ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙල ජාත්‍යන්තර ඇගයීමට | සිළුමිණ

ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙල ජාත්‍යන්තර ඇගයීමට

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ හා ලෝක බැංකුවේ SPRING සමුළුව වොෂින්ටන් නුවර දී මේ වන විට පැවැත්වේ. ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ඒ සඳහා මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා සහභාගී වී සිටී. 
 
මෙම සමුළුවට සමගාමීව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ, ලෝක බැංකුවේ හා ණය හිමියන් අතර ද්වීපාර්ශ්වික සාකච්ඡා සඳහා ද මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා සහභාගී වේ.
 
ඒ අනුව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ කෙන්ජි ඔකුමුරා මහතා සමඟ පැවැත්වූ සාකච්ඡාවේ දී නියෝජ්‍ය අධ්‍යක්ෂකවරයා විසින් ශ්‍රී ලංකා රජය විසින් ආර්ථික ප්‍රතිසංස්කරණය වෙනුවෙන් ක්‍රියාත්මක කර ඇති වැඩසටහන අගය කිරීමට ලක් කොට ඇත. එමෙන්ම ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩපිළිවෙල නිසි පරිදි ක්‍රියාත්මක කිරීම හා ඉදිරියේ දී සිදු කිරීමට නියමිත සමාලෝචන කටයුතු සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් සාකච්ඡා කර තිබේ. 
 
මුදල් රාජ්‍ය අමාත්‍යවරයා හා ලෝක බැංකුවේ උප ප්‍රධානී මාටින් රේසර් මහතා අතර පැවති සාකච්ඡාවේ දී ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රතිසංස්කරණ කටයුතු වලින් ලබා ඇති ප්‍රගතිය ඇගයීමට ලක් කෙරිණි. ආර්ථික කටයුතු සම්බන්ධයෙන් ඉදිරි ක්‍රියාමාර්ග ගනිමින් සමාජ ආරක්ෂණ වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීම කෙරෙහි මෙහිදී අවධානය යොමු විය.
 
මීට සමගාමීව ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ සහකාර ලේකම් රමින් ටොලුයි මහතා සහ ඩොනල්ඩ් ලූ මහතා සමඟ සාකච්ඡාවක් සඳහා මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා එක් විය. එහිදී දෙරට අතර සහයෝගීතාවය හා ඇමෙරිකාව විසින් අඛණ්ඩව ශ්‍රී ලංකාවේ ආර්ථික ස්ථාවරත්වය කෙරෙහි ලබා දෙන සහයෝගය තවදුරටත් ලබා දෙන බව සහකාර ලේකම්වරුන් විසින් නැවතත් තහවුරු කර තිබෙන බව රාජ්‍ය අමාත්‍යවරයා විසින් නිල Twitter ගිණුමේ සටහනක් තබමින් සදහන් කර ඇත. 

Comments