
මෙම ගැඹුරු දැනුම් ලබාගනු සඳහා අප මුලින් ම සිත හා කය වෙන වෙනම දැකිය යුතුය. ඒ සමඟම ඒ දෙක අතර පවත්නා අන්‍යොන්‍ය සම්බන්ධය ද දැකිය යුතුය. අපගේ දැනුම තියුණු වීමත් සමඟ සිත හා කයට අයත් සියලු ස්කන්ධ කොටස් එකිනෙකට උදවු වන සැටිත් කිසිදු එක් කොටසකට තනිව පැවැත්මක් නැති බවත් දකින්ට හැකි වෙයි.
මෙහිදී ශක්තිමත් සිරුරක් සහිත අන්ධ මිනිසා හා දෑස පෙනෙන නමුත් ඇවිදීමට නොහැකි මිනිසා සම්බන්ධ ප්‍රකට උපමාවේ නියම තේරුම පැහැදිලිවම දැක ගැනීමට පිළිවන. ඔවුන් දෙදෙනා එක් වූ විට, අන්ධ මිනිසාගේ කර මත වාඩිවන අබ්බගාත මිනිසා ඔහුගේ මඟ පෙන්වන්නා වී දෙදෙනාගේම ඉලක්කය කරා පහසුවෙන් යා හැකි බව මනාව පෙන්නුම් කරයි. එලෙසම, ශරීරයට තනිවම කිසිවක් කළ නොහැකිය. එය හරියට අනිත්‍යයේ සත්‍යයට ගොදුරු වී, ජරාවට පත් වී, මරණයට පත්වෙනවා හැරෙන්නට වෙනත් කිසිවක් කරගත නොහැකි ලී කොටයකට සමානය. සිරුරේ සහාය නොමැතිව, මනසට පමණක් කළ හැකි කිසිවක් ද නැත. එක් වී, ඔවුන් කෙතරම් පුදුමාකාර දේ කරනවාද කියා, මනස හා සිරුර දෙස එළැඹි සිහියෙන් යුතුව බලන අපට මනාව වැටහෙයි.
එකතැන වාඩි වී සිටීමෙන් තරමක් දුරට එළැඹි සිහිය වඩා ගැනීමට අපට හැකි වන්නේය. දින කිහිපයක හෝ මාස කිහිපයක ධර්ම විවේකයකට ගොස්, අපගේ හැඟීම්, දැනීම්, අප්‍රමාණ සිතිවිලි සමූහය හා විඥානයේ විවිධ තත්ත්වයන් නිරීක්ෂණය කිරීම මඟින්, ක්‍රමයෙන් අප සන්සුන් හා සාමකාමී බවට පත්වේ. සාමාන්‍ය ජීවිතයේ දී එක තැනකට වී භාවනා කරමින් මුළු කාලයම ගත කරන්නට ඉඩකඩ ලැබෙන්නේ නැත. එම නිසා අපගේ එදිනෙදා ජීවිතයේදී බලාපොරොත්තු නොවූ තත්ත්වයන් ඇති වූ විට ඒවා හොඳින් හසුරවා ගැනීමට පහසුවන අන්දමට, අපගේ එළැඹි සිහිය ප්‍රයෝජනයට ගැනීම සඳහා ක්‍රම සොයා ගත යුතුයි.
එදිනෙදා ජීවිතයේදී මුහුණපාන සිදු වීම් පිළිබඳව කල්තියා ප්‍රකාශ කළ නොහැකිය. අප ජීවත් වන්නේ හේතුඵල සහිත අස්ථිර ලෝකයක බැවින්, දේවල් සිද්ධ වීමට බොහෝ හේතු කාරණා මූලික වේ. ඕනෑම අවස්ථාවකදී පාවිච්චි කිරීම සඳහා අප ළඟ තිබෙන මෙවලම් කට්ටලය වන්නේ අපගේ එළැඹි සිහියයි. අප කෝපයට පත්ව ඇති අවස්ථාවකදී සිහි නුවණින් සිත ගැන විභාග කර බැලූ විට අප පිළිබඳව අමිහිරි ඇත්ත සොයා ගැනීමට හැකි වේ. උදාහරණයක් ලෙස ගත් කල, අපගේ ආත්මාර්ථකාමී බව, "මම" යන සංකල්පය සමඟ ඇති බැඳීම, මතයන් හි එල්ලීගෙන සිටීම, අප හරිය හා අනෙක් අය වැරදිය යනුවෙන් සිතීම, පක්ෂපාතී බව හා අප අපටම ආදරය, කරුණාව නොදක්වන බව පෙනෙනු ඇත. අමිහිරි නමුදු මෙම සොයා ගැනීම ඉතාමත් ඵලදායී අත්දැකීමකි. අවසානයේදී මෙය, මුල් බැස ගත් මානසික හා ආධ්‍යාත්මික දුක්පීඩාවලින් අපව මුදාගනු ඇත.
