
- ශල්‍යකර්මය රාත්‍රී 9 සිට පැය 4 ක්.
- අත සවි කිරීමේදී පිටින් ඇණ දාලා බාහිරින් සම්බන්ධ කළා. අත සවි වෙන්න මාසයක් එකහමාරක් ගතවේවි
- අධික ලෙස රුධිරය වහනය වීම නිසා ඇයගේ ජීවිතයට තර්ජනයක් තිබුණා. අපි මුලින්ම කළේ මේ තත්ත්වය නිවැරැදි කිරීමයි.
මොළය මියගිය කෙනකුගේ ශරීර අවයව තවත් අයකුට බද්ධ කළ අවස්ථා පිළිබඳ අපට නිතර අසන්නට ලැබේ. කුරුණෑගල පාසල් සිසුවකුගේ හා සිසුවියකගේ මොළය මියයාමෙන් පසු හෘදය, පෙණහලු, වකුගඩු, ඇස් ආදී ඉන්ද්රියයන් මෙලෙස තවත් කීප දෙනකුට බද්ධ කළ බව ඉන් කියවිණි. මේ අතර හදිසි අනතුරකින් කැපී වෙන්ව ගිය යුවතියකගේ අතක් නැවතත් ඇයටම සාර්ථකව බද්ධ කළ පුවතක් වාර්තා වන්නේ කෑගල්ල මූලික රෝහලෙනි.
ඇය නඳුනි අංජලිකාය. විසි එක් හැවිරිදි යුවතියක් වන ඇය කෑගල්ල වතුර නිලපලාගම්මන ගමේ ජීවත් වූවාය. කෑගලු නගරයේ ජනප්‍රිය බාලිකා පාසලක වාණිජ අංශයෙන් උසස්පෙළ හැදෑරූ ඇය අධ්‍යාපනයට ඇති උනන්දුව නිසාම බාහිර උපාධිය හදාරමින් සිටියාය. පවුලේ ආර්ථික අපහසුතා මත ඇය පොල්ගහවෙල පෞද්ගලික ඇඟලුම් කම්හලක සේවිකාවක ලෙස සේවයට එක්වන්නේ මීට මාස හයකට පමණ පෙරදීය. පසුගිය අඟහරුවාදා (04) ඇය රැකියාවට ගොස් නිවසට පැමිණෙමින් සිටියදී තම නිවෙස පෙනෙන මානයේදී අනතුරතට ලක් වන්නේ රාත්‍රී 7.15 ට පමණය.
නඳුනි ගේ වැඩිමහල් සොයුරු උදාර චතුරංග එම සිදුවීම මෙසේ විස්තර කළේය.
“තාත්තාත් බාප්පාත් අතර ඉඩමක් සම්බන්ධයෙන් ගැටුමක් ඇති වුණා. ඒ මීට දින කිහිපයකට කලින්. බාප්පාගේ ගේ ළඟ තාත්තාට අයිති ඉඩමේ අපි කෙසෙල් වවලා තියෙනවා. ඒ ඉඩමේ කෙසෙල් කැපුවා කියලා තමයි මේ ප්රශ්නය ඇති වුණේ. අපි පොලිසියේ පැමිණිල්ලක් දැම්මත් වැඩක් වුණේ නැහැ. නියමිත දවසේ අපි පොලිසියට ගියත් ඒ අය ආවේ නැහැ. ඒ අය ආවේ දවස් තුන හතරකින්. එහෙමම මේක යට ගියා. මේ අතර තාත්තාට බාප්පා ගහපු ගලක් වැදිලා ඇහැක් තුවාල වුණා. ඒ ෂොක් එකට තාත්තා හැමදාම කෑගහනවා.
එදා ලොකු නංගි වැඩ ඇරිලා එනකොට එක්ක එන්න රෑ 7.15 ට මම විතර පාරට ගියා. ඒ අතර බාප්පාගේ ගෙදර අය තරහ වුණත් දෙකින් එකක් වෙන්න කියලා හිතාගෙන මම තනියම බාප්පාගේ ගෙදර ගියා. කවුරුවත් පේන්න හිටියේ නැති නිසා පුංචි අම්මාට කතා කළා. එතකොට බාප්පා “මොකද බං කියන්නේ“ කියලා ගේ ඇතුළේ ඉඳලා පොල්ලක් අරගෙන කෑගහගෙන එළියට ආවා. මේ සද්දය ඇහිලා තාත්තාත් දුවගෙන ආවා. එතකොටම චූටි නංගිත් ආවා. බාප්පා ගේ ඇතුළට ගිහින් මන්නයක් අරගෙන ඇවිත් නංගිට කොටන කොට මම ඇදලා ගත්තා. නංගිගේ බඩ යන්තමට කැපුණා.
