රැකියාවේ අඩියක් පස්සට තියන්න හිත හදා ගත්ත එක තමයි මගේ ජීවිතේ වෙනස් කළේ | Page 2 | සිළුමිණ

රැකියාවේ අඩියක් පස්සට තියන්න හිත හදා ගත්ත එක තමයි මගේ ජීවිතේ වෙනස් කළේ

- පොඩි ආයතනයක සාමාන්‍යාධිකාරී වෙලා ඉන්නවට වඩා මේ වගේ ආයතනයක ප්‍රධාන මූල්‍ය නිලධාරී තනතුර වටිනවා 
- මගේ විදිය වෙනස්. මම කෑ ගහන්න කැමැති නෑ. නමුත් මම තද තීරණ ගන්නවා. ඒ තීරණ ගන්න විදිය වෙනස්
- මගේ වෘත්තීය ජීවිතය පටන් ගත්තේ ලේක්හවුස් ආයතනයේ ගණකාධිකරණ පුහුණුවන්නෙක් ලෙස
- එක එක්කෙනාගෙ හැටියට තමයි සලකන්න ඕන. හැමෝටම එක වගේ සලකන්න බෑ. මිනිස්සුන්ගෙ විදිය තේරුම් ගන්න එක තමයි නායකයකුගෙ ප්‍රධානම දේ වෙන්න ඕන

රුහුණු සිමෙන්ති ආයතනයේ සාමාන්‍යාධිකාරී ලෙස කටයුතු කළ පුද්ගලයකුට ජීවිතයේ ගත හැකි අසීරුතම තීරණය ගැනීමේ අවස්ථාව වරක් උදා විණි. ඒ සාමාන්‍යාධිකාරී තනතුරේ සිට සේවයේ පහළ දැමීමකට ලක් ව ප්‍රධාන මූල්‍ය නිලධාරී ලෙස නැවත වැඩ කිරීමට සිදු වීම ය. හේ කල්පනා කළේය. ආඩම්බරකම යටපත් වී නිහතමානීත්වයට ඉඩ දුන් ඔහු එකී තනතුර පහළ හෙළීම ගැන කිසිදු අහිතක් නොහිතා තමාට පැවරූ වගකීම නියමාකාරව ඉටු කළේය. ඒ නිහතමානීව ගත් තීරණය ඔහුට ඉදිරියට යන්නට මඟ විවර කළා පමණක් නොව එකී ආයතනයේ මුල් පුටුව හොබවන්නට ද පාර කැපුවේය. නමින් නන්දන ඒකනායක වන ඔහු මේ වන විට SIAM CITY CEMENT (LANKA) LIMITED හෙවත් INSEE ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී හා සභාපතිවරයා ය. මේ ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී තනතුර හොබ වන පළමු ශ්‍රී ලාංකිකයා වන්නේත් ඔහු ය.

සිය වෘත්තීය ගමනේ සිරස් අතටම සෑම විටම ගමන් කළ නොහැකි බවත් සමහර විට පස්සට යෑමට සේම අතුරු පාරවල ද යෑමට ද සිදු වන බවත් හේ කියන්නේ සිය ලිවිසැරියේ අත්දැකීම් ඇසුරෙනි. මේ මහනුවර දිස්ත්‍රික්කයේ ගලහ ඉපිද කොළඹ විත් වරලත් ගණකාධිකාරීවරයකු වී ව්‍යාපාර ලොව ලැබිය හැකි ඉහළම තනතුරට පත් නන්දන ඒකනායකගේ දිවිසැරියේ මතක බිඳකි.

• සම්පූර්ණ නම

නන්දන ඒකනායක

• ගම් පළාත

මම උපදින්නේ නුවර දිස්ත්‍රික්කයේ ගලහ කියන සුන්දර ගමේ,

• උපන්දිනය

1959 සැප්තැම්බර් 10

• අම්මා තාත්තාගේ නම් සහ ඒ අය කළ වෘත්තීන්

තාත්තා අබේකෝන් ඒකනායක. අම්මා මේබල් ඒකනායක. අම්මා නම් ගෘහිණියක්. තාත්තා වතු සුපවයිසර් කෙනෙක්. පස්සෙ තාත්තා සුළු සුළු ව්‍යාපාර කළා.

