
රජරට ගොවි ජනපද පුරා පැතිර ඇති ‘හඳුනා නොගත්’ වකුගඩු රෝගයෙන් ජීවිත කාලය පුරාම රටට බත සපයන්නට මහ පොළොව සමඟ ඔට්ටු වෙන ගොවීන් ද ඔවුන්ට සහය දෙන ගෙවිලියෝ ද දැඩි ලෙස පීඩා විඳිති. මේ නිසා ඔවුන්ට ගොවිතැනින් ඈත්වී රෝහල්වලත්, සායනවලත් කාලය ගත කරන්නට සිදුවී තිබේ. අතේ ඇති සියලු සන්තකය වියදම් කළ ද ඔවුන්ට තවමත් දිවි රැකගැනීම ගැන සහතිකයක් නැත.
රෝගයේ අවදානම
තොරතුරු දැනගැනීමේ පනත යටතේ මේ සම්බන්ධයෙන් සිදු කළ විමසීමකට ප්‍රතිචාර දක්වමින් සෞඛ්‍ය අමාත්‍යාංශයේ තොරතුරු නිලධාරී, විශේෂඥ වෛද්‍ය එස්. එම්. ආනල්ඩ් පවසන්නේ 2015 වර්ෂය වන විට ශ්‍රී ලංකාව තුළ ‘හඳුනා නොගත් වකුගඩු රෝගීන්’ 30,657ක් වාර්තා වී තිබූ බවයි. එම සංඛ්‍යාව 2022 වනවිට 65,937ක් දක්වා වර්ධනය වී තිබේ.
එම දත්ත අනුව නිරීක්ෂණය වන්නේ වසර හතරකට වරක් වකුගඩු රෝගීන් සංඛ්‍යාව දෙගුණයකින් වර්ධනය වෙමින් පවතින බවයි.
මුල් කාලයේ මැදි වයසේ රෝගීන් පමණක් හමු වුව ද ක්‍රමයෙන් තරුණයන් හා ළමයින් ද රෝගයට ගොදුරු වන බව හඳුනා ගෙන ඇත.
‘හඳුනා නොගත් වකුගඩු රෝගය’ හේතුවෙන් සිදුවන මරණ පිළිබඳ සම්පූර්ණයෙන් සත්‍යාපනය කළ ලේඛන නොමැති බව, ශ්‍රී ලංකා ජාතික විද්‍යා ඇකඩමිය (NASSL)විසින් 2013 දෙසැම්බර් මාසයේ කොළඹ දී පවත්වන ලද ජාතික සම්මන්ත්‍රණයක් අමතමින් එහි සභාපති ආචාර්ය කිංස්ලි ද අල්විස් ප්‍රකාශ කර තිබේ. එහිදී ඔහු සඳහන් කළ තොරතුරු අනුව, 2013 දක්වා වසර 20ක කාලය තුළ එම රෝගය නිසා සිදුවී ඇති මරණ සංඛ්‍යාව දළ වශයෙන් 20,000ත් 22,000 අතර අගයක් ගනී.
පොළොන්නරුවේ දුෂ්කර ගම්මානවල වකුගඩු රෝගීන් සමග දිගු කලක් කටයුතු කර ඇති වෛද්‍ය මහින්ද කරුණාරත්න පවසන්නේ, වකුගඩු රෝගයට ගොදුරු වූ බව හඳුනා ගන්නා අවස්ථාව වන විටත් බහුතරයක් රෝගීන්ගේ වකුගඩු 60%-70%ක් පමණ අකර්මණ්‍ය තත්ත්වයේ පවතින බවයි. රෝගයේ හතර වන අවදිය හෙවත් අවසන් අවදියේ පසුවන එවැනි පුද්ගලයකු වසර 4-5ක් අතර මිය යෑමේ අවදානමක් තිබෙන බව ද වෛද්‍යවරයා පවසයි. හෙතෙම වැඩිදුරටත් පෙන්වා දෙන්නේ වකුගඩු රෝගය වැලඳුණ ද රෝග ලක්ෂණ නොපෙන්වන විශාල පිරිසක්ද සමාජයේ සිටින බවයි. ‘රෝගය’ සුව කළ හැකි නිශ්චිත ප්‍රතිකාර ක්‍රමයක් බටහිර හෝ වෙනත් ලියාපදිංචි වෛද්‍ය ක්‍රමයක නොමැති වීම ද මෙම රෝගයේ අවදානම පෙන්නුම් කරන්නක් බව හෙතෙම පවසයි.
