
සියලු භේද දුරැර නව දැක්මකින් පෙරට යමු - ජනපති
පක්ෂ, පාට, ජාති, ආගම් භේද පසෙකලා නව දැක්මකින් රට වෙනුවෙන් ඉදිරියට යෑමට මෙවර අලුත් අවුරුද්ද නව ඇරඹුමක් කරගත යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිය අලුත් අවුරුදු පණිවිඩයෙන් කියා සිටියි.
අප වෙහෙසිය යුත්තේ, අප උත්සාහ කළ යුත්තේ, එළැඹෙන මීළඟ අලුත් අවුරුද්ද අදටත් වඩා භාග්‍යවත් හා සමෘද්ධිමත් කර ගැනීමට යැයිද ජනාධිපතිවරයා පවසයි.
ජනාධිපතිවරයා නිකුත් කළ සුබපැතුම් පණිවිඩයේ මෙසේ ද සඳහන් කර තිබේ.
සූර්යයා මීන රාශියෙන් මේෂ රාශියට සංක්‍රමණයත් සමඟ උදාවන සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද මෙරට සිංහල සහ දෙමළ ජනතාවට ඉතාමත් ප්‍රීතිමත් අවස්ථාවකි.
සියලු ජනතාව එකම නැකතකට චාරිත්‍ර ඉටු කරන්නේ සෞභාග්‍යයේ සහ සශ්‍රීකත්වයේ අපේක්ෂාවන් පෙරදැරිවය.
පසුගිය වසරේ සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද එළැඹෙද්දී අප සැවොම මැදිව සිටියේ දැවැන්ත අර්බුදයකටය. අවුරුදු සැමරීම පසෙකලා, එදිනෙදා ජීවිතය පවත්වාගෙන යෑමේ අරගලයකට අපි මැදිව සිටියෙමු. නමුත් මේ අලුත් අවුරුද්ද එළැඹෙනුයේ අප සැමටම කිසියම් සහනදායි පරිසරයක් උදා කරමිනි.
අප වෙහෙසිය යුත්තේ, අප උත්සාහ කළ යුත්තේ, එළැඹෙන මීළඟ අලුත් අවුරුද්ද අදටත් වඩා භාග්‍යවත් හා සමෘද්ධිමත් කර ගැනීමටය. එම ප්‍රාර්ථනාව මුදුන්පත් කරගත හැකි වනුයේ අප සියලුදෙනා එකට එක්ව එක මවකගේ දරුවන් ලෙස එක මඟක ඉදිරියට යෑමෙන් පමණි.
එබැවින් පක්ෂ, පාට, ජාති, ආගම් භේද පසෙකලා නව දැක්මකින් රට වෙනුවෙන් ඉදිරියට යෑමට මෙවර අලුත් අවුරුද්ද නව ඇරඹුමක් කරගත යුතු අතර මේ අලුත් අවුරුද්ද පමණක් නොව අනාගතය ද සුබ වනුයේ එවිටය.
සුබ අලුත් අවුරුද්දක් වේවා !
නැවුම් සංකල්පයෙන් පිරිපුන් අවුරුද්දකට කැප වෙමු -අගමැති
මෑත භාගයේ අප මුහුණ දුන් රෝග, ව්‍යසන, ආර්ථික හා සමාජ අර්බුද මතු පරපුරට ඉතිරි නොකර නවමු සංකල්පයන්ගෙන් පෝෂිත අලුත් අවුරුද්දක් බිහි කරන්නට කැප වෙමු යැයි අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා සිය අලුත් අවුරුදු පණිවිඩයෙන් කියා සිටියි.
එහි මෙසේ ද සඳහන් කර තිබේ.
හෙළයේ මහා සංස්කෘතික මංගල්‍යයක් මුලුදෙන අලුත් අවුරුද්දේ එකම නැකැතක හිඳ කටයුතු කරන ලොව කිසිදු රටකට අනන්‍ය නොවූ අනාදිමත් අඛණ්ඩ චාරිත්‍රයන්ට අපි උරුමකම් කියමු. සෑම විටම සැමට බත බුලතින් සරු අලුත් අවුරුද්දක් ප්‍රාර්ථනා කරමු. මෙවර රට මුහුණ දුන් ආහාර හා ආර්ථික අර්බුදය හමුවේ අලුත් අවුරුද්දේ එකී ප්‍රාර්ථනය ඉටු කරමින් අපේ ගොවි ජනතාව රට බත බුලතින් සරි කරන්නට අභියෝගාත්මකව කළ මෙහෙය මේ අලුත් අවුරුද්දේ කෘතවේදීව සිහිපත් කළ යුතුය. ස්වභාව ධර්මයා සමඟ ගනුදෙනු කළ අපේ මුතුන් මිත්තෝ අලුත් අවුරුද්දේ එය තව තවත් යථාවත් කළෝය.