එළැඹි සිහිය වඩා ගැනීම යනු සියයට සියයක්ම තමා සමඟ අවංක වීමට පුරුදු වීමය. අපගේ සිත හා කය දෙස බලා සිටින විට, පිළිගැනීමට අප්‍රසන්න දේ දැකගැනීමට හැකිවෙයි. ඒවාට අකමැති වන අපි ඒවා ප්‍රතික්ෂේප කරමු. අප අකමැති දේවල් මොනවාද? ආදරය කරන අයගෙන් වෙන්ව ජීවත් වීමටත්, ආදරය නොකරන අය සමඟ පිවිසීමටත් අප අකමැතිය. මිනිසුන්ට පමණක් නොව යම් යම් ස්ථාන, අදහස්, මත, විශ්වාස හා තීරණවලට ද අප අකමැතිය. ස්වාභාවිකව අපට සිදුවන දේවලට ද අපගේ කැමැත්තක් නැත. අපගේ බාහිර පෙනුම ආරක්ෂා කර ගැනීමේ බලවත් අභිලාෂය නිසා වයසට යෑම, රෝගී වීම, දුර්වල වීම හෝ වයස පෙන්නුම් කිරීම ගැන අප අකමැතිය. අප පිළිබඳ ඇති අභිමානය නිසා කිසිවකු අපගේ වැරදි පෙන්වා දීම ගැන අපි සතුටු නොවෙමු. තමා පිළිබඳ මුළාවට පත්ව සිටින අප, තව කෙනෙක් අපට වඩා ඥානවන්ත වීම රුස්සන්නේ නැත. මේවා ලෝභ ද්වේශ හා මෝහ යන මූලික අඩුපාඩු සම්බන්ධයෙන් අපගේ පෞද්ගලික අත්දැකීමෙන් ගතහැකි උදාහරණ කිහිපයක්ය.
ලෝභය, ද්වේෂය හා මෝහය අපගේ එදිනෙදා ජීවිතයේදී අත්දකින විට, එළැඹි සිහිය භාවිත කර ඒවා ලුහුබැඳ ගොස් අල්ලාගෙන ඒවායේ මූලය සොයා ගනිමු. මෙම මානසික ස්වභාවයන් සියල්ලේම මූලය ඇත්තේ අප තුළය. යමකුගේ ක්‍රියාවක්, වදනක් හෝ හැසිරීමක් හේතුවෙන් කෝපය ඇති කරන්නේ වෛර මූලය බැවින් අප තුළ එය නොපවතින විට කිසිවකුට අප තරහ ගැන්විය නොහැකිය. එළැඹි සිහිය ඇති විට අපි ඉතා උනන්දුවෙන් ප්‍රඥා සම්පන්නව අපගේ සිත දෙස බලමු. වෛරය අප තුළ නොපවතින විට කිසිවෙකු අපගේ වැරදි පෙන්වා දුන් කල අපි කෝප නොවෙමු. ඒ වෙනුවට දුර්වල තැන් පිළිබඳ අපගේ අවධානය යොමු කර දීම ගැන ස්තුතිවන්ත වෙමු. එමගින් අපගේ වැඩි යහපතට අවස්ථාවක් උදාකර දෙන බැවින් අපගේ වරද පහදා දෙන පුද්ගලයන්ට ස්තූති කිරීමට අප ප්‍රඥාවන්තව හා සිහියෙන් කටයුතු කිරීම අවශ්‍යය. අපට නොපෙනෙන ස්ථාන තිබේ. එම පුද්ගලයා අපගේ කැඩපත මෙන් ක්‍රියා කරයි. ඔහු අපගේ අනුදැනුම නැතිව, අප තුළ සැඟවී ඇති නිධානයක් ගොඩගත් තැනැත්තෙක් සේ සැලකිය යුතුයි. අපට සංවර්ධනය විය හැක්කේ අපගේ තිබෙන අඩුපාඩු දැන ගැනීමෙන්ය. අපගේ පැවැත්මේ අවසාන පරමාර්ථය වන පරිපූර්ණත්වය සඳහා නොවරදින ක්‍රමය වන්නේ අප වඩාත් යහපත් වීමයි. අප තුළ සැඟවී ඇති එම උතුම් ගුණධර්ම වැඩි දියුණු කළ හැක්කේ, අපගේ දුර්වලතා ජය ගැනීමෙන් පමණක්ය. ජය ගැනීමට ප්‍රථමයෙන් ඒවා මොනවාදැයි දැන ගැනීම අවශ්‍යය.