රෝගයට හේතුව සම්බන්ධ විවිධ මත
උතුරු මැද පළාතෙන් වාර්තාවන ‘හඳුනා නොගත් වකුගඩු රෝගීන්’ සංඛ්‍යාව වසංගත තත්ත්වයෙන් වැඩි වීමත් සමඟ රෝගයට හේතුව සොයා පර්යේෂණ හා අධ්‍යයන සිදු කිරීමට වෛද්‍ය, කෘෂිකර්ම හා භූ විද්‍යා වැනි ක්‍ෂේත්‍රවල පර්යේෂකයන් කටයුතු කර තිබේ. එසේම දේශපාලකයන් ආගමික නායකයන් වැනි අය ද රෝගයට හේතු සම්බන්ධව විවිධ අදහස් හා මත ප්‍රකාශ කර ඇත.
අනුරාධපුර රෝහලේ කායික වෛද්‍ය විශේෂඥ වසන්ත දිසානායක පවසන්නේ උතුරු මැද පළාතේ ජනයා බීමට ගන්නා ජලයේ ඇති ෆ්ලෝරයිඩ්, කෘෂි රසායන සහ ඇලුමීනියම් භාජන භාවිත කිරීම රෝගයට හේතු විය හැකි බවයි.
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ රසායන විද්‍යා අංශයේ මහාචාර්ය ඕ.ඒ. ඉලේපෙරුම හා භූ විද්‍යා අංශයේ ආචාර්ය එච්. ඒ. ධර්ම ගුණවර්ධන යන විද්වතුහු ද මීට සමාන මතයක් ප්‍රකාශ කරති. ඔවුන් පවසන්නේ, අඩු ප්‍රමිතියෙන් යුත් ඇලුමීනියම් භාජන සමඟ කිවුල් ජලයේ ඇති ෆ්ලෝරයිඩ් සහ සියඹලා, දෙහි සහ විනාකිරි ආදී රසකාරක ප්‍රතික්‍රියා කිරීම රෝගයට හේතුව බවයි.
වකුගඩු රෝගය පිළිබඳ පර්යේෂණ සිදුකළ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ධම්මිකා මැණිකේ දිසානායක පෙන්වා දෙන්නේ පානීය ජලයේ ඇති සයනො බැක්ටීරියා, රෝගය සඳහා හේතු විය හැකි බවය.
කෘෂි රසායන මඟින් රජරට වාරි ජලයට එකතු වන කැඩ්මියම්, තිලාපියා මසුන්ගේ සිරුරුවල එකතු වන බවත් එම මසුන් ආහාරයට ගැනීම හේතුවෙන් වකුගඩු රෝගය හටගන්නා බවත් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කෘෂිකර්ම පීඨයේ මහාචාර්ය සරත් බණ්ඩාර පවසයි. එසේම නෙළුම් අල සහ කංකුං වැනි ජලාශ්‍රිත ආහාරවල තැන්පත් වන රසායනික මඟින් ද වකුගඩු හානි වන බවට මත පළ විය.
මහාචාර්ය චන්න ජයසුමන සහ මහාචාර්ය නලීන් ද සිල්වා ඇතුළු කැළණිය විශ්වවිද්‍යාලයේ විද්වතුන් කණ්ඩායමක් ප්‍රකාශ කර තිබුණේ වකුගඩු රෝගයට ප්‍රධාන හේතුව වන්නේ කෘෂි රසායනවල අන්තර්ගතව ඇති ආසනික් මූලද්‍රව්‍ය බවයි.
ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශ මත මහාචාර්ය අජිත් ද අල්විස් සහ ආචාර්ය සචී පනාවල විසින් ‘හඳුනා නොගත් වකුගඩු රෝගය’ සම්බන්ධයෙන් ජාතික වශයෙන් දක්වා ඇති ප්‍රතිචාර සම්බන්ධව 2019 දී පර්යේෂණ පත්‍රිකාවක් ප්‍රකාශයට පත්කර ඇත.