මේ අතරේ තමයි ලොකු නංගී එක අතකින් කුඩයක් ඉහළ ගෙන අනිත් අතින් ෆෝන් එකේ ටෝච් එකත් පත්තු කරගෙන වැඩ අරිලා ගෙදර එන්න ආවේ. බාප්පා ගේ මන්නා පහරින් නංගිගේ අත කැපිලා බිමට වැටුණා. මම කේන්තියට ගලක් අරගෙන බාප්පාට දමලා ගැහුවා. ඊට පස්සේ නංගිව ත්‍රිවීල් එකකින් කෑගල්ල ඉස්පිරිතාලෙට ගෙනාවා. නංගිගේ අත දාගෙන එන්න අයිස් ගොඩාක් තිබුණේ නැහැ. ඒත් තිබුණු අයිස් ටික දාගෙන අරන් ආවා. කෑගල්ලට එනකල් අතින් තද කරගෙන ලේ යන එක හිර කරගෙන ගියේ. අපේ අම්මා අසනීපයෙන් ඉන්නේ. අම්මා මේ සිද්ධිය දන්නේ නැහැ.“
මෙම තරුණියගේ සම්පූර්ණයෙන් ම කැපී වෙන්ව තිබූ අත පැය පහක ශල්‍යකර්මයකින් සාර්ථකව බද්ධ කිරීමට කෑගල්ල මූලික රෝහලේ විශේෂඥ ශල්‍ය වෛද්‍ය ආනන්ද ජයවර්ධන ඇතුළු වෛද්‍යවරු සමත් වූහ.
ඒ සම්බන්ධයෙන් විශේෂඥ ශල්‍ය වෛද්‍ය ආනන්ද ජයවර්ධන පවසන්නේ මෙබන්දකි.
“ මේ වගේ අවස්ථාවක සලකා බලන කරුණු දෙකක් තිබෙනවා. පළමු කරුණ තමයි රෝගියාගේ ජීවිතය බේරා ගැනීම. දෙවැනි කරුණ රෝගියාගේ කැපී වෙන් වූ අවයවය බේරා ගැනීම. මෙම අනතුරින් අධික ලෙස රුධිරය වහනය වීම නිසා ඇයගේ ජීවිතයට තර්ජනයක් තිබුණා. මේ තත්ත්වය මුලින්ම අපි නිවැරැදි කළා. ඇයට අවශ්‍ය රුධිරය බාහිරව ලබාදීමෙන්. මෙම ශල්‍යකර්මයේ සියල්ල අවසන් වනවිට අප ඇයට බාහිරින් ලේ පයින්ට් පහක් ලබා දුන්නා. දෙවැනි අවස්ථාව වූයේ ඇයගේ අත නැවත බද්ධ කිරීමයි. මේ අභියෝගයත් අප භාර ගත්තා. අපිට පුළුවන් වුණා වෙන්වී ගිය අත නැවත සාර්ථකව බද්ධ කිරීමට.
තියුණු ආයුධයකින් කැපුණාම සාමාන්‍යයෙන් ශරීරයේ වෙනත් තැනකින් නහර ගන්න අවශ්‍ය වන්නේ නැහැ. නහර තැළිලා පොඩිවෙලා තිබුණොත් තමයි එහෙම වෙනත් තැනකින් නහර ගන්න අවශ්‍ය වෙන්නේ. ඒ තැළිච්ච පොඩි වෙච්ච නහර කොටස් ඉවත් කරන්න වෙන නිසා. මෙවැනි අවස්ථාවක ප්‍රධානම කරුණ තමයි කැපී වෙන් වූ අස්ථිය ඉක්මණින්ම සවිකර ගැනීම. එසේ නැතිව සියුම් පටක බද්ධ කරලා වැඩක් නැහැ, අස්ථිය නිවැරදිව බද්ධ නොවෙනවා නම්. අත තියෙන්න ඕනෑ නිවැරදි ඉරියවුවෙන්ම තබාගෙන අස්ථිය සම්බන්ධ කරගන්න ඕනෑ. ඒ සඳහා ක්‍රම දෙකක් තිබෙනවා. බාහිරින් සහ අභ්‍යන්තරයෙන් වශයෙන්.
අපි මෙහිදී සම්බන්ධ කළේ බාහිරින්. පිටින් ඇණ දාලා බාහිරින් සම්බන්ධ කළා. ඒක බාහිරින් දැකගන්න පුළුවන්. අස්ථිය සම්බන්ධ වෙනකල් විතරයි ඒක දමන්නේ. සාමාන්‍යයෙන් අතක් සවිවෙන්න මාසයක් එක හමාරක් විතර කාලය ගත වෙනවා. එහෙම සවි වුණාම බාහිරින් සවි කළ ඇණ ඉවත් කරන්න පුළුවන්. අස්ථිය බද්ධ කිරීමේ කාර්යයට මා සමඟ කෑගල්ල රෝහලේ විශේෂඥ විකලාංග ශල්‍ය වෛද්‍ය නිහාල් ප්‍රනාන්දු ඇතුළු කණ්ඩායමක් සම්බන්ධ වුණා.