• සහෝදර සහෝදරියන්

මට වැඩිමල් සහෝදරයන් තුන්දෙනෙක් සහ මට බාල සහෝදරියෝ දෙන්නෙක් ඉන්නවා. 

• පාසල් ගියේ?

මාතලේදි මම ගමේ පාසල් තුනකට ගියා. මගේ පියා ව්‍යාපාර කටයුතු නිසා තැනින් තැනට ගියා. අවුරුදු දෙක තුනකට සැරයක් අපේ පදිංචිය වෙනස් වුණා. ඒකාලෙ ශිෂ්‍යත්වෙ තිබුණෙ 7 පන්තියෙදි. ජාතික නවෝදය කියලා ඒකට කිව්වෙ. ඒකෙන් පාස් වෙලා මම රජයේ විද්‍යා විදුහලට ගියා. ඒ පාසලේ තිබුණෙ 9 වසරෙන් උඩ. ගණිතය, ජීව විද්‍යාව විතරයි තිබුණෙ. මට ඉංජිනේරු විෂයයන් ගැන උනන්දුවක් තිබුණා.

• කොහොමද පාසල් ජීවිතේ

මම එච්චරම දක්ෂ ශිෂ්‍යයෙක් නම් නොවෙයි. එච්චර උනන්දුවක් තිබුණෙත් නෑ ඉගෙන ගන්න. අපේ මවුපියොත් ඉගෙන ගන්නම කියලා අපිව තල්ලු කළේ නෑ. සාමාන්‍ය පොඩි රස්සාවක් තිබුණොත් ජීවත් වෙන්න ඇති කියලයි එයාලා හිතුවෙ. ඉතින් ක්‍රිකට් ගහලා, මලල ක්‍රීඩා කරලා, පාසලේ බාහිර වැඩත් කරලා අපි සැහැල්ලු ජීවිතයක් ගෙව්වෙ.

• කොහොමද උසස් පෙළ ප්‍රතිඵල

එහෙම ඉතින් හොඳටම පාස් වුණෙත් නෑ. අපි ගමේ පාසලෙදි පළවැනියා දෙවැනියා වුණාට නගරෙ පාසලේ ඔක්කොම ශිෂ්‍යත්වෙ පාස් කට්ටිය අතරට වැටුණ ම අපි එච්චර දක්ෂයො වුණේ නෑ. විශ්වවිද්‍යාලෙට යන්න තරම් ලකුණු තිබුණෙ නෑ. පළවැනි පාර S දෙකයි. දෙවැනි පාර C එකයි S තුනයි.

• විශ්වවිද්‍යාලෙ යන්න බැරි වුණාම ඊළඟ පියවර විදියට මොකද්ද කරන්නෙ?

මගේ අයියට ඒ කාලෙ උසස් පෙළෙන් පස්සෙ ඉංග්‍රීසි ගුරුවරයෙක් විදියට රස්සාවක් ලැබුණා. එයා ටික කාලෙකින් ගුරු වෘත්තියෙන් ඉවත් වෙලා CIMA කරන ගමන් විගණන ආයතනයක වැඩ කළා. එයා මට කිව්වා ඇවිත් ගණකාධිකරණය හදාරන්න කියලා.

• ඔබ කොළඹට එනවා?

ඔව්. මම වරලත් ගණකාධිකාරී විභාග කරන්න ලියාපදිංචි වුණාටත් පස්සෙ මට අවස්ථාවක් ලැබුණා ලේක්හවුස් ආයතනයට සම්බන්ධ වෙන්න. ගණකාධිකරණ පුහුණු වන්නන් ලෙස බඳවා ගැනීම් කරන බවට දැන්වීමක් පත්තරෙ පළ වෙලා තිබුණා. මමත් ඉල්ලුම් කළා. සම්මුඛ පරීක්ෂණයෙදි මගෙන් ඇහුවා මාතලේ ඉඳන් ඇවිත් මේක කරන්න පුළුවන්ද කියලා. මම කිව්වා පුළුවන්, මම උපරිමෙන් උත්සාහ කරනවා කියලා.

• ඒ ඔබේ පළවැනි රැකියාව?