අප රෝගාතුර වී සිටී නම් එයට හේතුව සොයාගත යුතුයි. එයට ප්‍රතිකාර කළ හැකිවන්නේ එවිටය. රෝගයෙන් පෙළෙමින් වුව ද, නීරෝගි බව බොරුවට ඇඟවීමෙන් කිසිදිනෙක එයට ප්‍රතිකාර ලබා ගත නොහැකිය. එලෙසින්ම දුර්වලතා නැතැයි සිතන තාක් කල් අපගේ ආධ්‍යාත්මික මාර්ගය එළි පෙහෙළි කර ගත නොහැකිය. අපට අපගේ දෝෂ නොපෙනේ නම් ඒවා පෙන්වා දීමට කිසිවෙක් සිටිය යුතුයි. ඔවුන් අපගේ දෝෂ පෙන්වා දුන් විට, සාරිපුත්‍ර තෙරණුවන් මෙන් ඔවුන්ට කෘතඥ පූර්වක විය යුතුය.
"සත් අවුරුදු වයසැති සාමණේර නමක් වුවද මගේ වැරදි පෙන්වා දුන් විට පවා මම ඒවා ඉතා ගෞරවයෙන් පිළිගනිමි." සාරිපුත්‍ර රහතන් වහන්සේ සියයට සියයක් එළැඹි සිහිය පවත්වා ගත් සියලු දෝෂයෙන් තොර වූ බුද්ධ පුත්‍රයෙක් විය. උන්වහන්සේ තුළ කිසි අභිමානයක් නොතිබූ බැවින්, මෙවැනි මානසික තත්ත්වයක් පවත්වා ගැනීමට උන් වහන්සේට හැකියාව තිබුණේය. අපි රහත් භාවයක් ලබා නොගත්තවූන් වූව ද උන්වහන්සේ ලබාගත් එම තත්ත්වය දිනා ගැනීම සඳහා අධිෂ්ඨාන පූර්වකව උන්වහන්සේ අනුගමනය කළ යුත්තෙමු.
සැබැවින්ම අපගේ වැරදි පෙන්වා දෙන්නා මුළුමනින්ම නිවැරදි පුද්ගලයකු නොවන නමුත්, ඔහුගේ වැරදි අප පෙන්වා දෙන තුරු ඔහුට නොපෙනේ. එහෙත් අපගේ දුර්වලකම් ඔහු හොඳින් දනී. වැරදි පෙන්වා දීම සහ එයට ප්‍රතිචාර දැක්වීම ඉතාමත්ම කල්පනාවෙන් කළ යුත්තකි. කෙනකු අසිහියෙන්, අකාරුණිකව මෙන්ම සැරපරුෂ වදනින් යමකුගේ දුර්වලකම් පහදා දෙයි නම් ඔහු තමාට හා එම තැනැත්තාට උදව්වකට වඩා හානියක් කරයි. කෝපයෙන් කතා කරන විට සිහිය පවත්වා ගත නොහැකි බැවින් එම තැනැත්තාට පැහැදිලිව යමක් ප්‍රකාශ කිරීමේ ශක්තියක් නැත. එමෙන්ම අසා සිටින්නා ද සැර පරුෂ වදනින් වේදනාවට පත්වන නිසා කියන දේ අසන්නේ හොඳ සිහියෙන් නොවෙයි. කතාවෙන් හා සවන් දීමෙන් ප්‍රයෝජන ලැබීමට නම් සිහියෙන් කතා කිරීම මෙන්ම සිහියෙන් අසා සිටීම ද එකහෙළා වැදගත් ය. එවිට අපගේ සිත තෘෂ්ණාවෙන්, ආත්මාර්ථයෙන්, වෛරයෙන් හා රැවටිල්ලෙන් තොර වේ.