ඔවුන්ගේ දරු මුනුපුරන් වූ අපට ආහාර සුරක්ෂිතතාවය, සකසුරුවම, අපේකම, සමඟිය පිළිබඳව යළි යළි අකුරු කරන්නට අවශ්‍ය නොවේ. අවශ්‍ය ක්‍රියාත්මකභාවයයි.
පසුගිය වකවානුව අපට හිතන්නට බොහෝ දේ ඉතිරි කොට ඇත. මේසා රෝග ව්‍යසන, ආර්ථික හා සමාජයීය අර්බුද මෑත ඉතිහාසයේ අප නුදුටු ඒවාය.
ඒවා යළිදු නොදකින්නට, මතු පරපුරට ඒවා ඉතිරි නොකරන්නට නවමු සංකල්පයන් තුළින් පෝෂිත අලුත් අවුරුද්දක් අදින් අරඹමු.
එකිනෙකා අතර විශ්වාසය ගොඩනඟමු - විපක්ෂ නායක
අලුත් අවුරුද්ද සමාජ සම්බන්ධතා වැඩිදියුණු වීමටත් පැරණි සිරිත් විරිත් නොනැසී ඉදිරියට පවත්වා ගැනීමටත් එකිනෙකා අතර අන්‍යොන්‍ය විශ්වාසය වැඩිදියුණු වීමටත් ඉවහල් වන බව විපක්ෂ නායක සහ සමඟි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය. අලුත් අවුරුද්ද නිමිත්තෙන් නිකුත් කළ සුබපැතුම් පණිවිඩයේ මෙසේ ද සඳහන් වේ.
සෑම වසරකම බක් මාසයේ සූර්ය සංක්‍රාන්තියත් සමඟ සූර්යයා මීන රාශියෙන් මේෂ රාශියට සංක්‍රමණයෙන් උදාවන සිංහල සහ හින්දු අලුත් අවුරුද්ද මෙරට සිංහල සහ දමිළ ජනතාව උත්සවශ්‍රීයෙන් සමරනු ලබන මහා සංස්කෘතික මංගල්‍යයකි.
වසර කිහිපයක් මුළුල්ලේ ලක්වාසී ජනතාවට අලුත් අවුරුදු උදා වූයේ අභියෝග රැසක් මධ්‍යයේ වුවත් සමස්ත ජනතාවගේ එකම බලාපොරොත්තුව වන්නේ රටට, ජනතාවට සෞභාග්‍යය හා නීරෝගිමත්භාවය ප්‍රාර්ථනා කිරීමය.
අත්‍යන්තයෙන්ම ජන සමාජයට සාධනීය ගුණ යහපත්කම් සහ ආචාරධර්ම වපුරන මහා සාර සංස්කෘතික මංගල්‍යය වන සිංහල හා හින්දු අලුත් අවුරුද්ද මානව සංහිඳියාව උදෙසා දොරටු විවර කරන සංහිඳියාවේ උත්සවයක් ද වෙයි. සොබාදහමත් මිනිසාත් අතර වන්නේ ආදීකල්පිත අවියෝජනීය බැඳීමකි. එහි ප්‍රතිඵලයක් ලෙස මිනිසා සොබාදහමට කෘතගුණ දැක්වීමට අවස්ථාවන් සොයා ගනියි. සිංහල හින්දු අලුත් අවුරුද්ද තුළින්ද අර්ථ ගැන්වෙන්නේ එකී කෘතගුණ දැක්වීමේ සැබෑ ස්වරූපයයි.
ස්වයංපෝෂිත ආර්ථික රටාවක් පැවති අපේ රට මේ වන විට කඳුළු සලන පාරාදීසයක් බවට පත්ව ඇති අතර පවුලේ සියලු දෙනා එක්ව සතුටින් සාමයෙන් සහ සැනසිල්ලෙන් අලුත් අවුරුද්ද සැමරීමේ අවස්ථාව පවා වසර කිහිපයක සිට අහිමි වී තිබේ. අපේ රටේ ජනතාවගේ සාමාන්‍ය ජීවන තත්ත්වයට අසාමාන්‍ය ලෙස අභියෝග පැමිණ තිබේ.
මේ අන්ධකාර සමය නිමා වී, වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම සෞභාග්‍ය සම්පන්න දීප්තිමත් අනාගතයක් උදෙසා අධිෂ්ඨානශීලීව පෙළ ගැසීමේ ශක්තිය අපේ රටේ සමස්ත පුරවැසි පරපුරට ලැබේවායි ප්‍රාර්ථනා කරමි.