ඔව්. මට වැටුප විදියට රුපියල් 450ක වගේ මුදලක් ලැබුණෙ. මම හිටියා අවුරුදු 5ක් ලේක්හවුස්. වරලත් ගණකාධිකාරි විභාගවලදි පුහුණුවීම් කාල සඳහා දෙවැනි විභාග පියවර (INTERMeDiaTe) වෙනකම් ලේක්හවුස් එකේ පුහුණුවීම් ප්‍රමාණවත් වුණා. මොකද මම ලේක්හවුස් වැඩ කළේ වරලත් ගණකාධිකාරිවරයෙක් යටතේ. නමුත් අවසාන අදියර දෙකේදි විගණන ආයතනයක වැඩ කිරීම අනිවාර්යයි. ඉතින් මම ලේක්හවුස් ආයතනයෙන් ඉවත් වුණා. නැත්නම් මට වරලත් ගණාකාධිකරණ විභාග සම්පූර්ණ කරගන්න බැරි වෙනවා. මම වරලත් ගණාකාධිකාරීවරයෙක් වුණේ 1987දි විතර. මම මේ විභාග සම්පූර්ණ කරන්න කල් ගත්තා ඇත්තටම. මොකද වැඩ කරන ගමන් අමාරුයි මේ විභාග කරන්න. අවුරුදු දෙකක් කල්මැරුවා මම. අයියත් මට බලපෑම් කළා. මොකද එයා ඒ වෙනකොට CIMA පාස් වෙලා හොඳ රැකියාවකට විදෙස්ගත වුණා.

• විගණන ආයතනවල ජීවත්වීමට ප්‍රමාණවත් මුදලක් ගෙවන්නෙ නෑනෙ. කොහොමද ඔබ වියහියදම් පාලනය කර ගත්තෙ. ගෙදරින් දුන්නද?

මම කවදාවත් ගෙදරින් පිට වුණාට පස්සෙ මවුපියන්ගෙන් සල්ලි ඉල්ලලා නෑ. ඇත්තටම මටත් ඉල්ල ගන්න තරම් ආදායම් තත්ත්වයක් ගෙදරට තිබුණෙත් නෑ.

• කොහොමද ජීවත් වෙන්න මුදල් සොයා ගත්තෙ. ඒ වගේම පන්තිවලට ගෙවන්න?

මම කොහොම හරි ලැබෙන මුදල් පිරිමහ ගත්තා. ඒ කාලෙ එච්චර ලොකු වියදම් ගියෙත් නෑ. රුපියල් 150ක් දෙද්දි කෑමත් එක්ක බෝඩිමක් හොයා ගන්න පුළුවන්. පස්සෙ කාලෙක අපි යාළුවො කිහිපදෙනෙක් ගෙයක් කුලියට අරන් උයාගෙන කාලත් හිටියා. විගණන පැත්තට අදාළ විභාග කොච්චර කළත් මට ආසාව තිබුණෙ ව්‍යාපාර පැත්තට යන්න.

• වරලත් ගණකාධිකාරීවරයෙක් වුණාට පස්සෙ කරපු පළමු රැකියාව මොකද්ද?

මම හේලීස් එකට බැඳුණා. ඒ ගණකාධිකාරීවරයෙක් විදියට. පස්සෙ මම මූල්‍ය පාලක (financial controller) දක්වා උසස්වීම් ලැබුවා. එතන මම අවුරුදු 5ක් හිටියා. හේලීස් එක හොඳයි; නමුත් ඉහළට යන්න වෙන්නෙ හරිම හිමින්. ඒ නිසා අවදානමක් අරන් දියුණුවකට යන්න මම බලාපොරොත්තුවෙන් හිටියෙ.

• කොහොමද සිමෙන්ති සම්බන්ධ ක්ෂේත්‍රයට එන්නෙ?