භාවනායෝගීන් ලෙස අප සැමට අරමුණක් තිබීම වැදගත් වේ. එසේ නැතිනම් අපගේ පුහුණුව අඳුරේ අතපත ගෑමක් වැනිය. කැමැත්තෙන් හා සිහිබුද්ධියෙන් ඉටුකරන සෑම දෙයක් සඳහාම අරමුණක් තිබිය යුතුයි. අනෙක් අයට කලින් ධර්මාවබෝධය ලබා ගැනීම හෝ විශාල බලයක් ලබා ගැනීම හෝ අන් අයට වඩා ලාභ ලැබීම විපස්සනා භාවනා පුහුණුවන්නන්ගේ පරමාර්ථය නොවෙයි. කිසිම භාවනායෝගියකු එළැඹි සිහිය ලබාගැනීම සඳහා එකිනෙකා සමඟ තරග නොකරයි. අපගේ පරමාර්ථය විය යුත්තේ, යටි සිතේ සැඟවි තිබෙන උදාර ගුණාංග මතුකර ගැනීමයි. මෙය පස්වැදෑරුම්ය. සිත පවිත්‍ර කිරීම, ශෝකය හා දුක ජය ගැනීම, වේදනාව හා වියෝව ජය ගැනීම, සදාතනික සැනසිල්ල අත්කරදෙන නිවැරදි මාර්ගයෙහි ගමන් කිරීම හා එමඟින් ප්‍රීතිය අත්පත් කර ගැනීම යන මෙම පස් වැදෑරුම් ඉලක්කය සිහියේ තබාගෙන බලාපොරොත්තුවෙන් හා විශ්වාසයෙන් යුතුව ඉදිරියට පිය නඟමු.
වාඩි වූ පසු, ඔබ කලින් තීරණය කර ගත් කාලය අවසන් වන තෙක්, ඔබගේ ඉරියව්ව වෙනස් නොකරන්න. මුලින් වාඩි වූ ඉරියව්ව අපහසු නිසා මාරු කළා යයි සිතන්න. මඳ වේලාවකට පසු අලුත් ඉරියව්ව ද අපහසු බව ඔබට හැඟෙයි. එවිට ඔබට නැවත වරක් වාඩි වී සිටින අන්දම වෙනස් කරන්නට සිදුවෙයි. මෙවැනි කෙළවරක් නැති චලනයන්, මාරු කිරීම් හා වෙනස් කිරීම් හේතුවෙන් ඔබට ගැඹුරින් සිත එකඟ කර ගැනීමකට ඉඩ නොලැබී යයි. එබැවින් පළමුවෙන් වාඩිවන ආකාරයේ වෙනසක් සිදු නොකිරීමට උපරිම උත්සාහ දැරීම අවශ්‍යය. වේදනාව සමඟ කටයුතු කරන්නේ කෙසේ ද යන්න අපට ඉදිරියේදී සාකච්ඡා කළ හැකිය.
ඉරියව්ව මාරු කිරීම වළක්වා ගැනීමට, භාවනාවට ගත කරන කාලය වාඩි වීමට පෙර තීරණය කර ගත යුතුය. කෙදිනක හෝ භාවනා නොකළ කෙනෙක්, මුල් වතාවේදී විනාඩි විස්සක පමණ කාලයක් ඒ සඳහා වැය කිරීම යෝග්‍යය. දිගටම භාවනා කරගෙන යන විට භාවනා කාලය ක්‍රමක්‍රමයෙන් දීර්ඝ කර ගැනීමට පුළුවන. භාවනාව සඳහා වාඩිවන කාලය තීරණය කළ යුත්තේ ඔබට තිබෙන කාලය හා වේදනාවක් නැතිව එක දිගට කොපමණ කාලයක් වාඩි වී සිටීමට හැකියාව තිබේද යන්න මතය.
(ලබන කලාපයෙන් සිත අයාලේ යන විට
කුමක් කළ යුතුද යන්න ගැන විමසා බලමු)