජාතික පක්ෂය විසින් වැඩ කරන ජනතාව වෙත තිළිණ කර දුන් දායාද වේ.
දරු ප්‍රසූතිය වෙනුවෙන් ප්‍රසූත නිවාඩු ලබා දෙමින් දරු ප්‍රසූතියෙන් අනතුරුව කිරි පැය හඳුන්වා දෙමින්ද අනාගත දරු පරපුර වෙනුවෙන් නිදහස් මනසකින් යුතු මාතෘත්වයක් ලැබීමට කාන්තාවට ලබා දුන් අයිතිවාසිකම වැඩ කරන ස්ත්‍රිය වෙනුවෙන් ලබා දුන් උදාරතර ගෞරවයකි.
එසේම කම්කරු වන්දි පනත ක්‍රියාත්මක කිරීමේදී අදාළ වූ රුපියල් 500 සහ ඊට අඩු සේවකයින් වෙනුවෙන් පමණක් සිමා වී තිබු පනතට 1990 වර්ෂයේදී කරන ලද සංශෝධනයට අනුව වැටුප් සීමාව ඉවත් වී ඕනෑම වැටුප් තලයක සේවකයකුට මෙම පනත අදාළ කිරීම තවත් වැදගත් පියවරකි. එසේම වෘත්තීය පුහුණු මධ්‍යස්ථාන බිහි කරමින් වඩා කාර්යක්ෂම සහ ඵලදායී තාක්ෂණයෙන් සපිරි පුහුණු ශ්‍රමිකයන් බිහි කරන්නට ගත් ක්‍රියා මාර්ග ද එක්සත් ජාතික පක්ෂය වැඩ කරන ජනතාව වෙනුවෙන් ලබා දුන් තවත් දායාදයකි. එසේම වෘත්තීය සමිති නායකයන්ට විදෙස් සම්මන්ත්‍රණ සහ සමුළුවලට සහභාගී වීමට අවශ්‍ය රාජ්‍ය අනුග්‍රහය ලබා දීම ද තවත් කම්කරු ගෝලීය සබඳතා වර්ධනය කර ගැනීමටත් නව දැනුම ලබා ගැනීමටත් ලබා දුන් මනා පිටිවහලකි.
නිරන්තරව බලයට පත් වූ සෑම මොහොතකම කුමන ආර්ථික ගැටලු මධ්‍යයේ වුව ද රාජ්‍ය සේවක වැටුප් ඉහළ දමමින්, ජීවන තත්ත්වය ඉහළ දැමීමට ගත් අසීරු ප්‍රයත්න ජනතා හිතකාමී පාලන තන්ත්‍රයක අපේක්ෂාවන් ඉටු කර දුන් අවස්ථාවන් ලෙස හඳුන්වා දිය හැකිය. ධනපති පක්ෂයක් ලෙස හැඳින්වුවද කම්කරුවන් වෙනුවෙන් සැබෑ ලෙස පෙනී සිටි සැබෑම කම්කරු පක්ෂය එක්සත් ජාතික පක්ෂයය.
මැයි දිනය සමරන 2023 වර්ෂය සැබවින්ම තීරණාත්මක එකකි. 2022 වර්ෂයේ කම්කරුවන් සේම ධනපතියත් කම්කරු දිනයේදීත් සිටියේ ගෑස්, තෙල්, පෝලිමේය. ගෙවී ගිය දුෂ්කර කාලය අළු දූවිලි ගසා නැඟී සිට යළිත් දුර ගමනක් යා යුතු බව ඔබ අප සැම දෙනෙක්ම හොඳින් අවබෝධ කර ගත යුතු වසරක් එළැඹ ඇත.
අතීතය හාරා අවුස්සමින් සිටිනවාට වඩා අනාගතය ගැන නිවැරදි දැක්මකින් යුතුව සියලු දෙනා එකතු වී ඉලක්කගත ගමනක් යා යුතුව තිබේ. ඒ වෙනුවෙන් වර්තමාන නායකත්වය සපයන ජනාධිපති රනිල් වික්‍රමසිංහ නම් වූ නිර්භීත මිනිසා අවංක චේතනාවෙන් යුතුව සටන් වදිමින් සිටියි. එහි වගකීමේ ප්‍රමුඛම කේන්ද්‍රය බවට පත්වන්නේ වැඩ කරන ජනතාව වශයෙන් ඔබ, අප සැමය.
විවිධ දේශපාලන සිහින වෙනුවෙන් වැඩ කරමින්, ජනතාව නොමඟ යවමින් පාරට ඇද දමනා බලවේග පරාජය කළ යුතු වන්නේ, ඔවුන් ඔබෙන් ඔබේ දරුවාගේ රට උදුරා ගන්නට මාන බලනා නිසාවෙනි. එබැවින් “ජයගමු” යන තේමාව යටතේ අපි මෙවර මැයි දින රැලිය සමරන්නෙමු.
ආර්ථික අර්බුදය, සමාජ අර්බුදය ආදී මෙකී නොකී සෑම අර්බුදයක්ම අපි එක්ව ජයගමු. වැඩ කරන ජනතාවගේ ශක්තියෙන් අපි රට ජය ගන්නෙමු. තරුණ පරපුරේ අලුත් තාක්ෂණයෙන් අපි ජයගමු. කෘත්‍රිම බුද්ධියෙන් රට ජයගමු.
කෘෂි කර්මාන්තයෙන් රට ජයගනිමු. සහෝදරත්වයෙන් අපි ජයගනිමු. කම්කරු දිනයෙන් අප රට ඉදිරියට ගෙන යන මඟට පිවිසෙමු. ආසියාව ලෝකයේ බලවතා වන විට ලංකාව ද එහි කොටස්කරුවකු කිරීමේ ජනපතිතුමන්ගේ උත්සාහය සාර්ථක කරගත හැකිවන්නේ අපි එකාවන්ව නැඟී සිටියහොත් පමණකි. එම අධිෂ්ඨානයෙන් කම්කරු දිනය සමරමු.
සාගල රත්නායක
(ජාතික සංවිධායක - එක්සත් ජාතික පක්ෂය)