ඒ කාලෙ සිමෙන්ති කර්මාන්ත ක්ෂේත්‍රය පුද්ගලිීකකරණය කරලා පුත්තලම් සිමෙන්ති, රුහුණු සිමෙන්ති කියලා වෙන වෙනම තිබුණෙ. මගේ යාළුවෙක් කිව්වා රුහුණු සිමෙන්ති එකේ මූල්‍ය පැත්තෙ පුරප්පාඩුවක් තියෙනවා එන්න කියලා. මට මුලදි චකිතයක් ආවා හේලීස් වගේ හොඳ ආයතනයක ඉඳලා අර වගේ තැනකට යන එක ගැන. හැබැයි මම ඒ අවදානම ගත්තා. මම මූල්‍ය කළමනාකරු විදියට හිටියෙ. සාමාන්‍යාධිකාරී ඉවත් වුණාට පස්සෙ මම සාමාන්‍යාධිකාරී විදියට උසස්වීමක් ලැබුණා. ටික කාලයක් ඉද්දි හොල්සිම් එකෙන් රුහුණු සිමෙන්ති එකත් ගත්තා. ඒ වෙනකොට පුත්තලම් සිමෙන්ති එකත් එයාලා අරන් තිබුණෙ. හොල්සිම් ලංකා ප්‍රයිවට් ලිමිටඩ් කියලා මේ දෙක එකක් බවට පත් කළා.

• ඔබත් මේ ව්‍යාපාරික වෙනසට කැමැති වුණාද? උදවු කළාද? කොහොමද වෙනස් වීම් වුණේ.

මම ඇත්තටම ඒ සියලු කටයුතුවලට උදවු කළා. ඒක විදේශීය ආයතනයක්. රටවල් 180ක් විතර සම්බන්ධයි. එතැන තමයි මට මගේ ජීවිතයේ අසීරුම තීරණයක් ගන්න වුණේ. ඔවුන් මට කිව්වා සාමාන්‍යාධිකාරී තනතුර මට දෙන්න අමාරුයි කියලා. ඒකට විදේශිකයෙක් ගෙන්නන්න ඕන කියලා. මට කිව්වා ඔයා කැමැති නම් ප්‍රධාන මූල්‍ය නිලධාරී තනතුර දෙන්නම් කියලා.

• ඒක තනතුර පහළ හෙළීමක් නිසා ඔබ කැමැති වුණාද?

මම ගොඩක් කල්පනා කළා. අන්තිමට හිතුවා පොඩි ආයතනයක සාමාන්‍යාධිකාරී වෙලා ඉන්නවට වඩා මේක මට අවස්ථාවක් වෙයි කියලා. මේ ආයතනය ලෝකෙ ගොඩක් රටවල තියෙන නිසා නිතර අපට අවස්ථා සහ පුහුණුවීම් ලැබුණා. නායකත්ව පුහුණු ලැබුණා. ආයතනය හිතුවොත් යම්කිසි සේවකයෙක් දිහා බලලා මෙයා අනාගතයේ නායකයෙක් කරන්න පුළුවන් කියලා ඒ අවස්ථාවට උචිත පරිදි හදන්න අවශ්‍ය කරන වටපිටාවත් ඔවුන් නිර්මාණය කළා. අවුරුදු 6ක් මම ලංකාවේ මේ ආයතනයේ වැඩ කළා. ඊට පස්සෙ මාව ටික කාලයකට ඉන්දුනීසියාවට යැව්වා. ඊටත් පස්සෙ මම වියට්නාමෙ අවුරුදු 10ක් වැඩ කළා. අන්තිමට මම වැඩබලන සාමාන්‍යාධිකාරී වුණා.

• ඒ කියන්නෙ ඔබ ගත් අඩියක් පස්සට තියන්න ගත්ත තීරණය සාර්ථක තීරණයක්?

අනිවාර්යයෙන්. අපි සමහර වෙලාවට හීය වගේ ඉස්සරහට යනවා වගේම සමහර වෙලාවට අතුරු පාරවල හැරෙන්න ඕන, ඒ වගේම පස්සට අඩිය තියන අවස්ථාත් තියෙනවා. මේවා හොඳට හිතලා බලලා කරන්න ඕන. නිවැරදි තීරණය හරි වෙලාවට නොගත්තොත් විතරයි අපි පරදින්නෙ.

• කොහොමද ඉන්සි ආයතනය හැදෙන්නෙ?