මේ රෝගියා රෝහලට ගෙන එන විට ගොඩක් ලේ වහනය වෙලා තිබුණා. ඒ නිසා රුධිර පීඩනයත් යම් මට්ටමකට අඩු වෙලයි තිබුණේ. රෝගියා සිටියේ කම්පන අවස්ථාවේ. සිහිය නැතිවීමක් නොවෙයි. ඒක කල්පනාව මදිකම. අස්ථිය බද්ධ කිරීමෙන් පස්සේ බාහිරින් රුධිරය ලබා දුන්නා. මේ බද්ධ කිරීම සාමාන්‍යයෙන් පැය හයක් ඇතුළත කරන්න ඕනෑ. ඊට වඩා ප්‍රමාද වෙනවා නම් සාර්ථක වීමට තිබෙන අවස්ථාව අඩුයි. වෙන් වූ අවයවය නිවැරදි ක්‍රමයට රෝහලට ගෙන එනවා නම් ඊට වඩා වැඩි කාලයක් තියෙන්න පුළුවන්.
අපි නොසිතූ අවස්ථාවක අපිට අනතුරුවලට මුහුණ දෙන්න සිදු වෙනවා. සමහරවිට ශරීරයේ කොටසක් වෙන්ව ඉවත් වෙන්න පුළුවන්. සමහරවිට අත්වල ඇඟිලි, පා වල ඇඟිලි, අත් දෙක, පා දෙක, කන, සමහරවිට පුරුෂ ලිංගය කැපී ශරීරයෙන් වෙන් වෙන්න පුළුවන්. මෙවැනි අවයව ශරීරයෙන් වෙන්වෙලා ඉවත් වුණත් නැවතත් ඔබේ ශරීරයට බද්ධ කරන්න පුළුවන්. මෙහිදී ශරීරයේ කැපී වෙන්වූ කොටස නිවැරදිව රෝහල වෙත ගෙන එන්න අවශ්‍ය වෙනවා. එලෙස ඉවත්වූ ශරීර කොටස් නිකම්ම රෝහලට ගෙන එනවා. සමහරු අයිස් බෑග් එකක දමාගෙන එනවා. ඒ ක්‍රම දෙකම වැරදියි.
වෙන්වූ ශරීර කොටස පළමුවෙන්ම කළ යුත්තේ ගලාගෙන යන ජලයෙන් හෝ ටැප් එකකින් සෝදා හොඳින් පිරිසිදු කර ගැනීමයි. ඉන්පසු තෙත් කරන ලද පිරිසිදු රෙදි කැබැල්ලක ලිහිල්ව ඔතා පොලිතීන් කවරයක බහා හොඳින් වාතය ඉවත් කර ගැට ගසා ගන්න ඕනෑ. ඒක ඉතාම වැදගත් වන්නේ අයිස් ඇතුළට යාම වළක්වා ගැනිමටයි. අවශ්‍ය නම් පොලිතින් කවර දෙකකට දමන්න පුළුවන්. ඉන් අනතුරුවයි අයිස් කැට පුරවා ගත් කවරයකට හෝ බෝතලයකට මේ කවර ඇතුළු කරගෙන එන්න ඕනෑ. අයිස් මදි නම් ඉතිරි කොටසට ජලය පුරවා ගන්නත් පුළුවන්. කැපී වෙන්වූ අවයවයේ විශාලත්වය මත බකට් එකක් වුණත් පාවිච්චි කරන්න පුළුවන්. වැදගත්ම දේ ශරීර කොටස අයිස් සමඟ සම්බන්ධ නොවිය යුතුයි.
නැවත බද්ධ කිරීම සඳහා අවයව කොටස් ගෙන ඒමේදී ඔබටත් විශාල වගකීමක් තිබෙනවා එබේ වගකීම තමයි ඉතා ඉක්මණින් නිවැරදිව මේ වෙන්වූ ශරීර කොටස රෝගියා සමඟ ළඟම තිබෙන රෝහලට ගෙන යාම. ඔබේ දරුවාට, ඔබට, ඔබේ පවුලේ ඥාතියකුට, වැඩ කරන සේවා ස්ථානයේ අයකුට කවදා හෝ මෙවැනි අනතුරක් වෙන්න පුළුවන්. නැතිවී ගිය අවයවය යළි ලබා දෙන්න ඔබටත් ඉහත මා කී පරිදි කටයුතු කිරීමෙන් දායක විය හැකියි.