සැලසුමක් නැති පර්යේෂණ
සෞඛ්‍ය අමාත්‍යාංශය, වකුගඩු රෝගය සම්බන්ධව ප්‍රතිපත්තිමය තීරණ ගැනීමේදී පරිශීලනය කරන පර්යේෂණ පිළිබඳව අපි තොරතුරු පනත යටතේ විමසීමක් කළෙමු. ඊට ප්‍රතිචාර වශයෙන් තොරතුරු නිලධාරීවරයා විසින් පර්යේෂණ 47ක් පිළිබඳ දත්ත අප වෙත එවා තිබිණි. එහෙත් ඒවා විශ්ලේෂණයේ දී පෙනී ගියේ විවිධ මාතෘකා යටතේ පර්යේෂණ 47ක් ලෙස ගොනුකර ඇතත් සැබැවින් ම එහි ඇත්තේ පර්යේෂණ 35ක් පමණක් බවයි.
මෙම පර්යේෂණවලින් වැඩි ප්‍රමාණයක් එක් විචල්‍යයක් හෝ විභවයක් අවධානම් සාධකයක් ලෙස සැලකීම හේතුවෙන් එකම දිශානතියකට යොමුව තිබෙන බව එම පර්යේෂණ වාර්තා අධ්‍යයනයේදී පෙනී යයි.
එම පර්යේෂණවල නිගමන පරිශීලනයේ දී ‘තවදුරටත් පුළුල් පරීක්ෂණ කළ යුතුය’ යනුවෙන් ඉන් බොහොමයක තබා ඇති සටහන් හමු වේ. වකුගඩු රෝගය සම්බන්ධ ජනාධිපති කාර්ය සාධක බලකායේ ද සහායෙන් ජෙනිෆර් පෙට් ඇතුළු විදේශීය පර්යේෂකයන් කණ්ඩායමක් විසින් ශ්‍රී ලංකාවේ වකුගඩු රෝගය සඳහා කෘෂි රසායනික හේතු වන්නේ ද යන්න අධ්‍යයනය කර තිබේ. ඔවුන් පවසන්නේ වකුගඩු රෝගය සහ ආසනික් ඇතුළු බැර ලෝහ අතර සම්බන්ධය පිළිබඳ පැහැදිළි සාක්ෂි නොමැති බැවින් රෝගයට හේතු සෙවීමට වෙනත් ‘පුළුල් පරීක්ෂණ’ සිදුවිය යුතු බවයි.
මේ පර්යේෂණ වාර්තා අධ්‍යයනයයේදී පෙනී ගිය තවත් කරුණක් වූයේ ඒවා බොහොමයක් කුඩා නියැදි ආශ්‍රයෙන් සිදු කළ පර්යේෂණ මිස පුළුල් පර්යේෂණ නොවන බවයි. මෙහිදී බරපතළ සැකයක් මතු වන්නේ, එම පර්යේෂණ සැබැවින් ම රාජ්‍ය මට්ටමින්, විධිමත් මෙහෙයවීමකින් සිදුවූ පර්යේෂණ ද එසේ නොවේ නම් ඒවා තම තමන්ගේ පුද්ගලික ශාස්ත්‍රාලයීය ඉලක්ක සහ අභිමතාර්ථ සම්පූර්ණ කර ගැනීම සඳහා හෝ ආචාර්ය උපාධිය හෝ මහාචාර්ය ධූරවල අවශ්‍යතා සඳහා සිදු කරන ලද පර්යේෂණ ද යන්නයි.
ආචාර්ය කමල් ගම්මම්පිල පවසන්නේ ලංකාවේ සෞඛ්‍ය බලධාරීන්, විශ්වවිද්‍යාල ඇතුළු රාජ්‍ය අංශය මෙම රෝගය සඳහා සැබෑ විසඳුම් සෙවීමට තරම් ප්‍රමාණවත් පර්යේෂණ සිදුකර නැති බවයි. එමෙන් ම ලංකාවේ සමහර පර්යේෂකයන් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ වාර්තා පවා ප්‍රතික්ෂේප කරන බව ද හෙතෙම පෙන්වා දෙයි.