හොල්සිම් ටික කලකින් ආසියාවෙ ඔවුන්ගෙ සියලු දේවල් විකුණුවා. එතකොට තමයි තායි කොම්පැනියක් වුණු ඉන්සි එක ඒ දේපළ මිලට ගත්තෙ. ඒකෙ සභාපති විදියට හිටියෙ හොල්සිම් එකේ මම දන්න කියන කෙනෙක්. මම එතකොටත් හිටියෙ වියට්නාමෙ. එයා මගෙන් ඇහුවා කැමතිද ලංකාවට එන්න කියලා. මම ලංකාවට ආවා. මම ඉන්සි එකට ඇවිත් අවුරුද්දක් විතර යනකොට සභාපතිතුමා විශ්‍රාම ගත්තා. එයා මාව දන්න නිසා ප්‍රධාන විධායක නිලධාරී තනතුර වගේම සභාපති තනතුරත් මට බාර ගන්න කිව්වා. මම දැන් ඉන්න තත්ත්වය තමයි ඒ.

• සාමාන්‍යයෙන් ඔබ කොහොමද ඔබේ සේවකයන් එක්ක කටයුුතු කරන්නෙ?

මම ඕනම සේවකයෙක් එක්ක සුහදව වැඩ කරන කෙනෙක්. මාව ඕන වෙලාවක හමු වෙන්න පුළුවන්. මට දුරකතනයෙන් කතා කරන්න පුළුවන්. මම තමයි පළවැනි ශ්‍රී ලාංකිකයා ප්‍රධාන විධායක නිලධාරී හා සභාපති වුණු. සභාපති කෙනෙක් හිටියත් ශ්‍රී ලාංකික ප්‍රධාන විධායක නිලධාරී කෙනෙක් ඉඳලා නෑ. ඒ නිසා ගොඩක් අය මට කැමතියි.

• සාමාන්‍යයෙන් සේවකයන්ට සැර බොස් කෙනෙක්ද?

මගේ විදිය වෙනස්. මම කෑ ගහන්න කැමැති නෑ. නමුත් මම තද තීරණ ගන්නවා. ඒ තීරණ ගන්න විදිය වෙනස්. මම මිනිස්සුන්ට නරක විදියට කතා කරන්නෙ නෑ. එක එක්කෙනාගෙ විදිය වෙනස්. මගේ බොස් කෑගහලා බය කරලා වැඩ ගන්න කෙනෙක්. මම ඊට වෙනස්. හැබැයි එක එක සේවකයා ප්‍රතිචාර දක්වන විදිය වෙනස්. විශේෂයෙන්ම හැම මිනිහෙක්ම වෙනස්. එ්ක තමයි හොඳින්ම තේරුම් ගන්න ඕන. එක්කෙනෙක් බය කරලා රස්සාව නැති කරනවා කිව්වම වැඩ කරනවා; තවත් සමහරු කරන වැඩේ අගය කරලා ප්‍රශංසා කළාම තමයි වැඩ කරන්නෙ. එක එක්කෙනාගෙ හැටියට තමයි සලකන්න ඕන. හැමෝටම එක වගේ සලකන්න බෑ. ඒක සාපේක්ෂයි. ඒ වගේම සැරවැර දාලා ගොඩක් කල් වැඩ ගන්නත් බෑ. මිනිස්සුන්ගෙ විදිය තේරුම් ගන්න එක තමයි නායකයකුගෙ ප්‍රධානම දේ වෙන්න ඕන.

• ජීවිතේ හැරවුම් ලක්ෂ්‍යය මොනවාද?

පළවැනි එක මගේ තනතුර පහළට දාද්දි මම ආඩම්බර කම ඔළුවට අරන් එහෙම කොහොමද සාමාන්‍යාධිකාරී වෙලා ඉඳලා පස්සට යන්නෙ කියලා හිතන්නෙ නැතිව ඒක බාර ගත්ත එක. ඒ තීරණය නිසා මට ගොඩක් දේවල් ලැබුණා. රට රටවල ගිහින් ඉගෙන ගන්න ලැබුණා.

• මේ ක්ෂේත්‍රයේ වැඩ කරන වර්තමාන පරම්පරාව ගැන ඔබේ අදහස මොකද්ද?