අවයව කැපී වෙන්වූ අවස්ථාවක ලේ යන එක නවත්වන්න හරි අඩු කරන්න හරි සමහරු වැරදි ක්‍රම අනුගමනය කරනවා. සමහරු කැපුණු තැනට උඩින් තදකරලා රෙදි පටියකින් බඳිනවා. ඒක සම්පූර්ණයෙන්ම වැරදියි. එයින් ස්නායු තෙරපෙන්න පුළුවන්. නහර තෙරපෙන්න පුළුවන්. බද්ධ කිරීමේදී ඒ හේතුවෙන් ගැටලු ඇතිවෙන්න ඉඩකඩ තිබෙනවා.
සාමාන්‍යයෙන් ශ්වසන මාර්ගයට හානියක් වී නැති නම් ඕනෑම රෝගියෙක් පැයක්වත් ජීවත් වෙනවා. ඒකට තමයි කියන්නේ Golden hour කියලා. ශ්වසන මාර්ගය අවහිර වුණොත් විනාඩි හතරක් පහක්වත් ජීවත් වෙන්නේ නැහැ. හදිසි අනතුරකට ලක් වූ රෝගියකු පැයක්වත් ඇතුළත ළඟම රෝහලට ගෙන එන ලෙස පවසන්නේ ඒ නිසයි. රෝගියා රෝහලට ගෙන ඒමේදී ගෙන එන ඉරියව්වත් වැදගත් වෙනවා. හැමවිටම රෝගියා හාන්සි කර ගෙන එනවා නම් ඉතාම හොඳයි.
මේ රෝගියාගේ අස්ථි බද්ධ කිරීමෙන් අනතුරුව රුධිර සැපයුම ලබාදීමේදී ශිරා දෙකකුයි ප්‍රධාන ධමනියකුයි බද්ධ කරන්න අවශ්‍ය වුණා. ඒකයි ශල්‍යකර්මයට පැය හතරක් පමණ ගත වූවේ. මෙවැනි සිදුවීම්වලදී අභියෝගය භාර ගැනීමයි වැදගත්. අපි කණ්ඩායමක් ලෙස කටයුතු කිරීමෙන් අපට පුළුවන් වුණා වෙන්ව ගිය අත සාර්ථකව බද්ධ කිරීමට.මේ සඳහා නිර්වින්දන විශේෂ වෛද්‍ය ක්‍රිෂාන් රූපසිංහ,විශේෂඥ විකලාංග ශල්‍ය වෛද්‍ය නිහාල් ප්‍රනාන්දු මහත්වරුන් සමඟ සමස්ත කාර්ය මණ්ඩලය ලබාදුන් දායකත්වය මත රෝගියාගේ අතත්, ජීවිතයත් බේරාදීමට අපට හැකි වුණා.“
මේ අතර සිය වැඩිමහල් සහෝදරයාගේ දියණියගේ වම් අත සම්පූර්ණයෙන්ම වෙන් වන සේ කපා දැමූ බවට සැකපිට අත්අඩංගුවට ගත් පනස් හැවිරිදි ප්‍රභාත් නෙවිල් සමරසිංහ යන අය ලබන 19 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි. සිද්ධිය වූ අවස්ථාවේදී සැකකරුගේ මුහුණේ සිදු වූ තුවාලයක් හේතුවෙන් ඔහුද කෑගල්ල මූලික රෝහලට ඇතුළත්කර තිබිණි. මෙම සිදුවීම කෑගල්ල මූලස්ථාන පොලිසිය මඟින් කෑගල්ල මහේස්ත්‍රාත් අධිකරණයට වාර්තා කිරීමෙන් අනතුරුව කෑගල්ල වැඩබලන මහේස්ත්‍රාත් නිශාන්ති අබයරත්න තුවාල ලැබූ තරුණිය හා තැළීම් තුවාලයක් හේතුවෙන් පොලිස් ආරක්ෂාව මධ්‍යයේ ප්‍රතිකාර ලබමින් සිටි සැකකරු සම්බන්ධයෙන් නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව සැකකරු රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කළාය.
කෑගල්ල මූලස්ථාන පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක නාලක මාගෙදරගමගේ උපදෙස් පරිදි අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ප්‍රසාද් ගුණරත්න,උප පොලිස් පරීක්ෂත විජේසිංහ,පොලිස් සැරයන් (29311) නිශ්ශංක,පොලිස් කොස්තාපල් (77178) බණ්ඩාර,(85049) නිමන්ත, (104923) විශ්වනාත් යන නිලධාරින් විමර්ශන සිදු කළහ.