සිදු කර ඇති පර්යේෂණ
සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් අප වෙත සපයා ඇති පර්යේෂණ වාර්තා 35 අතරින් 22ක ම, වකුගඩු රෝගය පවතින ප්‍රදේශවල භූගත ජලයේ සහ පානීය ජල මූලාශ්‍රවල කැඩ්මියම්, ෆ්ලෝරයිඩ් සහ ආසනික් ඇතුළු බැරලෝහ අඩංගු ද යන්නත් එය වකුගඩු රෝගයට හේතුවක් ද යන්නත් පිළිබඳ අවධානය යොමු කර තිබේ. ඒ අතරින් ආසනික්, කැඩ්මියම් යන බැර ලෝහත් ග්ලයිෆොසේට් රසායනිකයත් රෝගයට
හේතුව බව ප්‍රකාශ කර ඇත්තේ චන්න ජයසුමන සහ නලින් ද සිල්වා යන මහාචර්යවරුන්ගේ ප්‍රධානත්වයෙන් සිදු කර ඇති පර්යේෂණ 03ක පමණි. එම පර්යේෂණ තුනේ ද ඒ බව දක්වා ඇත්තේ අනුමාන සහ කල්පිතයන් ලෙසිනි. ගොවිතැනට යොදා ගන්නා රසායනිකයන්ගේ කැඩ්මියම් සහ ආසනික් ඇති බවත් පානීය ජල මූලාශ්‍රවල ද ඒවා දක්නට ලැබෙන බවත් ඔවුහු පවසති. වකුගඩු රෝගීන්ගේ මුත්‍රාවල, සහ වෙනත් ශරීර පටකවල ද කැඩ්මියම් සහ ආසනික් අඩංගු බැවින් ඒවා වකුගඩු රෝගයට හේතුවක් වන බවට කල්පිතයක් ගොඩනැඟීමට ඔවුන් උත්සාහ ගෙන ඇතත් එය දත්ත ඇසුරින් තහවුරු කර නොමැති බව පර්යේෂණ වාර්තා අධ්‍යයනයේදී පෙනී යයි.
අනිකුත් පර්යේෂක කණ්ඩායම් 19 ම පවසන්නේ පානීය ජලයේ මෙන්ම මිනිස් සිරුරු තුළ ද කැඩ්මියම් සහ ආසනික් තිබුණ ද ඒවා අහිතකර මට්ටමින් නොමැති බවයි. එබැවින් හඳුනා නොගත් වකුගඩු රෝගයට ජලයේ ඇති කැඩ්මියම්, ආසනික් හෝ වල් නාශකයක් වන ග්ලයිෆොසේට් හේතු වන්නේ යැයි ස්ථිරව ම කිව නොහැකි බව එම පර්යේෂකයන් පැහැදිලිව සිය වාර්තාවන් හි සඳහන් කර ඇත.
පර්යේෂණ වාර්තා ඇසුරින් මතුවූ ගැටලු පිළිබඳව විමසීම සඳහා අප පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය චන්න ජයසුමන මහතා ඇමතූ විට ඔහු කියා සිටියේ, වකුගඩු රෝගය සම්බන්ධයෙන් තමන් කරන ලද පර්යේෂණ පාදක කරගනිමින් පොතක් ලියා ඇති බවයි. එම පොත කියවීමෙන් කරුණු සොයාගත හැකි බව කියමින් ඔහු වැඩිදුර විමසීම්වලට පිළිතුරු දීමෙන් වැළකී සිටියේය.
ආසනික් කතාවේ ඇත්තේ ව්‍යාපාරික අරමුණක් ද?
වකුගඩු රෝගය සම්බන්ධ පර්යේෂණ සඳහා 2000 වර්ෂයේ සිට 2022 වර්ෂය දක්වා සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් හෝ සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුවෙන් වෙන්කර ඇති මුදල් කවරේ ද යන්න තොරතුරු දැනගැනීමේ පනත යටත් විමසූ විට ඔවුන් දන්වා එවා ඇත්තේ එවැනි තොරතුරු අමාත්‍යාංශය සතුව නොමැති බවයි.
ලෝකයේ ම අවධානයට ලක් වූ භයානක තත්ත්වයක් වන ‘හඳුනා නොගත් වකුගඩු රෝගය’ සම්බන්ධ පර්යේෂණ සඳහා රටේ සෞඛ්‍ය විෂය භාර අමාත්‍යාංශය මුදල් වෙන් කිරීමක් කර නොතිබීම හෝ වෙන්කර ඇති මුදලක් ගැන නොදැන සිටීම විමතියට කාරණයකි.
පානීය ජලය සමඟ වකුගඩු රෝගයේ සබැඳියාව
කෘෂි රසායන වකුගඩු රෝගයට හේතුවන බව පැවසුව ද රජරට ගොවියා එදා පටන්ම විශ්වාස කළේ තම පානීය ජලයේ ඇති ගැටලුවක් රෝගයට හේතු වන බවයි.