අලුත් පරම්පරාව දීර්ඝකාලීන කැපවීමකින් වැඩ කරන්නෙ නෑ. එයාලට ඕන උදේ 10ට විතර වැඩට ඇවිත් එයාලට ඕන විදියට පැය කිහිපයක් වැඩ කරලා සම්පූර්ණ නිදහස භුක්ති විඳින්න. ආයතනික නීති හා රාමුවීම්වලට කැමැති නෑ. හැබැයි එයාලා ඕන වෙලාවක අවදානම් ගන්න කැමැතියි. වෙනස් හා අමුතු විදියට හිතනවා. ඒවත් අවශ්‍යයි. හැබැයි ආයතනය ගැන වන ආදරය වගේ දේවල් අඩුයි. සමහර රැකියාවලට ඒවා හරි. තාක්ෂණික අංශයේ වගේ. අපේ වගේ ආයතනයක එහෙම බෑ. ඒ වගේම එයාලා හිතනවා අවුරුදු 25දි විතර බිලියනපතියෙක් වෙන්න බැරි නම් වැඩක් නෑ වගේ ඒවා. සිතිවිල්ල හොඳ වුණාට ඉවසීම හා කැපවීම තියෙන්න ඕන. එකපාර එහෙම වෙන්න බෑ.

• කවුද ඔබේ ජීවන සහකාරිය?

මම විවාහ වෙන්නෙ 1987දී. ඇය මට හමු වුණේ ලේක්හවුස් එකේදිමයි. වියට්නාමයට යද්දි ඇය රස්සාවෙන් ඉවත් වුණා. ඇගේ නම ඔමිකා. අපිට දියණියන් දෙදෙනෙක් ඉන්නවා. වැඩිමල් දියණිය නිෂිකා දැනට සිංගප්පූරුවේ පදිංචිව සිටිනවා. බාල දියණිය රාධිකා දැනට ලංකාවේ ඉගැන්වීම් කටයුතුවල නිරතව සිටිනවා.

• විවේක වෙලාවට මොකද කරන්නෙ?

මම හරි කැමතියි කැලේට. කැලේ සත්තු බලන්න යන්න, ඔවුන්ගේ ඡායාරූප ගන්න එහෙම නිතර මමත් මගේ පවුලේ අයත් යනවා. පරිසරයේ ගත කරන්න තමයි කැමතිම.

• ඒ කැමැත්තට ඔබේ ළමා කාලය ගෙවුණු පරිසරයේ මිහිරියාව බලපාන්න ඇති?

ඔව් ඇත්තටම. අපි හිටියෙ උඩරට පළාතෙ. කඳු පන්ති, තේවතු මැද. ඒ වගේ පරිසරයක ජීවත් වෙන්න තමයි මම කැමැති; ගස්කොළන් මැද. ඉස්සර තාත්තා දඩයමේ යනවා. ඒ සංස්කෘතියේ හැටි එහෙමයි. අපිත් තාත්තා පස්සෙ වැටිලා කැලේ යනවා. මම නම් සත්තුන්ට ආදරේ මිසක් දඩයම් කරන්නෙ නෑ. මම ලෝකෙ පුරා සත්තු බලන්න සංචාරය කරනවා. මගේ පවුලේ අයත් එහෙමයි. අපි එකතු වෙලා තමයි සංචාරය කරන්නෙ.

• පොත්පත් කියවන්න කැමැතිද?

නිතර කියවන්න වෙන්නෙ නෑ. හැබැයි මම නායකත්වය සම්බන්ධ කෘති කියවනවා. අධ්‍යයනය කරනවා. එක එක විශේෂ අයගේ ජීවිත කතා ගැන අපි කතා කරනවා.

• බ්‍රෑන්ඩඩ් ද පාවිච්චි කරන්නෙ?

එහෙම කියලා විශේෂයෙන් කරන්නෙ නෑ. හැබැයි නිතර පිටරට යන නිසා හොඳ බ්‍රෑන්ඩ් ගැනෙනවා. නමුත් ඒවාම කියලා විශේෂයක් නෑ.

• ජීවිතේ ආපස්සට හැරිලා බලද්දි පසුතැවෙන තැන් තියෙනවාද?

එහෙම එකක් නෑ. මම ගත්ත තීරණ ගොඩක් දුරට නිවැරදි තීරණ. ඉඳලා හිටලා රටේ තත්ත්වෙ දිහා බැලුවහම සමහර වෙලාවට හිතෙනවා ඒ කාලෙ ලංකාවට නොආවා නම් කියලා.

සේයාරූ- චින්තක කුමාරසිංහ

Comments