මහනුවර ජාතික අධ්‍යාපන ආයතනයේ ජ්‍යේෂ්ඨ පර්යේෂණ මහාචාර්ය ජේ. බණ්ඩාර ගිරාඳුරුකෝට්ටේ, ගින්නොරුව සහ සාරභූමිය යන ගම්මාන ඇතුළු ප්‍රදේශ කිහිපයක කළ පර්යේෂණවලින් පෙන්වා දී ඇත්තේ ජලයේ පවතින ෆ්ලෝරයිඩ්, කැඩ්මියම් සහ දෘඩතාවය (කිවුල) යන සාධක තුනේම එකතුව වකුගඩු රෝගයට හේතු විය හැකි බවයි.
වෛද්‍ය මහින්ද කරුණාරත්න පවසන්නේ තමන් විසින් වසර 10ක් පුරා වකුගඩු රෝගින්ගේ දත්ත එක්රැස් කරමින් කරන ලද පර්යේෂණ අනුව, වකුගඩු රෝගීන් බහුලවම හමුවී ඇත්තේ භූගත ජලය පානය කරන අය අතරෙන් බවයි. පිරිසිදු කරන ලද පානීය ජලය භාවිත කිරීමට ජනතාව උනන්දු කිරීමෙන් පසු ‘හඳුනා නොගත් වකුගඩු රෝගීන්’ වාර්තා වීමේ පැහැදිලි අඩුවක් තිබෙන බව ද වෛද්‍යවරයා පෙන්වා දෙයි. වකුගඩු ආශ්‍රිත පර්යේෂණ ලිපි ප්‍රකාශයට පත්කරන ජාත්‍යන්තර සඟරාවක් වන BMC Nephropathy, Vol. 20 හි දක්වා ඇත්තේ 2016 වර්ෂයේ දී උතුරුමැද පළාතේ අලුතෙන් වකුගඩු රෝගීන් 5,248 දෙනකු හඳුනා ගෙන ඇති අතර 2021 වර්ෂය වනවිට අලුතෙන් වාර්ෂිකව හඳුනා ගත් වකුගඩු රෝගීන් සංඛ්‍යාව 1,498ක් දක්වා අඩු වී ඇති බවයි. පිරිසිදු පානීය ජල භාවිතයට සමගාමීව රෝගීන් වාර්තා වීම් අඩුවී ඇති බව එම වාර්තාව වැඩිදුරටත් පෙන්වා දෙයි.
පර්යේෂණ නිවැරදි මඟට ගැනීමේ අවශ්‍යතාව
පර්යේෂණ කරන්නන් බහුතරයක් පූර්ව ලෙස නිගමනය කර ඇත්තේ විෂ ද්‍රව්‍යයක් රෝගයට හේතු වන බවයි. ‘හඳුනානොගත් වකුගඩු රෝගය’ සම්බන්ධව පර්යේෂණ සිදුකරන රුහුණු විශ්වවිද්‍යාලයේ සත්ත්ව විද්‍යා අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය මංගල ද සිල්වා මෙසේ පවසයි.
“ රෝගයට නිශ්චිත හේතුව සොයා ගන්න බැරි වුණේ එක් එක් පර්යේෂණ කණ්ඩායම් එක් එක් කල්පිතයන් ඔස්සේ පර්යේෂණ කිරීම නිසයි. මේ රෝගය හැදෙන්න බලපාන්නේ එක හේතුවක් නෙවෙයි; සාධක කිහිපයක එකතුවකින් වකුගඩු රෝගය හැදෙන බව දැන් පැහැදිලි වෙලා තියෙනවා. ඒ නිසා අප ඒ ඔස්සේ පර්යේෂණ කටයුතු ඉදිරියට කරගෙන යනවා. ජලයේ දෘඩතාව, ෆ්ලෝරයිඩ්, සමහර පළිබෝධනාශක සහ පොහොරවල ඇති බැරලෝහ වැනි සාධක කිහිපයක එකතුවක් සම්බන්ධව අප අධ්‍යයනය කරනවා.
මෙම ගැටලුවේදී සෞඛ්‍ය අමාත්‍යාංශය ලොකු සහයෝගයක් දුන්නේ නැහැ. අමාත්‍යාංශය ඉන්නේ අවුරුදු ගණනක් පිටිපස්සෙන්. අඩුම ගණනේ රෝගීන් ගැන නිශ්චිත තොරතුරුවත් ඔවුන් ළඟ නැහැ.”
වෛද්‍ය මහින්ද කරුණාරත්න පවසන්නේ රටක් ලෙස මෙම අභියෝගය ජය ගැනීම සඳහා සියලුම පර්යේෂකයන් ඒකරාශී වී සහයෝගයෙන් කටයුතු කළ යුතු බවයි.
සෞඛ්‍ය අමාත්‍යාංශයේ පිහිටුවා ඇති ජාතික වකුගඩු රෝග නිවාරණ හා පරීක්ෂණ ඒකකයේ ප්‍රධානී, වෛද්‍ය අසංග රණසිංහ සමඟ ද අපි වැඩිදුරටත් සාකච්ඡා කළෙමු.
“අද වනවිට දිස්ත්‍රික්ක 15කින් පමණ හඳුනා නොගත් වකුගඩු රෝගීන් වාර්තා වුණත් තවමත් වැඩිපුරම වාර්තා වන්නේ උතුරු මැද පළාතෙන්. රෝගයට හේතුව තවමත් හරියටම හඳුනා ගෙන නැති වුණත් පිරිසිදු පානීය ජල භාවිතයත් සමඟ රෝගීන් වාර්තා වීම හෝ රෝගීන් හඳුනා ගැනීමේ පැහැදිලි අඩුවක් ඇති බව සොයා ගෙන තිබෙනවා. එළඹෙන දෙසැම්බර් මාසයේදී මේ සම්බන්ධ වාර්තාවක් එළිදැක්වීමට අප බලාපොරොත්තු වෙනවා. පිරිසිදු පානීය ජලය ලබාදීමේ ව්‍යාපෘතිය ආරම්භ කළේ 2010 වර්ෂයේදී. වසර 2017 පමණ වනවිට රෝගීන් වාර්තා වීමේ අඩුවක් දකින්න ලැබුණා.”
වෛද්‍යවරයා පවසන්නේ රට තුළ තිබූ අඩු පහසුකම් සහ ජනතා සහයෝගය නොමැති වීම රෝගයට හේතුව සෙවීමේ කටයුත්තේදී ද තදින්ම බලපෑ බවයි.
“රෝගය හඳුනාගත් මුල් කාලයේදී අපට පරීක්ෂණ කරන්න පහසුකම් තිබුණේ නැහැ. අදටත් සමහර පරීක්ෂණවල සාම්පල් පිටරට යවලා තමයි පරීක්ෂා කරන්නේ. කොරෝනා සහ ආර්ථික ප්‍රශ්න හේතුවෙන් අවුරුදු 04ක පමණ සිට පරීක්ෂණ අතරමඟ නැවතිලා. පරීක්ෂණයකට සාම්පල් එකක් දෙන්න රෝගීන් කැමති නැහැ. මේක සත්තුත් එක්ක විතරක් කරන්න පුළුවන් පරීක්ෂණයක් නෙවෙයි. පරීක්ෂණ සාර්ථක ද බලන්න මිනිස්සුන්ට දෙන්න ඕන. සමහර පර්යේෂකයන් තමන්ගේ මතයම නිවැරදියි කිව්වා. ඒවා කල්පිත. ඔප්පු කරලා නෑ. ”
මෙවැනි අවස්ථාවක දී රාජ්‍ය මට්ටමින් ක්‍රියාකළ හැකි ආකාරය පිළිබඳ ලෝකයේ බොහෝ රටවල උදාහරණ පවතී. අසල්වැසි ඉන්දියාවේ මෙවැනි ගැටලු විසඳීම සඳහා, අගමැතිවරයාගේ ප්‍රධානත්වයෙන්, සියලුම අංශ ආවරණය වන පර්යේෂකයන් සහ විද්වතුන්ගෙන් සමන්විත ජාතික තාක්ෂණික කමිටුවක් පිහිටුවා ඇත. මෙවැනි සංකීර්ණ ගැටලුවලට විසඳුම් සෙවීම සඳහා එවැනි ක්‍රියාමාර්ග අප රටට ද අත්‍යාවශ්‍යව තිබේ.
එස්. ලොකුකරවිට, කරාපිටිය සමූහ